අනෙකා නොදැනෙන තරමට අද සමාජය නරුම වෙලා | සිළුමිණ

අනෙකා නොදැනෙන තරමට අද සමාජය නරුම වෙලා

ප්‍රගීත් රත්නායක මෙරට සිටින බලපෑම් සහගත සිතුවම් ශිල්පියෙකු මෙන්ම අති දක්ෂ පසුතල නිර්මාණ ශිල්පියෙකි. ජාතික රූපවාහිනියේ ඔබ දකින අලංකාර පසුතල යට සැඟව සිටින අපූර්වතම නිර්මාණ ශිල්පියා ඔහුය. පසුගිය දා ආරම්භ වූ ඔහුගේ ‘එකලස් රූප II- (Figures Assemble II)’ චිත්‍ර ප්‍රදර්ශන එළඹෙන 29 දින දක්වා බම්බලපිටිය පැරඩයිස් රෝඩ් (paradise road) කලාගාරය තුළ ප්‍රදර්ශනය වේ. හරියටම වසරකට පසුව ‘එකලස් රූප II’ සමඟ අප ඔහු සමඟ අභිමුඛ වූයේ මෙම සිතුවම් තුළ පවතින සුවිශේෂ ප්‍රකාශන ගුණය නිසා ය.

මේ අපි දකින ඔබේ දෙවන ‘එකලස් රූප’ චිත්‍ර ප්‍රදර්ශනය. එක් පැත්තකින් මේ තුළ කලින් වතාවේ අපි නොදුටු සිතුවම් අන්තර්ගත වී තිබෙනවා. වෙනත් ප්‍රකාශනයකට නොගිහින් ඔබ නැවත නැවත එයම අභ්‍යාස කරන්න හිතන්නේ ඇයි?

මනුස්සයෙක් කියල කියන්නේ මේ භෞතික ශරීරය නඩත්තු කරන එකට ම නෙමෙයි. මනුස්සයෙක් කියල කියන්නේ ඊට එහා ගිය ගැඹුරක් දර්ශනයක් සහිත ජීවිතයකට. ඒත් මේ මොහොත වෙද්දි මේ මනුස්සයා සතුව පැවතිය යුතු මූලිකම ගුණාංග මැකී යමින් තිබෙනවා. ඔහු ඒ තුළ වඩවඩා කුඩා වෙමින් සිටිනවා. එය අපට මඟ හැරිය නොහැකි යථාර්ථයක්. ඒ නිසා මං හිතුවා නැවත නැවතත් ඒ තුළ අභ්‍යාස කරන්න. මනුස්සයො විදියට අපි හැමෝම කනවා; බොනවා; රමණය කරනවා. නමුත් ඊට එහා ගිය පැවැත්මක් අපට තිබෙනවා. මං වගේම අනෙක් කෙනත් හුස්ම ගන්නවා නේද? ඔහුටත් වෙනම ආත්මයක් තියෙනව නේද? ඔහුටත් මට වගේම දුක කඳුළ වේදනාව දැනෙනව නේද? නමුත් එහෙම දැනෙන්නේ නැති ගානට මේ සමාජය නරුමවෙලා. මේ විදියට මනුස්සයො ක්ෂුද්‍ර වෙන්න නම් වෙනත් දෙයක් ලොකු වෙන්න ඕන. අන්න ඒ හේතුව තමයි අපි මෙතනදි සාකච්ඡාවට ගන්න ඕන.

ඇත්තටම අපේ පැවැත්ම මේ තරම් කුඩා කරන ඒ හේතුව මොකක්ද?

ඒකට හේතුව තමන්ට වඩා පාරිභෝගික භාණ්ඩ ලොකු වීම. ඒක අද අපට මඟ හැර යා නොහැකි භෞතික ඇත්තක්. ස්මාර්ට් ෆෝන් එක නිර්මාණය කරද්දි සකබර්ක් හිතුව මේකෙන් මිනිස්සු එකතු වේවි කියල. ඔවුන්ගෙ මානව සම්බන්ධතා පෙරට වඩා ශක්තිමත් වේවි කියල. ඒත් දෙයිහාමුදුරුවනේ මේක ළඟ තිබ්බාම ඔක්කොම හරි කියල; තනි තනි ආතල්වලට මිනිස්සු යොමු වෙලා. ළඟම කට්ටිය මඟ ඇරෙන ගානට මේ භාණ්ඩය අධිනිශ්චය වෙලා. කොටින්ම එකම ගෙදර ඉන්න සැමියා, බිරිඳ දූදරුවො පවා තනි තනි ලෝකවල අද ජීවත් වෙන්නේ. අඩුම තරමේ පවුලක් තුළවත් සාමූහික බවක් නැහැ.

