කේක් කෑල්ලේ රහ ගැන කේන් කතා කරයි | සිළුමිණ

කේක් කෑල්ලේ රහ ගැන කේන් කතා කරයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයේ පළමු දිනය වූයේ අගෝස්තු මස 08 වැනි දාය. මෙම තරගය පැවැත්වූයේ කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

එදින සවස සිසිල් පැන් පානය සඳහා තරගය කෙටි වේලාවකට නතර කර තිබිණි . එම අවස්ථාවේදී නවසීලන්ත නායක කේන් විලියම්සන් තරගය නැරඹීමට පැමිණ සිටිය ක්‍රිකට් ලෝලීන් පිරිසක් වෙතට දුවන්නට වූයේය. එම පිරිසෙන් බහුතරය තරුණයෝය.

එම පිරිස කේන්ට චොකලට් කේක් පිරිනැමීය. ඒ අතර සුබ උපන්දිනයක් යැයි පැතූහ. ඔහු කේක් කොටසක් රස වින්දේය. ඒ සමඟම ක්‍රිකට් ලෝලියකුටත් තවත් කොටසක් සිය අතින්ම කෑමට අවස්ථාවත් ලබා දුන්නේය. එපමණක් ද නොව ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූපත් ගත්තේය. කේන් සිය 29 වැනි උපන් දිනය සැමරුවේ එදිනය.

“මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වූයේ නැහැ. ඒ වගේම මෙවැනි දෙයක් කිසිවිටකත් අත්දැකලත් නැහැ. එය ඇත්තටම විශේෂ දෙයක්. සිසිල් පැන් විරාමයකදී කේක් කෑමත්. මේ තරගය නරඹන්න ඇවිත් හිටිය පිරිසක් ‘හැපි බර්ත්ඩේ’ ගායනා කරනවා මට ඇහුණා. ඉතින් ඒ නිසා මම ඔවුන් වෙතට ගියා. එය ලොකු දෙයක් වුණා. ඔබලාට ස්තූතිවන්ත වෙනවා. එය පුදුමයට පත් විය යුතු දෙයක්. ඒ වගේම එම කේක් ගෙඩිය කෑලි ගණනාවක් ලෙස කපලත් තිබුණා. මේ ක්‍රිකට් ලෝලීන් සමඟ සුළු වේලාවකට හෝ රැඳී සිටින්නටත් මට හැකි වුණා. ඔවුන් හරි හොඳයි”. කේන් පසුව පැවසීය.

“අපිට ඔහුට සුබ පතන්නත් ඕනෑ වුනා. ඒ නිසයි කේක් ගෙනාවේ. ඒ වගේම නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන ඔවුන්ට ස්තූති කිරීමටත් අපිට අවශ්‍යතාව තිබුණා. විශේෂයෙන්ම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා විදෙස් සංචාරකයන් තුළ අපේ රටට පැමිණීම ගැන යම් කිසි අවිනිශ්චිතභාවයක් තිබෙන්නට පුළුවන්. නමුත් නවසීලන්තය වැනි කණ්ඩායමක් පැමිණීම විශාල දෙයක් වෙනවා.” මෙම පුහුණු තරගය නැරඹූ ක්‍රිකට් ලෝලියෙක් පැවසුවේය.

මේ අතර එදින එනම් අගෝස්තු 08 වැනිදාම කේන්ට තවත් උපන් දින කේක් ගෙඩියක් ලැබිණි. ඒ නවසීලන්ත ක්‍රීඩකයින් වෙතිනි. එය ඔහු වෙතට පිරිනැමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලිංග් විසිනි.

වත්මනදී ක්‍රිකට් ලොව ජනප්‍රියතම නායකයා ලෙසටත් කේන් විලියම්සන්ව හැඳින්විය හැකිය. ඊ‍ට බලපෑවේ මෙවර එක්දින ලෝක කුසලාන අවසන් තරගයේදී ඔහු සිය කණ්ඩායම මෙහෙය වූ අයුරුත් අසාධාරණ ලෙස අනුශූරතාවයෙන් සෑහීමට පත් වන විට මහත්මා ආකාරයකින් හැසිරුණු නිසාය. මෙරටේදී ඔහුගේ ජනප්‍රියතාව තව තවත් වැඩි වීමට එයත් බලපෑවේය.

කේන් ක්‍රිකට් ලොව හොඳ හිත දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය නොවේ. 2014 වසරේදී පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග 05 කින් සමන්විත එක්දින තරගමාලාවක් පැවැත්විණි. එහිදී ඔහුට හිමි වූ සම්පූර්ණ තරගමාලා මුදලම හෙතෙම පරිත්‍යාග කළේය. ඒ එම වසරේම සිදු වූ පෙෂවාර් නුවර පාසලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකදී විපතට පත් වූවන් වෙනුවෙනි.

කේන් ස්ටුවර්ට් විලියම්සන් 1990 වසරේ අගෝස්තු මස 08 වැනි දා උපත ලැබීය. ඒ උතුරු දුපතේ පිහිටි ටවුරන්ගා නුවරදීය. නවසීලන්තය බිහි වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් උතුරු සහ දකුණු දූපත්වලිනි. කේන් අඩි 5 අඟල් 9 ක් උසැතිය.

ඔහුගේ මවුපියන් වන්නේ බ්‍රෙට් සහ සැන්ඩ්‍රාය. දූ දරුවන් 05 දෙනකුගෙන් සමන්විත පවුලක කේන් සිවුවැනියාය. ඔහුට වැඩිමහල් තිදෙනාම සොහොයුරියන්ය. ඔහුන් නමින් ඇනා, කයිලි සහ සෝෆිය. ඔහුගේ මල්ලී වන්නේ ලෝගන්ය. එසේ වුවත් කේන් සහ ලෝගන් නිවුන් සොහොයුරෝය. කේන් විනාඩි කිහිපයකින් වැඩිමහල්ය.

මෙම නිවුන් සොහොයුරන් ක්‍රීඩා කිහිපකින්ම දස්කම් දැක්වුවො‍්ය. ඊට ක්‍රිකට්, රග්බි, හොකී, පැසිපන්දු, වොලිබෝල් සහ පාපන්දු ක්‍රීඩාත් අයත්ය. කෙසේ වෙතත් ක්‍රීඩාවෙන් ඉදිරියටම ගියේ කේන්ය. විලියම්සන් පවුලේ ජාතික මට්ටමින් ක්‍රීඩා කරන්නේ කේන් පමණක්ම නොවේ. ඔහුගේ ඥාති සොහොයුරු ඩේන් ක්ලිවර් (උපත 1992 ජනවාරි 01) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

කේන්ගේ පෙම්වතිය වන සේරා රහීම් හෙදියකි. ඇය ඉංග්‍රීසි ජාතික තරුණියකි. කේන්ගේ ලග්නය සිංහය. සංගීතයට සවන්දීම, සංචාරය කිරීම, ගිටාර් වාදනය සහ ඉහුම් පිහුම් කටයුතු කිරීම ඔහුගේ වි‍නෝදාංශ වේ. ඔහුගේ ක්‍රිකට් වීරයා ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර්ය. ඔවුන් දෙදෙනාම එක් හේතුවක් නිසාම විශේෂිතය. එනම් ඔවුන් වමත ‍හුරු පුද්ගලයින් වීමයි. එසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදි පමණක් ඔවුහු දකුණතින් ක්‍රීඩා කරති.

 

 

Comments