හත් මසක් තිස්සේ පාස­ලක් නැතිව හූල්ලන පහේ හපන්නු | Page 2 | සිළුමිණ

හත් මසක් තිස්සේ පාස­ලක් නැතිව හූල්ලන පහේ හපන්නු

වත් ශිෂ්‍යත්ව විභා­ග­යක් අව­සන් වී ඇත. එකි­නෙකා පර­යන තර­ග­යක සිටි සිසු­නුත් මවු­පි­ය­නුත් දැන් නිවී සැන­සිල්ලේ හුස්ම ගනිති. දරු­වන් කෙසේ වෙතත් මවු­පි­යන් යළිත් කල­බල වන්නේ ප්‍රති­ඵල නිකුත් වීමට ආසන්න වීමත් සම­ඟය. ඉහළ ලකුණු ලබා ගත් දරු­වන්ගේ අම්මලා සතු­ටිනි. ඒ දරු­වන්ට හොඳ පාස­ලක් තෝරා­ගැ­නී­මට අප­හ­සු­වක් නැත.

එහෙත් සම­හර සිද්ධි පෙළ ගැසෙන්නේ වෙනස් විදි­හ­ටය. මේ අවු­රුද්දේ ශිෂ්‍යත්ව විභා­ගය හමා­රය. එහෙත් පසු­ගිය අවු­රුද්දේ හොඳම ලකු­ණක් සහි­තව ශිෂ්‍යත්ව විභා­ගය සමත් වූ අති දක්ෂ දරු­පැ­ටව් පිරි­සක් තව­මත් පාස­ලක් නැතිව අපේක්ෂා භංග­ත්ව­යට පත් වී සිටිති. පුරා මාස අටක් ඔවුන් පාසල් ගොස් නැත.

ශිෂ්‍යත්ව විභා­ගය අස­මත් වූ දරු­වෝත් මේ වන­විට තෝරා­ගත් පාස­ල්වල අධ්‍යා­ප­න­යේය. උසස් ලෙස සම­ත්වූවෝ පහ­සු­කම් සහිත පාස­ල්ව­ලය. සෑම දරු­වෙ­කු­ටම අධ්‍යා­පන අයි­තිය තහ­වුරු කර­මින් පාස­ලක් ලබා­දී­මට නීති­මය පද­න­මක් ඇති රටක පාසල් නොලද ශිෂ්‍ය­ත්වය සමත් දරු­වන් ගැන අස­න්නට ලැබෙයි.

රටේ නීති ප්‍රකා­ර­වත් බර­ප­තළ වර­දක් සිදු වී තිබේ.

“ඒක වෙන්න බැරි වැඩක්”

කෙනෙකු එසේ කියනු ඇත. එහෙත් වෙන්න බැරි කොතෙක් දේ මෙරට සිදු වී ඇද්ද? පාසල පිටු­පස ගෙදර සිටි ළම­යා­ටත් එම පාස­ලට ඇතු­ළත් වීමට අව­ස්ථා­වක් නොතිබූ අවස්ථා එම­ටය.

නැති බැරි ඇති හැකි කාගේත් දරු­වන් එකට පෙනී සිටින පළමු විභා­ගය පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයි. එයින් ඉහළ ලකුණු ලබන දරු­වන්ට ලැබෙන එකම දේ පහ­සු­කම් සහිත ජන­ප්‍රිය පාස­ල­කට යෑමේ වාස­නාව හා වර­මයි. ඈත එපිට හද්දා පිටි­සර ගමක පුංචි එකෙ­කුට නග­රයේ සුපිරි පාස­ල­කට ඇතු­ළත් වීමේ භාග්‍ය එම­ඟින් උදා වේ. කොහොම වුණත් ශිෂ්‍යත්ව විභා­ග­යෙන් උසස් ප්‍රති­ඵල ගත් තව­මත් ඉස්කෝ­ල­යක් නොලැ­බුණු දරු­වන්ගේ හැම කතා­ව­ක­ටම වඩා දුක්බ­රය. පහේ ශිෂ්‍යත්ව විභා­ගය ඉහ­ළින්ම සමත් වී පාස­ලක් නැති අස­රණ වී සිටින මේ නොද­රු­වන් සොයා­ගෙන ගියෙමු. අසා­ධා­ර­ණ­යට ලක් වූ දරු පිරිස හත් දෙනෙකි. ඔවුන් අධ්‍යා­ප­නය ලබන්නේ සබ­ර­ගමු පළා­තේය.

