ගාලු ජයග්‍රහණයේ තිරය පිටුපස සියලු රහස් | සිළුමිණ

ගාලු ජයග්‍රහණයේ තිරය පිටුපස සියලු රහස්

 

පි ගාලු තරගයට ආවේ බොහොම ධනාත්මක විදියට හිතලා. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය අනුශූරයන් වුණත්, අපි ඒ තරගාවලියේදී යම් පසුබෑමකට ලක් වුණා. ඒ සියලු දේම අමතක කරලා තමයි මේ තරගාවලියට ආවේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මේ බව පැවැසුවේ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයෙන් විශිෂ්ට හඹා යාමකින් අත්කරගත් ජයග්‍රහණයෙන් අනතුරුවය. නවසීලන්ත නායක කේන් විලියම්සන් පැවැසුවේ සිවුවැනි ඉනිමේ ලකුණු 250කට වඩා වැඩි ගණනක් හඹා යාම අසීරු තණතීරුවක දිමුත් ලබාගත් විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් මේ අභියෝගය ජයගත් බවයි. ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වැදුණු අතර මේ ජයග්‍රහණයත් සමඟ ම ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 60 ක් හිමි විය. ICC ටෙස්ට් ශූරතාවලිය යට‍ෙත් පැවැත්වෙන දෙරට අතර දෙවැනි තරගය හෙට (26) පී. සරා ඕවල් පිටියේදී නිමාවීමට නියමිතය.

 

තරගය අපේ අතට

 

පන්දුව ටික ටික පදම් වී ගෙන එනකොට පහර දෙන්න ලෙහෙසි වුණා. කඩුල්ල වෙත පන්දුව හෙමින් ආවේ. තණතීරුව හතර වැනි ඉනිම වෙනකොට අපි හිතුවාට වඩා මන්දගාමි වුණා. ඒ නිසාම අපට හුඟක් ලෙහෙසි වුණා. කලබලයකින් තොරව ම තරගයට අවතීර්ණ වෙලා හොඳ අවසානයක් කරා ගෙන යන්න.

 

අපි හැම වෙලාවෙම සැලසුම් කරලා තිබ්බේ ආරම්භය ගන්න කෙනා හොඳ ඉනිමක්, දිගු ඉනිමකට යන්න. අපේ ටීම් එකේ ම තිබ්බේ ඒ අදහස. ඒ නිසාම විකට් එක අල්ලගෙන ක්‍රීඩා කරන්න පුළුවන් කෙනාට දිගු ඉනිමකට යන්න තමයි පූර්ව සැලසුම වෙලා තිබ්බේ. ළහිරුයි මමයි පටන් ගන්න කොට ම හිතුවේ හොඳ ආරම්භයක් ‍ටීම් එකට අරගෙන දෙන්න ඕනෑ කියලා.

 

පස්වැනි දවසේ පටන් ගන්න කොටත් අපි දෙන්නා කතා වුණේ, හතරවැනි දවසේ නවත්තපු තැනින් ම පටන් අරගෙන තව ලකුණු 30 - 40 ක්වත් එකතු කර ගෙන ඉදිරියට යන්න. අපි කොහොමටත් ලොකු ටාගට් තියා ගෙන හිටියේ නෑ. පොඩි පොඩි දේවල් එක්ක ඉදිරියට යන්න තමයි හැම වෙලාවේදිම ටාගට් කළේ.

 

නිදහස වැදගත්

 

ශ්‍රී ලංකා කණ්ඩායම ආයෙත් හෙමින් හෙමින් ඔළුව උස්සගෙන ඉදිරියට එන්නේ කණ්ඩායමේ සියලු ම දෙනාට දීලා තියෙන නිදහස නිසයි. මම කැමැතියි කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපරිම නිදහස දෙන්න. දෙවැනි ඉනිමේ කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් ක්‍රීඩා කළ විදිය දකින්න ඇති. පොඩි ලකුණු ප්‍රමාණයත් ඇති පීඩනය ගොඩ නැගෙන්න. එහෙම වෙලාවක තමයි කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් ඇවිත් වේගයෙන් පන්දුවට පහර දුන්නේ. ඒ වගේ දේවල් තියෙන්න ඕනෑ. ගාල්ල වගේ තණතීරුවක එහෙම ධනාත්මක දේවල් සිද්ධ වෙන්න ඕනෑ. පන්දු යවන්නන්ට ඔළුව උස්සන්න ඉඩ දුන්නොත් අපිට හතර වැනි ඉනිමේ ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න බෑ. පීඩනයෙන් මිදෙන්න නම් පහර දෙන්න වෙනවා. විකට් ගියොත් අනවශ්‍ය පීඩනයක් ගොඩ නැ‍ඟෙනවා. ඒ පීඩනය මඟ හැරලා ක්‍රීඩා කරන්න ඕනෑ,