ඉස්සර මම හම්බන්තොට ඉඳල කොළඹ එනව චිත්‍ර ප්‍රදර්ශන බලන්න. මම එහෙම බස් එකේ එනකොට මගේ සීට් එක එහා පැත්තේ මනුස්සයා එක්ක මම කතා කරනවා. ඒ කවදවත් දැකල දැන අඳුනගෙන නෙමෙයි. දැන් එහෙම නෙමෙයි තමන්ගෙ එහා පැත්තෙ ඉන්නේ සත්ත්වයෙක් ද කියලවත් දන්නේ නැති ගානට මිනිස්සු හුදකලා වෙලා. ඒක ඉතාම බරපතළ ප්‍රශ්නයක්. මට මේකත් එක්ක සමාජය තේරුම් ගන්න ගියාම මිනිස්සු ක්ෂුද්‍ර වේගෙන ක්ෂුද්‍ර වේගෙන යනවා පේනවා. සමහර රූප මැකිලා; සමහර රූප බොඳ වෙලා. කෙනෙක් තවකෙනෙක්ට ගෞරව කරන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ. එකෙන් අදහස් කරන්නේ පුද්ගල ප්‍රතිරූපවලට ආවඩන්න ඕන කියන එක නෙමෙයි. නමුත් කෙනෙක්ගෙ හැදෑරීමකට, කාලය ශ්‍රමය වැයකරල මනුස්සයෙක් කරන දේකට, දර්ශනයකට කිසියම් පිළිගැනීමක් ගෞරවයක් අප තුළ තිබෙන්නට ඕන. ඒක අපට තේරෙන්නෙ නැති ගානට ආවයින් පස්සේ මනුස්සයො විදියට අපට පවතින්න බැරිවෙනවා. අන්න ඒ මනුස්සකම ඇතුළෙ අපි කොච්චර ක්ෂුද්‍ර වෙනවද, බොඳ වෙලා යනවද, මැකිල යනවද කියන කාරණාව තමයි මම මේ හරහා මතු කරන්නේ.

ඔබ මේ කැරැල්ල ගහන්නේ තවතවත් ක්ෂුද්‍ර‍ වෙලා යන්න නෙමෙයි. මේ ක්ෂුද්‍ර වෙමින් යන මිනිස් ශරීරය නැවත විශාල කර ගන්නෙ කොහොමද කියල අපව ප්‍රශ්න කරන්න.

සත්‍ය වශයෙන්ම, මම මුලින්ම විශ්වවිද්‍යාලය ඇතුළෙ ජීවගුණය පිරි සාමාන්‍ය ස්වරූපයට මානව රූප ඇඳපු කෙනෙක්. දැන් මට එහෙම මානව රූප අඳින්න බෑ. දැන් ඒ ජීව ගුණය මේ මිනිස් ශරීරය තුළ නැහැ. මානව රූපවල මූලික හැඩය විතරයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. කලින් මේ තුළ තිබුණු ඇස් කන් නාසය මොළය, හෘදය වස්තුව මේ මොකවත්ම දැන් මේක තුළ නැහැ. මේ ඉන්නේ ගැහැනියක්ද පිරිමියෙක් ද ළමයෙක් ද කලලයක් ද කියල කිසිම හොඩුවාවක් හොයාගන්න නැහැ. අපට පෙන්නේ කිසියම් සීමාවක් සලකුණු කරගෙන ඊට කොටු වුණු ඒක පරිස්සමට නඩත්තු කරගෙන ඉන්න යමක්.

මෙතන කැටපත් යොදාගෙන කළ එක සිතුවමක් තියෙනවා. ඒ තුළ මට මාවම පේනවා.

ඔව් ඒක මෙතන තියෙන විශේෂම සිතුවම් අතරින් එකක්. මට ඕන වුණේ ඒකම තමයි. ඔබ ඔබව විශාලව දකිමින් කුඩා වෙමින් යන ආකාරය දකින්න සලස්වන්න. ඒක ආරම්භක සිතුවම විදියට තිබ්බෙත් ඒ නිසයි. මට ඕන වුණේ මානව ශරීරයක් තරමට විශාල නිර්මාණයක් කරන්න. ඒත් මට ඒකට කාලය හරස් වුණා.

මේ කියන්නේ නූතන ධනවාදී සමාජය ඇතුළෙ දිවිගෙවන ආචීර්ණ කාමී මානවයා නැතිනම් පරාරෝපණය වෙච්ච මිනිසා ගැනද?

හරියටම හරි. මේ තත්ත්වය අද අපි හැමෝටම ස්වභාවික වෙලා. ෆස්ට් නේර්චර් එක ගර්භාශය කියල ගත්තම, මේක අපේ සෙකන්ඩ් නේචර් එක බවට පත්වෙලා. ඒ කියන්නෙ මානව සාරයන් සහිත සංස්කෘතිය ශිෂ්ටාචාරය ගොඩනැගෙන්න ඕන තැනට භාණ්ඩ ආදේශ වෙලා. මානව සාරයන් වෙනුවට ඒ භාණ්ඩ විසින් ආරෝපිත වටිනාකම් ස්වාභාවික කරගෙන අපි ජීවත් වෙනවා. මේක ඇතුළෙ කවුරුවත් කාටවත් වග කියන්නෙ නැහැ. මාක්ස් කියනවා ‘මේ ලෝකයෙ අසිරිය වැඩ කරන පන්තිය විසින් ගොඩනඟන්නේ, නමුත් භුක්ති විඳින්නෙ වෙන පන්තියක්’ කියලා. අපේ ශ්‍රමය තමයි මේ දේවල් ගොඩනඟල තියෙන්නෙ නමුත් ඒ ශ්‍රමය වගුරන වුන් නෙමෙයි එකෙ ඵලය නැති නම් රසය භුක්ති විඳින්නේ. වෙනත් පිරිසක්. මේ දේ තෙරුම් ගන්න අවශ්‍ය මොහොත දැන් එළඹිලා.

