ශ්‍රීල­නි­පය දිය­වෙලා නැහැ පොහො­ට්ටුව බිහි­වුණේ ශ්‍රීල­නිප අය­ගෙන් | සිළුමිණ

ශ්‍රීල­නි­පය දිය­වෙලා නැහැ පොහො­ට්ටුව බිහි­වුණේ ශ්‍රීල­නිප අය­ගෙන්

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දිය­වෙලා කියලා අද දේශ­පා­ලන වේදි­කා­වල කතා­බහ වෙනවා. ඇත්තක්ද?

අපේ රටේ දේශ­පා­ලන ඉති­හා­සයේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කියන පක්ෂය තරම් නාය­ක­යින් බිහි කළ වෙන පක්ෂ­යක් නැහැ. ඇත්තට ම නාය­ක­යින් බිහි ක‍ළේ ශක්ති­මත් අය. ඔවුන් මේ රටට වැඩ කළා. මේ රට සංව­ර්ධ­නය කරන්න, ආරක්ෂා කරන්න දිවි­හි­මි­යෙන් කට­යුතු කළා. කයි­වාරු ගහන පන්පෝරි ගහන අද දේශ­පා­ල­න­ඥ­යන් බොහො­ම­යක් මේ ගැන දන්නෙ­වත් නැහැ. චන්ද්‍රිකා මහ­ත්මිය, මහින්ද රාජ­පක්ෂ මහතා වර්ත­මා­නයේ මෛත්‍රි­පාල මහතා මේ තිදෙනා ම මේ රටට විශාල සේව­යක් සිදු කර ඇති අය. ඒ අය ශ්‍රීල­නිප නාය­කයෝ. ඒ අය පසු­ගිය වසර 14 පුරා ‍රටට නාය­ක­ත්වය දුන්නා. එක්සත් ජාතික පක්ෂයට අද ඔවුන්ට ඔවුන්ගේ පක්ෂ­යෙන් අපේ­ක්ෂ­ක­යෙක් ‍සොයා ගන්න බැරි වෙලා. අව­සන් ජනා­ධි­ප­ති­ව­රණ දෙකට ම ඔවුන් ඉදි­රි­පත් කළේ පොදු අපේ­ක්ෂ­ක­යන්.

දේශ­පා­ල­නය කියන්නේ දෝල­නය වන එකක්. ඒක ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියන එක අපට කියන්න බැහැ.

කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කිසි­සේත් දිය­වෙලා සේදිලා නැහැ. අව­සන් මැති­ව­ර­ණ­යේදි අපිට ලක්ෂ 17ක ඡන්ද පද­න­මක් තිබුණා. අද පොහො­ට්ටුව බිහි­වෙලා තිබෙ­න්නෙත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඔස්සේ ජන­තාව හඳු­නා­ගත් දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන්. මා එය නොබි­යව ප්‍රකාශ කරන්න කැම­තියි.

පොදු­ජන පෙර­මුණ සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අතර එක­ඟ­තාව හරි­යට බාල­ගිරි දෝෂය වගෙයි කියලා චෝදනා එල්ල වෙනවා. කව­දාද මේක එකතු වෙන්නේ?

ඇත්ත­ටම පක්ෂ දෙකක් හැටි­යට අප එක­තු­වෙලා ඉව­රයි. එකි­නෙකා අතර සාකච්ඡා ආරම්භ කර­මින් දිනෙන් දින ඒවා වර්ධ­නය වෙනවා. දෙපා­ර්ශ්වය ම ගෙන එන යෝජනා මෙන් ම ප්‍රති­පත්ති සම්බ­න්ධව දෙපා­ර්ශ්ව­යෙන් ම විවේ­චන මෙන් ම එක­ඟතා ඇති වෙනවා. මේ නිසා අප දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කර­ගෙන යනවා. අනික දේශ­පා­ල­නය තුළ ස්ථාව­ර­ය­කට පැමි­ණීම දින­කින් දෙක­කින් කරන්න පුළු­වන් දේවල් නොවෙයි. සම­හ­ර­විට වසර ගණන් ගත වන අවස්ථා අප දැක තිබෙ­නවා. පුද්ග­ල­යන් පිළි­බ­ඳව හිතල නොවෙයි අප තීන්දු තීරණ ගන්නේ. ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන්. මේ රටට යහ­පත් ගැළ­පෙන මෙන් ම වැඩ­දායි ප්‍රති­ප­ත්ති­ව­ලට ඕනෑම අව­ස්ථා­වක අපි සහ­යෝ­ගය ලබා දෙනවා. පක්ෂ­යක් හැටි­යට මෙන් ම පෞද්ග­ලි­ක­වත් අපි ඒක කරන්න පැකි­ලෙන්නේ නැහැ.

