ඇසළ පෙර­හරේ වස් දොස් යන්න විෂ්ණු දේවා­ලයේ නටන හත් දා වලි­ය­කුම | සිළුමිණ

ඇසළ පෙර­හරේ වස් දොස් යන්න විෂ්ණු දේවා­ලයේ නටන හත් දා වලි­ය­කුම

 

සෙංක­ඩ­ග­ල­පුර ඇසළ පෙර­හර මංග­ල්‍යය මහා විෂ්ණු දේවා­ලය මුල් වී කප්සි­ටු­වීමේ චාරි­ත්‍ර­යෙන් අරඹා මහා විෂ්ණු දේවා­ලයේම කෙරෙන වලි­යක් මංග­ල්‍ය­යෙන් නිමා­වට පත් වේ.

 

ඇසළ පෙර­හර සාර්ථක ලෙස කිරී­මට දෙවි­යන්ගේ ආශි­ර්වා­දය අවශ්‍ය යයි විශ්වා­ස­යක් පවතී. එබැ­වින් පෙර­හර අව­සා­නයේ දී දෙවි­යන්ට පිං අනු­මෝ­දන් කර­වී­ම­ටත් පෙර­හ­රට සහ­භාගී වූ අලි ඇතුන් ඇතුළු සිය­ලුම දෙනාට සෙත් පතා වස් දොස් දුරු කිරී­ම­ටත් යොදා­ගත් ශාන්ති­ක­ර්මය වන්නේ වලි යකුන් නැටීම හෙවත් වලි­යක් මංග­ල්‍ය­යයි. මෙය දින හතක් පැවැ­ත්වෙන නිසා “හද්දා වලි­ය­කුම” ලෙසද හඳු­න්වනු ලැබේ.

වලි­යක් මංග­ල්‍යය ශාන්ත­ක­ර්මය වර්ත­මා­නයේ කරනු ලබන්නේ මහ­නු­වර මහ විෂ්ණු දේවා­ලයේ පමණි. අතී­තයේ දී එය මහ­නු­වර සතර දේවා­ල­යේත්, අලු­ත්නු­වර, ගඩ­ලා­දෙ­ණිය, ඇම්බැක්ක, දොඩ­න්වල, හඟු­ර­න්කෙත ආදී අනෙ­කුත් ප්‍රාදේ­ශීය දේවා­ල­ව­ලද වාර්ෂික පෙර­හර නිමා වූ පසු පවත්වා ඇති බවට සාධක තිබේ. එහෙත් වර්ත­මා­නයේ වලි­යක් මංග­ල්‍යය කරන ශිල්පීහු එය මහ විෂ්ණු දේවා­ල­යෙන් පිට තැනක කිරී­මට ඉදි­රි­පත් නොවෙති.

වලි­යක් මංග­ල්‍ය­යේදී කරන නැටුම් සාමා­න්‍ය­යෙන් පෙර­හ­රේදී කරන නැටු­ම්ව­ලට වඩා ශාස්ත්‍රීය වේ. එසේම වලි­යක් මංග­ල්‍ය­ය­ටම විශේෂ වූ නැටුම් ද ඇත. මෙහි ඇති තවත් විශේ­ෂ­ත්ව­යක් නම් පෙර­හ­රේදී නැටුම් දක්වන නැට්ටු­වන් මේ ශාන්ති­ක­ර්ම­යට සහ­භාගී නොවී­මයි. වලි­යක් මංග­ල්‍යය කරන්නේ සිංහල රජ දවස සිටම මෙම කට­යුත්ත සඳහා ගම්වර ලබා සිටින මාව­නැල්ලේ අලු­ත්නු­වර දේවා­ලය අසල පදිංචි ප්‍රසිද්ධ නාට්‍ය පර­පු­රක නැට්ටු­වන් විසිනි. ඒ පර­ම්ප­රාව දෙව­න­ගල නැටුම් පර­පු­රයි. එහි වර්ත­මාන ප්‍රධා­නියා වන්නේ සයි­මන් ගුරු­න්නාන්සේ ය.

වලි­යක් මංග­ල්‍යය සඳහා විෂ්ණු දේවා­ලය තෝරා­ගෙන ඇත්තේ වලි­ය­කුන් විෂ්ණු දෙවි­යන්ගේ දරු­වන් යයි විශ්වා­ස­යක් පව­තින බැවිනි.