 

එකමුතුකම

 

පහුගිය කාලයේ විවිධ හැලහැප්පීම් නිසා කණ්ඩායමේ එකමුතුකම නැතිවෙලා කණ්ඩායමක් විදියට කඩා වැටුණු අවස්ථා තිබුණා. මට මුල ඉඳලම ඕනෑ වුණේ මේ තත්ත්වය වෙනස් කරන්න. අද වෙනකොට අපි නැගිටින තැනක ඉන්නේ. ඒ එකමුතුකම සහ සතුට නිසා. කණ්ඩායමේ හැමෝම මේ වෙනකොට හොඳට කතාබහ කරලා හිනාවෙලා සතුටින් ඉන්නවා. මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ක්‍රීඩකයන්ට ලැබිලා තියෙන නිදහස සහ විශ්වාසය නිසයි. ක්‍රීඩකයෝ මෙයින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියට යයි කියලා හිතනවා.

 

ළහිරු කුමාර රැක ගැනීම

 

ඒ වගේ පන්දු යවන්නෙක් කණ්ඩායමකට අවශ්‍යයයි. ඕනෑම වෙලාවක ඇවිත් පැයට කිලෝමීටර් 150ක වගේ පන්දුවක් යවනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඔහුව හැම වෙලාවේම හොඳට රැක බලා ගන්න ඕනෑ, ගාල්ල වගේ තණ තීරුවක දෝලනය එක්ක බවුන්සර් පන්දුවක් දානවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේ මන්දගාමි තණ තීරුවක එතරම් වේගයකින් පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයෝ අඩුයි.

 

ඒ විදියට බලනකොට හැම අතින්ම ළහිරු ගැන අවධානය යොමු කරන්න ඕනෑ. පන්දු යැවීමේදි ළහිරු ගොඩක් දේවල් හදාගෙන තියෙනවා. තව පොඩි පොඩි දේවල් ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. මේ දේවල් ටිකත් ළහිරු ඉක්මනින් හදා ගත්තොත් අපට විශ්වාසදායකම පන්දු යවන්නෙක් වෙයි. ඉක්මනට තම තමන්ගේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට එන එක තමයි වටින්නේ. අපේ වගේ රටක ගොඩක් කල් පැ.කී.මී.150කට පන්දු යවන එක ලෙහෙසි නෑ. අපි ළහිරුවත් හොඳට බලාගෙන ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ,

 

සුරංග ලක්මාල් ගත්තත් දැන් අපට ඉන්න පළපුරුදුම පන්දු යවන්නා. වේගය හුඟක් නැති වුණත්, තරගයක් පුරාම විවිධ වේගයන්ට වගේ ම වෙනස්කම්වලට පන්දු යැවීමේ හැකියාව තියෙනවා. දඟ පන්දුවට හුඟක් වාසි වුණාට ගාල්ල විකට් එක, සුරංග විකට් කිහිපයක් ම තරගය පුරාම අරගෙන අපට විශාල සේවයක් කළා. මේ ජයග්‍රහණයට ළහිරුගේ වගේ ම සුරංගගේ පන්දු යැවීමත් විශාල වශයෙන් ම බලපෑවා.

 

නායකත්වයේ ශතකය

 

මේ ග්‍රවුන්ඩ් එකේ ම මම අන්තිමේට ශතකයක් ලබා ගත්තේ ගිය අවුරුද්දෙදී. මට ඊට පස්සේ තරග හය හතකදීම ලොකු ලකුණු ගණන්වලට යන්න බැරි වුණා. මට තදින්ම දැනිලා තිබුණා ඉලක්කම් තුනේ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එකතු කරගන්න. මම ටීම් එකේ අයටත් කිය කිය හිටියේ මට කාලයකින් ශතකයකට යන්න බැරි වුණා කියලා. මට ශතකයකට යන්න ලොකු වුවමනාවකුත් තිබුණා. මම හැම වෙලාවේ ම ට්‍රයි කළේ ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න. එහෙම අවස්ථා හම්බ වුණාම උපරිම ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්ත තරග‍වලදී හුඟක් ළඟට ගියාට ශතකයකට යන්න බැරි වුණා. මගෙත් ආත්ම විශ්වාසය වැඩි කර ගන්න ඒක ලොකු උදව්වක් වුණා. මේ වගේ අමාරු අවස්ථාවක ශතකයකට යන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. ක්‍රීඩකයකු විදියට ගත්තත් ශතකයට යනවා කියන්නේ ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා.

