විවිධත්වයෙන් ගොඩනැඟෙන ඒකීයත්වය | සිළුමිණ

විවිධත්වයෙන් ගොඩනැඟෙන ඒකීයත්වය

‘මේ බලන්න පරේශ්බාබු, මම ඊයෙ රෑ දෙවියන්ගෙන් ඉල්ලුවා මට අද උදේ වන විට අලුත් ජීවිතයක් ලැබෙන්න කියලා. පොඩි කාලෙ ඉඳන් මෙච්චර දවස් මාව වසාගෙන හිටපු මිථ්‍යාවන්, අපිරිසිදුකම් සියල්ල ම ක්ෂය කරලා මට නව ජීවිතයක් දෙන්න කියලා මම ඉල්ලුවා. මං ඉල්ලපු දේවල් දෙවියන් කනකටවත් ගත්තේ නෑ. ඒ වෙනුවට දෙවියන් තමන්ගේ සත්‍යය මගේ දෑතට දීලා මාව තිගැස්සෙන්න සැලැස්සුවා. දෙවියන් මේ විදියට මගේ අපිරිසිදුකම් මුළුමනින් ම පිහිදලා දායි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. අද මං කොයිතරම් පිරිසිදු වෙලාද කියනව නම් රොඩී ගෙදරකට ගියත් මං අපවිත්‍ර වෙයි කියලා බය වෙන්න ඕන නෑ. පරේශ්බාබු, අද උදේ මං සම්පූර්ණයෙන් ම විවෘත හිතකින් භාරත වර්ෂය උකුළට වැටුණා.’

රමණීය මනුෂ්‍යත්වය තරම් නිර්මාණ ආ‍ලෝකවත් කරන වෙන යමක් නැත්තේ ය කියා සිතෙන්නේ භාරතීය සාහිත්‍යයට එබිකම් කරද්දී ය. “අසිරිමත් ඉන්දියාව” නමින් පැරණි ඉන්දීය ශිෂ්ටාචාරය හා ඉන්දීය ජීවිතය ගැන අවධාරණය කරමින් ඉංග්‍රීසි බසින් ‘THE WONDER THAT WAS INDIA’ නමින් විශාල ග්‍රන්ථයක් ලියූ ඒ.එල්. බෂාම් ඉන්දීය ඉතිහාසය රමණීය අයුරින් චිත්‍රණය කර තිබේ. ඉන්දීය ඉතිහාසයේ රමණීයත්වය ගැන යම් වැටහීමක් ලබා ගනු කැමැත්තෙක් වෙත් නම් මේ ග්‍රන්ථය සිංහලෙන් කියවා ගැනීමේ අවස්ථාව තිබේ. එය “අසිරිමත් ඉන්දියාව” නමින් සිංහලට නඟා ඇත්තේ පරිවර්තකයන් කිහිපපොළක් විසිනි. ඉංග්‍රීසි ග්‍රන්ථයේ 1 - 136 තෙක් සහ පිටු 488 සිට 515 තෙක් ගුණපාල සේනාධීර මහතා විසින් ද, පිටු 137 සිට 345 තෙක් ටී.බී.එම්. අබේසිංහ මහතා විසින් ද, පිටු 346 සිට 487 තෙක් ඩබ්.ඇම්.කේ. විජේතුංග මහතා විසින් ද සිංහලට නඟා තිබේ.