සබ­ර­ග­මුව පළාත අධ්‍යා­පන මට්ටම අතින් පළමු වැනි ස්ථාන­යට පත් වී ඇති බව සංඛ්‍යා­ලේ­ඛන පෙන්වා දෙයි. ජාතික මට්ටමේ විභා­ග­ය­කට පෙනී සිට 2018 වසරේ ජය­ගත් දරු­වන් හත් දෙනෙ­කුට තමන්ගේ ලකුණු මට්ට­මට අදාළ පාස­ලක් තව­මත් නොලැ­බීම පිළි­බඳ අනු­වේ­ද­නීය කතා­වක් ඇසෙන්නේ මේ අත­රය. ඔවුන් කුරු­විට අධ්‍යා­පන කලා­ප­යට අයත් ර/ පර­ක­ඩුව කනිෂ්ඨ විද්‍යා­ලය, ර/බෝධි­ම­ලුව විද්‍යා­ලය සහ ර/පොහො­ර­බාව විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබූවෝ වෙති. ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව විභා­ග­යෙන් ඔවුන් ලබා­ගත් ලකුණු මෙසේය. එච්. ජී.එන්. එස්.හත්නා­පි­ටිය (170) ජී.කේ.සසිදු අනු­හස් (173), එම්.ආර්.ඒ.යූ.පේමා­නන්ද (166) එන්.කේ.පියුමි ශෂි­කලා (168) බී.කේ.ඉසුරු නුවන් (172) ජී.ඩී.ඉදු­වර අනු­හස් (167) ඒ.ඒ.ජිලානි චමෝද්‍ය(173) .

එම දරු­වන් අත­රින් එක් දරු­වෙක් රත්න­පුර මැති­ව­රණ කොට්ඨා­සයේ පදං­චිව සිටී. අනෙක් දරුවෝ හය­දෙනා රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යට සහ කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යට මායිමේ ජීවත් වෙති. කෑගල්ල සහ රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ මායිම් වන්නේ මීටර් කීප­යක රේඛා­ව­කිනි. දිස්ත්‍රික් දෙකක් මායිමේ ජීවත් වන මේ දරු­වන් සියලු දෙනා පළමු වන ශ්‍රේණියේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටීම දක්වාම අධ්‍යා­ප­නය ලබා ඇත්තේ රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ පාස­ල්ව­ලය.

මේ දරු­වන් ශිෂ්‍යත්ව විභා­ගය සමත් වන්නේ රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙනි. දරු­වන් ශිෂ්‍යත්ව විභා­ගය සමත් ය. ඉහ­ළින්ම සමත්ය. නමුත් අව­සා­නයේ ජන­ප්‍රිය පාස­ලක් ඉල්ලුම් කළ විට ඊට ගැටලු රැසක් පැන නැඟී ඇත.

මේ වන විටත් මේ දරු­වන්ට නිය­මිත පාස­ලක් ලබා දී නැත. ශිෂ්‍ය­ත්වය සමත් දරු­වන් සඳහා ළඟම පාසල වන්නේ ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලය. එහෙත් බල­ධා­රින් පව­සන්නේ ඔවුන්ට එම පාස­ලට ඇතු­ළත් විය නොහැකි බවය. ඔවුන්ට අනුව එම දරු­වන් යා යුත්තේ කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ පාස­ල­ක­ටය. එහෙත් මේ වන තුරුත් ඔවුන් යා යුතු පාසල පිළි­බඳ කිසිම බල­ධා­රි­යෙකු දැනුම් දීමක් ද කර නැත. මේ දරු­වන්ගේ මවු­පි­යන් අස­රණ දුප්පත් මිනි­ස්සුය. ඔවුන් දරු­වන් වෙනු­වෙන් ඉල්ලා සිටින්නේ ළඟම ඇති හොඳම පාසල වූ ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලට ඇතුළු කර­ගන්නා ලෙසය.

