ගුරුන් හොරුන් වී පොලි­සි­යත් හොල්මන් කළ කෝටි තුනේ මැණික් කොල්ලය | Page 3 | සිළුමිණ

ගුරුන් හොරුන් වී පොලි­සි­යත් හොල්මන් කළ කෝටි තුනේ මැණික් කොල්ලය

පොලිස් අධි­කාරි සමග පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන්
පොලිස් අධි­කාරි සමග පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන්

පැල්ම­ඬුල්ල, කෙළි­න්වී­දියේ මහල් තුන­කින් යුත් 'දේදුනු ටෙක්ස්' ඒ අවට ජනයා අතර ජන­ප්‍රිය රෙදි­පිළි වෙළෙ­ඳ­ස­ලකි. බිම් මහලේ සහ පළමු මහලේ ඉඩ වෙළෙ­ඳ­ස­ලට වෙන් වෙද්දී දෙවන මහලේ වෙළෙ­ඳ­සල හිමි 63 හැවි­රිදි සිරි­පාල සහ බිරිය වාසය කළහ. ඔවුන්ගේ දූ දරුවෝ විවාහ වී වෙනත් පළා­ත්වල වාසය කරති.

සිරි­පාල රෙදි­පිළි ව්‍යාපා­ර­යට අම­ත­රව කලෙක සිටම මැණික් ගල් එකතු කර­මින් පසු ගෙවීමේ ක්‍රම­යට මැණික් ගල් විකු­ණන ව්‍යාපා­ර­ය­කද නිර­තව සිටි­යේය. පසු­ගිය 27 වැනි දා රාත්‍රියේ යුවළ නිවෙසේ නොසි­ටියේ හිත­ව­ත­කුගේ මළ­ගෙ­ද­ර­කට සහ­භාගි වීමට ගිය හෙයිනි.

සුපු­රුදු පරිදි වෙළෙ­ඳ­සල 28 වැනිදා විවෘත කිරී­මට සූදා­නම් වූ සිරි­පාල පළමු මහලේ සේප්පුව අස­ලට ගියේ දෛනික ගනු­දෙනු සඳහා අවැසි මුදල් ලබා­ගැ­නී­ම­ටය. එහෙත් දුටු දසු­නෙන් උන්හිටි තැන් අම­ත­කව ගිය සිරි­පාල විලාප දුන්නේය.

රත්නපුර පොලිස් අධි­කාරි සුදත් මාසිංහ

“සේප්පුව හොරු කඩලා“ යනු­වෙනි.

ලක්ෂ ගණ­නක මුදල්, එකතු කරන ලද මැණික් ගල් සහ දූද­රු­වන්ගේ රත්රන් බඩුද තිබුණේ සේප්පු­වේය. සොරෙකු පැමිණි ආකා­රය පිළි­බඳ කිසිදු හෝඩු­වා­වක් සිරි­පා­ලට දක්නට නොවිණි. ඒ වන විට වෙලාව පෙර­වරු 10.30 පමණ විය. ඔහු සැණින් දිව ගියේ පැල්ම­ඬුල්ල පොලි­සි­ය­ටය. සිදු වී තිබූ අක­ර­තැ­බ්බය ගැන සියලු තතු හෙතෙම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සෙන­රත් බණ්ඩා­රට කීවේය.

ඒ අනුව කෝටි තුනක පමණ මුදල්, මැණික් ගල් සහ ස්වර්ණා­භ­රණ තොග­යක් සොරා­ගෙන ඇති බවට පැමි­ණිල්ලේ සට­හන් විණි.

ලැබුණු පැමි­ණිල්ල ගැන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් රත්න­පුර කොට්ඨාස බාර පොලිස් අධි­කාරි සුදත් මාසිං­හව දැනු­වත් කළේය. පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ ඍජු අධී­ක්ෂ­ණය මත පැල්ම­ඬුල්ල පොලි­සිය පරී­ක්ෂණ ආරම්භ කළේය.