ඉදිරි මාස කිහි­පය ඇතු­ළත මේ සියල්ල සිදු­වේවි කියලා කියන්න පුළු­වන්. විශේ­ෂ­යෙන් ම යහ­පත් ආකා­ර­යට මේවා සිදු­වෙ­නවා කියන එක තමයි මගේ මතය. අනික ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව­කල් තිබෙ­නවා. ඒ වන විට පව­තින බොහෝ ගැටලු නිරා­ක­ර­ණය වී හොඳ දේශ­පා­ලන ගම­නක් යාමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හැටි­යට ඔබලා පොදු­ජන පෙර­මු­ණට ද එක්සත් ජාතික පක්ෂ­යට ද සහය දක්වන්නේ?

ඇත්ත­ටම අපි රටට යහ­පත් ප්‍රති­ප­ත්ති­යක් සුභ­දායි වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කරන ඕනෑම පක්ෂ­ය­කට සහය ලබා දෙන්න සූදා­නම්. නමුත් මේ වන විට පොදු ජන පෙර­මුණ සමඟ මේ සම්බ­න්ධව කට­යුතු කර­ගෙන යනවා. පොදු­ජන පෙර­මුණ ඉදි­රි­පත් කරන ප්‍රති­පත්ති අපට ගැල­පෙන ඒවා කියලා අපි හිත­නවා.

ඒ නිසා ඒ සම්බ­න්ධව අප එම පක්ෂය සමඟ ස්ථාව­ර­වීමේ වැඩි ඉඩ­ක­ඩක් තිබෙ­නවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යන් කිහි­ප­දෙ­න­කුම ප්‍රසිද්ධ වේදි­කාවේ ප්‍රකාශ කර සිටි­නවා මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­ර­යාම නැවත ඉදි­රි­පත් කර­නවා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­කයා ලෙස කියා. ඇයි මේ එකම පක්ෂයේ පිරිස මත දෙකක් දරන්නේ?

එක එක අයට තම පෞද්ග­ලික මත තිබෙන්න පුළු­වන්. ඒවා පක්ෂයේ මත නොවෙයි. අනික ‍ඕනෑම අව­ස්ථා­වක අවශ්‍ය ‍වුවහොත් අපට ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙකු ඉදි­රි­පත් කරන්න පුළු­වන්. අනික ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඒ සඳහා සුදුසු පක්ෂ­යක්. ජනා­ධි­ප­ති­ව­රුන් බිහි කළ පක්ෂ­යක්.

* අනික අප අනෙක් පක්ෂ­ව­ලට කිව­යුතු මතක් කළ යුතු කරු­ණක් තිබෙ­නවා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරන ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු දහ­ස­කට වඩා සිටි­නවා. ප්‍රාදේ­ශීය මෙන් ම පළාත් සභා ඇතුළු තවත් දේශ­පා­ලන ක්ෂේත්‍රයේ නොයෙක් තරා­ති­ර­ම්වල නියෝ­ජි­ත­යන් සිටින පක්ෂ­යක් අපි.

ඔබලා කුමන දේ කිව්වත් පොදු­ජන පෙර­මුණ මේ වන­විට ඔවුන්ගේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා නම් කරලා ඉව­රයි. ‍ඔබලා ‍ඔහුට සහ­යෝ­ගය දෙන­වාද? නැද්ද?

ඇත්ත­ටම අපි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අන­න්‍ය­තාව රකි­මින් අපගේ පක්ෂය ඉදි­රි­පත් කරන ප්‍රති­ප­ත්ති­ව­ලට මුල් තැන දෙමින් පොහො­ට්ටු­වට සහය දෙන­වාද නැද්ද යන්න පිළි­බ­ඳව මේ දින­වල සාකච්ඡා කර­නවා. ඉදි­රි­පත් කර ඇති අපේ­ක්ෂ­කයා නොවෙයි අපට වැද­ගත් වන්නේ ප්‍රති­ප­ත්ති­යයි. අපි කිසි­සේත් දැනට එ.ජා.ප ය සමඟ එකතු වෙන්න නම් අද­හ­සක් නැහැ.