බල­ධා­රීන් පව­සන්නේ දිස්ත්‍රික් මායිම් ගැට­ලු­වක් ඇති බවය. ඒ නිසා එම පාසල ලබා­දිය නොහැකි බවය. එහෙත් එම පාසල නැති නම් වෙනත් පාස­ලක් සඳහා විකල්ප ඉදි­රි­පත් වන්නේ ද නැත. අමා­නු­ෂික ගැට­ලුව එයය.

“මීට කලින් මෙහෙම ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. 2018 ඉඳලා මේ මායිම් ප්‍රශ්නය ආවා කියලා තමයි කියන්නේ. අපි කෑගල්ලේ ඉස්කෝ­ලෙ­කට දරු­වන් යවන්න නම් කිලෝ­මි­ටර් හත­ලි­හක් විතර යන්න ඕන. අපි සල්ලි­කාර මිනිස්සු නෙමෙයි. තව­මත් අපේ දරු­වන්ට වෙනත් පාස­ලක් නම් කර­ලත් නැහැ.” දැඩි දරි­ද්‍ර­තාව මැද එදා වේල සරි කර­ගන්නා එක් දරු­වෙ­කුගේ පියෙකු පව­සන්නේ තම දරු­වන්ට මුහුණ දෙන්නට සිදු වී ඇති ඛේද­වා­ච­කය ගැනය.

ශිෂ්‍ය­ත්වය සමත් මේ දරු­වන්ගේ යහළු යෙහෙ­ළියෝ මාස හතක් තිස්සේ තමන් කැමති පාස­ල්වල ඉගෙ­නුම ලබ­න්නෝය. ඔවුන් අලුත් පාසල් පරි­ස­ර­ය­ටද හුරු වී අව­සන්ය. එහෙත් මේ දරුවෝ හත්දෙනා දැන් වාර තුනක් තිස්සේ පාසල් අහිමි වී නිවෙ­ස්ව­ලට වී සිටිති.

අධ්‍යා­පන බල­ධා­රීන් කියන පරිදි ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලට ජාතික මට්ටමේ ලකුණු මත තෝරා­ගත් දරු­වන් හැරුණු විට ඉතිරි පිරිස ඇහැ­ලි­ය­ගොඩ මැති­ව­රණ බල ප්‍රදේ­ශයේ ශිෂ්‍යත්ව සම­තුන් අත­රින් තෝරා ගැනෙති. මාස හතක් ගත වී ඇතත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ජාතික පාසල් අංශය එම සිසුන් හත් දෙනාට මෙතෙක් කිසිදු පාස­ලක් ලබා නොදුන් කතාවේ සත්‍යය අසත්‍ය සොයා ගිය ගම­නේදි දරු­වන්ගේ මවු­පි­යන් පැවැ­සුවේ මෙවැනි කතාය. මේ දරු­වන් පදිංචි වී සිටින්නේ පහ­සු­කම් අඩු දුෂ්කර ගම්මා­න­ය­කය.

තම දරු­වාට සිදු වී ඇති අසා­ධා­ර­ණය පිළි­බඳ අද­හස් දක්වන එච්.ජී.වික්‍ර­ම­සිංහ (51) මෙසේ කියයි.