හැකි විටෙක කියවා ගනු මැනවි. ඒ කෘතියේ සෑම වචනයක් පාසා ම ඉන්දියාවේ විස්මය ගැබ් ව තිබේ. අවුරුදු පන්දහසකටත් වඩා පැරණි එහි මහා සාහිත්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පුදුමයකි. ඍග් වේද ගීතිකාවන්ගෙන් ඇරඹුණු මේ අර්ධ මහාද්වීපයේ සාහිත්‍ය, රාමායන මහා භාරතාදී අවධිය පසුකරගෙන විත් කාලිදාස, කබීර් ආදී මහ කිවිවරුන්ගෙන් ප්‍රභාවිත ව වර්තමාන යුගයට අවතීර්ණ වෙයි. ගද්‍ය, පද්‍ය, චම්පු ආදියෙන් සමලංකෘත වන එහි නව අවධිය පැරණි අවධිය තරම් ම විචිත්‍රාලංකාර ය. ඉන්දීය සාහිත්‍යයේ විචිත්‍රාලංකාරය මතු වන්නේ එය බහුභාෂිත සාහිත්‍යයක් වීම නිසා යැයි සිතේ. චීනය වැනි ලොව වැඩි ම ජනගහනය වෙසෙන විශාලම බිම් කඩෙහි වුවත් ඉස්මතු ව පෙනෙන්නේ චීන භාෂාවෙන් පමණක් ලියැවුණු එනම් ඒක භාෂික සාහිත්‍යයකි. ඉන්දියාවේ උර්දු, වංග, හින්දි ආදී ප්‍රධාන භාෂා වලට අමතරව ගුජරාති, මරාති, දමිළ, මලයාල, කන්නඩ වැනි උප භාෂායික සාහිත්‍යයක් ද වෙති. ඊට අමතරව ලොව ම දිනූ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ඉන්දීය ලේඛකයෝ ද වෙති. නාරායන්, මුල්ක් රාජ් ආනන්ද්, සල්මන් රූෂ්ඩි එවැන්නෝ ය. එබැවින් සමස්ත භාරතය ම විස්මයකි.‍

ලේඛනයේ රන්සුනු සොයා යන අපට ඉන්දීය ඉතිහාසය හා සාහිත්‍යයෙන් ඇති ඵලය කිමැයි ඔබ කල්පනා කරනු ඇත. සාහිත්‍යයේ, නිර්මාණකරණයේ යෙදෙන ඕනෑම නිර්මාණකරුවකු සාහිත්‍යයේ පැරණි අංග මෙන්ම, නවීන අංග කෙරෙහි ද සිය අවධානය යොමු කිරීම වැදගත් ය. ඊට හේතුව ඒ සියල්ලේ ම වන විවිධ විෂයයික, භාෂයික, සංස්කෘතික විෂමතා හා ප්‍රවණතා ලේඛනයට, නිර්මාණකරණයට බලපෑම් කරන නිසා ය.

නව භාරතීය සාහිත්‍යයේ දැවැන්තම නිර්මාණකරුවා වන, කවියා වන රවීන්ද්‍රනාත් තාගෝර් ස්වකීය නිර්මාණ කළේ වංග බසිනි. එහෙත් ඔබත්, මමත් හොඳාකාර ව ම දන්නා පරිදි තාගෝර් අපේ සාහිත්‍යයට කෙතරම් බලපෑම් කළේද? අපේ කවියේ, ගීතයේ සිට කුදු මහත් බොහෝ සාහිත්‍ය කාරණාවල තාගෝර් අපට අපේ සාහිත්‍යකරුවන්ටත් වඩා සමීප ය. ගීතාංජලී මෙන් ම ගෝරා ද අපට අපේ ගම්පෙරළිය, විරාගය තරම්ම සමීප ය. භාරතයේ නිර්මාණකරුවන්ට ඇති නිර්මාණ අවකාශය කෙතරම් පෘථූල ද කියා වැටහෙන්නේ මේ අපේ පුංචි රටේ අපට සමීප නොවන දෙමළ, මුස්ලිම් සාහිත්‍ය ගැන සිතද්දී ය. බොහෝ සාමාන්‍ය පාඨකයන් බර්ගර් ජාතික ජින් අර්සනායගම් ගැන වුව දැනගත්තේ ඇයගේ වියෝවත් සමඟ මතුවෙන කතාබහ හේතුවෙනි. මයිකල් ඔන්ඩච්චි ග්‍රේෂන් සම්මානය හඳුන්වා නොදෙන්නට ඔහු ගැන දන්නා පිරිස ද ස්වල්පයක් වනු නිසැක ය. මේ දෙදෙනා ම ලාංකිකයන් වුව ලියන්නේ ඉංග්‍රීසියෙනි. එහෙත් අපේ ප්‍රධාන පෙළේ සාහිත්‍ය කතාබහ අතර මිස සාමාන්‍ය පාඨකයා අතර මේ අය ගැන ඇති කතාබහ අල්ප ය.

