දවස් ගණන් නිදි නැතිව මත් වෙවී කරන දුරගමන් බස්වල රියැදුරුකම | සිළුමිණ

දවස් ගණන් නිදි නැතිව මත් වෙවී කරන දුරගමන් බස්වල රියැදුරුකම

රියැදුරුට 2000යි ගෝලයාට 1500යි

සින්දු දාන්නේ රසවිඳින්න

අපට තියෙන්නේ දෙවියන්ගේ පිහිටයි

දම් රැජින , කොළ රැජින, මේ ගෞතම බුද්ධ රාජ්‍යයි, උමයංගනා, පබසරා, ආදි නම් ගම් ඇති පෞද්ගලික බස් බොහෝය. ලංගමයේ ඇතැම් බස් රථවලට ද නම් පටබැඳි ඇත. කොබවක කොල්ලා, සුළං කුරුල්ලා ආදි නම් ඒ අතර වේ. කොහොම වුණත් මගීයාගේ ජීවිතය රැඳී ඇත්තේ රියැදුරා අතේය. රියැදුරා කායික මානසිකව යහපත් වූ තරමට මඟියා සුරක්ෂිතය. නමුදු ඔවුන්ගේ ජීවිතවල අප නොදකින පැත්තක් ද ඇත. මේ ඒ ජීවිතවලින් අංශු මාත්‍රයක් පමණි.

වළ යැයි කී විට ඔබගේ සිහියට නැඟෙනු ඇත්තේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් නාට්‍ය රඟදැක්වූ වළය. ලේක්හවුසියේ ඇතැම් අය වළ යැයි හඳුන්වන්නේ ඉඳහිට මධු විතකින් සප්පායම් වන්නට යන තැනකි. ඒ හැරුණ විට ලේක්හවුසියේ අපට පමණක් නොව කොළඹට නිතර පැමිණෙන අයද මේ කියන්නට යන වළ ගැන නොදන්නවා වන්නට බැරි නැත.

දිනපතාම පාහේ පුරුද්දට මෙන් රාජකාරිය අතරතුර ජනේලයෙන් ඈත බලමි. එවිට එක එල්ලේම පෙනෙන්නේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ අනෙක් පස ඇති වළයි. කලකට පෙර වළ වල් වැදී තිබිණි. දැන් එය එළි කර තිබේ. ජනේලයෙන් වළ දෙස බලන විට ඈතින් පෙනෙන්නේ ‍නෙළුම් කුලුනයි. අනෙක් පසින් අනාදිමත් කලක සිට නගර මධ්‍යයේ වැජඹෙන රීගල් සිනමා ශාලාවයි.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නොපෙන්වන, එහෙත් මධුවිතින්ද සප්පායම් වීමේ තැනක් නොවන මේ වළ දැන් කාර්යබහුල ස්ථානයකි. එය බස්, කාර් ඇතුළු වාහන නැවතුම් පොළකි.

අද වන විට වළේ දවස ගත කරන්නෝ බොහෝය. අපි මෙය වළ ලෙස හඳුන්වා දුන්නද එතැන හදුන්වන්නේ ලේක් ලෙෂර් ලෙසිනි. කොයි ලෙසින් කීවත් මේ කියන්නට යන්නේ වළ ගැන නොව වළේ දවස ගත කරන කිහිප දෙනෙකු ගැනය.

පසුගිය කාලයේ සිදු වූ මාරක බස් අනතුරු ගණන මෙතෙක් යැයි කිව නොහැකිය. පසුගිය දා ද කළුතර දී දරුණු බස් රථ අනතුරක් සිදු වූයේ ජීවිත මිනිස් ජීවිත ගණනක් අහිමි කරමිනි. මේ ලියන මොහොතේද රටේ කොයි කොනක වූව අනතුරක් සිදු නොවන්නේ යැයි කාට නම් කිව හැකි ද?

මීට දශක කිහිපයකට පෙර නම් අප රටේ කොයි කොනට යෑමට වුවත් පැමිණිය යුතු වුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළටයි. දැන් තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. රටේ ඕනැම බස් නැවතුම් පොළකින් දුර ගමන් සේවා බස් ආරම්භ වේ. මේ නිසා මඟී ජනතාවට ඇත්තේ පහසුවක් වුවද ඒ පහසුව සමඟම අවදානමකුත් නැතැයි කිව හැක්කේ කාට ද?.

