අභි­යෝ­ගා­ත්මක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක්! | සිළුමිණ

අභි­යෝ­ගා­ත්මක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක්!

මේ දින වල සමාජ - දේශ­පා­ලන ක්ෂේත්‍ර­වල ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන්නේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යන්, ඔවුන්ට එල්ල කෙරෙන විවේ­චන හා දේශ­පා­ලන පක්ෂ අභ්‍ය­න්ත­රයේ ඒ වෙනු­වෙන් උද්ගත වී තිබෙන උණු­සුම හා ගැටුම ආදි­යයි. ඒ සමඟ ම පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීමේ අව­කා­ශ­යක් තිබේද යන ප්‍රශ්න­යත් සමාජ අව­ධා­න­යට ලක්ව තිබේ. යම් හෙය­කින් පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා බාධා­වක් නැතැයි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ප්‍රකාශ කළ­හොත් ජනා­ධි­ප­ති­ව­රන සටනේ දේශ­පා­ලන න්‍යාය පත්‍රය බහා තැබී­මට ද සිදු­විය හැකිය. ඒ කුමක් වුවත් එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය මෙරටේ දේශ­පා­ලන පක්ෂ­ව­ලට අති­ශය තීර­ණා­ත්මක එකක් වනු ඇත. දේශ­පා­ලන විචා­ර­ක­යන් පම­ණක් නොව මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යාගේ ද ප්‍රකාශ වලින් තහ­වුරු වන්නේ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට සිය­යට 51 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ලැනීම දුෂ්කර වන බව ය. කුමක්ද එයට හේතුව; ඒ වූ කලී ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන බල අර­ග­ලයේ අනිටු පල­යක් හා එයට හේතු වු මනාප ඡන්ද මග­ඩි­යත් බව කව්රුත් දනිති.

 

කිසි­යම් රට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ යහ­පත් ලක්ෂ­ණ­යක් වන්නේ නිද­හස් මැති­ව­රණ ක්‍රම­යයි. මහ­ජන කැමැත්ත නිර­බා­ධිත ව හා පැහැ­දිලි ව ප්‍රකාශ වීම එයින් අපේක්ෂා කෙරේ. එහෙත් දැන් කලක සිට භාවිත වන මනාප ඡන්ද ක්‍රමය ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යට බාධා­වක් බව කවු­රුත් දනිති. ප්‍රකට ආණ්ඩු­ක්‍රම විශේ­ෂ­ඥ­යකු මෙන්ම විදග්ධ දේශ­පා­ලන භුමි­කා­ව­කට හිමි­කම් කියන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් මේ ඡන්ද ක්‍රමය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පට­හැනි විකෘ­ති­යක් බව එදා පැහැ­දිලි ව ම ප්‍රකාශ කළේය. ඒ කුමක් වුවත් එවක බලයේ සිටි එ.ජා.ප. ය එදා සිය බහු­තර බලය පාවිච්චි කිරී­මෙන් සම්මත කළ 1978 ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මෙර­ටට අත්පත් කර දුන් විනා­ශය බර­ප­තල එකක් විය. ඇත්ත වශ­යෙන්ම ඒ ආණ්ඩු­ක්‍ර­මය එ.ජා.ප.ය නමැති දේශ­පා­ලන පක්ෂය දෙස බලා ගෙන ඒ මිම්මට සකස් කරන ලද්දකි. ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ද 78 ව්‍යව­ස්ථාව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආභ­රණ පැළඳ වූ ඒකා­ධි­පති ක්‍රම­යක් බව ය. එහෙත් 1978 සිට 2019 වන­තු­රුත් අපට ඒ ක්‍රම­යෙන් ඉඳුරා ගැල­වී­මක් නැති විය. ඒ ක්‍රමය යෝජනා කර සම්මත කළ උරු­ම­ක්කා­රයෝ පවා අද වන විට එහි විපත් දකිති.