සේප්පුව පිහිටා තිබුණේ පළමු මහලේ පිටු­ප­සට වන්නට තිබෙන කාම­ර­ය­කය. එම සේප්පුව යතු­රෙන් පම­ණක් නොව ඉල­ක්කම්ද නිසි පරිදි ගළපා කර­කැ­වී­මෙන් පම­ණක් විවෘත වන මනා ආර­ක්ෂිත සේප්පු­වකි. එහෙත් සේප්පුව තිබූ කාම­ර­යට දොර­ගුළු දමා ඇත්තේ සාමාන්‍ය සොයි­බ­ය­කින් පම­ණක් බව පොලි­සි­යට දිස්විණි.

එසේ නිල­ධා­රින්ට දක්නට ලැබුණේ ඉල­ක්කම්ද නිසි පරිදි ගළපා සේප්පුව විවර කොට සිරි­පාල කියූ කෝටි ගණ­නක මැණික් හා ස්වර්ණා­භ­රණ සමඟ මුදල් රැගෙන සේප්පුවේ යතුරු දෙකද අසල කුඩා මේස ලාච්චු­ව­කට දමා ගොස් ඇති බවයි.

අසල ටයිල් පොළොවේ යම් මඩ පැල්ල­මක්ද දක්නට ලැබිණි. එහෙත් සොරෙකු මඩ සමඟ පැමි­ණියේ නම් අවට බිත්ති­වල හෝ අනි­වා­ර්ය­යෙන්ම මඩ ගෑවි තිබිය යුතු බව පොලි­සියේ මතය විය. එසේම සීසී­ටීවී කැමරා තිබු­ණද කිසිදු කැම­රා­ව­කට සොරෙකු පැමිණි දසු­නක් හසු වී නොති­බිණි. ඇඟිලි සල­කුණු පරීක්ෂා කළද කිසිම සල­කු­ණක් නොවිණි.

පරී­ක්ෂ­ණ­ව­ලින් අන­තු­රුව සිදු වී ඇති සොර­කම ගැන දිගින් දිග­ටම හිමි­කරු වූ සිරි­පා­ල­ගෙන් ප්‍රශ්න කර­න්නට විය. ඒ අතරේ රත්න­පුර දිසාවේ අති­දක්ෂ පොලිස් නිල සුන­ඛ­යෙකු වන 'බැටී'ද පරී­ක්ෂ­ණ­ව­ලට එක් වූයේය. බැටීට සේප්පු යතුර ඉව කර­න්නට දුන් විට සුන­ඛයා ගොස් නැව­තුණේ සිරි­පාල මුද­ලාලි අස­ලය. ඒ අනුව සිදු වන්නෙ කුමක්ද යන්න පොලිස් නිල­ධා­රින්ට උභ­තෝ­කෝ­ටි­ක­යක් විය.

මේ අතර සිරි­පා­ලද අත­මා­රු­වට මැණික් ගල් ගෙන විකු­ණන බව­ටත් තොර­තුරු හෙළි විණි. සේප්පුවේ ඉල­ක්කම්ද 'තිත'ටම ගළපා විවෘත කර තිබී­මත්, එත­රම් විශාල ධන­ස්ක­න්ධ­යක් තිබූ කාම­රයේ දොරට සාමාන්‍ය සොයිබ ලොක් එකක් සවි කර තිබී­මත් යන කාරණා මත සොර­කම සිරි­පාල විසින්ම රචනා කළ 'පිට­පත'ක් ද යන්න පොලි­සිය සැක කළේය.

එසේ සැකය තමා වෙත යොමු වෙද්දී සිරි­පාල මෙවැනි කතා­වක් කීවේය.