“සුක්කානම කරකවන දෑතට දෙවි රැකවරණයි”

එය එසේ වුවත් ඇතැම් විට මේ කිසිවෙකුගේ පිහිට නැතිව යන්නටත් මහා ඛේදවාචකයක් බවට පත් වීමටත් ගතවන්නේ තත්පරයක්ටත් අඩු කාලයක් වන්නට ඇත.

“බස් රස්සාව කියන්නේ හුළං ගොඩක් උඩ යකඩ ගොඩක් අරන් යන රස්සාවක්. මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම තියෙන්නේ අපේ අතේ. ඒ නිසා හැම වේලාවෙම අපි ඉන්න ඕන බොහෝම අවධානයෙන්. දවසට නිදියන්නේ පැයයි දෙකයි. සමහර වේලාවට ඒකත් නැහැ. ඒ මදිවට පොලීසියෙන් බේරෙන්නත් ඕන. පොඩ්ඩ බැරිවෙන්න බෑ දඩ කොළ ලියනවා. සමහර වෙලාවට මිනිස්සුන්ගෙනුත් බැණුම් අහනවා. මේ රස්සාව කරන එක හිතන තරම් පහසු නෑ. බුලත් විටක් කාලා කහට ටිකක් බීලා නින්ද මඟහරවා ගන්නවා”

බස් රියැදුරෙකු පවසන්නේ වගකීමෙනි.

ඔහු එලෙස පැවැසුවත් වගකීම්වලින් තොර රියැදුරෝ අපට අනන්තවත් මහමඟදී හමුවෙති.

කෙටි දුර නොව දුර බස් සේවාවල රාජකාරිය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සොයන්නට අප කිහිප පොළකට ගියෙමු. පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ කාර්ය බහුලය.

“ඊයේ රෑ ආවේ. දැන් තමයි යන්න පිටත් වෙන්නේ කතා කරන්න වේලාවක් නෑ.” බුලත් විටක් යහමින් කටේ දමාගනිමින් රියැදුරෙකු අප මඟ හැර ගියේ එලෙස කියමිනි.

වේලාවක් තියෙන රියැදුරන් සොයා ගිය අප අවසානයේ වළට ගියෙමු. ඒ අප පෙර සඳහන් කළ ලේක්හවුසිය ඉදිරිපිට ඇති රථගාලයි.

පල්ලම බැස වළට ගිය තැනදි මුලින්ම හමු වුයේ සූරියවැව සිට පැමිණි බස් රථයකි. බස්රථය නතර කර තිබුණ ද එහි ඇන්ජීමේ හඬ ඝෝෂාකාරීය.

“එක පාරටම ඇන්ජිම නතර කරන්න බැහැ. අපි පාන්දර පහයි තිස්පහට ආවේ . මෙහෙට එද්දි දහයාමාර පහු වුණා. දැන් ටිකක් වෙලා මෙතැන ඉදලා, නාලා කාලා ඉවර වෙනකොට යන්න වෙලාව ළං වෙනවා. අපි මේ බස් එකේ සතියක් එක දිගට වැඩ කරලා නිවාඩු ගන්නවා. ඉන් පස්සේ වෙන රියැදුරෙක් කොන්දොස්තර කෙනෙක් තමයි වැඩ කරන්නේ. ” බස් රථයේ රියැදුරු චමි කියයි. කොන්දොස්තර ලෙස කටයුතු කරන්නේ චානකය.

අපි බස් එකේ සින්දුවක් දාන්නේ මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට. අපේ බස් එකේ එන අය කවදාවත් අපට දොස් කියලා නැහැ සිංදු හොඳ නැහැ කියලා. සමහරු බැහැලා යන්නේ මල්ලි මරු සින්දු ටික කියලා පිටට තට්ටුවකුත් දාලා. රියැදුරු මහත්තයාට දවසට රුපියල් 2000ක් පඩිය විදිහට ලැබෙනවා මට 1500ක් ලැබෙනවා.”

තරුණයා පවසන්නේ හිනැහෙමිනි.

කිලෝමීටර් ගණන් දුර ගෙවා එන මේ රස්සාව සැපක් නැති රස්සවකැයි කිහිප දෙනෙකුම පැවැසුවේ කනගාටුවෙනි.