2015 ජන­වාරි 08 දේශ­පා­ලන පෙර­ළියේ ප්‍රබල සට­න්පා­ඨය වූයේ විධා­යක ජනා­ධි­ප­ති­ක්‍ර­මය අහෝසි කරන බව ය. එයට මුල් වූයේ ද එ.ජා.ප.ය ඇතුළු විවිධ දේශ­පා­ලන පක්ෂ හා සිවිල් සංවි­ධාන වලින් සැදු­ම්ලත් පෙර­මු­ණකි. එහි නිය­මුවා ලෙස මහ­ජ­නයා විසින් බලය ලබා දෙන ලද්දේ එදා පොදු අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වූ මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට ය. මෛත්‍රී ඒ අභි­යෝ­ග­යට උර දුන්නේ මෙරටේ ප්‍රබ­ල­තම දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් වන ශ්‍රී ල.නි.ප.යේ මහ ලේකම් ධුරය ද ඔට්ටු­වට තබ­මින් ය. ඉතා සුළු ප්‍රමා­ද­ය­කින් මෛත්‍රීට සිය දේශ­පා­ලන පැවැත්ම අන­තු­ර­කට ලක් කර ගැනීමේ අව­කා­ශය ද තිබුණි. එහෙත් විධා­යක පාල­න­යක වින්දි­ත­යන් බවට පත්ව සිටි ජන­තාව මෛත්‍රී මෙරටේ අභි­නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තෝරා ගත්හ. එසේ­නම් ජන­තාව අපේක්ෂා කළ විධා­යක ක්‍රමය අහෝසි නොවූයේ ඇයි? ඇත්ත වශ­යෙන් ම එයට දිය යුතු කෙටි පිළි­තුර එය මෙරටේ දේශ­පා­ලන නාය­ක­යන්ගේ හා ඔවුන් වෙළා­ගත් බල තෘෂ්ණාවේ සැබෑ ප්‍රති­ඵ­ලය ලෙස එය ඉටු නොවූ බව ය. 2015 දී ජන ප්‍රසා­ද­යෙන් රාජ්‍ය නාය­ක­ත්ව­යට පත් වූ මෛත්‍රී ඉතා පැහැ­දිලි ව ම ඒ ජනතා අභි­ලා­ෂය ඉටු කිරී­මට අප්‍ර­මාණ ව කැප විය. එහෙත් ඔහු සමඟ ඒ කාර්යට දායක වු දේශ­පා­ලන කණ්ඩා­යම තුළ වූයේ කෙබඳු දුෂ්ට අර­මුණු හා ඉලක්ක ද යන්න දැන් ප්‍රකට රහ­සකි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට මුළු වැර යොදා කළ හැකි වූයේ පැවති ව්‍යව­ස්ථා­වට සංශෝ­ධ­න­යක් ඉදි­රි­පත් කිරීම පමණි. 19 වැනි සංශෝ­ධ­නය ලෙස සම්මත වූයේ එයයි. ඒ සංශෝ­ධන ක්‍රියා­දා­මය තුළ සාධ­නීය ලක්ෂණ නැතැයි කිව නොහැ­කිය. එයට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කළ යෝජනා කීප­යක් ද ඇතු­ළත් වී තිබුණි. එහෙත් එම­ඟින් සිදු වූයේ විධා­යක ක්‍රමය අවුල් ජාල­යක් බවට පත් කිරී­මකි. එය මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා හෝ ජන­තාව අපේක්ෂා කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රති­සං­ස්ක­රණ නම් නොවීය. විධා­ය­කයේ බලය අවම කිරී­ම­ටත් පාර්ලි­මේන්තු ක්‍රමය ශක්ති­මත් කිරී­ම­ටත් ක්‍රියා­ක­රන බවට ආණ්ඩුව මෙන්ම සිවිල් සංවි­ධාන කෙබඳු ඝෝෂා කළත් සිදු වූයේ වෙනත් දෙයකි. මේ වන­විට 19 වැනි සංශෝ­ධන ක්‍රියා­ව­ලියේ භාර­කා­ර­ත්ව­යට පවා චෝදනා නැඟී තිබේ. එහි ඇතැම් සමා­ජි­ක­යන්ගේ පාපො­ච්චා­රණ ද ඇසුණි. කුමක් වුවත් වැඩේ ලෙඩක් වී රටට අවු­ලක් පම­ණක් ඉතිරි වී තිබෙන බව නම් පැහැ­දිලි ය. එය මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ද රහ­සින්, ක්‍රියා­ත්මක වූ දේශ­පා­ලන මෙහෙ­යු­මක් නිසා සිදු වූවක් බව අපට සෘජු ව ම කිව හැකිය. ඇත්තට ම සිදු වූයේ එදා පාර්ලි­මේ­න්තුවේ බලය විධා­ය­කයේ සාක්කු­වට දමා ගත් ජේ.ආර්.ගේ ක්‍රමය වෙනු­වට විධා­ය­කගේ බලය සාක්කු­වට දමා ගත හැකි රනිල්ගේ ක්‍රම­යක් සකසා දීමකි. එහෙත් එයට නීති­මය සීමා හරස් වීම නිසා ව්‍යවස්ථා සංශෝ­ධ­නය සූත්‍ර­ධ­ර­යන්ගේ ක්‍රියා­දා­මය රට අවු­ල­කට ඇද දැමී­මක් විය. එසේම රටේම ජන­තා­වගේ ඡන්ද­යෙන් තේරී පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමිව තිබුණු සාධ­නීය බල­තල පවා ඇඟට පතට නොදෙනී ඉවත් කර තිබීම ද 19 වැනි සංශෝ­ධ­න­යේදී සිදු විය. කෙබඳු දූෂ­ණ­යක් සිදු කළත් පාර්ලි­මේ­න්තුව විසු­රුවා ලීමට තිබුණු බලය ඉවත් වූයේ ද ඒ අනු­වය. ජනා­ධි­පති ධූර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීර­ණය ගැන අද­ටත් සම­හරු ප්‍රශ්න කරන්නේ ද ඒ ව්‍යාකූ­ල­ත්වය නිසා ම ය. එප­ම­ණක් නොව 19 වැනි සංශෝ­ධ­න­යෙන් ජාතික ලැයිස්තු ක්‍රම­ය­වත් ඉවත් කිරී­මට නොහැකි වීමෙන් තහ­වුරු වන්නේ අපේ දේශ­පා­ලන නාය­ක­යන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ජප කර­මින් බල අර­ග­ලයේ ම නිර­තව සිටින බව නොවේද?

