තීරණ ගත හැකි පෞරු­ෂ­යක් සහිත තරුණ-තරු­ණි­යන්ගේ රටක් එජා­ප­යෙන් හද­නවා - ඇමැති සජිත් ප්‍රේම­දාස | සිළුමිණ

තීරණ ගත හැකි පෞරු­ෂ­යක් සහිත තරුණ-තරු­ණි­යන්ගේ රටක් එජා­ප­යෙන් හද­නවා - ඇමැති සජිත් ප්‍රේම­දාස

තරුණ-තරු­ණි­යන්ට රට පිළි­බඳ තීන්දු-තීරණ ගත හැකි දැනුම පද­නම් කර­ගත් ආර්ථි­ක­යක් සහ පෞරු­ෂ­යක් සහිත නවීන ශ්‍රී ලංකා­වක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධා­නය මඟින් ඉදි­රි­යේදී බිහි වනු ඇති බව නිවාස සහ ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ අමාත්‍ය සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ ලෙස පැව­සූයේ පසු­ගිය සිකු­රාදා (23) මාතර සනත් ජය­සූ­රිය ක්‍රීඩාං­ග­ණයේ පැවති ජන රැලි­යක් අම­ත­මිනි.

රැස්ව සිටි පිරිස අම­ත­මින් ඒ මහතා මෙසේද කියා සිටි­යේය: “අපට ඕනෑ කරන්නේ ආර්ථික වර්ධ­නයේ ප්‍රති­ලාභ නග­රයේ මෙන්ම ගමේ ජීවත් වන ජන­තා­වගේ පසු­ම්බි­ය­ටත් වැටෙන ආර්ථි­ක­යක්; ලෝකයේ දියුණු වෙමින් පව­තින රට­වල් සමඟ තරග කළ හැකි දැනුම් හැකි­යා­වන් සහිත ආර්ථි­ක­යක්. ඒ සඳහා දත්ත මත පද­නම් වූ ආර්ථි­ක­යක් බිහි කළ යුතුයි. ඒ සඳහා ගමේ ශක්ති­යද ලබා­ගත යුතුයි. නීතිය, යුක්තිය නිසි ලෙස ක්‍රියා­ත්මක වන රටක් අප බිහි කළ යුතුයි. මේ සඳහා සියලු පාර්ශ්ව ඒක­රාශී කර­ගැ­නීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතුයි."

ඊළඟ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී, වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයේ ජනා­ධි­ප­ති­ව­ර­යකු පත් කරන බවත්, ඒ සඳහා මේ වන විට මුළු පක්ෂ­යම පෙළ­ගැ­සෙ­මින් සිටින බවත් මෙහිදී අද­හස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සම­ර­වීර මහතා පැව­සීය. ඉදිරි දින කිහි­පය තුළ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍ර­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ යෝජ­නා­වෙන් සහ නියෝජ්‍ය නායක කරූ ජය­සූ­රිය මහ­තාගේ ස්ථිර­ත්ව­යෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස තෝරා ගන්නා බවද ඇමැ­ති­ව­රය‍ා මෙහිදී කීවේය. වසර 30කට පසු මාත­රදී තමා දුටු වැඩිම ජන සහ­භා­ගි­ත්ව­යක් සහිත දේශ­පා­ලන රැලිය මෙය බව සඳ­හන් කළ මංගල සම­ර­වීර මහතා; රාජ­පක්ෂ පවුලේ වහ­ල්වාදි පාල­නය අව­සන් කළ හැකි එකම නාය­කයා සජිත් ප්‍රේම­දාස මහතා බව තමා විශ්වාස කරන බවද, මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස තමා කිසිදු වංචා­වක් දූෂ­ණ­යක් නැති, උප­රිම වශ­යෙන් වැඩ කරන සජිත් ප්‍රෙම­දාස මහ­තාගේ අමා­ත්‍යං­ශ­යට කිසිදු බියක් සැකක් නැතිව මුදල් වෙන් කරන බවද ප්‍රකාශ කළේය.

මේ රැලි­යේදී හරීන් ප්‍රනාන්දු, බුද්ධික පති­රණ යන අමා­ත්‍ය­ව­රුන් ඇතුළු ජනතා නි‍යෝජි­තයෝ රැසක් අද­හස් දැක්වූහ.

Comments