මට විරුද්ධව නැගී සිටින පිරිසකුත් ඉන්නවා | සිළුමිණ

මට විරුද්ධව නැගී සිටින පිරිසකුත් ඉන්නවා

- අරුණ සම්පත්

16න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු

බොරැල්ල සර්පන්ටයින් පාරේ යුත් ක්‍රීඩා සමාජයෙන් මෙරට පාපන්දු ක්‍රීඩාවට පිවිසෙන අරුණ 19න් පහළ 23න් පහළ හා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ භාග්‍ය හිමිකරගත් පාපන්දු ක්‍රීඩක‍ෙයකි. ඔහු නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති සාග් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම දින ගත් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙස මෙරටට කීර්තියක් රැගෙන ඒමට සම්මාදම් විය. නමුත් ක්‍රීඩකයෙකුට වඩා පුහුණු කරුවෙකු ලෙස මේ වන විට කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින අරුණ 16න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එළ‍ෙඹන ඉන්දියානු සංචාරය වෙනුවෙන් තම වගකීම ඉෂ්ට සිද්ධ කරමින් සිටීයි. කේ. අරුණ සම්පත් නැමැති ඒ ක්‍රිඩකයා හා වත්මන් පුහුණු කරු සමග 16න් පහළ ජාතික කණ්ඩායමේ සුදානම හා අරුණගේ ඉදිරි දැක්ම සමග මොහොතක් දොඩමලු වුයේමි.

19 වැනිදා ඉන්දියාවේ සංචාරයේ නියැළෙන වයස අවුරුදු 16න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන ඔබේ සුදානම කොහොමඳ?

අද වන විට සිටින ළාබාලම පුහුණුකරු තමයි මම. මට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වගකීම බාරදෙන්නේ මගේ දක්ෂතාවන් දැකලා. නමුත් ප්‍රශ්න නැතුවා නෙමෙයි. පසුගිය වසර කිහිපය තුලදී මම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ පාපන්දු පුහුණු කරු ලෙස කටයුතු කරමින් සිටිනවා. පසුගිය තුන් වසරේදී ශාන්ත ජෝශප් විද්‍යාලය ජාතික පාසල් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වුණා. ඒ නිසා මා ගැන විශ්වාසය තියලා මට මේ අවස්ථාව ලබාදීමට පාපන්දු සම්මේලනය කටයුතු කළා. මගේ බලාපොරොත්තුව තමයි පාපන්දු ක්‍රීඩාවට යමක් කිරීම මා ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනවා.

පාපන්දු සම්මේලනය ජාතික පුහුණුකරුවෙකු ලෙස ඔබව තෝරා ගනිද්දී අනෙකුත් පුහුණු කරුවන්ගෙන් ඔබට ආශීර්වාදය හිමිවුණා ද?

මගේ ගැන පාපන්දු සම්මේලනයට විශ්වාසය තියෙනවා. පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුව තමයි මාව නිර්දේශ කරලා මට මේ අවස්ථාව ලබාදුන්නේ. පාපන්දු සම්මේලනයේ සභාපති උප සභාපති ඇතුළු කණ්ඩායම මා ගැන විශ්වාසය තියෙනවා. නමුත් ළාබාල පුහුණු කරුවෙකු ලෙස හා නවකයෙකු ලෙස මට මේ අවස්ථාව ලබාදුන් එකට විරුද්ධව නැගී සිටින පිරිසකුත් සිටිනවා. නමුත් මගේ දක්ෂතා මත තමයි මට මේ අවස්ථාව හිමිවුණේ. වැඩක් කරන පිරිසට වැඩිය කකුලෙන් අදින පිරිස වැඩියි. ඒ නිසා මම මගේ වැඩකොටස කැපවීමේන් කරගෙන යනවා. මගේ මුලිකම අරමුණ තමයි මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජයග්‍රහණයක් ලබා ගැනිම. මම ඒ වෙනුවෙන් මේ දින වල කැපවී‍ෙමන් කටයුතු කරමින් සිටින්නේ මාගේ ඉලක්කය සපුරා ගන්නයි.

16 න් පහළ කණ්ඩායම තෝරාගැනීමේදී කොපමණ ක්‍රීඩකයන් පිරිසක් ඔබට හිමිවුණාද?

