විශේෂ බළකා පළමු හමුදාපති සමු ගනියි ? | Page 2 | සිළුමිණ

විශේෂ බළකා පළමු හමුදාපති සමු ගනියි ?

යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුරයේ නිල කාලය අදින් අවසන් වීමට නියමිතයි.

2017 වසරේ ජූලි 19 වනදා යුද හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධුරයේ කටයුතු කලේය.

යුද්ධ හමුදාපතිවරයෙකුගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල පවතියි.

යුද්ධ හමුදා ආරංචි මාර්ග අනුව, හමුදාපතිවරයාට එලෙස සේවා දිගුවක් ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නැහැ.

යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක පැවසුවේ, තමන් සේවා දිගුවක් ඉල්ලා සිටින බවට සදහන් වූ ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය වන අතර සේවා දිගුවක් තමන් කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවයි.

එහෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමන් යලි පත් කර ගැනීමට සේනාධිනායකවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි හමුදාපතිවරායා සදහන් කලේ.

මොහු යුද්ධ හමුදා විශේෂ බළකායෙන් බිහිවූ පළමු යුද්ධ හමුදාපතිවරයා වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, යම් හෙයකින් එලෙස සේවා දිගුවක් ලබා නොදෙන්නේ නම් මීළඟට යුද හමුදාපතිවරයා ලෙස පත් වීමට නිලධාරින් කිහිපදෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

ඒ අතර, යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉදිරියෙන්ම සිටියි.

එසේම, යුද හමුදා නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මෙන්ම ස්වෙච්ඡා බලසේනාංකාධිපති සහ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ද මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඇතුළත්.

යුද්ධ හමුදාධිපති - ලුතිනන් ජෙනරාල් 

(එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී යුඑස්එ‍්සිජිඑස්සි)

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මේජර් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ‍්සිජිඑස්සි ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.

ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ‍්සිජිඑස්සි කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඔහු මහේෂ් සේනානායක ලෙස වඩා ප්‍රසිද්ධ අතර වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේ දී අතිශුර කෙඩෙට් නිලධාරි හට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වන ලදි.

අනතුරුව 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රි ලංකා යුද්ධ හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රි ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි හා බලඝණ නිලධාරි අණදෙන මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරු ද හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ස්වේච්ඡාවෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය වෙත 1989 වර්ෂයේ දී ඇතුලත් විය. ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පැවති සියළුම යුද්ධ හමුදා මෙහෙයුම් සඳහා සිය සක්‍රිය දායකත්වය විවිධ අණදීම් ස්ථරයන් යටතේ ලබා දී ඇත.

ඒ අනුව පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළඝණ නිලධාරි අණදෙන මෙන්ම 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර ද හොබවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා රෙජිමේන්තුවේ සේනාවිධායක, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති (වව්නියාව), විශේෂ බලකා බලසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති වැනි තනතුරු ද හොබවා ඇත.

යුධ සමයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයන්හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 52 සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු ද හොබවා ඇත.

තවද, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක මෙන්ම මානුෂිය මෙහෙයුමෙහි තිරණාත්මක අවධිය වූ 2006 වර්ෂයෙන් පසු යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදි. එමෙන්ම 2015 වර්ෂයේ දී යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් තනතුර ද හොබවනු ලැබීය.

2016 වර්ෂයේ දී යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරට පත් වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මහඟු දායකත්වයක් දැක් වූ අතර, ඔහුගේ අසමසම සේවය යාපනය ප්‍රදේශයේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර, ඇගයීමට ද ලක්ව ඇත.

ඉනික්බිතිව 2017 මාර්තු මස එතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ද පත්විය.

ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ක්‍රියාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක් පිරිනමා ඇති අතර, වසර 25 කට නොඅඩු නොකැළැල් සේවය අගයනු වස් විශිෂ්ඨ සේවා විභූෂණය (VSV) පිරිනමා ඇත.

ඔහුගේ නොකැළැල් විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබා ඇත.

තවද, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ වන විට විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන් ද කටයුතු කරනු ලබයි.

විවාහක මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දියණියන් දෙදෙනෙකු සහ එක් පුතණුවෙකුගේ දයාබර පියෙකු වේ.

Comments