කුමක් වුවද මේ වන විට ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ පවා විවිධ මත භේද හා ගැටුම් මැද ඇදී යන ආකා­ර­යද අපි දකිමු. මේ ගැටුම් නිසා එ.ජා.ප. ජන­පති අපේ­ක්ෂ­කයා නම් කිරීම කල් යන බව මාධ්‍ය වල පළවී තිබුණි. එසේම එක්සත් ජාතික පෙර­මුණ පක්ෂ නාය­ක­යන් අතර අව­සන් එක­ඟ­තා­වක් ඇති වී නැති බව ද කියති. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ සිය අපේ­ක්ෂ­කයා ප්‍රකා­ශ­යට පත් කර තිබු­ණත් ඔවු­න්ගේම සාමා­ජි­ක­ත්ව­යෙන් හා අනු­ගා­මි­ක­ත්ව­යෙන් යුතු ඔවුන්ට වඩාත් ම සමීප ශ්‍රී ල.නි.ප.ය මෙතෙක් ඔවුන්ගේ අපේ­ක්ෂ­කයා වන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහාය දෙන බවක් නිල වශ­යෙන් ප්‍රකාශ කර නොති­බීම ද විශේෂ කරු­ණකි. එ.ජා.ප.ය හැරුණු විට මෙ රටේ පැර­ණි­තම මෙන් ම ආණ්ඩු බලය අත්පත් කර­ගත් ප්‍රධාන පක්ෂය ශ්‍රී ල.නි.ප.යයි. ශ්‍රී ල.නි.ප.යෙන් වෙන්ව ඇර­ඹුණු ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ වටා වමේ හා ප්‍රමුඛ ජන­බ­ල­යක් ද එක­රාශි වී තිබේ. දේශ­පා­ලන අංක ගණි­තය අනුව පොදු ජන පෙර­මුණ අද ශ්‍රී ල.නි.ප. අබි­බවා ඉදි­රි­යට ගොස් ඇති බව එහි නාය­කයෝ මෙන්ම අනු­ගා­මි­කයෝ ද කියති. පසු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­රණ ප්‍රති­ඵ­ලය අනුව එම පක්ෂය ඉදි­රි­යෙන් සිටින බව තර්ක කළ හැකිය. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණය වැනි ප්‍රධාන මැති­ව­ර­ණ­ය­කදී ඡන්ද­දා­ය­ක­යාගේ හැසි­රීම කෙසේද? යන කරුණ ද ගැඹු­රින් සිතා බැලිය යුත්තකි. ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයා­සිරි ජය­සේ­කර අව­ධා­ර­ණය කරන පරි­දිම මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා හා මහින්ද විපක්ෂ නාය­ක­ව­රයා එක්ව ඒ පිළි­බඳ ව සියලු කරුණු සාකච්ඡා කර එක­ඟ­තා­ව­කට පැමි­ණිය යුතු වෙති. දුමින්ද දිසා­නා­යක පව­සන්නේ ද ශ්‍රී ල.නි.ප. අන­න්‍ය­තාව සුරැ­කෙන ගෞර­ව­නීය සම්මු­ති­ය­කට එළ­ඹිය යුතු බව ය. ශ්‍රී ල.නි.ප.ය පොහො­ට්ටු­වට දිය­කර හැරී­මට ඉඩ නොදිය යුතු බව ය.