මේ විදියට සිතුවම් ඇඳපු පලියට ඔබට මේකෙන් එළියට එන්න පුළුවන්ද?

චිත්‍ර ශිල්පියෙක් ලෙස අනන්‍යතාවක් හදාගන්න ඉස්සෙල්ලා මම මනුෂ්‍යයෙක් වෙන්න ඕන. හැමදේකටම කලින් මේ ජීවන දහම තුළ මම මනුෂ්‍යයකු වෙන්න ඕන. නමුත් මනුෂ්‍යයකු ලෙස සමත් වෙන්න ඕන තැන අපි මේ මොහොතේ අසමත් අය බවට පත්වෙලා. අපිට ළඟම කෙනා මඟ ඇරෙනවා. ඒත් අපිට දැනෙන්නේ නැහැ. නමුත් සත්‍ය නම් ඒක අපිට දැනුණත් හරිම තක්කඩි විදියට දැනෙන්නෙ නෑ වගේ අපි ඉන්නවා. අපි එච්චරට ම නරුමයි. ඒකියන්නේ මානවයෙක් විදියට අපි ව්‍යාජ සම්බන්ධතා නඩත්තු කරන්නේ. මමත් ඇතුළුව අපි හැමෝම මේ ඛේදවාචකයේ කොටස්කරුවන්. මේක චිත්‍ර ඇන්දයි කියල මට තනියම මේකෙන් මිදෙන්න බැහැ. මේක ඒ සඳහා කතිකාවක් හදන්න ප්‍රවේශයක් පමණයි. හැමෝම කියන්නෙ තමන් හරි අනික් අය වැරදියි කියලා. නමුත් මම එහෙම කියන්නෙ නැහැ. මම වරක් මගේ චිත්‍ර ප්‍රදර්ශනයකදි තේමා පාඨය විදියට යොදාගත්තේ ‘මේ ලෝකෙ ඉන්න නරකම කෙනා මම’ කියලා. මම ඒ තැනට මගේ ඉගෝ (Ego) මේ වෙද්දි හදාගෙන තියෙනවා.

‘එකලස් රූප’ කියන යෙදුම භාෂාව කියන ටූල් එක යොදාගෙන ඔබ කියවන්නෙ කොහොමද?

මේකෙ සරලම අදහස මං කලින් සඳහන් කළා වගේ ‘එකතු කරන ලද රූප’ කියන එකයි. මගේ ප්‍රධාන චිත්‍රයේ මිනිස් රූප දහදහකට වඩා ඇඳල තියෙනවා. මේ දහදාහම මම කාලය ශ්‍රමය කැපකරමින් එකින් එක ක්‍රමයෙන් ඇඳපුවා. එනිසා ඒවා එකිනෙකට වෙනස්. මේ තනි තනි මිනිස් රූප මම මිනිස් පොකුරක් විදියට එක තැනකට ගේනවා. නමුත් මෙහෙම පොකුරක් ඇතුළට මේ අය ගෙනාවට මේ අය ඉන්නෙ තනි තනිවයි. පරතරයක් තියාගෙනයි. නැත්තම් සීමාවක් තියාගෙනයි. මේ දිහා හොඳින් බලාගෙන හිටියම පේනවා මේ හැමෝම එකට හිටියට තනිවයි ඉන්නෙ කියලා. අපිත් එහෙමයි. හැමෝගෙම ප්‍රාර්ථනාව තමන්ගෙ අවශ්‍යතා ටික ඉෂ්ඨ කරගෙන තනියම ඉන්න. මේ සියල්ල ම කල්පනා කරල බැලුවොත් මේ හැමදේම හුදු ෆැෂන් එකක් විතරයි. පන්සල් යන්නෙ, සිල් ගන්නේ, පල්ලි යන්නෙ, කෝවිල් යන්නෙ, ආදරය කරන්නේ, ඡන්ද දෙන්නේ... ෆැෂන් එකට. මං ඒවා කරන්නේ මං කැමති නිසාම නෙමෙයි. වෙන අය එහෙම කරන නිසා.

ජීවන දහමක් ඇතුළෙ ජීවිතේ වෙනස් කරගන්න යොදාගන්නවට වඩා වෙනත් අනන්‍යතාවක් ගොඩනගා ගන්න කරන ෆැෂන් එකක් බවට මේ හැමදෙයක් ම අද උනනය වෙලා. එතනින් අප මිදෙන්න ඕන. නැත්තම් අපේ මානව සම්බන්ධතා තවතවත් ඈතට යාවි.

 

Comments