ඔබලා ඇමැ­ති­කම් අත­හැ­රලා ආණ්ඩු­වෙන් ඉව­ත්වීම නිසා නැවත වතා­වක් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට බල­යට එන්න තිබූ අව­ස්ථා­වක් මග හරවා ගත්තා නොවෙයි කියලා හිතන්නේ නැද්ද?

කිසි­වි­ට­ක­වත් එහෙම වෙන්නේ නැහැ. මොකද අප එක­තු­වෙලා මේ ගමන යන්න උත්සාහ කළා. නමුත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිග­ටම අපගේ පොදු ප්‍රති­පත්ති කැඩුවා. රට විනා­ශ­වීම වළ­ක්වන්න තමයි අපි ඔවු­න්ගෙන් ඉවත් වුණේ. දේශ­පා­ල­න­යට වඩා රටට ආද­රය කරන පිරි­සක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ඉන්න බව රටේ ජන­තාව දැන­ගත යුතුයි. ඒ වගේ ම දැන ගත්තා කියලා අපට හිතෙ­නවා. ඒ නිසා ජන­තා­වට ජනතා බල­යට අප ගෞරව කළ යුතුයි‍.

දිගින් දිග­ටම මෙරට දේශ­පා­ලන බලය ඒ මේ අතට පනින දේශ­පා­ලන නාය­ක­යින් කිහි­ප­දෙ­නකු වටා ඇති වී ඔවුන්ට අවශ්‍ය දේ පම­ණක් සිදු වෙනවා කියන එක ජනතා මත­යක් බවට පත් වෙලා මේ තත්ත්වය වෙනස් කරන්න පුළු­වන්ද?

ඇත්ත­ටම ඒක හොඳ ප්‍රශ්න­යක්‍. මේ රටේ බුද්ධි­මත් ජන­තාව ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදී රිල­වුන් වැනි අර පැත්තට මේ පැත්තට පනින දේශ­පා­ල­න­ඥ­යන් පන්නා දම­න්නැයි මා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. ඉකුත් මාස කිහි­පය තුළදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සිට ඔය ආකා­ර­ය­ටම පැන්න පිරි­සක් මේ වන විට මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විනාශ කර­මින් සිටි­නවා. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අව­ශ්‍ය­තාව ඉටු කර­නවා කියන එක මගේ මත­යයි. ඒ නිසා ඔවුන්ව පන්නා දමන්න කියලා අපි පක්ෂ­යක් හැටි­යට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ කිහි­ප­යක්ම නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රි­වරු 225 සිටි­යදී ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා පිට­තින් පුද්ග­ල­යන් ගෙන ඒම ඉති­හා­සය පුරා­ව­ටම සිද්ධ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?

ඇත්ත­ටම අපේ රටේ දේශ­පා­ල­නය තුළ බර­ප­තළ අර්බු­ද­යක් තිබෙ­නවා. ඒක අපට පක්ෂ­යක් හැටි­යට පිළි­ග­න්නට සිද්ධ වෙනවා.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ දෙකේ­දීම එක්සත් ජාතික පක්ෂ­යට ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙකු හිටියේ නැහැ. ඔවුන් සරත් ෆොන්සේකා මහතා සහ මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඉදි­රි­පත් කළේ ඇත්ත­ටම ඒක ලොකු අර්බු­ද­යක් තමයි. මේක තමයි ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නය තුළ සිදු­වෙන අර්බු­ද­කාරි තත්ත්වය මේවා අධ්‍ය­ය­නය කරලා ඉදි­රි­යේදී වෙනස් කිරී­මට අප සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතුයි.

මහින්ද රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අර්බු­ද­යට ලක් වුණු බවට මත­යක් තිබෙ­නවා.

මහින්ද රාජ­පක්ෂ මහතා දෙව­තා­වක්ම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා ජය­ග්‍ර­හ­ණය කළා. එලෙ­සම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අග­මැ­ති­ව­ර­යකු හැටි­යට කට­යුතු කරා. විපක්ෂ නාය­කයා හැටි­යට කට­යුතු කළා. දීර්ඝ කාල­යක් පක්ෂයේ ප්‍රබල ක්‍රියා­කාරී නාය­ක­යෙක්. ඒ වගේම එතුමා පක්ෂ­යෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරපු ප්‍රබ­ල­යන් පිරි­සක් ඔහු සමඟ ගියා. ඒ නිසාම අද ඒ පක්ෂය ප්‍රබල වෙලා තිබෙ­නවා. අප යථා­ර්ථය තේරුම් ගත යුතුයි. මහින්ද රාජ­පක්ෂ මහතා දශ­ක­ය­කට වැඩි කාල­යක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ප්‍රබ­ලයා. ඔහුගේ නික්ම යාම පක්ෂ­යට ප්‍රබල ලෙස බල­පෑවා කියන එක අපි පිළි­ගන්න ඕන.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ ඔබලා ඉදි­රි­යේදී සාකච්ඡා කරන්න බලා­පො­රොත්තු වන ප්‍රධාන කරුණු මොන­වාද?