 

වලි­ය­කුන්ගේ උපත

 

දිනක් උපු­ල්වන් දෙවි වනයේ ඇවි­දි­මින් සිටින විට එක් විල් තෙර­කදී “සීතා­පති” නම් රූමත් දෙව­ඟ­නක් හමු විය. ඇය සිය වස­ඟ­යට ගත් උපු­ල්වන් දෙවි ඈ සිය භව­න­යට කැඳ­වා­ගෙන ආවේය. ඔවුන්ගේ ඇසුර නිසා කල් යෑමේ දී සීතා­පති ගැබ් ගත්තාය. එහෙත් ඇය පිළි­බඳ සැක ඉපිද වූ උපු­ල්වන් ඇය කැල­යට ගෙන­ගොස් මරා­ද­මන ලෙස සිය මල­නු­වන්ට නියම කළේය. ඇය කැල­යට ගෙන ගිය උපු­ල්වන්ගේ සොහො­යුරු ඇය කෙරෙහි අනු­කම්පා කොට ඇයට ජීවිත දානය දී කැලයේ ඈතට ගොස් ජීවත් වන ලෙස පවසා ආපසු ආවේය.

වනයේ තනි වූ සීතා­ප­තිට “නාග­පට්ඨ” නම් සෘෂි­ව­ර­යෙකු මුණ ගැසී ඇය සිය අස­පුවේ රඳවා ගත්තේය. මඳ කල­කින් ඕ පුත් කුම­රෙකු වැදු­වාය. ඔහුට “සඳ­ලිදු” යයි නම් තබන ලදි. දිනක් සීතා­පති පල­වැල නෙළී­මට අස­පු­වෙන් බැහැර ගිය විට සඳ­ලිදු දක්නට නොවීය. ඔහු නැති වී යයි බියට පත් නාග­පට්ඨ සෘෂි­ව­රයා මහ­නෙල් මලක් ගෙන එවැ­නිම කුම­රෙකු මැවීය. සීතා­පති ආපසු පැමිණි කල මෙතෙක් සැඟ වී සිටි සඳ­ලිදු ද ආපසු ආවේය. එක සමාන දරු­වන් දෙදෙනා දුටු විට සීතා­පති පුදු­ම­යට පත් වී ඒ ගැන විමසූ විට වූ සියල්ල සෘෂි­ව­රයා විසින් විස්තර කරන ලදි.

එහෙත් සීතා­පති හට එය අව­බෝධ කර­වීම අප­හසු වූ බැවින් ඊතණ මිටක් ගෙන තවත් දරු­වෙකු මවා පෙන්වී­මට සෘෂි­ව­ර­යාට සිදු විය. අන­තු­රුව කුම­රුවෝ තිදෙ­නාම සීතා­ප­තිගේ සෙනෙ­හස ලබ­මින් වන­යේම වැඩු­ණාහ. මලෙන් උපන් කුමරු “මලේ කුමරු” යනු­වෙන්ද ඊතණ මිටෙන් උපන් කුමරු “කස්ත්‍රිය” කුමරු යනු­වෙන්ද හැඳි­න්විණි.

උපු­ල්වන් හා සීතා­පති කතාව වෙනත් අයු­ර­කින්ද සඳ­හන් වේ. එහිදී උපු­ල්වන් හෙවත් විෂ්ණු ආරෝ­ප­ණය කර ඇත්තේ රාම­ටය. රාවණා හා යුද කර රාම සීතාව දිනා­ගෙන පැමිණ කලක් ගත­වන විට මහ­දෙ­වි­යන්ගේ බිසව වූ උම­යං­ගනා රාව­ණාගේ හැඩ­රුව විම­සීය. සීතා අළු­කෙ­සෙල් පිත්තක රාවණ සිත්තම් කළාය. රාම එනු දුටු සීතා කෙසෙ­ල්පත යහනේ සැඟ­වූ­වාය.

රාම යහනේ සැතැ­පු­ණේය. මද වේලා­ව­කින් යහන රත් වී කෙසෙල් පත සෙල­වී­මට පටන් ගත් බවත්, මේ කුම­ක්දැයි පිරික්සූ රාමට රාවණ රූපය සහිත කෙසෙල් පත හමු වූ බවත්, ගැබ්බ­රව සිටි සීතාව සැක කළ රාම ඇය කැල­යට ගෙන ගොස් මරා දමන ලෙස මල­නු­වන් වූ ලක්‍ෂ­ම­ණට නියම කළ බවත් එම කතාවේ පැණේ. වනා­න්ත­රයේ දී සීතා බිස­වට අභය දුන් ලක්‍ෂ­මණ ආපසු පැමිණ ඇය මරා­දැමූ බව රාමට පැවැ­සීය.

