ලොව සුන්දරම වෙරළේ දුක් සුසුම් පා කර හැරියෙමි | සිළුමිණ

ලොව සුන්දරම වෙරළේ දුක් සුසුම් පා කර හැරියෙමි

පතොක් ගස්වල සෙවණැල්ල පවා හිත් පිත් නැතිව ගස් මුලට ම ඇද දමලා. හිරුගේ රන්වන් කිරණ ජල තලය මත මුදා නොහැර ම බස්නාහිරින් බැස යන්නයි අර අඳින්නේ. ඒ නිසාම සෙවණැලි ටිකෙන් ටික පසුපසට දික්වෙමින් වෙරළ තීරයේ අමුතු රටාවක් මවා තිබුණා. මා බලා සිටියේ මේ මොහොත එන තෙක්. නැ‍ඟෙනහිරට සවස් කාලය දිගු බැව් නොදන්නේ කවුද? ඉඳින් සවස්වරුවට නැ‍ඟෙනහිර වෙරළ තීරය සනීපවත් සුළඟින් මුදු වූ නේක රටා මවන රළ පෙළින් අලංකෘත වූ අපූරු ම පාරාදීසයක් බැව් ඔබ දන්නවාට අපට සැක නැහැ.

හිරු මුදුන් වූ ගිනියමේ පවා මා මේ ඔබට කියන්නට යන මුහුදු තීරය ජනී ජනයාගෙන් තොර වුණේ නෑ. අමිහිරි අත්දැකීමක ඵල විඳ තව ම ඉකුත් වී ඇත්තේ මාස 04 ක් වැනි කෙටි කලක්. ඒත් පාසල් නිවාඩුව නිසාදෝ වෙරළ තීරය එහෙ මෙහෙ දුව පනින දරුවන්ගේ නන්විධ ක්‍රියා නිසා පිරීතිරී තිබුණා. හිරු රැස්හි ප්‍රචණ්ඩත්වය ගැන හාංකවිසියක් හෝ නොතකමින් සිනිඳු සුදුමුදු වැල්ලේ දෙස් විදෙස් සංචාරකයන් විනෝද වෙමින් සිටියා.

මේ ලොව සුන්දර ම වෙරළ තීරවලින් එකක් සේ සැලකෙන නිලාවේලි මුහුදු තීරය; ලංකාවේ ප්‍රමුඛතම සුන්දර වෙරළ තීරය. ඉමක් කොනක් නොපෙනෙන සිහින් සුදු වැලි තලාව සංචාරකයන්ගේ නෙත, ගත, සිත පුබුදුවාලන්නේ නිරායාසයෙන්. මෙහි වැල්ලේ වන සුදු සුමුදු බව ගැන විදෙස් හි පවා ප්‍රචලිතයි. වෙන මුහුදු තීරවල වගේ මේ වැල්ල නිරුවත් සිනිඳු සමට හානි කරන්නේ නෑ. දැනෙන්නේ මුදු සනීපවත් බවක් පමණයි.

නිලාවේලි මුහුදු තීරය මත ජල ක්‍රීඩා කරන, දිය මත ලිස්සා යන විනෝදකාමී පිරිස් බහුලයි. ඔවුන් මේ දිගු විසල් මුහුදු තීරයේ සිය විඩාව පමණක් නොවෙයි, අප්‍රසන්න මතක පවා දියකර හරිනවා කියලයි මට හිතෙන්නේ. ප්‍රීතිමත් සිනාකැන් පමණක් ම මුවඟට නැ‍ඟෙන්නේ ඒ නිසා විය යුතුයි.

