මරණය ලියූ ම්ලේච්ඡයෝ | Page 2 | සිළුමිණ

මරණය ලියූ ම්ලේච්ඡයෝ

අවුරුදු 74කට පෙර හිරෝෂිමා-නාගසාකි නගර මත

දිනය 1945 අගෝස්තු මස හය වැනි දා ය. කියෝටෝ නගරය හැරුණු කොට ජපානයේ ජනාකීර්ණම නගරය වන හිරෝෂිමාවට ඔබ්බෙන් වූ කඳුවැටියෙන් හිරු මුදුන් වී දෙහෝරාවක් පමණ ගත වී තිබිණි. නගරයේ වාසය කළ තුන් ලක්ෂ පනස් දහසක් පමණ වූ ජනයා යුහුසුලුව තමන්ගේ දෛනික කටයුතුවල නිරත වූයේ නැවුම් උදෑසනින් ලත් ප්‍රබෝධය ද භුක්ති විඳිමිනි. නගරයට ඉහළ අහස වලාකුළුවලින් තොර වූ අතර මඳ සුළඟක් ද හමා යමින් පැවැතිණි.

මේ වන විට ජපානයට කි. මී. 2400ක් එපිටින් පැසිපික් සාගරයේ පිහිටි මරියානා දූපත්හි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරෙන් උදෑසන 2.00 පමණ නික්මුණු “ඇනෝලා ගේ” නමැති B - 29 සුපර්පෝට්රස් වර්ගයේ නවීනතම ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක ගුවන්යානය පරිවාර යානා දෙකක ආරක්ෂාව යටතේ හිරෝෂිමා නගරය වෙත පියාසර කරමින් තිබිණි. එම ගුවන් ගමන විසින් ලෝකයේ යුද්ධ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතු කරනු ලබන බව ගුවන්යානය පැදවූ නියමු පෝල් ටිබෙට් හෝ ඔහුගේ සහායක ගුවන් නිලධරයන් එකොළොස් දෙනා හෝ දැන නොසිටියහ. ඉතාමත් සුපරීක්ෂාකාරී ලෙස යානයේ රඳවා තුබූ ලොව පළමු පරමාණුක බෝම්බය හිරෝෂිමා නගර මධ්‍යයට අඩි 30000කට වැඩි ඉහළ අහසේ දී මුදා හැර හැකි උපරිම වේගයෙන් අන්තරාකාරී කලාපයෙන් ඉවතට යානය පැදවීම පෝල් ටිබෙට් නියමුවාහට පවරා තුබූ රාජකාරිය විය. උදෑසන 7.45 පමණ වන විට එම ප්‍රහාරක යානා කණ්ඩායම හිරෝෂිමා නගරයට ආසන්න වෙමින් සිටියේ ය.

හිරෝෂිමා නගරයේ මධ්‍යයට යානය ළඟා වන විට පෝල් ටිබෙට්ගේ අත්ඔරලෝසුවේ උදෑසන 8.16 සටහන් වූයේ ය. ඔහුගේ කාර්යය මණ්ඩලයට ඔහු විසින් දෙනු ලැබූ අවසාන උපදෙස් කිහිපය වූයේ බෝම්බය පුපුරා යෑමේ දී ප්‍රබල කම්පනයක් ඇති විය හැකි බවත් ඊට බිය නොවී තමන්ගේ රාජකාරී ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙසත් ය. ඉනික්බිති ව “Here we go” යැයි පැවැසූ නියමුවා බෝම්බය රඳවා තුබූ කුටීරයේ දොර විවෘත කොට “ලිට්ල් මෑන්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ලොව පළමු පරමාණුක බෝම්බය හිරෝෂිමා නගරය මධ්‍යයට හෙළී ය. යානයෙන් මුක්ත වී තත්පර 43කට පසුව හිරෝෂිමා නගරයට අඩි 1900ක් පමණ ඉහළ අහසේ දී එම මාරාන්තික බෝම්බය පුපුරා ගියේ මුළු මිහිතලයම කම්පාකරවමිනි.

