පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා | සිළුමිණ

පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා

ශ්‍රී ලංකාවේ දෙවැනි අභිමානනීය රාජධානිය වූ පොලොන්නරු ජය භූමිය ස්වකීය පෝෂක භූමිය කොටගෙන, ජීවිතයේ ත්‍රිවිධ අවස්ථා ගෙවාලූ ජනනායකයකු ගේ උදාර අපේක්ෂාවක් සපුරාලමින් පසුගිය දා එක්තරා මහාර්ඝ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් විණි. එය "පොලොන්නරුව - නරපති යුගයෙන් ජනපති යුගය දක්වා” නම් වෙයි. මෙහි සංස්කාරක සටහනෙහි සඳහන් වන පරිදි, ඓතිහාසික පොලොන්නරුව අලළා මෙබඳු ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීමේ ඇති අවශ්‍යතාව සාකච්ඡාවට භාජන වී ඇත්තේ මින් වසර ගණනකට පමණ පෙර, මෛත්‍රීපාල සිරිසේනයන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයෙහි පොලොන්නරුව උදෙසා ඉටු විය යුතු ජාතික අවශ්‍යතාවක් සම්පූර්ණ කරනු පිණිස ය.

"තමන්කඩුව පළාතේ මධ්‍යම පාන්තික ගොවි පවුලකින් පැවතගෙන විත්, විවිධ බාධක මධ්‍යයේ මහා ගිරි දුර්ග තරණය කරමින් ශ්‍රී ලංකාවේ හය වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී මෙය ජනගත කළ හැකි වීම සංස්කාරකවරුන් ලෙස අප ලද භාග්‍යයක් කොට සලකන්නෙමු.” එකී සංස්කාරකවරුන් වන ටිකිරි හේරත් ගුණතිලක, ඊ.ඒ. වික්‍රමසිංහ හා එල්.ඒ. ජයතිස්ස යන තිදෙන පවසති.

පොලොන්නරුව නමැති ඓතිහාසික යුගය මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු වැනි අද්විතීය නරවිරුවන් විසූ කාලාවධියෙහි ම ක්‍ෂණික ව පහළ වූවක් නො ව, කාලාන්තරයක් මුළුල්ලේ සිදු වූ මානව ක්‍රියාකාරිත්වයෙහි ඵල වශයෙන් උත්පාද වූවකැ යි යන්න 'ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා පොලොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්” යනුවෙන් මෙහි එන ප්‍රථම සාරගර්භ නිබන්ධනයෙන් හෙළි වෙයි. ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ සිය ස්වාධීන පර්යේෂණ ද ඇසුරෙන් තහවුරු කරනුයේ මේ භූමියේ විසූ ආදි මිනිස්සු ගල් අවි භාවිත කරමින් ආහාර එකතු කරමින් ජීවත් වූ බව යි. එසේ ම පොලොන්නරුව යනු පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂිකාර්මික ජනතාවක් විසින් පරිහරණය කැරුණු භූමියක් බව හෙතෙම පවසයි. "මීට වසර මිලියන 250 කට පමණ පෙර කාලයේ පෘථිවි සන්දර්භයෙහි සිදු වූ නග්නීකරණ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස අක්‍රිය යමහල් සේ මතු වූ ශේෂ කඳු පද්ධතියක් පොලොන්නරුවේ දැකිය හැකි ය” යනුවෙන් මේ ලිපියෙහි සඳහන් ඡේදයකි. වන කළ අප සිත්හි වහා ඇඳී යනුයේ පොලොන්නරු මහා සමබිමෙන් නැඟී මතු වී පෙනෙන දිඹුලාගල කඳු වැටිය යි. "එහි නැඟෙනහිර බෑවුමෙහි දක්නට ලැබෙන වත්මන් නාමල් පොකුණ පබ්බතාරාම සංකීර්ණය ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් ගේ ක්‍රියාකාරකම් බහුල ව ඇති ස්ථානයෙකැ යි” ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ සිය ලිපියෙන් හෙළි කරයි. තව ද පොලොන්නරුවේ හමාරියාගලින් සොයාගත් ශිලා යුධය, පොලොන්නරු ඉතිහාසය අදින් වසර 37,000 ක් දක්වා වූ අතීතයක් හා සම්බන්ධ බවට ඇති හොඳ ම පුරාවිද්‍යාත්මක සාධකයක් බව මේ ලිපියෙන් හෙළි වෙයි. තව ද මේ නිබන්ධනයෙන් ප්‍රකට වන මූලික සත්‍යය වනුයේ යම් ඓතිහාසික යුගයක් ක්‍ෂණික ව පහළ වන්නක් නොවන බව ය. එවැන්නක් නිර්මාණය වනුයේ පූර්ව යුගයන්හි එහි ක්‍රියාකාරිත්වය හා දායකත්වය අනුව ම ය. ප්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරියකු වන උක්ත ලේඛකයා සඳහන් කරනුයේ පොලොන්නරුව ඓතිහාසික යුගයේ ජනාවාස වීම කෙරෙහි අඛණ්ඩ ව සිදු වූ මානව භාවිතය උපයෝගි වී ඇතැ යි යන්න යි. වසර 37000 කට පෙරාතුව ඇති වී ක්‍රි.පූ. 3,800 දක්වා පැවැති මධ්‍යශිලා යුගය පොලොන්නරුවේ ජනාවාස වීම කෙරෙහි සාක්‍ෂ්‍ය සහිත ආදිතම කාලවකවානුව යැ යි ද ඒ මහතා අවධාරණය කරයි.