“ සර්... ඉස්සෙල්ලා දවසේ මම සේප්පුවේ ඉල­ක්කම් ගළ­පලා අරින්න හැදුවා... පස්සෙ යතුර දැම්මා... ඒත් ඇර­ගන්න බැරි වුණා. අන්ති­මට යතුර මේස ලාච්චුවේ දාලා මම වෙන වැඩ­කට ගියා... පස්සෙ ඒක මට අම­තක වුණා.“

පොලි­සියේ සැකය කෙත­රම් සිරි­පාල දෙසට එල්ල වූවත් පොලිස් අධි­කාරි සුදත් මාසිංහ පැල්ම­ඬුල්ල පොලිස් නිල­ධා­රින්ට උප­දෙස් දුන්නෙ තවත් පැති ඔස්සෙ විම­ර්ශන සිදු කරන ලෙසය. ඒ අතරේ පොලිස් අධි­කා­රි­ව­රයා රත්න­පුර අවට සිය­ලුම මැණික් වෙන්දේ­සි­ක­රු­වන් දැනු­වත් කළේ සිරි­පාල කියූ පරිදි හය­සී­ය­කට වැඩි මැණික් ගල් ප්‍රමා­ණ­යක සොර­ක­මක් සිදු වී ඇති බවත්, නැති වූ මැණි­ක්වල හැඩ­රුව ගැනත් පව­ස­මිනි.

සොර­කම වී සති­යක් යන්න­ටත් මත්තෙන් පොලිස් අධි­කා­රි­ව­ර­යාට රත්න­පුර නග­රයේ මැණික් වෙන්දේ­සි­ක­රු­ව­කු­ගෙන් කිසි­යම් තොර­තු­රක් ලැබිණි. ඒ සොර­කම් කෙරුණු හැඩ­රුව ඇති මැණික් ගලක් පිළි­බඳ ය. සිරි­පාල මුද­ලා­ලිගේ වාස­නා­වට මෙන්ම එම මැණික් ගල සිරි­පාල මුද­ලාලි මීට කලෙ­කට පෙර ලබා­ගෙන තිබු­ණේද එම වෙන්දේ­සි­ක­රු­ගෙ­න්මය.

ඒ අනුව ක්‍රියා­ත්මක වූ පොලි­සිය එම මැණික් ගල එදින වෙන්දේ­සි­යට රැගෙන ආ පුද්ග­ලයා සොයා­ගෙන ඔහු­ගෙන් ප්‍රශ්න කළේය. ඔහු එම ගල කෙනෙ­කු­ගෙන් මිල­දී­ගෙන තිබිණි. පොලිස් නිල­ධා­රින් එම පුද්ග­ල­යාද සොයා­ගි­යේය. ඔහු­ටද කෙනෙකු එම මැණික් ගල දුන් එකකි. එම පුද්ග­ලයා 48 හැවි­රිදි මොහො­මඩ් හනිෆා අබ්දුල් සත්කාර් නමැති ගුරු­ව­ර­යෙකි. ඔහු පිළි­බඳ තොර­තුරු හෙළි විය. සත්කාර් බළ­න්ගොඩ පදිංචි අයකු බවත් දෙමළ සහ ඉංග්‍රීසි ගුරු­ව­ර­යකු ලෙස බළ­න්ගොඩ අවට රජයේ පාස­ලක සේවය කරන බවත් අනා­ව­ර­ණය විය.

ඒ අනුව බළ­න්ගො­ඩට ගිය පැල්ම­ඬුල්ල පොලිස් නිල­ධා­රින් සැක­කාර ගුරු­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කළේය. පුද්ග­ලයා සම්බ­න්ධව සොයා බලද්දී සිරි­පාල මුද­ලා­ලි­ගෙන් සොර­කම් කරන ලද මැණික් ගල් 98ක් ඔහු සන්ත­කයේ තිබී හමු විය. පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. අන­තු­රුව හෙතෙම සිද්ධිය පිළි­බඳ පාපො­ච්චා­ර­ණ­යක් කළේය.