“මගේ පදිං­චිය පර­ක­ඩුව ගොඩ­ග­ම්පො­ළයි. මම ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ සේවය කර විශ්‍රාම ලබා ගත්තා. සේවා කාලය අවු­රුදු 24ක්. මගේ දරුවා පළමු වස­රට ඇතු­ළත් කරද්දී මම හිටියේ මුල­තිව්. ඒ නිසා මට කැමති ජන­ප්‍රිය පාස­ල­කට දරුවා ඇතු­ළත් කර­ගන්න බැරි වුණා. ක්‍රියා­න්විත හා පද­ක්කම් ලකුණු ඕන­ව­ටත් වැඩිය තිබි­ලත් රට වෙනු­වෙන් කැප වීම නිසා දරු­වාට අසා­ධා­ර­ණ­යක් කරන්න සිදු වුණා. අන්ති­මට මගේ දරුවා ශිෂ්‍යත්ව විභා­ග­යෙන් සමත් වෙලත් දරු­වාට පාස­ලක් නෑ.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ජාතික පාසල් අධ්‍ය­ක්ෂ­තු­මිය ළඟට අපි අට­පා­රක් ගියා. එතු­මිය කියන්නෙ දිස්ත්‍රික් මායිමේ ගැට­ලුව නිසා ළඟම තියෙන ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලට දරු­වන් ඇතු­ළත් කරන්න දෙන්න බැහැ කියලා. ඉස්සර මෙහෙම ප්‍රශ්න­යක් තිබුණෙ නෑ. මෙය 2018 ඉඳලා ගත්තු තීර­ණ­යක්ලු. අපි අපට වූ මේ අසා­ධා­ර­ණය ගැන පළාත් ආණ්ඩු­කා­ර­තු­මාට කිව්වා. ඒ වගේම ජනා­ධි­ප­ති­තු­මාට, අග­මැ­ති­තු­මාට, හා අධ්‍යා­පන ඇම­ති­තු­මාට දැනුම් දුන්නා. නමුත් අපට මේ වන තුරු කිසිම සාධා­ර­ණ­යක් වුණේ නැහැ.” වික්‍ර­ම­සිංහ පව­සන්නේ කන­ගා­ටු­වෙනි.

දරුවෝ දැන් මාස ගණ­නා­වක් තිස්සේ නිවෙ­ස්ව­ලය. තම දරු­වන්ගේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් වෙහෙස වූ මේ අම්මලා තාත්තලා දැන් දවස ගෙවන්නේ හැඬු කදු­ළෙනි.

ඇය එම්.ආර්.එස්.එම්.ප්‍රේමා­නන්ද (34)ය.

“මගේ දරු­වන් තුන්දෙ­නා­ගෙන් දෙන්නෙක් යන්නෙ පර­ක­ඩුව කනිෂ්ඨ විද්‍යා­ල­යට. අපි කුලී වැඩ කරලා දහ­දුක් විඳලා තමයි දරුවො මේ තත්ත්ව­යට ගත්තේ. මගේ ගෙදර ඉඳලා රත්න­පුර මායි­මට මීටර් පහ­ළො­වක් නෑ. මගේ දරුවා මේ පාස­ලේදී හොඳට ඉගෙ­න­ගත්තා. ඒ නිසා තමයි එයාට ශිෂ්‍යත්ව විභා­ගය හොඳින් සමත් වෙන්න ලැබුණේ. දැන් මාස ගාණක් තිස්සේ පාස­ලක් නැතිව දරුවා ගෙදර. දරුවා දැන් පාසල් යන්න බැහැ කිය­නවා. එයාගේ යාළුවෝ ඉස්කෝලේ යද්දි එයාට ගෙදර ඉන්න වුණ එක ගැන දරු­වාගේ හොඳ­ටම හිත රිදිලා ඉන්නේ. ”

දරු­වන්ගේ හෙට දව­සට කුමක් විය හැකි­දැයි කිය­න්නට නොදන්නා මේ අම්මලා දවස ගෙවන්නේ විස්සෝ­ප­යෙනි. ඇතැ­මුන් ජීවත් වන්නේ කුලී වැඩ කිරී­මෙනි. මේ එවන් මවක තම දරු­වාට විඳි­න්නට සිදු වුණු පීඩාව ගැන පව­සන අයු­රුය.

ඇය ප්‍රියන්ති විජේ­සිං­හය. හත­ළිස් හත්වැනි වියේ පසු වන්නීය.