"පොලොන්නරු යුගයේ ඓතිහාසිකත්වය” යනුවෙන් මෙහි ඇතුළත් දීපිකා උදයංගනී වික්‍රමතුංග ගේ නිබන්ධනය උක්ත රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවැනි රාජධානිය ලෙස ආකස්මික ව ප්‍රභව වූවක් නොවන බව පවසයි. ඒ සඳහා පෙර යුගයන්හි පැවැති සමාජ, ආර්ථික ස්වරූපයන් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්නට ඇති බවත් සිතිය හැකි යැ යි එමඟින් කියැවේ. පොලොන්නරු රාජධානිය සියවස් දෙකකට අධික කාලයක් පැවැති අතර, පළමුවැනි විජයබාහු මහ රජතුමා දිවයින එක්සේසත් කරමින් රට සමෘද්ධියට පත් කිරීමෙහි ව්‍යාවෘත වූ බව ද, පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා මධ්‍යගත පාලන ක්‍රමයක් අනුගමනය කරමින් පොලොන්නරු රාජධානියේ උපරිම අවස්ථාව නියෝජනය කළ හැකි ලෙස සිය කාර්ය සාඵල්‍යය විවිධාංශ ඔස්සේ ඉටු කළ බව ද මේ ලිපියෙන් කියැවෙයි.

දීර්ඝ කාලයක් එනම් ක්‍රි.ව. 1017 සිට 1070 දක්වා පන් සැත්තෑ වසරකට ආසන්න කාලයක් අන්‍ය ජාතියකට යටත් ව පැවැති ලක්දිව, යළි ස්වාධීනත්වයත් සෞභාග්‍යයත් කරා මෙහෙයැවූ විජයබාහු නරදේවයාත්, පොලොන්නරු රාජධානියේ මෙන් ම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ද අද්විතීය කාලපරිච්ඡේදයක නිර්මාපකයා වූ මහා පරාක්‍රමබාහු රජුත් සදානුස්මරණීය වූ රජදහනක, ඓතිහාසික අගය පිළිබඳ ව වඩාත් සංක්‍ෂේපයෙන් කරුණු දැක්වෙන ලිපියකි මෙය.

පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක පසුබිම නමින් මහාචාර්ය එච්.එම්. යමුනා වසන්ත කුමාරිහාමි හේරත් හා රන්දුනු විදුල සොයිසා යන දෙදෙන ලියූ ලිපිය මඟින්, ක්‍රි.පූ. අවධියට හා අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක ද, චෝල යුගයට අයත් සාධක ද පොලොන්නරුව රාජධානියට අයත් පුරාවිද්‍යාත්මක සාධක ද හෙළිදරවු කැරේ. එ සේ ම 1988 දෙසැම්බර් 08 වැනි දින සංස්කෘතික උරුමයක් යන කාණ්ඩය යටතේ ලෝක උරුමයක් බවට පත් කැරුණු පොලොන්නරුවේ දැනට ශේෂ ව ඇති, එමෙන් ම දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත ව පවත්නා නටබුන්, සංඛ්‍යාත්මක ව 3000 ඉක්මවන බව මේ ලිපියෙන් පැවැසෙයි. තව ද මෙමඟින් උරුම ස්ථාන නඩත්තු කිරීමේ පහසුව සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලොන්නරු දිස්ත්‍රික්කය, පුරාවිද්‍යා කලාප 7 කට බෙදනු ලැබඇති අතර, එමඟින් පෙර කී පුරාවිද්‍යා උරුම සංචාරක ව්‍යාපාරය කෙරෙහි ද මේ නගරයේ ඉහළ උපයෝගිතාවක් පවතින බව ද අනාවරණය වෙයි.

