ආදරණීය මනෝරත්නයෙනි, නීරෝගි සුවය ලබා ඉක්මනින්ම යළි තිරයට එන්න! | සිළුමිණ

ආදරණීය මනෝරත්නයෙනි, නීරෝගි සුවය ලබා ඉක්මනින්ම යළි තිරයට එන්න!

- සමාජ ජාලා ඝාතනය කළ ඒ නරක ආරංචිය මොහොතක් ඇතුළත මුළු රටම කැලඹුවා 
- පීඩනයෙන් සිටින විට අප සිත් සුවපත් කළේ කලා නිර්මාණයි

මීට දින කිහිපයකට පෙර මුහුණුපොත හරහා ළැව් ගින්නක් සේ පැතිරුණු ආරංචිය ලියන්නවත් බැරි තමට ශෝචනීයය... එය කොතරම් අමිහිරි ද කීවොත් මෙවන් බොරු ප්‍රචාර කරන පුද්ගලයන් ගැන සිත් තුළ ඇති වූයේ අතිශය පිළිකුලකි. දෙයක් නිවැරැදිව සොයා නොබලන බහුතරයක් තම තමන්ගේ මුහුණු පොත හරහා මේ අසත්‍ය පුවතට තටු ලබා දුන්නේ පුදුම වේගයකින්.

කොහොමත් සමාජයේ හැටි මෙය බව අප හොඳින් ම දනී. හොඳ දේට වඩා ඉඩ වැඩි නරක දේටය. සත්‍යයට වඩා අසත්‍යයටය. එ නිසා සිදු වන්නේ කළකිරීමම දෝත දරාගන්නටය.

අප කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පි ජයලත් මනෝරත්න මිය ගිය පුවත හඬා වැටෙන්න තරම් අතිශය වේදනාබර පුවතක් විය. ලෙඩ වීම, මිය යාම අප කාටත් පොදු වුවද මෙසේ අමු අමුවේ මිනිසුන් ඝාතනය කිරීම නම් කූජිතය...

මෙවන් අසත්‍ය ප්‍රකාශ ජනගත කිරීමට පෙර මේ ආදරණීය මිනිසා ගැන මොහොතක් සිතන්නට තිබුණි. ඔහු රැඟූ නිර්මාණ තුළින් අපි මොනතරම් නම් සැනසුණාද කියා සිතන්නට තිබුණි. නැත... අපේ සමහර මිනිසුන් ඒ තරමට ආදරණීය නැත. සිතේ කම්පාවක් ඇත්තේ ඒ නිසාය. තවදුරටත් අප ජීවත් වෙන්නෙ මෙවන් වූ මිනිසුන් මැද ද යන්න දහස් වාරයක් සිතෙයි.

කලාව යනු උතුම් දෙයකි. කලාකරුවා යනු ඇදහිය යුතු චරිතයකි. ශෝකයෙන්.. පීඩනයෙන් සිටින මොහොතක අප සිත් සුවපත් කළේ කලා නිර්මාණයි. ජීවත් වෙන්න ශක්තිය ලබා දුන්නේ ඒ කලා රසයයි. නමුත් අවාසනාවකට අප කෑ බත් පතටම අසූචි ද කරන අන්ත නරක මිනිසුන් ද සිටී. නැතිනම් අප පිනවූ... අප සැනසූ.. අපව ආනන්දය වෙත රැගෙන ගිය මෙවනි අපූරු කලාකරුවෙක් ගැන මෙසේ කියන්නේ නැත. කොටින්ම සිතන්නේවත් නැත. ජයලත් මනෝරත්නයන් මිය ගිය පුවත අසා ශෝක පණිවුඩ දැමූ පිරිස අපමණය. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් ඔහු හොඳින්ය. රෝගීවී ප්‍රතිකාර ලබමින් සිටින බව සත්‍යයයි. මිය ගිය බව නම් අමූලික බොරුවකි.

මේ ගැන ජයලත් ‍මනෝරත්න ළඟින් ‍මේ දිනවල ඉන්නා හිතවත් කෙනකුගෙන් අපි අසා දැන ගතිමු. මේ ඔහු කී දේ....