 

පසුපෙළට උපදෙස්

 

අලුත් පිතිකරුවකු ගාල්ල තණ තීරුවේ එකපාර ම ඇවිත් පන්දුවට පහර දෙන එක ‍ලෙහෙසි පහසු නෑ. පන්දුව පතිත වෙන විදිය, දඟ කැවෙන ප්‍රමාණය, පන්දුව උඩ එන විදිය ගැන අවබෝධය අඩුයි. ග්‍රවුන්ඩ් එකට ඇවිත් විශ්වාසයක් ඇති බව පන්දුවට පහර දෙන්න නම් ටිකක් වෙලා යනවා. කුසල් මෙන්ඩිස්ට කිව්වේ ඔයාට විශ්වාස විදියට ගහන්න බය වෙන්න එපා කියලා. එන බෝලයට බය නැතුව ගහන්න කියලා තමයි කිව්වේ. එතකොට පන්දු යවන්නන්ගේ වගේ පන්දු රකින්නන්ගේ අවධානය, විශ්වාසය බි‍ඳෙනවා. පීඩනයෙන් නිදහස් වෙන්න නම් අනිවාර්යෙන් ම පහර දෙන්න ම වෙනවා. හැමෝටම කියලා තියෙන්නේ පුළුවන් නම් බය සැක නැතුව ගහන්න කියලා තමයි. ඔවුන් දැල් තුළ පන්දුවට පහර දෙන විදිය දකිනවා. ඔවුන් පන්දුවට පහර දෙන විදිය ගැන දන්නවා. දැල්වල පන්දුවට පහර දෙන කොට ගොඩනඟා ගන්නා විශ්වාසය තමයි විකට් එකේදි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔළුව පුළුවන් තරම් නිදහස්ව තියන්න තමයි අපි හැම වෙලාවේදීම බලන්නේ.

 

මම කවදාවත් වැරැදි පහරක් ගහලා අවුට් වුණා කියලා බැනලා නෑ. බනින්නේ නෑ. සමහර වෙලාවට අපට ඉක්මනට ලකුණු ඕනෑ වෙන අවස්ථා තියෙනවා. පීඩනයෙන් නිදහස් වෙන්න සමහර වෙලාවට ඉක්මනට එන ලකුණු දහය පවා වටිනවා. රිවර් ස්විප් පහර ටෙස්ට්වලට අලුතින් ආපු පහරක්. ඒක හුඟක් වෙලාවට අපි යොදා ගන්නේ පන්දු යවන්නන්ගේ අවධානය සහ පන්දු රකින්නන් එහා මෙහා කරන්න. පන්දු පතිත කරන ස්ථාන වෙනස් කර ගන්න තමයි අපි හුඟක් වෙලාවට මේ රිවර් ස්විප් පහර යොදා ගන්නේ. නැත්නම් එ්කෙන් ම තරගයක් පුරා යන්න අපි හිතන්නේ නෑ.

 

විකට් එක වෙනස්

 

අපි රටින් පිට ගියාම හුඟක් වෙලාවට ක්‍රීඩා කරන්නේ වේගවත් තණතීරුවල. අපේ රටේදි තමයි දඟ කැවෙන විකට්වල ක්‍රීඩා කරන්නේ. ටෙස්ට් තරගවලදි පිට ගියාම අපට ඕනෑ විදියට ක්‍රීඩා කරන්න ලැබෙන අවස්ථා අඩුයි. අපි මේ තරගයට එනකොට දැනගෙන හිටියා නවසීලන්ත වේග පන්දු සහ දඟ පන්දු යවන්නන් මොන වගේද කියලා. ඒ නිසා අපට ඕනෑ වෙලා තිබුණා, පළමු ඉනිමේ හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා නවසීලන්තයට පීඩනයක් එල්ල කරන්න. ඒ වුණාට අපේ අතින් කාසි‍යේ වාසිය ගිලිහිලා ගියා.

 

පළමු ඉනිමේ අපි හොඳට පන්දුවට පහර දුන්නෙත් නෑ. පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්තත් ලොකු ඉනිම්වලට යන්න බැරි වුණා. ඒ නිසා තමයි අපිට ලකුණු දෙසිය හැට ගණනකට සීමා වෙන්න වුණේ.

 

ගාල්ලේ තණතීරුව වෙනදාට වඩා හොඳයි. ඒ වගේ තණතීරුවල ක්‍රීඩා කරන එක හොඳයි. රටින් පිට ගියාමත් අපට හම්බ වෙන්නේ විවිධ තණතීරු. ඒවායේ ලකුණු රැස් කරන එක වගේම විකට් ගන්න එකත් හරිම වැදගත්. ඒ වගේ දේවල් දැන ගන්න ඕනෑ. මම දකින විදියට ගාල්ල විකට් එක ටෙස්ට් තරගයට හොඳට තිබ්බා.

 

 

 

Comments