බෞද්ධ හා හින්දු ආගම්වලට අයත් වූ මෙන් ම ස්වාධීන පුරාවිද්‍යාත්මක වස්තූන් ගෙන් ද හෙබි නගරයක් ලංකාවේ වෙනත් ස්ථානයක නොපැවැතීම, පුරාවිද්‍යාත්මක අංශයෙන් පොළොන්නරුවේ ඇති වටිනාකම දැක්වීමට ප්‍රමාණවත් බව ද මෙහි සඳහන් ය.

'පොලොන්නරුව - නරපති යුගයෙන් ජනපති යුගය දක්වා” නමැති මේ පර්යේෂණාත්මක ද ශාස්ත්‍රීය සංග්‍රහය මූලික ක්ෂේත්‍ර පහක් යටතේ සංගෘහිත ලිපි විස්සකින් හෙබියේ වෙයි. පොලොන්නරු දිස්ත්‍රික්කයේ ඓතිහාසිකත්වය හා පුරාවිද්‍යාත්මක පසුබිම, එහි රාජ්‍ය පාලනය හා සංස්කෘතික ප්‍රබෝධය, භූගෝලීය හා පරිසරාත්මක පසුබිම, යටත් විජිත යුගයේ සිට නිදහස ලැබීම තෙක් ගමන් මඟ හා නිදහසින් පසු පොලොන්නරුව හා දේශපාලන නායකත්වය යනු එකී මූලික ක්‍ෂේත්‍ර පහ යි. පොලොන්නරුව හා සබැඳි ඓතිහාසික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් වන පුළුල් අවකාශයක් කරා මෙමඟින් එළැඹිය හැකි වේ. එහෙත් අද්විතීය පඬිවරුන්, ග්‍රන්ථ කර්තෘවරුන්ගෙන් යුත් සාහිත්‍යයික නව ජීවනයකට තුඩු දුන් පොලොන්නරුව ආශ්‍රිත සංකථනයක් මේ කෘතියේ මූලික ක්ෂේත්‍ර යටතේ සංගෘහිත නොවීම ඌනතාවක් ලෙස දකිමි. ගුරුළුගෝමීන් වැනි අසදෘශ පඬිවරයකු ජීවත් වූයේ නිශ්ශංකමල්ල රජුටත්, දඹදෙණියේ පැරකුම්බා රජුටත් අතර කලෙක ය. ධර්මප්‍රදීපිකාව, මුවදෙව්දාව, සසදාව ඇතුළු අන්‍ය කෘතින් ද විෂය කොට මෙකී යුගයේ භාෂාව හා සාහිත්‍ය ධර්මතාව පිළිබඳ විමර්ශනයක් කැරුණේ නම් මේ ග්‍රන්ථය සර්වාංග සම්පූර්ණ වනු ඇත.

සෝමාවතී ස්තූපය හා තදනුබද්ධ ප්‍රදේශයේ අප්‍රකට පුරාවස්තු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඓතිහාසික ජනාවාස පිළිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක්” යනුවෙන් ලියැවුණු මැදමහනුවර ධම්මසිරි හිමියන් ගේ නිබන්ධනය වෙසෙස් අගයකින් යුක්ත ය. එහි සඳහන් වනුයේ සෝමාවතී ස්තූපය හා තදාශ්‍රිත පහළ මහවැලි නදී නිම්නීය භූමිභාගය තුළ අදින් වර්ෂ 2300 කටත් වඩා ඈතට දිවෙන ප්‍රොටෝ ඓතිහාසික සමාජ ක්‍රමයක් පවතින්නට ඇති බව යි. ක්‍රි.පූ 930 පමණ සිට ක්‍රි.ව. 12 වැනි සියවස තෙක් පොළොන්නරු යුගය දක්වා ම දිවෙන අඛණ්ඩ සංස්කෘතික ක්‍රියාකාරකම්, පහළ මහවැලි නදී නිම්නීය සෝමාවතී රක්‍ෂිතය පුරා සිදු වූ බව මෙකී වනගත පුරාවිද්‍යා උරුමයෙන් පැහැදිලි වන බව එහිමියෝ මේ ලිපියෙන් අනාවරණය කරති.