පළමුවෙන් 518දෙනෙකු ගෙන් සමන් විත පිරිසක් මගේ පළමු පුහුණු සංචිතයට ඇතුළත් වුණා. දින කිහිපයක් පුද්ගලිකවම ඔවුන්ව අධ්‍යනය කරලා දක්ෂතාවයන් නිරීක්ෂණය කරලා 60 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත්තා. එම පිරිස සමග සති කිහිපයක් පුහුණුවීම් කර ඒ ඒ ක්‍රීඩකයාට ආවේණික වුණු ක්‍රීඩා කුසලතාවයන් ගැන අධ්‍යනය කර 37 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගැනීමට මට හැකි වුණා. දැන් මේ වන විට 30 දෙනෙකුගෙන් යුතු සංචිතයක් සමග මා පුහුණු වීම් වල නිරතව සිටිනවා. මේ පිරිසෙන් 20 දෙනෙකු අවසන් ජාතික සංචිතයට තෝරාගත යුතුව තිබේනවා.

මේ පිරිස තෝරාගැනීමේදී ඔබ යම් නිර්ණායකයක් අනුගමනය කළාද ?

මුලින්ම මට හිමිවු 518 දෙනා අතර විවිධ දක්ෂතා ඇති ක්‍රීඩකයන් සිටියා. ඇත්තෙන්ම ඒ ක්‍රීඩකයන් හැමෝටම පාපන්දු ක්‍රීඩාව ඉතා හොඳින් පිහිටලා තිබුණා. නමුත් උස ජවය හා ක්‍රීයාශීලී අංග ලක්ෂණ හා පාපන්දු ක්‍රීඩාවේ තාක්ෂණය ගැන වැඩි අවධානය යොමුකරමින් මම පළමු 60 දෙනා තෝරාගත්තා. පසුව ඔවුන් සමග පුහුණු වීම් හා කණ්ඩායම් තරග පවත්වමින් දක්ෂයන් අතර අති දක්ෂයන් 30 දෙනා තොරා ගත්තා. මේ මොහොත වන විට ඒ 30 දෙනාගෙන් 20 දෙනෙකුගෙන් යුතු ජාතික කණ්ඩායම තෝරාගැනීමේ උත්සාහයකයි මා නිරතව සිටින්නේ.

මේ පිරිස තෝරා ගැනීමේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ද තෝරා ගත්තේ ?

පළමු 518 දෙනාට මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 22 න්ම තරග කරුවන් සහභාගී වුණා. ඔවුන්ගෙන් තමයි පළමු 60 තෝරාගත්තේ. විශේෂයෙන් යාපනය, මන්නාරම, මහනුවර, කුරුණැගල, බදුල්ල, ත්‍රිකුණාමලය හා මාවනැල්ල යන ප්‍රදේශයන් නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් දක්ෂයන්. ඔවුන්ගේ ඇඟේ පාපන්දු ක්‍රිඩාව තියෙන පිරිසක්.

දැනට පුහුණුවිම්වල නිරතව සිටින 30 දෙනාගෙන් 20 දෙනෙකු තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ යම් කිසි මැදිහත් වීමක් සිදුවෙනවාද?

ඉන්දියානු සංචාරය වෙනුවෙන් සහභාගිවන 20 දෙනෙකුගෙන් සමන්විත 16න් පහළ ජාතික කණ්ඩායම තෝරාගැනීමේ පූර්ණ නිදස මට හිමිව ති‍ෙබනවා. සම්මේලනයේ කිසිදු මැදිහත් විමක් නෑ. වග කීම හා වග විම මා සතුයි. එම නිසා මට විශාල වගකීමක් තියෙනවා. මම ඉතාමත් වගකී‍ෙමන් දක්ෂයන් තෝරාගැනීමට සැලැසුම් කොට තිබෙනවා.

මේ ඉන්දිය සංචාරයට අමතරව?

මේ මස 19 වැනිදා පළමු සංචාරය ඉන්දියාවට යනවා. 31 වැනිදා ආපසු ලංකාවට ඒමට නියමිතයි. නැවතත් සැප්තැම්බර් මස 14වැනි දා ජෝර්දානය බලා පිටත්ව යැමට නියමිතව තිබෙනවා.

තරගාවලි දෙකේදී ක්‍රීඩකයන්ගේ යම් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනවාද?