එක් මොහොතකින් හිරෝෂිමා මහා පුරවරය අළු දුහුවිලි ගොඩක් බවට පත් වූයේ ය. අඩි දහස් ගණනක් උසට බුර බුරා නැඟි දුම්රොටුවලින් හා ගන දූලි වලාකුළුවලින් මුළු නගරයම වැසී ගියේ ගන අන්ධකාරයක් ද උත්පාදනය කරවමිනි. බලගැන්වූ කොන්ක්‍රීට්වලින් සාදා තුබූ ගොඩනැගිලි කිහිපයක කණු ස්වල්ප ප්‍රමාණයක් හැර බෝම්බය පුපුරා ගිය ස්ථානයට වටේ වර්ග කිලෝමීටර් 1.6 ක භූමි ප්‍රදේශයේ වූ සියලු ජීවී අජීවී වස්තූන් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් තිබිණි. බෝම්බය පිපිරීමෙන් හටගත් මහා අග්නිජාලාව වර්ග කිලෝමීටර් එකොළහක භූමි ප්‍රදේශය පුරා ක්ෂණිකව ව්‍යාප්ත වූයේ දහස් ගණනක් දවා පුලුස්සා දමමිනි. වේදනාවේ විලාපය හිරෝෂිමා නගරය පුරා රැව් පිළිරැව් දුන්න ද විපතට පත්වූවන් බේරාගැනීමට හැකි ශරීර ශක්තියෙන් යුතු කිසිවෙකු ඒ නුවර ඒ මොහොතේ නොවූයේ ය. 65000 - 75000 ක් අතර නගරවාසීහු පිරිසක් ක්ෂණයකින් මිය ගොස් ගියෝය. ලක්ෂයකට වැඩි පිරිසක් දරුණු තුවාලවලට ලක් වී ආබාධිත වූහ. ගොඩනැගිලි කඩා වැටීමෙන් වැළලී ගිය නගරවැසියන්ගේ ප්‍රමාණය ගැන අදටත් නිශ්චිත අදහසක් නැත.

“ඇනෝලා ගේ” ගුවන් යානය පැදවූ පෝල් ටිබෙට් මහතා පසුව පැවැති සාකච්ඡාවක දී සඳහන් කොට ඇත්තේ බෝම්බය පුපුරා යන විට තමන්ගේ යානය හිරෝෂිමා නගරයට සැතපුම් 18ක් එපිටින් වූ බවත් තමන්ට දරාගැනීමට නොහැකි මට්ටමේ දැඩි උණුසුමක් දැනුණ බවත් ය. ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ හිරෝෂිමා නගරය මධ්‍යයෙන් හතු හැඩැති අති විශාල දුම් කඳක් ඉහළ අහසට එසවෙමින් තුබුණු අතර නගරය පුරා තැන තැන නැඟි ගිනිදලු මවා පෑවේ අඟුරු ආකාරයක් දැවෙන විලාශයක් බවය. දිවි ගලවාගත් හිරෝෂිමා වැසියකු පවසා තුබුණේ උදෑසන දුටු ප්‍රතාපවත් හිරෝෂිමා නගරය හොරුන් රැගෙන ගිය බවක් තමන්ට දැනුණ බව ය.

ලොව පුපුරා ගිය පළමු වන පරමාණුක බෝම්බය නිසා හිරෝෂිමා නගරයේ තුබූ 45000ක් පමණ වූ ස්ථිර ගොඩනැගිලි සම්පූර්ණයෙන් ම බිමට සමතලාව ගියේ ය. තවත් ගොඩනැගිලි 70000 ප්‍රමාණයක් බෙහෙවින් අබලන් වූයේ ය. එහෙත් බෑන් ඔෆ් හිරෝෂිමා ගොඩනැගිල්ලට සිදු වී තුබුණේ ඉතා සුළු හානියක් වීම විස්මය දනවන කරුණක් විය. හිරෝෂිමාවේ සේවය කළ වෛද්‍යවරුන් හා හෙදියන්ගෙන් 90%ක් බෝම්බය පුපුරා යෑමෙන් මියගොස් තුබූ අතර, ආරෝග්‍යශාලා 45ක් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි. එනිසා දිවි ගලවාගත් අයගෙන් 75% පමණ පිරිසක් අප්‍රමාණ වේදනා විඳ දින කිහිපයක දී මිය ගියේ අවාසනාවන්ත ලෙස ය. ආධාරයට පැමිණි බොහෝ ස්වේච්ඡා සේවකයෝ ද විකිරණවලට ලක් වීම නිසා මිය ගියහ. බෝම්බය පුපුරා ගිය ස්ථානයට පහළින් වූ ජපන් යුදහමුදා කඳවුරේ රැඳී සිටි ජපන් අධිරාජ්‍ය යුද්ධ හමුදාවේ සාමාජිකයන්ගෙන් අති බහුතරය ද ජීවිතක්ෂයට පත් වූහ.