අප සකස් කර ගත්ත රට ඉදි­රි­යට ගෙන යන ප්‍රති­ප­ත්ති­ව­ලට එක­ඟ­තා­ව­යන් පිළි­බඳ සාකච්ඡා කර­නවා.අපි යෝජනා කර­නවා මේ මැති­ව­රණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. මනාප ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි. මන්ත්‍රී­වරු විකි­ණෙන වෙළඳ පොළක් වැනි වටි­නා­ක­මක් නොමැති වන පක්ෂ මාරු කරන මාරු වන අයට තීන්දු­වක් ගන්න බැරි දැනට පව­තින ක්‍රම­වේ­ද­යන් වෙනස් කළ යුතුයි කියන යෝජ­නාව අප සිදු කර­නවා. පවුල් පසු­බි­මින් පම­ණක් පාර්ලි­මේ­න්තු­වට එන්න තියන තත්ත්වය වෙනස් කළ යුතුයි.

මැති­ව­ර­ණ­ය­කදී ඡන්ද­ව­ලින් පරා­ජ­යට පත්වී ජාතික ලැයි­ස්තු­වෙන් නැවත පාර්ලි­මේ­න්තු­වට පැමි­ණෙන මන්ත්‍රී­ව­රුන් පිළි­බ­ඳව සාකච්ඡා කරන්නේ නැද්ද?

ඇත්ත­ටම මෙය ඉතා කන­ගා­ටු­දා­යක තත්ත්වය ඉදි­රි­යේදී මේ තත්ත්වය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් වේවි කියලා අප සිත­නවා. අප ඒ පිළි­බ­ඳව නව රජ­ය­කදී ක්‍රියා කර­නවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හැටි­යට ඔබගේ පක්ෂය වඩාත් කැමැ­ත්තක් දක්වන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය, පළාත් සභා මැති­ව­ර­ණය යන මැති­ව­රණ දෙකෙන් කුමක් ප්‍රථ­ම­යෙන් පව­ත්ව­න­වා­ටද?

ඇත්තට ම මේ දෙක ම එක සැර­යට පව­ත්වන්න හැකි නම් රුපි­යල් කෝටි ගණ­නක් ඉතිරි කර ගත හැකියි. මේ මුදල් ජන­තා­වගේ මුදල්. ‍‍

මැති­ව­රණ කල් දැමීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පයින් ගැසී­මක් හැටි­යට පෙන්වා දිය හැකියි. මේ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණය නිය­මිත දින­යට පැවැ­ත්වී­මට පිය­වර ගත යුතුයි. පළාත් සභාව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර පැවැ­ත්වීමේ හැකි­යාව පිළි­බ­ඳව ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා අධි­ක­ර­ණ­යෙන් විමසා තිබෙ­නවා. ඒ නීති­මය පිය­වර ගැන නිසි ආකා­ර­යට දැන ගත්තාම මම හිතන්නේ ඉතා ඉක්ම­නින් පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්විය හැකියි.‍

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ 68 වැනි පක්ෂ සම්මේ­ල­නය සැප්තැ­ම්බර් 03 වැනිදා කොළඹ සුග­ත­දාස ගෘහස්ත ක්‍රීඩාං­ග­ණ­යේදී පව­ත්වන බව ප්‍රකාශ කර තිබෙ­නවා. මෙහිදී විශේෂ යමක් සිදු වෙන­වාද?

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හැටි­යට වැද­ගත් තීන්දු තීරණ රැසක් මෙදින ප්‍රකා­ශ­යට පත් කිරී­මට පක්ෂය බලා­පො­රොත්තු වෙනවා. මෙදි­නට ඉතා සීමිත පිරි­සක් පම­ණක් අප කැඳ­වී­මට බලා­පො­රොත්තු වන්නේ. අප ගෙන ඇති තීන්දු තීරණ එදාට ප්‍රකාශ කරන එක හොඳයි කියලා මා හිත­නවා.

 

Comments