“සමහරු ඉන්නවා කල්ලි ගැහිලා සුරුට්ටුව ගහලා, අරක්කු බීලා ඉන්න අය. ඒ ගොල්ලෝ බස් එක පාර්ක් කරලා බොනවා. හැන්දැවට නාලා ඇඳුම් මාරුකරගෙන බස් එක අරගෙන යනවා. ඒත් අර මත්ගතිය පහවෙලා නැහැනේ. මේ මිනිස්සුන්ට නින්දත් අඩුයි. ඉතින් නිදිමරගාතේ යන අයගෙන් කොහොම ද මාර්ග නිතී කඩ නොකිරීම් බලාපොරොත්තු වන්නේ. මඟීන්ට කාරුණික සේවයක් ලබාදෙන්නේ කොහොමද. සමහර බස් කොන්දොස්තරුන් රියැදුරන් මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.

දුර ගමන් සේවා බස් ගැන සොයන්නට යන අතරමඟදි හමු වූ මිත්‍රයකු පැවැසුවේ එලෙසිනි. අතොරක් නැතිව සිදු වන රිය අනතුරු ගැන තොරතුරු විමසා බලද්දි ඔහු කියන කතාවේ ද ඇත්තක් ඇතැයි සිතේ.

වළේ දවස ගත කරන බස් ගැන අසන්නට ඇති කතා විවිධය. නතර කර ඇති ඇතැම් බස් රථයකට කර පොවා බැලිමි. රියැදුරු බස් රථයේ ආසනයක දිගාවී දිගු නින්දකය. කොන්දොස්තර තවත් තැනෙකය. තවත් තැනෙක බස් රථයක රෝදයක් මාරු කරන කිහිප දෙනෙකි.

“පොඩි අවුලක් . රෝදේ මාරු කරනවා. මේ ළඟපාතෙන් බාස්උනැහේ කෙනෙක් එක්ක ආවා. ආයෙම හවස ගමන පටන් ගන්න ඕනෑ.” රියැදුරු බස් රථයෙන් හිස එළියට දමා පැවැසීය.

ගිනි ගහන අව්වේ සුළං පොදක් වැදෙන්නේ නැති බස් රථය ඇතුළේ ඔවුහු වරු ගණනක් ගෙවා දමති.

“ඉස්සර අපි මෙතැන නෙමෙයි බැස්ටියන් මාවතේ තැනක බස් ගැහුවේ. එතැන බිල්ඩිමක් හදන්න පටන් ගත්තා . ඊට පස්සේ තමයි මෙතැනට ආවේ. දවසට රුපියල් තුන්සිය පනහක් කුලිය ගෙවනවා. නාන්න වතුර ටික තියෙනවා. වැසිකිළියක් නම් තිබුණට අන්තිමයි. අපි නාන්නයි බොන්නයි දෙකටම වතුර ගන්නේ එකම තැනින්. මිනිස්සු බස්වල ගමන් ගියාට පොඩ්ඩ බැරිවෙන කොට අපට බණිනවා. අපිත් අනෙක් අය වගේම රස්සාව කරන්නේ දරුවන් රැකගන්න. මේක සැපක් ඇති රස්සාවක් නෙමෙයි.” නම ගම කියන්නට අකමැති ඡායාරුපයකටවත් පෙනී සිටින්නට අකමැති වූ අයෙක් පැවසීය .

පාන්දර කතරගමින් කොළඹ ආ බස්රථය මඟින් පිටකොටුවෙන් බස්සවා වළට පැමිණියේ විවේකයක් ගන්නටය.

“අපි අපේ බස් එක බොහෝම පිරිසුදුවට තියා ගන්නවා. කතරගම ඉඳලා එද්දි යද්දි මඟීන්ට තේ බොන්න අතරමඟ නතර කරන්නේ නැහැ. අපි වැඩ කරන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක. මඟීන් 53කට යන්න පුළුවන්. හිටගෙන යන්න අයව ගන්නේ නැහැ. කොළඹ ඇවිල්ලා ආයේ කතරගම ගියාම බස් එක හෝදන්න දානවා. හෝදන්න රුපියල් හයසීයක් ගන්නවා. ඒ හෝදන දෙන්නටත් අතට කීයක් හරි දෙනවා. ඉන්පස්සේ එතැන තියෙන කාමරේ ටිකක් නිදා ගන්නවා. ඒත් ඉතින් ගෙදර වගේ හොඳට නිදාගන්න බැහැ. අයෙම රස්සාවට යන්න ඕනනේ. ගෙදර ඉන්නකොට වගේ බඩ පිරෙන්න කන්නෙත් නැහැ. මොකද එතකොට නිදිමත හැදෙනවා. අපිට තියෙන්නේ දෙවියන්ගේ පිහිට තමයි.

