ඒ ආදරය මා ශක්තිමත් කළා | Page 2 | සිළුමිණ

ඒ ආදරය මා ශක්තිමත් කළා

 කොහොමද ජීවිතේ, එතැනින් පිළිසඳර අරඹමු නේද?

අලුත් අත්දැකීම් එක්ක ජීවිතය සුන්දරව ගෙවෙනවා. වෙනදට වැඩිය ටිකක් කාර්යබහුලයි.

මොනවද ඒ අලුත් අත්දැකීම්?

මේ කාලේ මං වැඩිපුරම නැඹුරු වෙලා ඉන්නෙ සංගීත කටයුතු පැත්තටයි. ගීත ගායනා කරන්න නම් බැහැ. හැබැයි මට රිද්මයක් සහ හොඳ රසවින්දනයක් තියෙනවා. ගීතය, සංගීතය මේ දේවල් අපිට ජීවත් වෙන්න ඉතාම වටිනවා. ජීවත් වෙන්න පාර පෙන්වනවා.

සංගීතයට නැඹුරු වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

අපි හීන දකිනවා. ඒ හීන ඔස්සේ අපේ ජීවිතේ හදා ගත්තත් වෙලාවකදි සමහර හීන අපෙන් ඈතට යනවා. සමහර තැන්වලදී මානසිකව වැටෙනවා. පසුගිය කාලෙදී පෞද්ගලික ජීවිතේ යම් වෙනස් වීමකට භාජනය වුණා. මාධ්‍යයට ඒ ගැන කියන්නේ මුල් වතාවටයි. හැමෝටම එහෙම කාලයක් තියෙනවා. ඉතින් ඒ වෙනස බොහොම හොඳ විදිහට පෙරළගෙන මම ශක්තිමත් වුණා. වැටුණු තැන් නැතුවා නෙමෙයි නමුත් හැම වැටුණු තැනකදීම ජීවිතය තව තවත් ශක්තිමත් කරගෙන හෙට දවස හොඳින් ගත කරන්නයි මම උත්සාහ කරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි මම සංගීතය පැත්තට නැඹුරු වෙන්න ගත්තේ. ඉන් ජීවිතය විඳින්න පුළුවන්. බොහොම ආදරණීය පිරිසකුත් මුණ ගැහිලා ඉන්නවා. එය ජීවිතයට ශක්තියක්. ජීවත් වෙනවා කියලා දැනෙනවා.

ජීවිතයට එන බොහො ඇලහැප්පීම්වලදී අපවාද අවලාදවලට වැඩිපුර මුහුණ දෙන්න වෙන්නේ ගැහැනියකට ?

මම නිළියක් තරම් ජනප්‍රිය වුණු චරිතයක් නෙමෙයි. මගේ සීමාව තුළ සමාජයෙන් එන අපවාද අවලාදවලට මුහුණ දෙන්න වුණේ නැහැ. ප්‍රශ්නයක් ඇති වුණාම විසඳ ගත්තේ අපිමයි. ඇතැම් ප්‍රශ්නවලදී අපිට එකම පාරේ යන්න බැරි නම් අලුත් පාරක් විවෘත කර ගත යුතුයි. ජීවිතය එතනින් නවත්වන්න බැහැ. අප හැමෝම යා යුතු ගමනක් තියෙනවා. මම සමාජයේ ගැරහුමට ලක්වෙන වැඩ කරලා නැහැ.

ඔබට ඒ ජීවිතේ මගහැරුණු තැන් තිබුණද?

