ජීවිතය දිනූ දිරියවන්තයෝ | සිළුමිණ

ජීවිතය දිනූ දිරියවන්තයෝ

- පරාජය බාර ගන්න එපා 
- අසාර්ථකවීම් ඉදිරියේ අරමුණු ශක්තිමත් කරගත් දැවැන්තයා

ලොව අංක එකේ ධනවතුන් වන ජෙෆ් බෙසොස්, බිල් ගේට්ස්, ජැක් මා, උසේන් බෝල්ට්, ඔප්රා විනිෆ්‍රි, ජේ. කේ රොලිං ආදී වර්තමානයේ දැකිය හැකි චරිත මෙන්ම වෝල්ට් ඩිස්නි, ඒබ්‍රහම් ලින්කන්, කොලොනියල් සෑන්ඩර්ස්, හෙන්රි ෆෝඩ්, තෝමස් අල්වා එඩිසන් ආදී එදා අතීතයේ සිටි මිනිසුන් ද මෑතක දී මිය ගිය ස්ටීව් ජොබ්ස් වැන්නවුන් ද ඔබට කියන්නේ දිරිය හා ශක්තියත් උත්සාහය හා අධිෂ්ඨානයේත් කතාවයි. මේ සියලු දෙනා ජීවිතයේ එක් වරන් හෝ ඊට වැඩි වාර ගණනක් අසාර්ථක වී ඇත. එහෙත් ඔවුන් අවසානය සලකුණු කළේ සාර්ථක පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ තම නම රඳවමිනි. එලෙස අසාර්ථක වීම් රැසකට මුහුණ දුන් එහෙත් සාර්ථකත්වය අත්පත් කරගත් තවත් මිනිසකුගේ ජීවිතය කියැවීමය මේ.

ඔහු මයිකල් ජෝර්ඩන්. අමෙරිකානු පැසිපන්දු ඉතිහාසයේ රන් සලකුණක් තැබූ ක්‍රීඩකයෙක්. ‘එයාර් ජෝර්ඩන්’, ‘එම්ජේ’ ආදී ආරණීය නම්වලින් ලෝකය පුරා ජනප්‍රිය වූ මයිකල් පැසිපන්දු පිටියේ දී හරියට විදුලියක් වගේ පාවෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් විදුලි පවනක්. ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් අති දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් මයිකල් මුල් අවධියේදී නිරන්තර අසාර්ථක වීම් නිසා පීඩා විඳි අයෙක්. ඒත් ඒ අසාර්ථකවීම් හමුවේ ඔහු පලා ගියේ නැහැ. තව තවත් උනන්දුවෙමින් සාර්ථකත්වය හමුවන තෙක්ම ගමන අතහැරියේ නැහැ. ඒ උනන්දුව නිසාම ඔහුට අවසානයේ තමන් සිහින දැකි ඉලක්කය වෙත ළඟාවෙන්න අවස්ථාව උදාවුණා.

එදා තමන් අසාර්ථක වූ අවස්ථාවන් මෙනෙහි කරන මයිකල් මෙහෙම කියනවා “I have failed over and over and over again in my life and that is why I succeed.” “මම දිගින් දිගටම අසාර්ථක වුණා. නැවත නැවතත් අසාර්ථක වූ නිසාම මම සාර්ථකත්වය අත්පත් කරගත්තා.”

මයිකල් අසාර්ථකවීම් හමුවේ තම අරමුණ අත්හැරියේ නැහැ. ඔබත් අරමුණක් ඇතිකරගන්න. ඒ අරමුණ කරා යන ගමනේ දී මොනතරම් අසාර්ථකවීම් සිද්ධ වුණත් කිසිම විටෙක අරමුණ අමතක කරලා ආපසු හැරෙන්න එපා. ඔබේ අරමුණ ඉටුවෙනකම් ම ඒ ගමන යන්න.

ඒ විතරක් නෙමේ මයිකල් තම සාර්ථකත්වය සම්බන්ධයෙන් තව දුරටත් මෙලෙස පවසා තිබෙනවා.

පරාජය භාරගන්න එපා

“I can accept failure, everyone fails at something. But I can not accept not trying again.’’

“මට පුළුවන් අසාර්ථකවීම් පිළිගන්න. දරාගන්න. මේ ලෝකෙ ඉන්න හැමකෙනෙක්ම යම්කිසි දෙයක දී අසාර්ථක වෙනවා. ඒත් අසාර්ථක වූ පමණින් නැවතත් උත්සාහ නො කිරීම නම් මට පිළිිගන්න බැහැ.”