වනයේ තනි වූ සීතා බිස­වට හමු­වන්නේ “වාල්මිකී” නම් සෘෂි­ව­ර­යෙකි. මෙහි ඉතිරි කොටස පෙර ප්‍රවෘ­ත්තිය ලෙස­මය. රාමා­ය­නයේ සඳ­හන් රාම, සීතා හා ලක්‍ෂ­මණ මෙහි එන උපු­ල්වන් සීතා හා උපු­ල්වන්ගේ සොහො­යුරු ලෙස පිළි­ගනු ලැබේ.

එලෙස උපන් සඳ­ලිදු , මලේ කුමරු හා කස්ත්‍රිය කුමරු තිදෙ­නාට දිනක් වනයේ ඇවි­දි­මින් සිටින විට අඹ කඩ­මින් සිටි පත්තිනි දෙවිය හා පාලග කුමරු මුණ ගැසිණි. ඒ පාලඟ කුමරු ගසට නැඟ කෙක්ක­කින් අඹ කඩ­මින් සිටින විට හා පත්තිනි දේවිය බිම සිට කෙක්ක­කින් අඹ කඩ­මින් සිටින විටය. එක් මොහො­තක දෙදෙ­නාගේ කෙකි දෙක එකට ඇමි­ණිණි. පත්ති­නිය සිය කෙක්ක ඇද්ද නමුත් එය ඇද­ගත නොහැකි විය. පුළු­වන් නම් එය ඇද­ගන්නා ලෙස කිය­මින් පාලග කුමරු පත්ති­නි­යට විහිළු කළේය. ලජ්ජා­වට පත් පත්ති­නිය වට පිට බලන විට එතැ­නට පැමිණ සිටි සඳ­ලිදු, මලය හා කස්ත්‍රිය කුමා­ර­ව­රුන් දුටු­වාය.

පත්ති­නිය මොවුන්ට කතා කොට සිය කෙක්ක ඇද දෙන ලෙස ඉල්ලා සිටි­යාය. කුමා­ර­වරු තිදෙනා පැමිණ එක වලි­ය­ටම (එක්ව­රම) කෙක්ක ඇද්දෝය. එවිට පාල­ඟගේ කෙක්ක කැඩී ගියේය. එයින් විස්ම­යට පත් පත්තිනි දේවිය “වලි­යට යකුන්” යයි කියා කුමා­ර­වරු තිදෙ­නාට වරම් දෙවා බල­ස­ම්පන්න දේව ගණ­යට ඇතු­ළත් කළ බවට යාති­කා­වල දැක්වේ. අං කෙළිය පැවැ­ත්වෙන්නේ ද මේ සිද්ධිය සිහි­පත් වීමට බව­ටද මත­යක් ඇත. .

 

ඇඳුම් ආයි­ත්තම්

 

වලි­යක් මංග­ල්‍යය නටන ශිල්පීන් සැර­සෙන්නේ කොහොඹා දෙවි­යන්ගේ ඇඳුම් කට්ට­ලය සේ සැල­කෙන වෙස් කට්ට­ල­ය­කිනි. එහි වලි­යක් දෙවි­යන්ගේ ආභ­රණ සිහි­පත් කර­මින් ඔටුන්න මත “සිවි­ලිය” තැන්පත් කර ඇති අයුරු දැකිය හැකිය.

“සිවි­ලිය” බැඳීම වලි­යක් මංග­ල්‍ය­යයේ කෙරෙන විශේෂ කාර්යකි. එය කෙරෙන්නේ සය වැනි දින­යේය. නිය­මා­කා­ර­යෙන් නම් වලි­ය­කුම නැටිය යුත්තේ “සිවි­ලිය” නමැති විශේෂ හිස් පල­ඳ­නාව සහි­තව බව මුදි­යන්සේ දිසා­නා­යක මහතා දක්වයි. වර්ත­මා­නයේ සිවි­ලිය නොප­ල­ඳින්නේ වස් වැටීම පිළි­බ­ඳව ඇදු­රන් තුළ පව­තින විශ්වා­සය නිසාය. “සිවි­ලිය” වෙස් තට්ටුව මෙන් දෙගු­ණ­යක් පමණ වන ශීර්ෂා­භ­ර­ණ­යක් වන අතර එය හිසේ සිවි­ලිය ජටාව බැඳී­මෙන් පසු බඳිනු ලබ­න්නකි.