හිරෝෂිමාවට වූයේ කුමක් ද යන්න වටහාගැනීමට ජපාන රජයට නො පුළුවන් විය. එම නිසා විශේෂ හමුදා ගුවන් යානයකින් හමුදා නිලධරයෙකු හිරෝෂිමාව පිටත් කොට එවීමට එරට රජය පියවර ගත්තේ ය. ඔහුටත් වාර්තා කිරීමට හැකි වූයේ මුළු හිරෝෂිමා නගරයම ගන කළු දුමාරයකින් වැසී තිබෙන බව පමණි. හිරෝෂිමාව මතට තමන් පරමාණුක බෝම්බයක් පතිත කළ බව ඇමෙරිකාව ප්‍රකාශය කළේ බෝම්බය පුපුරා යෑමෙන් පැය 16කට පසුව ය.

පරමාණුක බෝම්බය හෙළුවේ ඇයි?

එතරම් විනාශකාරී පරමාණුක බෝම්බයක් හෙළීමට ඇමෙරිකාව තීරණය කළේ දෙවන ලෝක යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා ය. ජර්මනිය දෙවන ලෝක යුද්ධයේ පරාජය පිළිගෙන මිත්‍ර හමුදාවට යටත් වූ පසුව ද ජපානය ඇමෙරිකානු හමුදා සමඟ දිගින් දිගටම ගැටුණේය. ජපානය අඩපණ කිරීමට නම් ඇමෙරිකානු හමුදා එරට ආක්‍රමණය කළ යුතු බවත් එහි දී ඇමෙරිකානු භටයන් මිලියන ගණනක් මිය යා හැකි බවත් ඇමෙරිකානු යුද්ධ මණ්ඩලයේ අදහස විය. එම අවස්ථාවේ දී තමන් සංවර්ධනය කොට තුබූ පරමාණුක බෝම්බය ජපානය මතට හෙළීමෙන් අති විශාල විනාශයක් සිදු කොට ජපාන රජයට සාමය සඳහා ඉදිරිපත් වන මෙන් මහජනතාවගෙන්ම බලපෑමක් ඇති කරවීම වඩා ප්‍රායෝගික ක්‍රියාව බව යුද්ධ මණ්ඩලයේ අවසන් තීරණය විය. එම අදහස පිළිබඳ ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලය තුළ මුලදී යම් මතභේද පැවැතිය ද පසුව එකඟතාවකට පැමිණියේ ය. බෝම්බය හෙළීම සඳහා යෝග්‍ය නගරය තෝරාගැනීම ද භාරදූර කාර්යක් විය. බොහෝ ජපන් නගර පෙර ගුවන් ප්‍රහාරවලට ලක් වී විනාශ වී තිබීම නිසා එම බෝම්බයෙන් ජනනය වන විනාශකාරී බලය නිවැරදිව ගණනය කිරීමට නොපුළුවන් විය හැකි බව පරමාණුක බෝම්බය නිෂ්පාදනය කළ විශේෂඥ කණ්ඩායමේ අදහස විය

දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව පරමාණුක බෝම්බය පතිත කිරීමට යෝග්‍ය, පෙර ගුවන් ප්‍රහාරවලට ලක් නොවූ මහා ජපන් නගර පහක් 1945 මැයි මස අග වන විට හඳුනාගැනීමට ඇමෙරිකානු යුද්ධ මණ්ඩලය සමත් වූයේ ය. හිරෝෂිමා, කොකුරා, යොකොහාමා, නගීටා හා කියෝටෝ මෙම ඉලක්ක නගර වූයේ ය. එහෙත් පැරණි සම්භාව්‍ය රාජකීය නගරයක් වූ කියෝටෝව එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණේ යුද්ධ ලේකම් හෙන්ඩ්‍රි ස්ටිම්සන් මහතාගේ බලපෑම නිසා ය. නාගසාකි නගරය ඒ සඳහා විකල්පය ලෙස යෝජනා විය.

පළමු පරමාණුක බෝම්බය හෙළීමට තෝරාගත් සෑම නගරයක්ම අධික ජනගහනයෙන් යුක්ත වූ අතර නගර මධ්‍යයේ සිට සැතපුම් 3 පමණ ප්‍රදේශය පුරා ව්‍යාප්ත වූ එකිනෙකට ළඟින් ඉදි කොට තුබූ ගොඩනැගිලි රාශියකින් යුක්ත විය. වැදගත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ද ඒවායේ විය. ඒ සියල්ල අතරින් හිරෝෂිමාව පළමු පරමාණුක බෝම්බය හෙළීම සඳහා තෝරාගන්නේ එම නගරයේ වූ තවත් වැදගත්කම් කිහිපයක් ද සැලකිල්ලට ගැනීමෙන් පසුව ය. එනුවර වටා වූ කඳු පේළිය නිසා බෝම්බයේ බලයෙන් උපරිම විනාශයක් කිරීමට හැකියාවක් පවතී. ජපන් 5 වන යුද හමුදා මූලස්ථානය හා ප්‍රාදේශීය හමුදා මූලස්ථානය ද හිරෝෂිමාවේ පිහිටුවා තිබීම ද ඇමෙරිකානුවන් තම ප්‍රහාරයට එම නගරය තෝරාගැනීමේ දී අවධානයට ලක් විය.

1945.08.06 දින මේ සා විනාශයක් සිදු කළ පරමාණුක බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද ජපානය යුද්ධයෙන් ඉවත් වීමට අදහස් නොකළේ ය. ඇමෙරිකානු ගුවන් හමුදාවේ යානා මඟින් ජපානයට යටත් වන ලෙස බල කළ පත්‍රිකා ලක්ෂ 30ක් පමණ තෙදිනක් තුළ ප්‍රධාන ජපන් නගර මතට පතිත කළේ එරට ජනයා තුළ ක්ෂණික යුද විරෝධී මතයක් ගොඩනැඟීමේ පූර්ව අරමුණින් යුතුව ය.

එහෙත් ඇමෙරිකාව බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ජපානයෙන් නොලැබිණි.

ඒ නිසා ප්ලූටෝනියම් විකිරණශීලී මූලද්‍රව්‍ය උපයෝගී කොටගෙන නිපදවා තුබූ දෙවන පරමාණුක බෝම්බය ද ජපානයේ කොකුරා නගරයට අගෝස්තු 11 දින හෙළීමට ඇමෙරිකානු යුද්ධ මණ්ඩලය විසින් තීරණය කරන ලද්දේ ය. ඒ සඳහා මේජර් චාර්ලස් ස්වීනි විසින් පදවනු ලැබූ “බොක්ස්කාර්” නම් වූ අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඊ - 29 බෝම්බ ප්‍රහාරක යානාව යොදාගැනීමට බලධරයෝ පියවර ගත්හ. බෝම්බය හෙළීමට මුලින් යෝජිත දිනය වූ අගෝස්තු 11 දින, දින දෙකකින් ඉදිරියට ගැනීමට ආරක්ෂක මණ්ඩලයට සිදු වූයේ ජපානය අවට ප්‍රදේශයට අයහපත් කාලගුණ තත්ත්වයක් වර්ධනය වන බවට ඉදිරිපත් වූ වාර්තා නිසා ය.

