තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන් 11000කට ඉඩප්‍රස්තා | සිළුමිණ

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන් 11000කට ඉඩප්‍රස්තා

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පසුගිය කාලයේ (2014 - 2018) සියයට 50 කින් වැඩිවී ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. එහෙන්ම මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ගේ අවශ්‍යතාව 11000 ක් බවද මෙහිදී ඇමතිවරයා සඳහන් කළේය.

මෙම අවශ්‍යතාවය පිළිබඳව රජය අවබෝධයෙන් සිටින බවත් ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේදී මැදිහත්වීමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මෙම අදහස් පැවසුවේ පසුගියදා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් 2019 වසරේ ජාතික IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ICT ක්ෂේත්‍රයට අදාළ රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු ම සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ බලය හිමි ආයතනයයි. ICTA ආයතනය රජයේ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ස්ථාපනය කරන ලද රජයේ හිමිකාරිත්වය සහිත ආයතනයකි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) ශ්‍රම බලකායේ වපසරිය සහ සංයුතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමත් එමගින් මෙරට ශ්‍රම බලකාය සහ පුහුණු වෘත්තිකයන්ගේ සැපයුම සංසන්දනය කිරීමත් මෙම සමීක්ෂණයේ මූලික අරමුණු විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ආයෝජන ආකර්ෂණය කර ගැනීම, විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට ආර්ථිකය නැංවීම සඳහා පුළුල් හැකියාවක් පවතී.

2022 වසර වන විට මෙරට ශ්‍රම බළකායේ 200,000 ක ඉලක්කය සපුරා ගැනීම මූලික අරමුණ කර ගනිමින් මෙම සමීක්ෂණය මෙවර සිදු කෙරුණේ පස්වන වරටය. සමස්තයක් ලෙස මෙරට ICT ශ්‍රම බලකායේ ශීඝ්‍ර වර්ධනයක් ද එම ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනයේ කැපී පෙනෙන වර්ධනයක් ද පවතින බව සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත. මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානත ම රාජ්‍ය ආයතනය වන ICTA ආයතනය, ICT ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම හරහා රජයේ ICT අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව නිර්මාණශීලි දැනුම් කේන්ද්‍රීය සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.

IT-BPM ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව මගින් මගින් ස්ත්‍රී/පුරුෂ නියෝජනයේ ප්‍රමිතිය, පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයන් පත් කෙරෙන බවට තහවුරු කිරීම සහ ICT ක්ෂේත්‍රය සවිබල ගැන්වීම යන අරමුණු ඉටුකර ගැනීම සඳහා දැවැන්ත වෙනසක් ඇති කරනු ඇති බව මාගේ විශ්වාසයයි. ඊට අමතරව, තිරසර ශ්‍රම බලකායක් ගොඩ නැගීමේදී මෙවැනි සමීක්ෂණ අත්‍යවශ්‍ය වනවාÓ යැයි අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව විදුලි සංදේශන, පරිගණක සහ තොරතුරු සේවා අපනයන ආදායම 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 995 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2018 වසරේ සමස්ත ආදායමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 848 ක් (85%) හිමිකර දී ඇත්තේ ICT සහ BPM සමාගම්ය. තවද ඇමරිකානු ඩොලර් මිලියන 147 ක් (15%) සඳහා විදුලි සංදේශන ක්ෂේත්‍රය දායකත්වයක් ලබා දී ඇත. ඒ අනුව, ICT ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් වන අතර Artificial Intelligence, Internet of things (IoT), Virtual reality (VR), Augmented reality (AR) වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද සමගින් තාක්ෂණය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය හැකියාව ද එය සතු වේ.

සමීක්ෂණ වාර්තාවට අනුව මෙම ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ සැපයුම අතර පරතරය පුළුල් වෙමින් පවතින බව පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් මත ICT ශ්‍රමිකයන්ගේ ප්‍රමිතිය, උපාධිධාරීන් නොවන ශ්‍රමිකයන්ගේ කුසලතා පුළුල් කිරීම සහ ICT අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හරහා ඉල්ලුම සහ සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සියලු පාර්ශ්වකරුවන් හට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

 

ඡායාරූපය-සමන්ත වීරසිරි

Comments