එය පැලඳ නැටූ ඇඳු­රන් කීප දෙනෙ­කුම ක්‍ෂණි­කව මර­ණ­යට පත් වූ බවට පව­තින වාර්තා නිසා කිසිම ඇඳු­රෙක් එය පැළැ­ඳී­මට ඉදි­රි­පත් නොවේ. එම නිසා එය පූජා භාණ්ඩ­යක් ලෙස සලකා වලි­යක් මංග­ල්‍යය පැවැ­ත්වෙන විට රඟ­ම­ඩල වෙත ගෙන එනු ලැබේ. එය ගෙන එනු ලබන්නේ වන්නකු රාල හෝ ප්‍රධාන කපු මහතා විසිනි. එය වඩ­ම­වන විට ප්‍රධාන යක්දෙස්සා විසින් සිවි­ලිය සම්බන්ධ කෝල්මුර කවි ගායනා කරනු ලැබේ.

මෙයට වසර 50කට පමණ පෙර එසේ වඩ­ම­වන සිවි­ලිය යක්දෙ­ස්සාගේ හිස මත තබා බැඳ යළි ගලවා දේවා­ල­යට වඩ­ම්මවා ඇත. මේ සිවි­ලිය බැඳීමේ චාරි­ත්‍රය අන්‍ය­යන්ට දර්ශ­නය නොවන ලෙස කළ යුතු චාරි­ත්‍ර­යක් හෙයින් වහ­න්ත­රා­ව­කින් ආව­ර­ණය කර­ගෙන කරන ලදි. සිවි­ලිය ගැලවූ පසු යක්දෙස්සා හා බෙක­රුවා ආව­ර­ණය කර­ගෙන රඟ හලෙන් ඉවත් කරනු ලැබේ. එම යක්දෙ­ස්සාට හා බෙර­ක­රු­වාට දේවා­ල­යෙන් විශේෂ ගෙවී­මක්ද කරනු ලැබේ. සිවි­ලිය ස්පර්ෂ කිරීම වස් වැදෙන කාර­ණ­යක් ලෙස සල­කන ලද නිසා එය කිසි­වෙ­කුට නොපෙ­නෙන පරිදි කරන ලදි. වර්ත­මා­නයේ එය කෙරෙන්නේ නැත.

වලි­ය­කුමේ පව­තින ගරු ගම්භී­ර­කම නිසාම එයට සහ­භාගී වන සිය­ලුම ශිල්පීන් දින 7ක් මස් මාංශ භක්‍ෂ­ණය, මත්පැන් පානය, ස්ත්‍රී සේව­නය ආදී කිලි­ව­ලින් වැළකී සිටිය යුතුය. එසේ කැප­වීම “පේ වීම” ලෙස හැඳින්වේ.

වලි­යක් මංග­ල්‍ය­යේදී හත් දිනට කෙරෙන කාර්ය පිළි­බඳ සවි­ස්තර විස්ත­ර­යක් මුදි­යන්සේ දිසා­නා­යක මහතා සිය වලි­යක් මංගල්‍ය පිවි­සුම ග්‍රන්ථ­යෙහි දක්වා ඇත. ඒ අනුව දින හතේ කෙරෙන කාර්ය සංක්‍ෂප්ත කොට දැක්වු­ව­හොත් මෙසේය.

 

දින හතේ කට­යුතු

 

වලි­ය­කුමේ ප්‍රථම දිනය හඳු­න්වන්නේ පේ කරන දිනය ලෙසය. එම පූජා චාරිත්‍ර දළදා මාලි­ගාවේ සවස හයට තේවා හේවිසි වාද­නය ආරම්භ කර­න­වාත් සම­ඟම පට­න්ගත යුතුය. එදින පූජා චාරිත්‍ර රාත්‍රී නවය පමණ වන විට අව­සන් වේ.

