සත් සාමාජික රග්බි අතුරේ යයි | සිළුමිණ

සත් සාමාජික රග්බි අතුරේ යයි

ශ්‍රී ලංකා රග්බි සංගමයට සත් සාමාජික රග්බි සංචිතයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් මිලියන 30ක් පමණ අවශ්‍ය වන බවද වගකිව යුතු බලධාරීන් එය කරහැර පදක්කම් පමණක් බලාපොරොත්තු නොවිය යුතු බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න පවසයි.

අපේ සත් සාමාජික රග්බි කණ්ඩායම ගත්තාම ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කමක් දිනා ගැනීමේ මට්ටමක ඉන්නවා. දැනට අපි ආසියානු කලාපයේ හතර වැනි තැන ඉන්නේ. ඒ ස්ථානය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම ලෙහෙසි කරුණක් නෙවෙයි. ඒ සඳහා විශාල මුදලක් යට කරන්න වෙලා තියෙනවා.

‍ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා උලෙළ වන ඔලිම්පික්වලට පවා ඇතුළත් කරලා තියෙන්නේ සත් සාමාජික රග්බි ක්‍රීඩාවයි. අපි හඳුනාගෙන තියෙන්නේ අපිට මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි සත් සාමාජික රග්බි ගැන මේ තරම් අවධානයක් අපි යොමු කරලා තියෙන්නේ. සත් සාමාජික රග්බි සංචිතයක් පවත්වා ගෙන යෑමට අපට අවුරුද්දකට රුපියල් මිලියන 30ක් විතර වැය වෙනවා. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වගේම ජාතික ඔලිම්පික් කමිටුවත් උදව් උපකාර කරන්න ඕනෑ. එහෙම නැතුව අපට ගමනක් යන්න බෑ. පදක්කමක් හරි දිනා ගන්න පුළුවන් ක්‍රීඩාවක් තෝරා ගෙන ඉදිරියට ගෙන යෑම බලධාරින්ගේ වගකීමක් වගේ ම යුතුකමක් වෙනවා. ආසියානු ක්‍රීඩා උලෙළට මාස හයක් තියලා සංචිත හදාගෙන පදක්කම් දිනන්න බෑ. පදක්කමකට යන්න බෑ. වගකිව යුතු අය සහයෝගය සහ අනුග්‍රහය දක්වන්නේ නැතුව, පදක්කම් දිනන්නේ නෑ කියලා දොස් කියලා වැඩක් නෑ. ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කමකට යන්න අපි සැලසුම් හදාගෙන යනවා. කාන්තා සහ පිරිමි පූර්ණ කාලීන සංචිත දෙකක් පවත්වාගෙන යෑමට විශාල මුදල් ප්‍රමාණයක් ඕනෑ වෙනවා. ඉදිරි වසරෙත් අපට අභ‍ියෝග රැසක් තියෙනවා.

ජාතික සහ වෙනත් තරගාවලි සංවිධානය කරන්න මුල්‍ය ශක්තිය තියෙනවා. ඒ වුණාට අනුග්‍රාහකයන් නැතුව කනිෂ්ඨ කණ්ඩායම් තරගාවලිවලට ඉදිරිපත් කරන්න වුණොත් අපට මුල්‍ය ගැටලු මතු වෙනවා. අපට අන්තර්ජාතික රග්බි සම්මේලනයෙන් මුදල් ප්‍රතිපාදන ලැබෙනවා. ඒත් අපටත් රුපියල් මිලියන 10 කට වඩා වියදම් කරන්න සිද්ධ වෙනවා. අනුග්‍රාහකයෝ නෑ කියලා තරගාවලියට සහභාගි නොවී ඉන්න බෑ. එහෙම වුණොත් තරුණ ක්‍රීඩකයන්ට රට නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. පාසල් තරගාවලිවලට අනුග්‍රාහකයෝ ලැබෙන්න ඕනෑ. එහෙම නැත්නම් මේ දේ කරන්න අමාරුයි. පාසල් රග්බි සංගමය අපේ අනුබද්ධ සංගමයක් වුණාට ඒක පාලනය වෙන්නෙ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒ නිසා අපට ඒ තරගාවලි හෝ වෙනත් දේවල්වලට පවා මැදිහත් වෙන්න බෑ යයි ලසිත ගුණරත්න වැඩිදුරටත් පවසයි.

 

Comments