ශ්‍රී ල.නි.ප. යනු උපන් ගෙයි අධි­රාජ්‍ය විරෝධී හා ධන­වා­ද­යට එකඟ නොවූ පොදු ජන­බල වේග­යකි. 1951 සැප්තැ­ම්බර් 02 වනදා උපත ලබන ශ්‍රී ල.නි.ප.ය මෙරටේ ජාතික සංස්කෘ­තික උරුම ස්වදේ­ශි­ක­ත්ව­යක් මත පද­නම් වූ මධ්‍යම ප්‍රති­ප­දාව අනු­දත් ජන බල­වේ­ග­යකි. මහින්ද, මෛත්‍රී යන දෙනොම ඒ ශ්‍රී ල.නි.ප.යේ සුජාත දරු­වෝය. ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහතා 1956 දී මෙරටේ අග­මැ­ති­ව­රයා ලෙස පත්වූයේ මහ­ජන එක්සත් පෙර­මුණ නැමැති සන්ධා­න­යෙනි. 1951 දී ශ්‍රි ල.නි.ප.ය ගොඩ නඟා 1952 මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ බණ්ඩා­ර­නා­යක මහ­තාට එදා ලබා ගත හැකි වූයේ ආසන 9 ක් වැනි සංඛ්‍යා­වකි. එසේම මෙරටේ ශ්‍රී ල.නි.ප.ය සතු ශක්තිය හා මැද­හත් වීම් සුළු කොට තක්සේරු කිරී­මද වමේ බල­වේග වලට වුවද නොහැකි වේ.