පුළුවන් හැම වේලාවටම කතරගම දේවාලයට ගිහිල්ලා පූජා වට්ටියක් දෙනවා. යතුර දේවාලයට දීලා බාරය අලුත් කරනවා. මම නම් හැම වේලාවෙම හිතන්නේ මඟීන්ගේ ජීවිතවල වගකීම තියෙන්නේ අපේ අතේ කියලා. ඒ වුණත් සමහර වේලාවට තව බස් එකක් දැක්කාම ඉස්සර කරලා යන්නත් හිතෙනවා. ” චතුරංග ඇත්තම කියයි.

ඔහුගේ බස් රථයේ රියැදුරු අසුනට ඉදිරියෙන් ඇත්තේ බුදු පිළිමයකි. බුදු පිළිමය ඉදිරියේ සුදෝ සුදු මල්වට්ටියකි. එතැන සිට වීදුරුවෙන් එළිය බැලු විට පෙනෙන්නේ සෙවිලි සීට් කිහිපයකින් ආවරණය කළ වළේ එකම වැසිකිළිය හා නාන්නට ඇති ස්ථානයයි. එතැන් සරුවට වැඩුණු මුරුංගා ගසකි. ඒ මුරුංගා ගසේ පරව ගිය මල්මාල දෙහි මිරිස්කරල් එල්ලා ඇත.

“ඕවා බස්වල එල්ලපු ඒවා. පරණ වුණාට පස්සේ තැන් තැන්වල දාන්නේ නැතිව ගහ උඩින් දානවා.”

කතරගමින් ඇඹිලිපිටියෙන් පමණක් නොව දිවයිනේ නන්දෙසින් පැමිණෙන අය එකට හමු වන ස්ථානයක් බවට දැන් වළ පත්වී තිබේ. මාතලේ කොළඹ දුවන බස් රථයේ රියැදුරු වික්‍රමසිංහ හා කොන්දොස්තර හෙට්ටිආරච්චි අපට හමුවුයේ මේ අතරය දෙදෙනාටම බස් රස්සාවේ අමතක නොවන කතා දෙකක් ඇත. වික්‍රමසිංහ යනු මන්නාරම නුවර බස් රථයේ ආරම්භක රියැදුරුය.

“මම තමයි ඒ පාරේ මුලින්ම බස් එක අරගෙන ගියේ. යුද්ධ කාලෙත් මම මන්නාරමේ ගියා. ඒකාලේ කොටි ගහනවා. බෝම්බ පුපුරනවා. අතරමඟදි හමුදාවෙන් බස් එක නතර කරනවා. ආයෙම ටිකකින් යන්න දෙනවා. ඒ කාලේ දැන් වගේ ඒ පාරවල් හොඳත් නැහැ. දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ ඉඳලා මම මාතලේ කොළඹ දුවන්නේ. හැමදාම අපිත් එකක කොළඹ එන්න පුරුදු වුණ කොළඹ කන්තෝරුවල වැඩ කරන පිරිසක් ඉන්නවා.

මාතලෙන් උදේ 5.30.ට පිටත් වුණාම කොළඹට එනකොට උදේ දහය විතර වෙනවා. අපි අතරමඟ තේ බොන්නවත් නතර කරන්නේ නැහැ. හේතුව තමයි එහෙම නතර වුණාම කන්තෝරු එන අයට පරක්කු වෙන නිසා. මම රියැදුරු බලපත්‍රය ගත්තේ 1984. එත් ඒ කාලේ වගේ නෙමෙයි දැන් ඉන්න තරුණ ළමයි. කුණුහරුප කියනවා. කෑ ගහනවා. මේ රස්සාවේ ගෞරවයවත් රකින්නේ නැහැ

වික්‍රමසිංහ පවසන්නේ අද තරුණ බස් රියැදුරන්ගේ දුර්වලතාද සිහිපත් කරමිනි. බස් රථයේ කොන්දොස්තර හෙට්ටිආරච්චි 2008 පෙබරවාරි 2 දා දඹුල්ලේදී කොටි ප්‍රහාරයකට ලක් වුණු බස් රථයේ සිටි කොන්දොස්තරය.