ඉන්දියන් සංචාරයෙන් පසු දක්ෂතා අනුව සංචිතයේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් ආදේශ කිරීමට අදහසක් තිබෙනවා.

ඔබ අද 16න් පහළ ජාතික පුහුණු කරු, පුහුණු කරුවෙකු ලෙස ඔබ ඔපමට්ටම් වෙන්නේ කොතැනින්ද?

සරසවි ක්‍රීඩා සමාජය “ සී.“ කාණ්ඩයේ සිට ප්‍රිමියලීග් දක්වා රැගෙන ආවායින් පසු පාපන්දු ක්‍රීඩාව තුල මගේ නම රැදෙන්න ගත්තා. ඉන් පසු කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියෙන් පිටපිටම තුන් වසරක් ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමග පුහුණු කරුවෙකු ලෙස මට ස්ථාවර තැනක් හිමිවුණා. පළමු වරට පාපන්දු සම්මේලනය සංවිධානය කළ 20න් පහාළ පාපන්දු තරගාවලියෙන් ජයග්‍රහණය කළේත් අපි එදා සිට මගේ නම පුහුණු කරුවන් අතර රැදුනා.

ඔබ පුහුණුකරුවෙකු ලෙස විද්‍යානූකුල හැදැරීමක් කර තිබෙනවාද?

මම මේ වන විට පාපන්දු සම්මේලනය විසින් පවත්වන පුහුණු කරුවන්ගේ සි. හා බී. යන බලපත්‍රලාභී පුහුණු කරුවෙක්. මම ඒ හැදැරීම් අවසන් කරලයි තියෙන්නේ. ඉදිරීයේදී අනෙකුත් පුහුණු බලපත්‍ර ද සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව තුල පාපන්දු ක්‍රීඩාවට අනාගතයක් තියෙනවාද?

අනාගතයක් හැදිය යුතුයි. අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් අපට සිටිනවා. නමුත් ක්‍රම වේදයක් නෑ. මට ලැබුණු මේ අවස්ථාවේ දී තමයි මටත් දැකගත හැකි වුයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය. මීට මාස දෙකකට පෙර මට ලැබුණු ක්‍රීඩකයන් 518දෙනා දිහා බැලුවාම මට දැකගත හැකි වුණා පාපන්දු ක්‍රීඩාවේ අනාගතය. නමුත් මට ඒ සියලු දෙනා පුහුණු සංචිතයේ රදවාගැනීමට අවස්ථාවක් නෑ ඒ නිසා විදේශ සංචාරය ඉලක්ක කරගෙන 37දෙනෙකුගෙන් සමන් විත සංචිතයක් තෝරා ගන්න සිදුවුණා.

ඒ වගේම මට අද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විශාල වැඩකොටසක් බාරදීලා තියෙනවා. අනාගත පාපන්දු ක්‍රීඩාවේ අත්තිවාරම ගොඩනගන්න මම ඒ දේ කරනවා. 13න් පහළ හා 16න් පහල කණ්ඩායම් වලින් තමයි අනාගත පාපන්දු ක්‍රීඩකයන් නිර්මාණය කරගත යුත්තේ. නැතිනම් 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු වුණාම සමහරවිට පා පන්දුව හරියාකාරව පාලනය කරගත හැකි මට්ටමක නෑ. ඒ දේ නොවී අත්තිවාරම සවිමත්ව දැමිය යුතුයි.

ඔබට විශ්වාසයක් තියෙනවාද ඒ දේ කළ හැකිය කියා.

අනිවාර්යයෙන් ඒ දේ මම කරනවා. පාපන්දු සම්මේලනය මා කෙරේහි තිබූ විශ්වාසය මම ඉහළින්ම අගය කරනවා. පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය දක්වා රැගෙන යාමේ නිපුණතාවයක් පුහුණුවක් මම මගේ ක්‍රීඩකයන් හට ලබා දෙනවා.