සෑම ශාන්ති කර්ම­ය­ක­දීම ඒ හා සම්බන්ධ පුද්ග­ල­යන් පූජා භාණ්ඩ, ශාන්ති කර්ම මඩුව ආදිය ශාන්ති කර්ම­යට සුදුසු පරිදි පිළි­යෙල කිරීම පේ කිරීම යනු­වෙන් අද­හස් කෙරේ. වලි­යක් මංග­ල්‍යය සඳහා මඩුව පිළි­යෙල කිරීමේ දී රංග භූමිය මධ්‍යයේ “සොලොස් මගල” අඳිනු ලැබේ.

එසේම රඟ­ම­ඩල වහලේ සුදු වියන් බැද එහි හරි මැද පොල් මල­කින් හා ගොක් කොළ­ව­ලින් කරන ලද සැර­සි­ල්ලකි. එය “ගව­ර­මල” ලෙසින් හැඳින්වේ. සොළොස් මගල අසල දකුණු පස පිරු­වට ඇඳ­ගත් ආලන්ති අම්මා­වරු වාඩි වී සිටිති. ප්‍රධාන දොර­ටුව ඉදි­රි­පස පිල්ක­ඩෙහි කෙසෙල් කොළ මත සුදු සහ­ලෙන් පිසින ලද බත් ගොඩ­වල් තුනකි. එහි දෙපස පහන් දල්වා ඇත.

ආලන්ති අම්මා­ව­රුන්ට වම් පසින් “සිවිලි වළන්” නමින් හඳු­න්වන කුඩා මුට්ටි 12කි. ඒ මත නිල්පාට රෙදි කඩක් අතුරා ඇත. එහි පූජා වට්ටි­යක් තබා ඇත. සවස 6ට පමණ වෙස් ඇඳු­මෙන් සැර­සුණ ප්‍රධාන යක්දෙස්සා රඟ­ම­ඩ­ලට පැමි­ණෙයි.

ඉක්බිති හේවිසි වාද­නය පැවැ­ත්වෙන අතර විෂ්ණු දේවා­ලයේ ප්‍රධාන කපු මහතා වලි­ය­කු­මට දායක වන අයගේ නළලේ පර­හද තව­රයි. ඊට පසු වන්න­කු­රාල දේවා­ලයේ වැඩ සිටින මාලයේ සිට දේවා­භ­රණ රඟ මඬ­ලට වඩ­ම­වනු ලැබේ.

දෙවන දිනයේ පූජා චාරිත්‍ර ආරම්භ වන්නේ රාත්‍රි 7ට පම­ණය. එදින විශේ­ෂ­යෙන් කෙරෙන්නේ මඩු­පු­රයේ කවි ගාය­නය කර­මින් මල නැටී­මය. එය අව­සන් වූ පසු පඬු­රු­ලෑමේ අව­ස්ථාව එළඹේ. එය අව­සන් වූ පසු වන්න­කු­රාල දේවා­භ­රණ ආපසු දේවා­ල­යට වැඩ­ම­වයි. එදින රාත්‍රි 9-00ට පමණ චාරිත්‍ර විධි අව­සන් වේ. තුන්වන දිනයේ “යක්ඇ­ණ­වුම” රංග­නය ඉදි­රි­පත් කෙරේ. මෙය යකුන්ට/දෙවි­යන්ට රඟ­ම­ඩල වෙත පැමි­ණෙන ලෙස කරන ආරා­ධනා නැටු­මකි. එයින් පසු ප්‍රධාන යක්දෙස්සා යාති­කා­වන් මඟින් ඇසළ පෙර­හ­රට දායක වූ සිය­ලුම ජන­කො­ටස් වලට වස්දොස් ඇති වූයේ නම් ඒවා දුරු­ක­රනු පිණිස වලි­යක් මංග­ල්‍යය පව­ත්වන බව කියයි.

හත­ර­වන දිනයේ පූජා චාරිත්‍ර ආරම්භ වන්නේ රාත්‍රි 8-30ට පම­ණය. මූලික කට­යු­තු­ව­ලට අම­ත­රව එදින විශේ­ෂ­යෙන් කෙරෙන්නේ අයිලෙ යැදීම, දේවා­රා­ධ­නය, යක් ඇනුම, මල රජ උපත් කතාව සහ පළ­වැල දානය යන අංග­යයි. එදින චාරිත්‍ර නිම වන විට රාත්‍රි 12 පමණ වේ.