දිඹුලාගල සොරිවිල සුසානය ගවේෂණයෙන් හඳුනාගත් තතු ඇතුළත් 'ඓතිහාසික දිඹුලාගල හා තදාශ්‍රිත ආදිවාසී ජනසමාජ” නමැති ලිපිය ද ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ විසින් රචිත ය. අදින් වසර 2,400 ත් 2,700 ත් අතර කාලයේ දී මානවයන් ජීවත් වූ බවට සැලැකෙන පැරැණිතම සාධකය ලෙස සොරිවිල හා ගල්තලාව නම් ස්ථාන කෙරෙන් හමුවන මහාශිලා සුසානභූමි හා ජනාවාස ගෙනහැර දැක්විය හැකි බව ඒ මහතා මෙහිලා පවසයි.

'මුල් යකඩ යුගයට අයත් මේ සුසානභූමි හා ජනාවාස සාධක දිඹුලාගල ප්‍රදේශයේ හමුවීම මඟින් ඒ ප්‍රදේශයේ ජනාවාසකරණය පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ 1000 - 800 දක්වා කාලයට අදින් වසර 2,400 ත් 700 ත් දක්වා පැතිර පවතින බවට නිගමනය කළ හැකි වේ.”

'පොළොන්නරු රාජධානි සමයේ සංස්කෘතිය” යනුවෙන් ආචාර්ය එම්.ඒ චන්ද්‍රානි මුණසිංහ විසින් ලියැවුණු ලිපියෙහි වන එක් වැදගත් අවධාරණයක් මෙහි දී අප ගේ විමැසුමට හසු විය යුතු ය. මෙහි එන සංස්කෘතික සාපේක්‍ෂතාවාදය යන අනුමාතෘකාව යටතේ ලේඛිකාව මෙ සේ සඳහන් කරයි.

'කිසියම් සංස්කෘතියක් අගය කළ යුත්තේ ඒ සංස්කෘතියෙහි පවත්නා සංස්කෘතිකාංගයන්ට සාපේක්‍ෂ ව යි. මෙමඟින් මානවකේන්ද්‍රවාදය අනුව සංස්කෘතික උසස් පහත් බව නැති වේ. මේ වකවානුවෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනස් වූ සංස්කෘතීන් පැවැතුණි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් ගරු කළ යුතු ය යන නියමයක් හෝ සම්මතයක් මෙකල නොපැවතුණි. එය පොළොන්නරු සංස්කෘතියෙහි සුවිශේෂ ලක්‍ෂණයක් සේ අගය කළ හැකි ය.”

පොළොන්නරු යුගයේ බුදුදහම ආගමික වශයෙන් මූලිකත්වයෙහි පැවැතුණ ද, බ්‍රාහ්මණ ආගම, ජෛන ආගම වෙනුවෙන් ද සහනශීලී බවක් හා අනුග්‍රහයක් ද ලබා දී ඇති බව උක්ත ලිපියෙන් ප්‍රකාශ වේ. ශිවලිංග හා ශිව, පාර්වතී, කාර්තිකේය, ගණේශ, කාලි, ලක්‍ෂ්මි සහ වෙනත් දෙවිවරුන් ගේ ශෛලමය හා ලෝහමය ප්‍රතිමා මේ ප්‍රදේශය ආශ්‍රිත ව හමුවීමෙන් මෙය තහවුරු වන බව ද ආචාර්ය චන්ද්‍රානි මුණසිංහ පවසයි.

'පුලතිසිපුර සන්නිවේදන පුරාණය” නම් ලිපියෙන් ආචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස ප්‍රකට කරන එක් වැදගත් සාධකයක් මෙහිලා උද්ධෘත කිරීමට මැනැවැ යි සිතමි. අනුරාධපුරය හා සැසඳීමේ දී එක්තරා ආකාරයකට පොලොන්නරු යුගය ලෞකික ජීවිතය, මිනිසා ගේ ජීවිතය වඩාත් ඵලදායී සරල අර්ථපූර්ණ එකක් බව පෙන්වා දෙන්නට උත්සාහ කළ අයුරු දැකිය හැකි ය.”