මෙතෙක් මම ඔබ සමග කතා කළේ ඉන්දියානු සංචාරය හා 16න් පහළ ජාතික සංචිතය ගැන මම දැන ගැනිමට කැමතියි ඔබගේ පාපන්දු ගමන් මග ගැන

මම බොරැල්ල සර්පන්ටයින් පාරේ යුත් ක්‍රීඩා සමාජයට තමයි මුලින්ම ක්‍රීඩා කළේ. පසුව 19න් පහළ යොවුන් කණ්ඩායමට එක් විමේ වරම් හිමිවුණා. පසුව 23න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළා ඉන්පසු පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවද මට හිමිවුණා. පසුව මම ඉන්දියාව හා මාලදිවයින යන රටවල වෘත්තිය පාපන්දු ක්‍රිඩකයෙකු ලෙස ක්‍රීඩා කළා. පසුව මම පුහුණු කරුවෙකු ලෙස හැදැරීම් කළා. මම පළමු පුහුණුකරු ලෙස වැඩබාරගත්තේ කෝට්ටේ සරසවි ක්‍රීඩා සමාජයේ. මම සරසවි ක්‍රිඩා සමාජය බාරගන්නා විට පාපන්දු සම්මේලනයේ සංවිධානය කරන ‘සී.‘ කාණ්ඩයේ තරගාවලිය තමයි සරසවි ක්‍රීඩා සමාජය නියෝජනය කළේ. මම වසර දෙකකින් ප්‍රීමිය ලීග් පාපන්දු තරගාවලිය දක්වා සරසවි ක්‍රිඩා සමාජය රැගෙන ආවා. පසුව මම කලක් ක්‍රීඩා කළ මිගමුව යුත් කණ්ඩායමේ පුහුණු කරු ලෙස මට පත්විමක් ලැබුණා. මීගමු යුත් කණ්ඩායම පුහුණු කරු ලෙස සිටින විට තමයි මට උවමනා වුනේ මගේ ගම වන බොරැල්ලට යමක් කළ යුතුයි කියා. බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන නොමිලේ පාපන්දු ඇකඩමියක් ආරම්භ කළා. අද වන විට වසර 10ක් එය පවත්වාගෙන යනවා.

ඔබ වෘත්තිය මට්ටමෙන්ම පාපන්දු පුහුණුකරුවෙකු ලෙසද නිරතව සිටින්නේ.

දැනට මම වෘත්තිය මට්ටමින් පාපන්දු පුහුණුකරුවෙකු ලෙස නිරතව සිටිනවා. නමුත් මම කොළඹ මහා නගරසභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්ත මේන්තුවේ නිත්‍ය සේවකයෙක්. ක්‍රිඩා උපදේශකයෙක්. ලෙස සේවය කරනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?

මගේ බලාපොරොත්තුව තමයි කවදා හෝ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් විම. ඒ වගේම ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගැනීමට මාර්ගය විවරකර දීම මම ඒ දේ කරනවා. මා කෙරෙහි පාපන්දු සම්මේලනය විශ්වාසය තියෙනවා. ඒ නිසා තමයි මට 19 න් පහළ කණ්ඩායම නොදී 16න් පහල කණ්ඩායම බාර දුන්නේ. මට ලබා දුන් මේ අවස්ථාවෙන් උපරිමය රැගෙන ඒම තමයි මගේ බලාපොරොත්තුව. මගේ කණ්ඩායමත් ඒ දේ කරාවි කියා මට විශ්වාසයි. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම් වල නිරතව සිටිනවා. මේ මාස දෙකට විශාල ප්‍රගතියක් ඒ දරුවන්ගෙන්ද දැක ගත හැකියි.

මේ ගමන යන ඔබ පසුපසින් සිටින අය ගැන සදහන් කළොත්?

විශේෂයෙන්ම පාපන්දු සම්මේලනයේ සභාපති තුමා, උප සභාපති තුමා ඇතුළු වත්මන් පාලනාධිකාරිය මම ගෞරව කරනවා මා ගැන විශ්වාසය තියලා මට මේ අවස්ථාව ලබාදුන්නාට. ඔවුන් මට හැම විටම උදව් කරනවා. ඒ වගේම තාක්ෂණික කමිටුවද විශාල සහයෝගයක් ලබාදෙනවා.16 න් පහළ සංචිතයේ සිටන සියලුම ක්‍රීඩකයන් උදේ හවස පුහුණු වීම් වල නිරතව සිටින නිසා. ඔවුන්ගේ කැම බීම නිසි වෙලාවට ලැබෙන්න සලස්වනවා. ඒ වගේම මගේ කළමණාකරු, සහායක පුහුණුකරු නවා, රෝෂාන් හා දැල් රකින පුහුණුකරු සාදන් මට හොඳ ජවයක් ලබා දෙනවා.

Comments