පස්වන දින චාරිත්‍ර ආරම්භ කරන්නේ රාත්‍රි 8-30ට පම­ණය. එදින ද මූලික චාරි­ත්‍ර­ව­ලින් පසු මඟුල් බෙර අයිලෙ යැදීම යක් ඇනුම, දේවා­රා­ධ­නය සහ පෙළ­පාළි ඉදි­රි­පත් කෙරේ. ඊට අම­ත­රව ආවැ­න්දුම සහ වැදි දානය කොටස් වශ­යෙන් ඉදි­රි­පත් කෙරේ. එදින සිය­ලුම චාරිත්‍ර විධි රාත්‍රි 10-30 ට පමණ නිම වේ.

වලි­ය­කුමේ උත්ක­ර්ෂ­වත් දිනය වන්නේ හය වැනි දින­යයි. එදින පූජා ආරම්භ වන්නේ රාත්‍රි 9-00ට පම­ණය. මෙදින “මහ­ය­කුම” යනු­වෙන්ද හඳු­න්වනු ලැබේ. එදින නැට්ටු­වන් වැඩි වන අතර මෙතෙක් දින දක්වන ලද පෙළ­පා­ළි­ව­ලට වඩා විවිධ වෙන­ස්කම් සහිත පෙළ­පාළි රඟ­ද­ක්වයි.

සිදු කරන චාරිත්‍ර විධි රාශි­යක් අව­සන රාත්‍රි 1-30 ට පමණ මල් යහන් කවි ගාය­න­යෙන් පූජා­වල දෙවන භාගය අරෙම්භ වේ. මෙහිදී මල් යහන් කවි, දෙවි­යන්ගේ කෝල් මුර කවි ගායනා කෙරේ. එයින් පසු යක්දෙ­ස්සන් අතර කෙරෙන දෙබස් ලෙසින් වැදි යක්කම ඉදි­රි­පත් කෙරේ. අන­තු­රුව මල රජ උපතේ කවි ගායනා කොට පල­වැල දානය ආරම්භ කරයි. ඉන්පසු “ආවැ­න්දුම” රඟ දක්වයි.

එය අව­සන් වන විට පාන්දර 3-30 පමණ වෙයි. ඊට පසු නාට්‍ය­මය පෙළ­පා­ළි­යක් වන “නයා යක්කම” ඉදි­රි­පත් කරයි. එයින් පසු මහ යක්කම ඉදි­රි­පත් කෙරේ.

ඊළ­ඟට පඬුරු ලෑමෙන් පසු “සිවි­ලිය” ආපසු වැඩ­ම­වීම කරති. අලු­යම 5-30 ට පමණ දළදා මාලි­ගාවේ අලු­යම් දුරය හේවිසි වාද­නය වන විට එදින පූජා චාරිත්‍ර අව­සන් කළ යුතුය. එදින අව­සාන චාරි­ත්‍රය කීල බැදී­මය.

හද්දා­ව­ලි­යක් මංග­ල්‍යයේ අව­සාන දිනයේ පූජා චාරිත්‍ර ආරම්භ වන්නේ සවස 2.30 ටය. එදින මුලින්ම කරන්නේ “කාලි­යාම” නම් පෙළ­පා­ළි­යයි. එහිදී නෛයණ්ඩි නැට්ටුවෝ දෙදෙ­නෙක් වහ­න්ත­රා­වෙන් ආව­ර­ණය කර­ගෙන දේවා­ලය වටා රවුම් තුනක් යමින් ආව­ඩති. කාලි­යා­මට පසු මල නැටීම ඇරඹේ. ප්‍රථම දිනයේ වහ­ලයේ එල්ලූ ගව­ර­මල පහ­ළට කර එය කර­ක­ව­මින් එහි නොගෑවී නටති. අව­සා­නයේ මල ගල­වති. එහි කොටස් ගැනී­මට නර­ඹන්නෝ පොර බදිති. සත් දින වලි­යක් මංග­ල්‍යයේ අව­සාන පෙළ­පා­ළිය “ගරා­ය­කු­මයි”. හද්දා වලි­ය­කු­මට පසු දින හතක්ම බත්, මාළු, වෑංජන සහිත බලි බත් පිදීම හා එයින් පසු දින දහ හත­රක් පහන් දැල්වීම සිදු කෙරුණ බව රැල්ෆ් පීරිස් මහතා “සිංහල සමාජ සංවි­ධා­නය” ග්‍රන්ථයේ සඳ­හන් කොට ඇත.

Comments