මම නිවේදිකාවක් වෙන්නේ අවුරුදු දහ හතේදි. ඊට පස්සේ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට බොහොම කාර්යබහුල වෙනවා. ඒ නිසාම බිරියකගේ, ගෘහණියකගේ වගකීම් බොහෝ තැන්වලදි මගහැරෙනවා. යුතුකම් ඉටු කරන්න කාලයක් නැති වෙනවා. උදේට තේ එක හදලා සැමියාට දෙන්න, කෑම හදන්න වගේ දේවල් මට කරන්න බැරි වුණා. මම විවාහ වෙලා හිටියේ යුද්ධය එක්ක සිටින කෙනෙක් සමඟ. ඔහුත් ගෙදර නෑ. මමත් ඉතාම කාර්යබහුලයි. ඔහු හිටපු දවස්වලවත් මගේ අතින් ඒ දේවල් වුණේ නැහැ. සමහරවිට අපේ නොගැළපීම්වලට එයත් එක හේතුවක් වෙන්න ඇති. නමුත් ඒ කිසිවක් මම හිතලා කරපු දේවල් නෙමෙයි. මම ඒ කාලේ වෙහෙසුණේ ආර්ථිකමය වශයෙන් අපේ පවුල ශක්තිමත් කරන්නයි. එක් තැනෙකදි මම දුක් වෙනවා ගෘහ ජීවිතයක් නොතිබීම ගැන. නමුත් මම මට පුළුවන් උපරිමය පවුල වෙනුවෙන් කළා.

ඒ කඩාවැටීම් ඔබ බොහොම ධනාත්මකව අරන් තියෙනවා?

ඇත්තටම එය කඩාවැටීමක් නෙමෙයි. ජීවිතේ නොගැළපීම් එක්ක ගොඩක් දුර යන්න අමාරුයි. කාන්තාවක් සහ පුරුෂයෙක් එකතු වෙලා ගමනක් පටන් ගත්තත් ඇඟිලි දහයම එක වගේ නැහැ. අපි තෝරගන්න කෙනාම අපිට ගැළපෙනවද කියල කියන්නත් බැහැ. ජීවිත් වෙද්දියි නොගැළපීම් මතු වෙන්නේ. ඉතින් ඒ පාර්ශ්වයෙන් මට අසාධාරණයක් වුණේ නෑ. මගේ පැත්තෙන් ඔහුට අසාධාරණයක් වුණෙත් නෑ. ඒ බැඳීම නීත්‍යනුුකූලව විසඳ ගත්තට පස්සේ. ජීවිතයේ පසුකාලීනව මට තව අත්වැලක් ලැබුණා. කාන්තාවක් විදිහට විශේෂයෙන් මේ සමාජයේ ජීවත් වෙනකොට අත්වැලක් නැතුව තනියම ජීවිතේ ජයගන්න බෑ. ඉතින් ඒ අත්වැල එක්කයි නැවත මගේ ජීවිතේ පටන් ගත්තේ. මේ ලැබුණු ආදරය තමයි මව ශක්තිමත් කළේ. අර කලින් මඟහැරී තිබුණු, නොකෙරෙනු සියලු දේ දැන් මගේ අතින් කෙරෙනවා. ගෘහණියක් විදිහට පවුලට විය යුතු දේත් මං කරනවා. අපි සතුටින් ඉන්නවා. මම හිතනවා මේ ගමන කොහේදිවත් කඩාගෙන වැටෙන එකක් නැහැ කියලා.

ජීවිතයට අත්වැලක් වූ ඒ ආදරය ගැන දැන ගන්න ඔබට ආදරය කරන පිරිස කැමැති ඇති?

මම හිතන්නේ එය මම අලුතෙන් සමාජයට කිවයුතු නැහැ. ජීවිතේ මෙතෙක් කල් වෙච්ච ප්‍රශ්න කවුරුත් දන්නේ නැහැ. ඒවා අතිශය පෞද්ගලිකයි. මගේ ජීවිතයේ අයිතිය මටයි. කවදා හරි දවසක ඔවුන්ට තේරෙයි, ඔවුන් දැනගනීවි කවුද ඒ කියලා. මට ප්‍රසිද්ධ කර ගන්න අවශ්‍ය නෑ. වඩා වටින්නේ සතුටින් යහපත්ව ජීවත් වීමයි. ඉතින් අපි කාලයට ඉඩ දීලා බලා ගෙන ඉමු.

ඔබ ඔහුත් සමඟ අලුත් වැඩකට අතගහලා කියලා අපට ආරංචි?