ඔහුගේ පාපො­ච්චා­රණ මත ඔහුත් සමඟ සොර­ක­මට සම්බන්ධ වූ ඔහු­ගේම පාසලේ ගණිත ගුරු­ව­රයා වූ 48 හැවි­රිදි කොට­වෙ­හෙ­ර­මං­කඩ, වේලි­ඔය අජිත් විජ­ය­වී­රද අත්අ­ඩං­ගු­වට පත් විය. සිරි­පා­ල­ගෙන් සොර­කම් කරන ලද මුදල්, ස්වර්ණා­භ­රණ සහ මැණික් ප්‍රමා­ණ­යක්ද ඔහු සන්ත­කයේ තිබී හමු විය. කොල්ල­යට එක් වූ අනෙක් කණ්ඩා­යම ගැන තොර­තුරු අනා­ව­ර­ණය විණි.

ඒ අය අතර හමු­දා­වෙන් පලා­ගිය දෙදෙ­නෙක්ද වූහ. එක් අයෙක් කිරි­ඳි­වැල විසූ 25 හැවි­රිදි සඳුන් චාමර නැමැ­ත්තෙකි. අනෙක් තැනැත්තා ලුණු­ග­ම්වෙ­හෙරේ පදිංචි 24 හැවි­රිදි ඩිලංග දිල්ෂාන් නැමැ­ත්තෙකි. ඩිලංග දිල්ෂාන් මේ වන විට ත්‍රීරෝද රථ රිය­දු­රෙකු සේ රැකි­යාව කළේය.

අප­රා­ධ­යට සම්බන්ධ සියලු පුද්ග­ලයෝ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. එසේම පස් වැනි සැක­ක­රුවා ලෙස ජංගම දුර­ක­තන අලෙ­වි­ස­ලක සේවය කළ හොරණ ප්‍රදේ­ශයේ අයෙකු වන 28 හැවි­රිදි ධනුෂ්ක කුමාර අත්අ­ඩං­ගු­වට පත් විය. පැල්ම­ඬුල්ල පොලිස් නිල­ධා­රීහු දැඩි කැප වීම­කින් රාජ­කාරි කළහ. කොල්ල­යට දායක කර­ගත් යතු­රු­පැ­දි­යක් සහ කොළ පැහැති ත්‍රිරෝද රථ­යක්ද පොලිස් බාර­යට ගැනිණි.

සිරි­පා­ල­ගෙන් සොරා­ගත් එක්කෝටි විසි­ල­ක්ෂ­යක් වටිනා මැණික් ගල් 604ක්, හත­ළි­ස්නව ලක්ෂ­යක් වටිනා රත්රන් පවුම් 62ක් සමඟ මුද­ලින් ලක්ෂ හතර­කට වැඩි ප්‍රමා­ණ­යක්ද පස්දෙනා සන්ත­කයේ තිබී සොයා­ගැ­නී­මට හැකි විණි.

අත්අ­ඩං­ගු­වට පත් පස්දෙ­නාගේ පාපො­ච්චා­ර­ණ­යෙන් සිදු වී තිබුණේ කුමක්ද යන්න හෙළි විණි. ඔවුන් සැල­සුම් කරන්නේ දේදුනු ටෙක්ස් ආය­ත­නය කොල්ල­ක­න්න­ටය. සැක­ක­රු­වන් අතර සිටින හමු­දා­වෙන් පලා ගිය අයෙකු සති­ය­කට පමණ පෙරදී සිය පවුලේ සැවොම සමඟ දේදුනු ටෙක්ස් වෙත පැමිණ තිබිණි. පැමිණි අය ඇඳුම් ගන්නා අතරේ සැක­කරු නාන කාමර ඇතුළු සෑම තැනෙ­කම ඇවිද වෙළෙ­ඳ­සල් සේවි­කා­වන් සම­ඟද අල්ලාප-සල්ලා­පයේ යෙදී බොහෝ වේලා­වක් වෙළෙ­ඳ­සලේ ගත­කොට ඇඳුම් කීප­යක්ද මිල­ට­ගෙන නික්ම ගොස් තිබිණි.