කෙසේ වුවත් චන්ද්‍රිකා කුමා­ර­තුංග සමඟ එළ­ඹෙන ශ්‍රී ල.නි.ප. යුගය අව­සන් වූ ආකා­ර­යත්, ඉනි­ක්බි­තිව මහින්ද රාජ­ප­ක්ෂගේ ශ්‍රී ල.නි.ප. නාය­ක­ත්ව­යත් කිසි­යම් සීමාහි සාර්ථක වුව ද එයට හිමි ජන­ප්‍රි­ය­ත්වය අඛණ්ඩ ව රඳවා ගැනී­මට නොහැකි වූ බවද රහ­සක් නොවේ. 2010 වෙද්දී ශ්‍රී ල.නි.ප.යට වඩා බල­වත් දේශ­පා­ලන පෞරු­ෂ­යක් ගොඩ­නඟා ගැනී­මට මහි­න්දට හැකි වී තිබුණි. ඒ තිස් අවු­රුදු ත්‍රස්ත­වා­දය පරා­ජය කර­මින් රටේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම නිසා ය. 2010 දී මහින්ද සටන් කළේ යුද්ධ­යට හමුදා නාය­ක­ත්වය ලබා­දුන් සරත් ෆොන්සේකා සමඟ ය. අන­තු­රුව එළඹී 2015 මැති­ව­ර­ණ­යේදී යුද ජය­ග්‍රා­හ­කයා වී සිටි ප්‍රබල අපේ­ක්ෂ­කයා වුයේ මහින්ද ය. එහෙත් මහි­න්දගේ දෙවන පාලන යුගය පිළි­බඳ ජන­තාව තුළ ප්‍රසා­ද­යක් නොවූ බව පැහැ­දිලි විය. මහි­න්දට තර­ග­යක් දිය හැකි නාය­ක­ත්ව­යක් එ.ජා.ප.ය මෙහෙය වූ රනිල්ට තිබුණේ ද නැත. රාජ­පක්ෂ බලය පෙරළා දැමීම සඳහා ශක්ති­මත් දේශ­පා­ලන පෞරු­ෂ­යක් සොයා ගැනීම පවා එවේ­ලෙහි අභි­යෝ­ග­යක් විය. ඒ සඳහා කාගේත් අව­ධා­නය යොමු වූයේ ශ්‍රී ලං.නි.ප.යේම මහ ලේකම් ධුරය හෙබ වූ මෛත්‍රී කෙරෙහි ය. ඒ තෝරා ගැනීම ඵෙති­හා­සික ඇර­ඹු­මක නිමි­ත්තක් මෙන්ම නිවැ­රදි එකක් බව මෛත්‍රී ලද ජය­ග­හ­ණ­යෙන් තහ­වුරු විය.

මෛත්‍රී ජනා­ධි­ප­තිවී පසුව එළඹී මහ මැති­ව­ර­ණයේ ඉදි­රි­යෙන් සිටියේ රනිල් මෙහෙය වූ එ.ජා.ප.යයි. ඒ සඳහා මෛත්‍රීගේ ආක­ර්ෂ­ණය ද නොලැ­බුණා නොවේ. මහි­න්දගේ නාය­ක­ත්ව­යෙන් යුතු පොදු ජන පෙර­මු­ණට හිමි වූයේද අඩු බල­යකි. මෛත්‍රී රනිල් දාය­ක­ත්ව­යෙන් පිහිට වූ ආණ්ඩු­වට ඉඩදී මහින්ද ඇතුළු පොදු ජන පෙර­මුණේ පිරි­සක් විප­ක්ෂයේ අසුන් ගත්හ. තාක්ෂ­ණික ප්‍රශ්න­යක් නිසා විපක්ෂ නාය­ක­ත්වය හිමි වූයේ දෙමළ සන්ධා­නයේ නායක ආර්. සම්ප­න්දන් මහ­තාට ය. ජ.වි.පෙ. අනුර කුමාර දිසා­න­ය­කට විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ධුරය හිමි විය.

මේ අතර ශ්‍රී ල.නි.ප.යේ නාය­ක­ත්වය ද මෛත්‍රීට හිමි වූ අතර ඔහු විසින් ශ්‍රී ල.නි.ප.ය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ ක්‍රියා­දා­ම­යක්ද අර­ඹන ලදී. රාජ­ප­ක්ෂ­ව­රුන් ශ්‍රී ල.නි.ප.යෙන් විතැන් වී පොදු ජන පෙර­මුණ හෙවත් පොහොට්ටු පක්ෂය ආරම්භ වන්නේද මේ දේශ­පා­ලන සන්ද­ර්භයේ ය. ඒ කුමක් වුවත් මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදි­රි­යට ගියේ සීතල යුද්ධ හා දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­මය ගැටුම් ද සමඟ ය. රනිල් සමඟ සිටි ඇතැම් පිරි­ස­කගේ සහාය ද ඇතිව සිදු වූ ආර්ථික ක්‍රියා­මර්ග මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රති­ක්ෂේප කිරීම ද මේ දේශ­පා­ලන විර­ස­ක­යට හේතු විය.

