මවුපියන්ගේ නොසැලකිල්ලෙන් දරුවන් හුඟක් දුක් විඳිනවා | සිළුමිණ

මවුපියන්ගේ නොසැලකිල්ලෙන් දරුවන් හුඟක් දුක් විඳිනවා

- විවාහ වී පස්වන සංවත්සරය  උදාවෙද්දී කුෂ්ලානී මවු පදවියට සූදානමින් 
- පිය පදවිය අබියස 
- පෙරදැක්මක් ඇතිවයි අප ජීවිතය සැලැසුම් කළේ 
- බැඳපු ගමන්ම දරුවන් හදනවාට වඩා ටික කාලයක් ජීවිතය නිදහසේ විඳින්න ඕනෑ කියලා හිතුවා

රණවන කැදැල්ලට අමුත්තෙක් එන්න හදන්නේ. විශ්වාසවන්ත මාර්ගයකින් ලැබුණු ආරංචියක් මත මම ටිකක් ඒ ගැන සොයා බැලුවා. මුල්ම දුරකථන ඇමතුමෙන්ම ඔහු සම්බන්ධ වුණා. වෙනදාටත් වඩා ඉන්නේ නම් ලොකු සතුටකින් බව ‘හ‍ලෝ’ කියූ විලාසයෙන් ම මට තේරුණා. ‘ආරංචියක් ලැබුණා... ඇත්තද කියලා දැනගන්න ගත්තේ’ මම ඇහුවා. ‘ආරංචිය ඇත්ත... මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ’

පුදුමාකාර සතුටකින් හා ආදරයකින් ඔහුගේ මුවින් ඒ වචන ටික පිටවුණා. ඉතිං අද අපේ කතාබහ ටිකක් වෙනස් වාගේ කියා ඔබට දැනේවි. මොකද වෙනදාට බොහෝම ආදරණීයව රොෂාන්ව හඳුන්වා දීලා තමා අපි කතාබහ කළේ. අද රොෂාන්ටත් වඩා තාමත් මේ ලෝකයට නූපන් බබා අපිට අමුත්තෙක් වූ හින්දයි ‘වෙන්ඩ බබා’ අපේ ‘මේන්’ වූයේ.

‘පැතු පෙම් පැතුම් මල් ඉහිරිලා 
ගැලූ පෙම් ගඟුල් දැන් හිනහිලා 
අනන්තේ පුරා ඉඟිලිලා 
පියාඹන්න ආසයි ඔබ හා මා’

ජීවිතේ ලස්සනම මොහොතක... සිනාමල් පොකුරු පිටින් පිපෙන මොහොතක රොෂාන්ගේ ලෝකයම වෙනස් කළ මේ ආදරයේ දෝරගලා යන පදවැල් හතර මට නොලියාම බැරි වුණා...

හැබැයි අද මෙහෙම ගයන්නේ රොෂාන් - පූජා සමඟ නම් නෙමේ... ඈ... සමඟයි... ජීවන ගමනේ ආදරණීය සහකාරිය කුෂ්ලානී සමඟ.

‘අපි ලස්සන පවුල් ජීවිතයක් ඇරඹුවා... කුෂ්ලානී මම ප්‍රාර්ථනා කරපු බිරියම වුණා. මම ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. අපි දෙන්නම ආසයි සංචාරයට. ඒ නිසා සැලැස්මක් අනුව වැඩ කරන්න හිතට අරගත්තා. හුඟ දෙනෙක් ඇහුවා කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ කියලා. ඇත්තටම අපිට එහෙම හදිසියක් තිබුණේ නෑ. විවාහයෙන් පසු අපි තව - තවත් ළංවෙලා එකිනෙකා තේරුම් ගත්තා. ආවාට ගියාට ළමයි හදලා දාන්න අපි දෙන්නම කැමැති වුණේ නෑ. අපි හරි නිදහසේ ලෝකය පුරා සංචාරය කළා. හුඟාක් රටවලට ගියා. ජීවිතය හිත පුරා වින්ඳා. පසුව අපි දෙන්නටම කියලා ආදර කැදැල්ලක් ගොඩ නඟා ගත්තා. මොකද දරුවෙක් ලෝකයට එන්න කලින් එයාට වැටිලා ඉන්න එයාගේම තැනක් තියෙන්න ඕනා කියලා අපි හිතුවා. මේ මූලික දේවල් ටික කරගත්තාට පසු දරුවෙක් ගැන අපි හිතුවා.

ඒ කියන්නේ රිදී තිරයේ, සිහින කුමරා දැන් පිය පදවිය අබියස...