පෙර කාලයේ වගේ නොවෙයි, දැන් නිලාවේලි මුහුදු තීරය විනෝදවීමට ප්‍රිය කරන ඔබ සඳහා ම අවශ්‍ය පහසුකම් සහිතව සැකසී තිබෙනවා. සංචාරකයන් වෙනුවෙන් ම සැකසුණු විවිධ තරාතිරමේ හෝටල්, අවන්හල්වලින් මෙහි අඩුවක් නෑ. ඒ නිසාම විනෝදවීමට ප්‍රියකරන ඔබට දැන් නිලාවේලි මුහුදු තීරය රජ දහනක්. මුහුදේ දිය නෑමෙන් අනතුරුව සිරුරේ බැ‍ඳෙන ලවණ මිශ්‍ර පටලය සෝදා ගැනීමට වෙරළ තීරයට ඇතුළු වන ස්ථානයේ ම වෙනම ජල කරාම සවිකර තිබෙනවා. ඒ නිසා නිලාවේලි මුහුදු තීරයේ විනෝද වූ ඔබට, ඔබ යෑමට බලාපොරොත්තු වන වෙන ඕනෑ ම ස්ථානයකට යෑමට කිසිදු බාධාවක් නෑ. ඒ නැවත වැලි ඉවතලා පිරිසිදු වීමට වෙනත් ස්ථාන සෙවිය යුතු නොවන නිසා. සුන්දර නැ‍ඟෙනහිර වෙරළ තීරය වඩාත් ම ප්‍රසිද්ධ විසිතුරු මසුන්ට, කොරල්පරවලට හා කැස්බෑවන්ට බව ඔබ දන්නවා. මුහුදු පත්ලේ විසිතුරු නරඹන්නට කැමැති ඔබට ඒ වෙරළ තීරය පාරාදීසයක්. ඒත් මුහුදු පත්ලේ අසිරිමත් සිරි නරඹන්නට නම් ඔබ යා යුතු පරෙවි දූපතට. පරෙවි දූපතට යන්නට කැමති ඔබට ඒ සඳහා විධිමත් හා කාර්යක්ෂම සේවාවක් එහි ස්ථාපිතයි. පරෙවි දූපතට යන ඔබ විස්මිත සුන්දර කොරල් නැරඹීමෙන්, විසිතුරු මසුන් නැරඹීමෙන් මවිත වෙනවා සිකුරුයි. ඒ සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක කබා ඇතුළු සියලු පහසුකම් එහි අන්තර්ගතයි. විසිතුරු මසුන් වගේම පරෙවි දූපතට යන ඔබ එහි අපූර්ව භූ විෂමතා අධ්‍යයනය කරමින් පතොක් ගස් හා නම් නොදන්නා වැල්වලින් සංගෘහිත කුඩා වන තීරය නරඹන්නට යන්නට දෙවරක් සිතන්නට එපා. වැල් හා තද සුළඟට ඔරොත්තු දෙන කුරු ගස් අතරින් ඒ කුඩා කන්දට යන ඔබ ලෝකයේ සුන්දරත්වය ගැන පුදුම වෙනවා නිසැකයි. කුඩා කඳු මුදුනේ සිට බලන විට සයුර හාත්පස දිස්වෙන්නේ පාරාදීසයක් සේ. මසුන් හා කොරල් නැරඹීමෙන් පමණක් තෘප්ත වී ඔබ පැමිණියහොත් ඒ අපූර්ව භූමි භාගයේ විස්මිත ‍පිහිටීම ඔබට මඟ හැරේවි. ඒ නිසා අතුවැල් අස්සෙන් රිංගා, ගල් මතින් පරිස්සමින් පය තබමින් ඒ කුඩා වනරොද නැරඹීමට යෑමට අමතක කරන්න එපා.

ඔබ දුරකතර ගෙවා නිලාවේලි මුහුදු තීරයටත් පරෙවි දූපතටත් යන්නේ විනෝද වෙන්න. ඒ සුන්දර වෙරළ තීරය නරඹන්න; විසිතුරු මසුන්, කොරල්පර නරඹන්න; එහි සිනිඳු සුදු මුදු වැල්ලේ දිගා වී සරතැස නිවාගන්න. වෙරළ තීරයත් ඔබ එන තෙක් බලා සිටින්නේ දෑත දිගු කරන්. එහෙත් ඒ සුන්දර වෙරළ තීරයේත්, පරෙවි දූපතේත් ඔබේ සතුටු සිනා කැන්, සුසුම් පමණක් ඉතිරි කර එන්නට කියා අප ඔබෙන් ආයාචනාත්මක ව ඉල්ලා සිටිනවා. දිගු වෙරළ තීරය පුරා ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් කවර හා මත්ද්‍රව්‍ය ගෙන ආ‍ බෝතල් නම් දමා යන්නට නම් එපා. ලොව සුන්දර ම වෙරළ තීරය රැකගැනීම තිබෙන්නේ ඔබ අතේ.

මුහුදු රළ නම් ඔබේ පා සටහන් පවා වෙරළ මත ඉතිරි කරන්නේ නෑ. සොබාදහම සැකසී තිබෙන්නේ ම එලෙසින්. මේ මිහිකතේ අනගිතම දායාද කිසිදු මිලක් නොගෙවා ම භුක්ති විඳින ඔබ, පෙරළා මිහිකතටත් ආදරය කළ යුතුමයි. නැතිනම් ඈ ඒ සොඳුරු දසුන් ඔබෙන් සඟවා ගනීවි. එබැවින් ඔබ ගෙන ගිය සියලු භෞතික දෑ නැවත රැගෙන එන්න; සුන්දර සිනාකැන් හා සුසුම්, දුක් දෝමනස්සයන් පමණක් වෙරළ තීරයේ තබා එන්න. වෙරළ තීරය ඒවා සියල්ල දරා ගනීවි.

සවස් කාලය අන් කොතැනකටත් වඩා නිලාවේලි මුහුදු තීරයට දිගුයි. සවස් කාලයේ ගිය නිසාදෝ හිරුගේ දැවෙන දෙනෙතින් අපට පීඩා විඳින්නට සිදු වූණේ නැහැ. සුන්දර සුදු මුහුදු වැලි තීරය ඔබ්බෙන්, මුහුදු රළ මත නේක රටා මවමින් සඳ සෞම්‍ය සොම්නස ද රැගෙන පායා ආවා. සඳ එළියේ රන්වන් බව පොරවාගෙන නැ‍ඟෙන බි‍ඳෙන පෙණ පිඬු විසුරවන රළ අපූරු චමත්කාරයකින් දිස්නෙ දුන්නා. අනන්ත අප්‍රමාණ නැ‍ඟෙන බි‍ඳෙන රළ දෙසත්, පායා එන සඳ එළිය දෙසත් මුහුදු වෙරළේ වැතිරී මා බලා සිටියේ අප්‍රමාණ සැනසීමකින්. සැමත නැ‍ඟෙන්නේ සිනා හඬ පමණයි; එහි දුකට සන්තාපයට ඉඩ නැහැ. ඉඳින් ජීවිතයට තවත් අවැසි මොනවාද?

Comments