මෛත්‍රී රනිල් විර­ස­කයේ කූඨ­ප්‍රා­ප්තිය වුයේ රනිල්ගේ ආණ්ඩුව ඉවත් කර මහින්ද අග­මැති කර­මින් බලා­ත්මක කළ ආණ්ඩුව ය. එහෙත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කළේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ක්‍රියාව සදොස් බව ය. එහිදී මහි­න්දට පාර්ලි­මේ­න්තුවේ සිය බලය තහ­වුරු කළ හැකි වූයේ නම් ඒ ගැටලු සියල්ල නිරා­ක­ර­ණය වීමට ද ඉඩ තිබුණි. එහෙත් සුළු පක්ෂ මෙන්ම ජ.වි.පෙ.ද මහි­න්දගේ බල­යට අභි­යෝග කළ හෙයින් රනිල්ට යළිත් අග­මැති ධුරය ලැබුණි. සැබැ­වින් ම එදා උද්ගත වූ ඒ ක්‍රියා­දා­ම­යට නිවැ­රදි ම විස­ඳුම වූයේ අලුත් මහ­ජන වර­මක් ලබා ගැනී ම ය. එහෙත් එයට ද නීති­මය බාධා හරස් විය. පාර්ලි­මේ­න්තුව විසු­රුවා ලීමේ බලය ද විධා­ය­ක­යෙන් ඉවත් කර තිබීම එයට හේතු විය.

ඉනි­ක්බි­තිව එ.ජා.ප.ආණ්ඩුවේ දෙවැනි ඉනිම ආරම්භ වුවද එයින් උද්ගත වූ දේශ­පා­ලන ව්‍යාකූ­ල­ත්ව­යට විස­ඳු­මක් ලැබුණේ ම නැත. ආණ්ඩුව රනිල්ගේ අභි­ම­තය වුව ද මෛත්‍රී එහිදි බොහෝ දේවල් වළ­ක්වා­ලී­මට ද සමත් වීම ජන­තාව ලද ජය­ග්‍ර­හ­ණ­යක් විය. ආණ්ඩුවේ නව ලිබර්ල් ප්‍රති­පත්ති සමඟ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ගැටලු රැසක් ම තිබුණි. මේ කාලය අතර තවත් විශේෂ දෙයක් සිදු විය. ඒ ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යෙන් ආණ්ඩු­වට අන්ත පරා­ජ­යක් හිමි වීම ය. මෛත්‍රී නාය­ක­ත්වය දුන් ශ්‍රී ල.නි.ප.යටද එයින් හොඳ ප්‍රති­ඵ­ල­යක් ලබා ගත නොහැකි විය. මහින්ද නොනිල මට්ට­මෙන් සහාය දුන් පොහො­ට්ටු­වට ප්‍රබල ස්ථාන­යක් හිමි විය. මේ ජය­ග්‍ර­හ­ණය ශ්‍රී ල.නි.ප.යේ පසු­බෑ­ම­කට මෙන්ම පොහො­ට්ටුවේ සම­හ­රුන්ගේ උන්මා­ද­ය­කට ද හේතු විය. එහෙත් එබඳු ප්‍රති­චාර වලින් සිදු විය හැක්කේ යහ­ප­තට වඩා අය­හ­ප­තක් බව ද බොහෝ දෙනෙක් වටහා නොග­නිති.

මේ පසු­බිම තුළ මේ රටට අවශ්‍ය ජනා­ධි­ප­ති­ව­රයා ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳහා නිසැක වශ­යෙන්ම ශ්‍රී ල.නි.ප.යත් එහි වත්මන් නායක මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහා­යත් අවශ්‍ය වනු ඇත. මෛත්‍රී මහින්ද එක­ඟ­තාව ලෙස දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වක් සහිත අය විසින් හඳු­න්වනු ලබන්නේ ද මේ පක්ෂ දෙක එක්ව රටේ අභි­වෘ­ද්ධි­යට ක්‍රියා කළ යුතු බව ය.

 

Comments