“සෙන්ටර්බෝඩ්” අන්වර්ථ නාමයෙන් හැඳින්වූ දෙවන පරමාණුක බෝම්බය ජපානය මත පතිත කිරීමේ ක්‍රියාන්විතය ආරම්භයේ සිටම අර්බුද රාශියකට මුහුණ පෑවේ ය. ගුවන් යානයේ ඉන්ධන පොම්පයේ ඇති වූ ව්‍යාකූලතාවක් නිසා යානයේ ගුවන්ගත වීම තරමක් ප්‍රමාද වියය. තරබාරුමිනිසා “Fatman” නමින් හඳුන්වා තුබූ එම පරමාණුක බෝම්බය පළමුව හිරෝෂිමාවට හෙළූ බෝම්බයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වූයේ ය. එනිසා ගුවන්යානයේ වූ බොහෝ උපාංග ගලවා ඉවත් කිරීමට සිදු විය. අවසානයේ 1945.08.09 දින උදෑසන 3.47ට ප්ලූටෝනියම් විකිරණශීලී මූලද්‍රව්‍යය උපයෝගී කොටගෙන නිර්මාණය කළ දිගින් අඩි 11ක් ද වටප්‍රමාණයෙන් අඩි 5 ක් ද වූ දෙවන පරමාණුක බෝම්බය රැගත් B - 29 ගුවන්යානය මරියානා දූපත්වලින් අහසට ප්‍රවේශ වූයේ ය. උදෑසන 9.45 වන විට බොක්ස්කාර් B - 29 ගුවන්යානය කොකුරා නගරයට ළඟා වුව ද ආසන්නයේ වූ යවටා නගරයට පෙර දින එල්ල කළ බෝම්බ ප්‍රහාර නිසා හටගත් දුමෙන් එම නගරය වැසී තිබිණි. පැයකට ආසන්න කාලයක් කොකුරා නගරය වටා බොක්ස්කාර් B- 29 ගුවන්යානය සැරිසැරවූ ද බෝම්බය පතිත කළ යුතු වූ ඉලක්කය දර්ශනය කොට ගැනීමට නියමුවන්ට නොපුළුවන් විය. එනිසා තමන්ගේ දෙවන ඉලක්කය වූ නාගසාකි නගරය වෙතට පියාසර කිරීමට ක්‍රියාන්විතයේ ප්‍රධාන අණදෙන නිලධරයා පියවර ගත්තේ ය.

උදෑසන 11.50 වන විට නාගසාකි නගරය වෙත ළඟා වූ ප්‍රහාරක ගුවන්යානා කණ්ඩායමට ජය ගත යුතු වූ ප්‍රධාන අභියෝග දෙකක් විය. ඒ වන විට පැය අටකට ආසන්න කාලයක් ගුවනේ ගත කොට තුබූ යානයේ ඉන්ධන ඉතිරිව තුබුණේ ඉදිරි දෙපැයක කාලයක් සඳහා පමණ ය. නාගසාකි නගරයේ අහස ද තරමක් වලාකුළුවලින් වැසී තිබීම නිසා තම ඉලක්කය වූ මිට්සුබිෂි වානේ හා ආයුධ කර්මාන්ත ශාලා භූමිය සොයාගැනීම පහසු නොවී ය. ඒ නිසා බෝම්බය සයුරට පතිත කළ යුතුද යන මතය නියමුවාගේ සිතේ හොල්මන් කරන්නට විය. අවසානයේ ජපානයේ අවාසනාවටත් ඇමෙරිකාවේ වාසනාවටත් බොම්බකරුට ඉලක්කය දර්ශනය කොට ගත හැකි වූයේ ය.

අඩි 30000ක් ඉහළ අහසේ සිට “තරබාරු මිනිසා” නම් වූ දෙවන පරමාණුක බෝම්බය මුදා හරිද්දී වේලාව මධ්‍යහන පසු වී විනාඩි දෙකක් ගත වී තිබිණි. වේගයෙන් පොළොව මතට පතිත වෙමින් තුබූ එම බෝම්බය අඩි 1648 ඉහළ අහසේ දී පුපුරා ගියේ හෙණ හඩක් නඟමිනි.

Comments