තව ද පොලොන්නරු යුගයේ සන්නිවේදනය අධ්‍යයනය කරන්නකුට තවත් අන්තර්ජාතික සන්නිවේදන සබඳතා පිළිබඳ මූලාශ්‍ර රැසක් හඳුනාගත හැකි වන බව මේ ලිපියෙන් හෙළි වේ.

පොලොන්නරු යුගයේ භූගෝලීය පසුබිමත්, එහි ස්වාභාවික වෘක්‍ෂලතා, පරිසර පද්ධති හා එහි පාරිසරික, ආර්ථික සහ සමාජීය වටිනාකම් පිළිබඳ මෙහි අන්තර්ගත නිබන්ධන යුගලය විද්‍යාර්ථයනට හා සියලු පාඨකයනට වෙසෙසින් සුදුසු වේ. මුල් ලිපිය ආචාර්ය රනිතා රත්නායක විසින් රචිත අතර, දෙවැන්න ධනුෂ්කා රණවීර හා මංගල ජයරත්න යන දෙදෙන ගෙනි.

පොලොන්නරු ප්‍රදේශය, ඒ අවට වියළි කලාපීය ප්‍රදේශ කෙරෙන් වෙන් කොට හඳුනාගැනීම සඳහා වූ ආවේණික භූගෝලීය ලක්‍ෂණ ගැන සඳහන් කරන ආචාර්ය රනිතා රත්නායක මේ ප්‍රදේශයේ මහවැලි නදියේ පහළ නිම්නයේ හා නැඟෙනහිර තැනිතලා ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති තෙත්බිම්, පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා බව ප්‍රකාශ කරයි. විල්ලු වෘක්‍ෂලතාව ඒ තෙත්බිම් පරිසර පද්ධතියට කදිම නිදසුනකි.

විල්ලු තෙත්බිම් පරිසර පද්ධතිය පොලොන්නරුවේ ස්වාභාවික උරුමය කියාපාන අනන්‍යතාව ලෙස හඳුන්වනුයේ ධනුෂ්කා සහ මංගල දෙදෙන යි.

මේ පර්යේෂණාත්මක ශාස්ත්‍රීය සංග්‍රහයෙහි එන අවසන් ලිපිය ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහගේ ය. සිය ලිපියෙහිලා ඔහු අවධාරණය කරනුයේ පොලොන්නරුව සම්බන්ධ ගොවිජනපද ව්‍යාපාරය ජාතික සංවර්ධනයේ අනුල්ලංඝනීය අංගයක් වූ තරමට ම නව සංස්කෘතියක උදාවට ද හේතුකාරක වූ බව යි. තව ද ජනපද ව්‍යාපාරය ඇසුරේ බිහි වූ දැවැන්ත ම දේශපාලන චරිතය වූයේ මෛත්‍රීපාල සිරිසේනයන් බව ද හෙතෙම සඳහන් කරයි.

'ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදයත්, මානව ගෞරවයත් මත ස්ථාපනය කළ යුග පුරුෂයා, මෛත්‍රීපාල සිරිසේන ය. ඔහු වෙනුවෙන් ඉතිහාසය තුළ ගොඩනැඟෙන දැවැන්ත ස්මාරකය වනුයේ මොරගහකන්ද - කළුගඟ මහා ජලාශ සංකීර්ණය යි.” ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මෙ සේ ප්‍රකාශ කරනුයේ , පොලොන්නරු වංශකතාවේ මෛත්‍රීපාල සිරිසේන සාධකය” නම් ලිපියෙනි.

පොලොන්නරුව පිළිබඳ විවිධාංශ විමර්ශනය කොට ලියැවුණු මේ ප්‍රශස්ත පර්යේෂණාත්මක, ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය තත් ප්‍රදේශය ආශ්‍රිත පුළුල් අධ්‍යයනයක නිරත වන්නන්ට මෙන් ම සාමාන්‍ය පාඨකයාට පවා අතිශය වැඩදායි වන බව කිව යුතු ය. ශ්‍රී ලාංකේය අන්‍ය ඓතිහාසික යුග පිළිබඳව ද මෙබඳු පරිපූර්ණ සර්වසාර ග්‍රන්ථයන් බිහිවීමට මේ ව්‍යායාමය හේතුකාරක වේ වා යි ද අවසන් වශයෙන් සඳහන් කරමි.

 

ප්‍රකාශනය - ජනාධිපති ලේකම් කාර්යාලය 

Comments