“එදා රුවන්මැලි සෑයේ පවත්වන දාස්පෙතියා මල් පූජාවට යන සෙනඟ හිටියේ. බස් එක දඹුල්ල ස්ටෑන්ඩ් එකෙන් හරවනවාත් එක්කම තමයි බෝම්බය පිපිරුවේ. දහඅට දෙනෙක් එදා මැරුණා. මම හිටියේ බස් එකේ පසුපස දොරේ.

දැන් අපි මාතලේ කොළඹ බස් එකේ වැඩ කරන්නේ. අපි නම් බොහොම පරිස්සමට එන්නේ. මඟීන්ට කරුණාවෙන් කතා කරනවා. රණ්ඩු කරගෙන බස් රස්සාව කරන්න බැහැ. සතුටෙන් ඉන්නයි අපිට ඕනැ.

හෙට්ටිආරච්චිලා වැනි අත්දැකීම් ඇති කොන්දොස්තරවරුන් එසේ සිතුවද ඇතැමුන් එසේ සිතන්නේ නැ. ඇතැම් බස් රථවල රියැදුරාට අමතරව කොන්දොස්තරද රියැදුරු රස්සාව කරයි . පසුපසින් පැමිණෙන බස් රථ දෙස බලමින් තමන් යන බස්රථයේ වේගය වැඩි කරන්න යැයි කියමින් අනතුරුවලට පොලඹවන්නේද ඔවුන්මය. පසුගිය කාලය තුළ සිදු වූ අනතුරුවලට හේතුවක් වී ඇත්තේ රියැදුරු දින ගණනක් එක දිගට නිදිවර්ජිතව සිටීමය.

“දවස් දෙකෙන් දෙකට සතියෙන් සතිය රියැදුරු සහායක මාරු වෙනවා කිව්වට අපි මාසෙම වැඩ කරපු දවස් තියෙනවා. මහන්සිය වැඩියි. බුලත් විටක් දෙකක් කන්නේ එහෙම වෙලාවට. එහෙම වුණාට යාන්තම් ඇහැ පියවෙන තත්පරයත් ඇති අනතුරක් වෙන්න.”

මැදි වියේ රියැදුරෙකු පවසන්නේ සත්‍යයකි.

රෝද හතර උඩ යකඩ කඳන් මත රැගෙන යන මිනිසුන්ගේ ජීවිත භාර රියැදුරන්ටය. අද වන විට ඇතැම් ගමනාන්තයන් අවසන් වන විට ගොස් ඇති දුර කිලෝමීටර හයසියය ඉක්මවා ඇත. දැන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම ගමනාන්තයන් ඇත.

බස් රථයේ රියැදුරුට සහායකට පමණක් නොව බස් රථයට ද විවේකයක් අවශ්‍යය. ඇතැමෙකු යන්නන් වාලේ යනවා මිස බස් රථයේ තෙල් වතුර බලන්නේ ද නැත. ඒ සියලු නොසැලකිලිකම්වල අරියාදු විඳින්නට සිදු වන්නේ මඟියන්ටය.

“අපි දැන් තව ටිකකින් යනවා. ඩ්‍රැයිවර් අයියා නිදි. මම බස් එක පිරිසිදු කළා. බොන්න වතුර තමයි බෝතල්වල දාලා මේ අරගෙන යන්නේ. නාලා ඇඳුම් මාරු කරගෙන යනවා. මේ හරියේ කෑම කන්න තැනක් නැහැ. ස්ටෑන්ඩ් එකට ගියාට පස්සේ කඩේකින් කනවා.” අවුරදු හතරක් තිස්සේ බස් රස්සාවේ නියැළෙන තරුණයකු පැවැසුවේ ප්ලාස්ටික් බාල්දියක් පිරෙන්නට දැමු වතුර පිරවූ බෝතල් රැගෙන යන අතරේය.

අපි වළ ගැන කතා කළේ ඒ උදේ හවස පෙනෙන දකින තැන එතැන නිසාය. රට වටා ප්‍රවාහන සේවාව සපයන ලංගමයේ බස් හැරුණ විට ඇත්තේ පෞද්ගලික බස්ය.

ඒ පෞද්ගලික බස් ගාල්කිරීමට ස්ථිර තැන් නැත. හරි හමන් නින්දක් විවේකයක් නැති මේ මිනිසුන්ගේ සේවාව යහපත් කිරීමට නම් ඔවුන් පිළිබඳ වගකිව යුතු ආයතන මීට වඩා වගකීමක් දරන්නේ නම් වඩා හොඳය. එය රටේ අනතුරු අවම කර ගැනීමට ද බලපෑ හැකිය.

අදහස්