එහෙම හිතලා අසාර්ථකවීම් හමුවේ නැවත නැවතත් ක්‍රියාත්මක වූ නිසා තමයි ඔහුට සාර්ථක වෙන්න පුළුවන් වුණේ. එය ඔබටත් ඔබේ ජීවිතයටත් වලංගු දෙයක් බවට පත්කර ගන්න. මයිකල් අද සාර්ථක ව්‍යාපාරිකයෙක්. බිලියනපතියෙක්. මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ ඔහු සතු නොපසුබට උත්සාහයයි.

ඒ උත්සාහය ඔහුගේම වචනයෙන් රැව් පිළිරැවි දෙන්න ගත්තා. “මගේ ක්‍රීඩා ජීවිතයේ දී ගෝල් 9000ක් විතර මිස් වුණා. තරග 300ක් පමණ පරාජය වුණා. තරග දිනන්න ඔන්න මෙන්න කියලා තිබුණු 26 වතාවක් පමණ මගේ අතින් ගෝල් මිස් වුණා. ඒ තරමටම මං අසාර්ථක වෙලා තමයි මේ සාර්ථකත්වය අත්පත්කර ගත්තේ. ඒ නිසා මට සාර්ථකත්වය අත්පත් කරගැනීම හිතන තරම් ලේසි වුණේ නැහැ. මම නිරන්තරවම පුහුණුවීම්වල නියැළුණා. ඒ වෙනුවෙන් කැප වුණා.”

ජීවයක ඇරැඹුම

1963 පෙබරවාරි 17 වැනි දින දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක සිව්වැනි දරුවා ලෙසින් නිව්යෝක්හි බ්රූක්ලීන්වල දී ජෝර්ඩන් උපදින්නේ සාමාන්‍ය පවුලකයි. දුෂ්කර නොවූවත් හොඳ ළමාවියක් මාපිය රැකවරණය මැද ගෙවාදමන්නට ඔහුට හැකි වෙනවා. එම්. ජේ ට අයියලා දෙන්නෙක්, අක්කා කෙනෙක් මෙන්ම නැගණියක් ද ඉන්නවා. ඉතා කුඩා අවදියේ සිටම මේ කොලු පැංචා ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දැක්වූවා. ඒ සඳහා ඔහුට සහජ හැකියාවකුත් තිබුණා. ක්‍රීඩාවට ඇල්මක් දක්වන කුඩා සිඟිත්තා වෙනුවෙන් පාසලේ බෙස්බෝල්, බාස්කට්බෝල් මෙන්ම ෆුට්බෝල් කණ්ඩායම්වල ද දොරටු හැරුණා.

උස මදි ක්‍රීඩකයා

ඒත් පාසල් කණ්ඩායමට මේ හැමදෙයකින්ම එක්වෙන්න නම් ඔහුට අවස්ථාව ලැබුණෙ නෑ. මේ ක්‍රීඩා තුනම කළත් මෙයින් එකකටවත් ඔහුට විශේෂම කැමැත්තක් තිබුණෙත් නෑ. කොහොම වුණත් ඔහුගේ උස ප්‍රමාණවත් නැතැයි පවසමින් ඔහුව පාසල් පැසිපන්දු සංචිතයට තේරෙන්නේත් නැහැ. බොහෝ වෙලාවට පුහුණුකරුවන් විසින් ඔහු ඉවත් කෙරුණේ මේ උස මදි යයි යන ප්‍රකාශයත් සමඟයි. මෙය ඔහුගේ ළමා හිතට පීඩනයක් ගෙන ආවත් ඔහු අධෛර්යයට පත්වුණේ නැහැ.