එහෙත් ඉන්දීය සාහිත්‍යයික නිදහස එහි වදන් අරුතින් ම නිදහසකි. ඒ ගැන කියද්දී ම මතක් වෙන ප්‍රබල චරිත තුනක් වෙති. ඒ මුල්ක් රාජ් ආනන්ද්, ආර්.කේ. නාරායන් හා රාජා රාඩෝ ය. එකිනෙකාට වෙනස් රීතිවලින් නිර්මාණකරණයේ යෙදෙන ඔවුන්ගෙන් භාරතීය සාහිත්‍ය ලබාගත් ආලෝකය; ඔවුන් තරම් ම විසල් ලෙස නොවුණත් එවැනි ම දේ කරන අපේ ලේඛකයන්ගෙන් ලංකාව නොගන්නේ ඇයි දැයි මට ගැටලුවකි. ලේඛනයේ රන්සුනු සොයා යන අප හෝ ඒ ගැන සවිඥානික විය යුතු නිසා ම මෙසේ ලියන්නට සිතුවෙමි.

‍‍‍ තවත් කරුණක් සිහියට නැ‍ඟේ. ලංකාවේ සාහිත්‍යකරණයේ පූර්ණව නිරත වන ලේඛිකාවෝ බහුතරයක් සිටිති. ඒ ලේඛිකා‍වෝ තමන්ගේ ලේඛනය කරන්නේ කෙතරම් බාධක, ගැටලු මැද ද යන්න ගැන ඔවුන් හා යම් ඇසුරක් පවත්වන මම දනිමි. හුදු ආත්ම තෘප්තිය නිසා ඔවුහු ලේඛනයේ නිරත වනු විනා ඒ කැපකිරීම නිසාම කෙතරම් අවමානයට පාත්‍ර වන්නේ ද කියා දනිමි. එහෙත් ඉන්දියාවේ බිහිවූ විශිෂ්ට ලේඛකයන්ගේ අයකු වන මුල්ක්රාජ් ආනන්ද් කියූ මේ කතාව බලන්න.

“භාරතීය නව සාහිත්‍ය සම්බන්ධයෙන් ලොකු ම අභියෝගය ඉදිරිපත්ව ඇත්තේ ගැහැනුන්ගෙනි.” මුල්ක් රාජ් මෙලෙස කියන්නේ අපේ රටේ මෙන් කාන්තාවට අවමාන කරන්නට හෝ නොතකා හරින්නට නොවේ; සැබෑ අරුතිනි; ලේඛක ගැහැනියට ආදරයෙනි. කමලාදාස්, නයනතාරා සගල්, අනීතා දේසායි, අරුන්දතී රෝයි ඉදිරියට ම පැමිණෙන්නේ සාහිත්‍යයේ නව මං මෙන් ම නිදහස ද පසක් කරමිනි. භාරතීය ජන ජීවිතය, කුල ප්‍රශ්නය මේ ලේඛිකාවෝ බිය සැක නැතිව ප්‍රශ්න කරති. ඔවුහු අයත් වන්නේ කුලහීණ පරම්පරාවට ද නොවේ. එසේ වී ඔවුහු නිර්භයව ස්ත්‍රී පුරුෂ සබඳතා, කුලහීන වංශවත් ගැටලු, පවිත්‍ර - අපවිත්‍ර වීම් නිර්භයව නවකතාවට නඟති; කවියට නඟති. අපේ පුංචිකම පෙනෙන්නේ මේවා සිතද්දීය. සෝකයේ ඇතැම් ජාතීන් හෝඩිය සොයා ගන්නා අවදිය වනවිට භාරතය මහා දාර්ශනික ගැඹුරකින් යුතු ලෝක පරිමාණයේ නිර්මාණ බිහි කරන්නේ ඒ නිසාය. මේ තරම් මහරු සම්ප්‍රදායක් බිහිවන්නේ එකී විෂමතාවට ලැබුණු ඉඩකඩ ‍හේතුවෙනි. විවිධත්වය ඇතුළත ඇති ඒකීයත්වය කොතරම් රමණීය ද යන්න නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට අතිශයින් ම වැදගත්ය.

[email protected]

Comments