එදින වෙළෙ­ඳ­සලේ සිදුකළ සෝදි­සි­යෙන් දුටු දසුන් අනුව බිම් මහලේ යකඩ දොර­වල් තිබූ හෙයින් කොල්ල­යට එක්වූ පිරිස තීන්දුකර තිබුණේ පළමු මහ­ලෙන් වෙළෙ­ඳ­ස­ලට ඇතුළු වීම­ටය. ඉහළ මහලේ වෙසෙන සිරි­පාල සහ බිරිය නිවෙ­සෙන් පිට වී යන දින­යක් එන තුරු ඔවුන් රැක­වල්ලා සිටි­යේය. පසු­ගිය 27 වැනි දා දෙදෙනා රාත්‍රියේ නිවෙ­සෙන් බැහැ­රව ගොස් තිබුණේ හිත­ව­ත­කුගේ මළ­ගෙ­ද­ර­ක­ටය. එය කොල්ල­ක­රු­වන්ට නියම පොටක් විණි.

කිසි­වෙකු නැති දේදුනු ටෙක්ස් වෙළෙ­ඳ­සල් ගොඩ­නැ­ගි­ල්ලට කිට්ටු වූ හමු­දා­වෙන් පලා­ගිය දෙදෙනා ජෙන­රේ­ටර් කාම­රයේ වහ­ල­යට නැඟ එකෙක් අනෙ­කාගේ කරට නැඟ පළමු මහ­ලට ගියහ.

සොරුන් පැමිණ තිබුණේ සේප්පුව කොල්ල­කෑමේ ඉල­ක්ක­යෙන් නොවේ. එහෙත් එදින සිරි­පා­ලගේ අත­පසු වීම­කින් රුපි­යල් කෝටි ගණ­නක් තැන්පත් කර තිබූ සේප්පුවේ ඉල­ක්කම්ද ගළපා සේප්පුව බාගෙට ඇර යතු­රද අසල මේස ලාච්චු­ව­කට දමා තිබිණි. කොල්ල­යට පැමිණි පිරි­සට එය බන්දේ­සි­යක දමා දුන් තෑග්ගක් බඳු විය.

දෙදෙ­නෙක් වෙළෙ­ඳ­ස­ලට ඇතුළු වූහ. අනෙක් තිදෙනා මඟ රැක­වල්ලා ඔත්තු බැලූහ. කොල්ල­ක­රුවෝ කල­බ­ල­ය­කින් තොරව සේප්පුව හැර එහි තිබූ සිය­ලුම වත්කම් රැගෙන යතුර තිබූ තැනම තිබෙ­න්නට හැර යන්නට ගියහ. පසු­ගිය හය වැනිදා වන විට කොල්ල­ක­රු­වන්ගේ, දේදුනු ටෙක්ස් කොල්ලයේ සියලු තතු හෙළි කර­ගැ­නී­මට පොලී­සිය සමත් වී හමා­රය.

සිරි­පාල පව­සන්නෙ පොලි­සිය ඉක්ම­නින්ම කොල්ල­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට නොගත්තේ නම් මිල­මු­දල් දේපළ කෝටි ගණ­නින් නැති වූවා­ටත් වඩා අව­මා­න­යක් සමා­ජ­යෙන් සහ ඥාති හිත­ව­තු­න්ගෙන් තමාට විඳි­න්නට සිදු වන බවය. ඒ සොර­කම සිරි­පා­ල­ගේම උගු­ලක් බවට මුලින් තිබූ සැකය නිසාය.

දකුණ,සබ­ර­ග­මුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රොෂාන් ප්‍රනාන්දු, රත්න­පුර දිසා බාර නියෝජ්‍ය පොලි­ස්පති පත්ම­සිරි මුණ­සිංහ, රත්න­පුර කොට්ඨාස බාර පොලිස් අධි­කාරි සුදත් මාසිංහ, සහ­කාර පොලිස් අධි­කාරි ටී.ඒ.එච්. නිශ්ශංක මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත පැල්ම­ඩුල්ල පොලිස් ස්ථානා­ධි­පති සෙන­රත් බණ්ඩාර ඇතුළු පිරි­සක් පරී­ක්ෂණ මෙහෙ­ය­වූහ.

 

ඡායා­රූප - තුෂාර හෙට්ටි­ආ­රච්චි

Comments