ඔව්. ඒක පුදුම හැඟීමක්. වචනවලට ගළපන්න බෑ. අපි බලාපොරොත්තු වූ දේ ඉෂ්ට වුණා. කුෂ්ලානි මවු පදවියටත් මම පිය පදවියටත් සූදානම්. දැන්ම ලොකුවට පියෙකුගේ හැඟීම් ගැන කතා කරන්න මට තේරුමක් නෑ. හැබැයි මගේ හිතට ලොකු වගකීමක් දැන් දැනෙනවා. මේ කාලේ කුෂ්ලානී ළඟටම වෙලා ඉන්නයි මට ඕනේ. ඇය ආසම කරන කෑම බීම ළඟටම දෙන්නයි මට ඕනේ. දුර පළාත්වල රූගත කිරීම්වලට ටික කාලයක් යනතුරු මම යන්නේ නෑ. මේ අත්දැකීම ජීවිතේම එකවරයිනේ. ඉතිං හිත පුරා එය විඳගන්න ඕනේ.

රොෂාන්ගේ හිත මොනතරම් සතුටින් පිරිලාද කියලා දැනෙනවා... රොෂාන් බලන් ඉන්නේ දුවෙක් එනතුරුද... පුතෙක් එනතුරුද...?

තාම හරියට ඒ ගැන කියන්න බෑ. දුවෙක් වුණත් පුතෙක් වුණත් ඒ අපේ මුල්ම දරුවා. ආදරයෙන් පිළිගන්නවා. අපේ දෙමවුපියනුත් ගොඩාක් සතුටින් ඉන්නේ. එයාලා බලන් උන්නේ අපේ ලෝකයට දරු පැටියෙක් එනතුරු. හැබැයි මට කලින් මගේ මල්ලි විවාහ වූ නිසා එයා දරු දෙන්නෙකුගේම තාත්තා කෙනෙක් වුණා. ඉතිං ඒ අඩුව එහෙම පිරිමැහුණා.

දැන්ම මේ ගැන අහන්න හොඳ නෑ. ඒ වුණත් නොඅසාත් බෑ වාගේ... රොෂාන්ගේ දරුවා අනාගතේ ඔබ වාගේම කලාව තෝරාගනීද?

අපිට පුතෙක් ලැබුණොත් මම නළුවෙක් වුණා කියලා එයත් නළුවෙක් විය යුතු නෑ. එයාගේ කුසලතා ඉදිරියට ඇවිත් එයා යන ගමන් මඟ එළි පෙහෙළි වේවි. අපි දෙන්නටම ඕන මනුස්සකම් දන්න හොඳ මනුස්සයෙක් බිහිකිරීමයි. දුවෙක් වුණත් එහෙමයි.

ඔව්... එය එසේම වේවා කියලා ‘රසඳුනේ’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර කුලුඳුල් දරු සුරතල් බලන්න සූදානම් වෙන රොෂාන්ගේ කලා කටයුතු ගැනත් අවසානේ ටිකක් ඇහුවා...

‘ඉත්තො’ නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගෝරි ෆීල්ම් එක සාර්ථකව දුවනවා. ෆේස්ටු ෆේස්, නිහඩ සෙවණැලි ඇතුළු තව ෆිල්ම් කිහිපයක් එන්න තියෙනවා. ඇත්තම කීවොත් මම දැන් බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම චරිත... කලාත්මක සිනමාවේ කලාත්මක චරිතයක් ලැබෙන තුරු මම බලන් ඉන්නවා. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න මම සූදානම්.

මට අවසානේ දෙයක් කියන්න දෙන්න... රොෂාන්ගේ හඬට අපි ඉඩ දුන්නා.

‘මම හරි ආදරයෙන් ‍ෙම් දේ ඉල්ලා සිටින්නේ. හරියට බලා ගන්න බැරි නම් මේ ලෝකයට දරුවන් ගේන්න එපා. මවුපියන්ගේ නොසැලකිල්ල හින්දා දරුවෝ දුක් විඳිනවා මම සියැසින් දැකලා තියනවා. ජීවිතේ සැලැස්මක් ඇතිව වැඩ කරන්න. එවිට වරදින්නේ නෑ. අපිට වාගේම අපෙන් ලෝකයට බිහිවන අයටත්...’ ඔව්... මේ ආදරණීය අලුත් තාත්තාගේ ආදරණීය සිතිවිලි සමූහය හෙට දිනයේ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න තරුණයන්ට හුඟාක් වටී කියලා මට හිතුණා. රොෂාන් - කුෂ්ලානී ... කිරිසිනා මැද ජීවිතය අලුත්වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරනවා.

Comments