“ඔය කතාව ඒ මොහොතේම අපටත් ආරංචි වුණා. අපි අපේම මුහුණු පොත පරීක්ෂා කළා. ඇත්තනේ. මනෝරත්න මහතාගේ ලොකු පිංතූර දාලා අමා මහා නිවන පතලා තිබුණා... මේ ගැන එතුමාට නොදන්නවා අපි ටිකක් විපරම් කර බැලුවා.

මනෝ මහතාගේ හිතාදර කලාකරුවන් පවා හරි හැටි නොදැන බලවත් ශෝකය ප්‍රකාශ කර තිබුණා. පසුව ඔවුන් සමාව අරන් තිබුණා. කවුරු මෙහෙම බොරු ප්‍රචාර මොන වුවමනාවට කරනවාද කියලා දන්නේ නෑ.

“දැන් කොහොමද එතුමාගේ අසනීප තත්ත්වය....“ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. මේ වෙලාවේ හැමෝම මනෝරත්න මහතා සමඟ ඉන්නවා. වෛද්‍යවරු ගෞරවයෙන් සිහි කරන්න ඕන. ආගමික නායකයින් මනෝරත්න මහතාට ඉක්මන් සුවය පතා ආශිර්වාද කරනවා. කෑම... බීම... එහෙමත් අරගන්නවා. දෙවියන් බලලා ඉක්මන් සුවය ලැබේවියයි. අපි විශ්වාස කරනවා.

නම සඳහන් නොකළ ඔහු ඊට වඩා දෙයක් අපිට කීවේ නෑ. ඇත්තටම ජයලත් මනෝරත්න මහතා සමඟ කතාබහ කරන්න අපට මේ අවස්ථාවේ පුළුවන්කමක් නෑ. මේ ඔහු සුවය ලබමින් සිටින මොහොත. මේ මහා කලාකරුවාට ආදරය කරන අයට කීමට ඇත්තේ හදවතින්ම ආශිර්වාද කරන්න... ඉක්මන් සුවය ලබා යළි අප අතරට එන්න ලැබේවා කියලා.

මේ මොහොතේ ජයලත් මනෝරත්න මහතාගේ රැඟුම් අපට සිහි වෙනවා. ‘සූරිය අරණේ’ ලොකු හාමුදුරුවෝ, ‘හෝ ගානා පොකුණේ‘ බස් රියදුරා, ‘ගෝල්’ හි ක්‍රීඩා ගුරුවරයා... මෑත කාලයේ ඔහු රඟ පෑ හදවතට දැනුණු චරිත. පසුගියදා නිමාව දුටු ජනාධිපති සම්මාන උලෙළින් මනෝරත්නයන්ට ජූරියේ විශේෂ සම්මානයක් ලබාදී එතුමා ඇගයීමට පත්වුණේ ගෝල්හි රංගනයටයි. ඒ වාගේම මනෝරත්නයන් රැඟූ අපූරු විනෝදාත්මක චිත්‍රපටයක් ද තිරගත වෙන්න තිබෙනවා. එහි ‘මිස් ජෙනිස්‘ ලෙස හරි අපූරු කාන්තා චරිතයක් ඔහු ඉදිරිපත් කරන්නේ.

ඉතිං තවත් කාලයක්ම තව බොහෝ චරිත ඔහුට කරන්න තිබෙනවා. ඔහු වෙනුවෙන් ම පිටපත් ලියවෙනවා. මේ නිසා සියලු දෙවියෝ ආරක්ෂා කළ යුතුයි මේ වටිනා සම්පත.

‘ආදරණීය මනෝ නිරෝගී සුවය ලබා යළි ඉක්මනින්ම තිරයට එන්න’ මේ මනෝරත්නයන් ළඟින්ම ඇසුරු කරන ආදරණීයන්ගේ ප්‍රාර්ථනයයි. සිතන්න ඇත්තේ එකම දෙයයි; ඒ ජයලත් මනෝරත්නයන්ගේ වස් ගිය බවය. සුවපත් වී යළි ඔහු තිරයට ඒවි. අපූරු වූ අති විශිෂ්ට රංගනයන් යළිත් කැමරාව අද්දර මවාවී. අප හැමෝටම ඕනැත් ඒ ටිකමය. රංගධරයාණනී, ඔබට ඉක්මන් සුව පතමු!

Comments