ඔව්. මේ සබඳතාව සංගීතයෙන් අලූත් පැත්තකට මාව නැඹුරු කළා. කලාව, සංගීතය කොහොමත් මගේ ජීවිතයට හුරුයි. මට දැන් ප්‍රසංග සම්බන්ධීකරණයට අවස්ථාව ලැබිලා. මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘තාල වර්ෂා‘ නමින්. ඒ, අපි ඇරැඹු ‘ඕම්‘ කියන band එකේ පළමු ප්‍රසංගයයි. ප්‍රසංගය පැවැත්වෙන්නේ අගෝස්තු 31 දා නුවරඑළිය නගර සභා ශාලාවේ දී සවස 4.30 ට. සෝමසිරි මැදගෙදර, එම් ජි ධනුෂ්ක, උදේශ් නිලංග, මංජුලා දිල්රුක්ෂි සහ සයුරි මිහිඳුකුල ගායනයෙන් රසවත් කරන්න අප හා එකතු වෙනවා. මෙහි නිවේදන කටයුතුවලින් මමත් සුහෙල් කියන තරුණයත් සම්බන්ධ වෙනවා. මේ ප්‍රසංගයෙන් පසු තාල වර්ෂා රට වටා ගෙනි යන්න හැකිවේවි. විදෙස් ප්‍රසංග වලටත් දැනටමත් ආරාධනා තියෙනවා.

නිවේදන කටයුතුවලින් ඔබව දකිනවා. රූපලාවණ්‍ය සහ රංගනයෙන් දැන් ඈත් වෙලාද?

මගේ හඳහනේ කියල තිබුණා මම කලාවෙන් ඉස්සරහට යන කෙනෙක් කියලා. ඒ කිව්වා වගේම මම කලාකාරිනියක් වුණා. වසර ගාණක් නිවේදිකාවක් විදිහටයි රටම මාව හඳුනා ගන්නේ. පස්සේ කාලෙකදී රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණා. නමුත් මේ ඔක්කොම මෙහෙම තියෙද්දී මගේ බලාපොරොත්තුව වුණේ නිළියක් වෙන්න. ඇත්තටම ඒ හීනය සැබෑ කරගන්නයි මම කලාවට එන්නේ. නිර්මාණ කිහිපයකටත් දායක වුණා. දැන් එහෙම ආසාවක් නැහැ. රූපලාවණ්‍ය ශිල්පිණියක් ලෙස අවුරුදු විස්සක් විතර මම කාන්තාවන් ලස්සන කළා. එයින් සතුටු වුණා. නමුත් ඒ දේ හැමදාම කරන්න බෑ හරිම වෙහෙසකරයි. මොන දේ කළත් අපි බලාපොරොත්තු වෙන්නේ යම් තෘප්තියක්. ඉතින් රූපලාවණ්‍ය කටයුතු වලට සමුදුන්නා.

ඔබේ දියණිය කලාවට යොමු වේවිද?

මගේ දුව අතිශය හොඳ දරුවෙක්. මට මේ ජීවිතේ ඉතුරු වුණානම් යමක් ඒ මගේ දුව. ඇය තමයි මගේ ජීවිතය. ඇය දැන් එන්.එස්. බී. එකේ දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇගේ තාත්තා ඇගේ ජීවිතයට ඉතාම හොඳ ආලෝකයක් ලබා දෙනවා. පියකුගේ පැත්තෙන් විය යුතු සියලු යුතුකම් නොපිරිහෙලා ඉටු කරනවා. මමත් මට පුළුවන් උපරිමය කරනවා. ඇය කුඩා කාලේ සිට කලාවට හරිම ළැදි, දක්ෂතාවලින් පිරිපුන් කෙනෙක්. පුංචි කාලේ නිවේදන කටයුතුවලට මා සමඟ යද්දි මං වගේම ඇඳුමක් ඇඳගෙන ඇයත් රඟපා පා නිවේදනය කරනවා. හැබැයි වැඩිවියට පත්වීමත් සමඟ ඒ දේවල් වලින් ඇය ඈත් වුණා. දැන් අධ්‍යාපනයටම පමණයි දුව මුල්තැන දෙන්නේ. ඇගේ අදහස පිටරටක පදිංචි වීමයි. ඇගේ අනාගතය වෙනුවෙන් මමත් ඇගේ තාත්තාත් ආශිර්වාද කරනවා.

Comments