උසස් පාසලට

ඒ අතර ඔහු වැඩිදුර ඉගෙන ගන්න උසස් විද්‍යාලයකට ඇතුළත් වෙනවා. ඒ වගේම සහෝදරයන් සමඟ නිතරම ක්‍රීඩා කරන, පුහුණුවීම් කරන මේ කොලුවා කාටවත් හිතාගන්න බැරි විදිහට උස ගියා. කොයි තරම් උස ගියා ද කියනවා නම් ඔහුගේ තාත්තාටත් සහෝදරයන්ටත් වඩා උස යන්න ඔහුට හැකි වෙනවා. මෙන්න මේ උස යෑම ක්‍රීඩාව ඔහුව වෙත නැවත ආකර්ෂණය කරන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමේ පාසලේ ලෙනීජේවී කියන පාපන්දු කණ්ඩායමට සමඟ සම්බන්ධ වන්නත් මේ නිසා අවස්ථාව උදාවෙනවා. ඒත් ඔහු එතැනින් නතර වෙන්නේ නැහැ. ඔහු තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නිරන්තර ව්‍යායාම්වල මෙන්ම පුහුණුවීම්වල ද නිරත වෙනවා. ඒ විතරක් නෙමේ පාසල නිමවී ගෙදර එන ජෝර්ඩන් තමන්ගේ අයියා වූ ලැරී සමඟ පැසිපන්දු ක්‍රීඩාවත් පුහුණු වෙනවා. ඒ නිසා පැසිපන්දු කණ්ඩායමට සම්බන්ධ වන්නත් ඔහුට මඟ පෑදෙනවා.

ගමනක ඇරැඹුම

ඒ පැසිපන්දු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන්ට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු අවශ්‍යවන අවස්ථාවකයි. ඉතින් මේ අතිරේක ක්‍රීඩකයා එහෙමත් නැත්නම් එම්ජේ ඊට පස්සෙ ප්‍රධාන ක්‍රීඩකයෙක් වෙනවා. ඒ විතරක් නෙමේ නැතුවම බැරි ක්‍රීඩකයකුගේ තැනට පත්වන්නට ඔහුට අවස්ථාව උදාවෙනවා. ඒත් ඒ සඳහාත් අවස්ථාව උදාවෙන්නේ සෑහෙන කාලයකට පස්සේ. ඒ ඔහු තමන් විසින් පෞද්ගලික පුහුණුකරුවකු යටතේ වෙහෙස නොබලා කරන පුහුණුවීම්වල ප්‍රතිඵලයක් හැටියටයි. ඒ වගේම ඔහු ලබන පුහුණුවීම් නිසා වඩාත් විශේෂ ඉරියව් හා තාක්ෂණයන් සමඟ ඔහුටම ආවේණික ක්‍රමයක් ගොඩ නගා ගන්නත් ඔහු ඒ වෙනකොට සමත් වී අවසන්. ඒ වගේම ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා නිසා පාසලේ පැසිපන්දු කණ්ඩායමට විවිධ තරග හා කුසලාන රැසක්ම දිනන්නට හැකිවෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ එම්ජේට උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයට ක්‍රීඩා පුහුණු ශිෂ්‍යත්වයක් හිමිවීමයි. මේ විදිහට දිනෙන් දින ක්‍රීඩා කෞශල්‍යය ඔපමට්ටම් කරගත්තත් ඔහු ඕනෙම කරන අවස්ථාවලදී අසමත් වීම් දක්වනවා. ඒත් ඔහුගේ සලකුණු වෙන්නේ අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමේ නැතුවම බැරි චරිතයක් වෙමිනි. මෙලෙස අසාර්ථක වීම් ඉදිරියේ නොවැටෙමින් තව තවත් දිරිමත් වෙමින් පැමිණි ගමන 1992 දි අමෙරිකානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වෙමින් ඔපිම්පික් තරග නියෝජනය කිරීමේ අවස්ථාවත් එම්ජේට හිමි වෙනවා. එකල අමෙරිකානුවන්ගේ එකම සිහිනය වන්නේ මයිකල්. ගුවනේ පාවෙමින් ඔහු ක්‍රීඩා කරන ආකාරය නැරඹීම හරියට ත්‍රාසජනක චිත්‍රපටයක් නරඹනවා වගේ.

අද ඔහු මිලියන පතියෙක්. පැසිපන්දු කණ්ඩායමක හිමිකරුවෙක්. විවාහයන් දෙකක් කරගත් ඔහු දියණියන් තිදෙනකුගේ සහ පුතුන් දෙදෙනකුගේ පියෙක්. ක්‍රීඩාවට මෙන්ම විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් ද සම්මාන බොහෝමයකින් පිදුම් ලබා ඇති ඔහු, ඔහුගේ ජීවිත කලාව සහ පැසිපන්දු ක්‍රීඩාව සම්බන්ධ පොත් කිහිපයක ද සම කර්තෘවරයෙක්. ඉතින් එහෙම නම් ඔහු අද ජීවිතය සාර්ථක කරගත් ජීවිතය දිනූ මිනිසෙක් නොවන්නේද?

Comments