“මමත් මගේ සැමි­යාත් කුලි­යට රබර් කිරි කපලා ජීවත් වෙන්නෙ. පාන්දර හතරෙ ඉඳලා දහ­දුක් විඳලා දරු­වන්ට උග­න්වලා ඉස්කෝ­ලෙ­කට දාගන්න රට වටේ යන්න වෙලා. හැමෝම මේ ප්‍රශ්නය මඟ හරි­නවා. මගේ නිවස ඉදි­රි­පිට ගෙදර ළමයා පාසල් යනවා බලා ඉඳලා මගේ දරුවා හූල්ල­නවා. මේ වෙද්දී ඉසු­රු­පායෙ නාම ලේඛ­න­යක් හදලා තියෙ­න­වාලු. ඒක තාම නැත්තේ ඇයි කියලා ඇහු­වම කියන්නෙ මිනි­ස්සුන්ගේ හදි­සි­යට ලියුම් අස්සන් කරන්න බෑ කියලා . ඒ අය කියන විදි­හට දැන් වැරැද්ද කරලා තියෙන්නෙ අපි. දරු­වන්ට උග­න්වන්න මහන්සි වෙච්චි එක. අතේ තඹ සත­ය­ක්වත් නැතුව ඇඟේ හයි­යට ළම­යින්ට උග­න්වන්න දුක් විඳපු අපිට වෙච්ච දේ.”

ශිෂ්‍යත්ව විභා­ගට පෙනී සිටින බොහෝ දරු­වන්ගේ බලා­පො­රො­ත්තුව නග­රයේ උසස් පාස­ල­කට යෑමය. නමුදු දරු­ව­න්ගේත් මවු­පි­ය­න්ගෙත් බලා­පො­රො­ත්තුව බිඳ වැටීම ගැන කන­ස්ස­ල්ලට පත් පියෙ­කුගේ කතා­වකි මේ.

ඔහු එන්.කේ.සිරි­සෝම ය.

“මගේ දරුවා ඉගෙ­න­ගත්තේ කොහොම හරි පහ­සු­කම් තියෙන හොඳ පාස­ල­කට යන්න තියෙන ආසාව නිසායි. මමත් කුලී වැඩ කරලා ගන්න සේස­තම විය­දම් කරන්නෙ දරු­වන්ගේ අනා­ග­තය හදන්න. අපේ දරු­වාට වඩා අඩු ලකුණු ගත්ත දරු­වන් දැන් ජාතික පාස­ල්වල. මගේ දරුවා රස්ති­යාදු කාර­යෙක් වෙන්න යනවා. සෙල්ල­මට වැටිලා. එයගේ මල්ලිට දැන් ශිෂ්‍යත්ව විභා­ග­යට සූදා­නම් වෙන්න කියලා මම කොහො­මද කියන්නෙ. අපට තේරෙන්නෙ නෑ දැන් මොන­වද කරන්න ඕන කියලා . ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාසලේ විදු­හ­ල්ප­ති­තු­මිය අපේ දරු­වන් ඒ පාස­ලට ගන්න කැම­තියි . නමුත් ඒ සඳහා ඉදි­රි­පත් වෙලා අපට සහ­න­යක් වෙන්න කෙනෙක් නැහැ“ ඔහු පව­සන්නේ වේද­නා­වෙනි.

මේ සිද්ධිය පිටු­පස කිසි­යම් පරි­පා­ල­න­මය ගැට­ලු­වක් වෙත් නම් ඊට කඩි­නම් විස­ඳුම් ලබා­දීමේ සදා­චා­රා­ත්මක අයි­ති­යක් අධ්‍යා­පන බල­ධා­රීන්ට තිබේ. සෑම සති­ය­කට වරක් බදාදා දින­වල අසා­ධා­ර­ණ­යට ලක් වූ දරු­වන්ගේ මවු­පියෝ ඇමැ­ති­ව­රුන්, අධ්‍යා­පන බල­ධා­රීන් හමු­වට යති. කිසි­වෙකු මේ වන තුරු ලබා­දුන් විස­ඳු­මක් නැත. තව­දු­ර­ටත් දරු­වන්ගේ පාසල් ගමන පිළි­බඳ විස­ඳු­මක් ලබා­දී­මට පමා වීමෙන් සිදු වන්නේ සබ­ර­ගමු පළාතේ පහේ හප­න්නුන්ට අත­හැර රස්ති­යාදු ගැසී­ම­ටද? නිවෙස් වලට වී සිටින මේ දරු­වන්ගේ උදා වන හෙට දව­සට වග­කි­යන්නේ කවුද?

Comments