අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න | සිළුමිණ

අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න

මේ දිනවල විජයබා කොල්ලය සිනමාපටයේ නීලමනී ලෙස රිදි තිරය හැඩ කරන සෙනාලි ෆොන්සේකා හෙළ නිළි රැජන මාලනිය ගේ ඥාති දියණියක් බව කවුරුත් දන්නා පුවතක්. මේ දිනවල බොහෝ දෙනාගේ පැසසුම් ලබමින් ‘නීලමනි‘ට පනපොවන  තම දියණිය ගේ රංගනය ගැන මාලනියට නැතහොත් ඇගේ ලොකු නැන්දාටත් කියන්න යමක් ඇති...

 ‘විජයබා කොල්ලය’ සිනමා පටයේ සෙනාලි ගේ රංගනය ඔබ දකින්නේ කොහොමද?

අපේ පවුලේ දෙවැනි පරපුරෙන් කලා ක්ෂේත්‍රයට එක් වූ වැඩිමලා ශිවන්‍යා. බාලයා තමයි සෙනාලි. ඇය දැන් රංගනයෙන් තරමක් දුර ඇවිත්. මම සතුටු වෙනවා ඇය ආ ඒ ගමන ගැන. අපි හැමෝම සෙනාලිගේ පුංචි කාලේ ඉඳන් දැක්ක දෙයක් තිබුණා.මොනවහරි පොඩි මියුසික් එකක් ඇහුණත් නටන්න දඟලන්න ඈ හරිම කැමැතියි. ඒ කාලේ සිට ඇගෙන් දිස් වූ ඒ හැකියා අද විජයබා කොල්ලය තෙක් ඇවිත්. ඒ රංගනය පිළිබඳ මට හැඟෙන්නේ ඇය බොහොම පරිණත විදිහට හරිම දැනුම්වත් කමකින් මේ චරිතයට පිවිසුණු බවක්. විවිධ පැති ඔස්සේ ඈ සතු හැකියාව පෙන්වන්ට සෙනාලිට අවස්ථාවක් ලැබී තිබෙනවා.

නර්තනයට සෙනාලිට සහජ හැකියාවක් තිබෙනවා. මේ චිත්‍රපටයේ ගීතරෝපගත යම් යම් ඉදිරිපත් කිරීම්වලදී ඇගේ මුහුණ, ඇස්, ඇඟේ රිද්මය ඇය බොහොම හොඳින් හසුරුවා තිබෙනවා. මගේ පරපුරේ කෙනෙක් විදිහට මට සෙනාලිගේ දක්ෂතා ගැන හරිම සතුටුයි.ගොඩාක් හොඳ දුර ගමනක් යන්න මේ සිනමා කර්මාන්තයේ දොරටු දැන් ඇයට විවර වෙලා.

සෙනාලි සැඟවිච්ච හැකියා බොහොමයකින් පිරිපුන් රංගන ශිලිපිනියක්. හොඳ අධ්‍යක්ෂවරු යටතේ එම හැකියා ප්‍රයෝජනයට ගනිමින් දීර්ඝ ගමනක් යන්න වාසනාව උදා වේවා යැයි මම ප්‍රාර්තනා කරනවා.

රංගනයේදී ඇයට ඔබෙන් ගුරු හරු කම් ලැබෙනවාද?

බොහෝ විට කුමක් හෝ අඩු පාඩුවක් තිබුණොත් මම එය පෙන්වා දෙනවා. රංගන ශිල්පිනියන් ලෙස අපිව නිතරම ඇස් ඇරන් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා.

ඒ තමයි කැමරාව. කැමරාව අපි දිහා බලන් ඉන්න බව නිතරම සිහි තබා ගත යුතුයි. හැබැයි ඒ වග නොදැක්කා සේ රඟපාන්න කියලයි ගොඩක් වෙලාවට මම ඇයට උපදෙස් දෙන්නේ. එවිට ඒ රංගනය හරිම තාත්විකව ඉදිරිපත් කරන්න පුළුවන්.

ඔබේ ඥාති දියණියන් කිහිපදෙනෙක්ම කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යනවා?

මගේ නංගි දමයන්ති, ශ්‍රියානි, රසාදරි හැරුණු විට රංගන ශිල්පිනියක් ලෙස දෙවැනි පරම්පරාවේ මුලින්ම ආවේ සමනලී. 'පාරාදීසයේ ' තමයි ඇය මුලින්ම රඟපෑ චිත්‍රපටය. එතැන් සිට ශිවන්‍යා, රුවනි, තරින්දි, මනෝරි, සදුනි හා සෙනාලි අපේ දෙවැනි පරපුරෙන් කලා ලොවට එකතු වුණා. දැන් කුෂෙන්‍යා රූකඩ පැංචි චිත්‍රපටයෙන් අපේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරනවා.

ඒ දෙවැනි පරම්පරාව සමඟ සෙනාලි ගේ රංගන හැකි යාව තිබෙන්නේ කොතැනද?

සමනලි බොහෝ වෙලාවට ඇයට ලැබෙන චරිත තෝරා බේරා ගන්නවා. ඇගේ හිතට එකඟ චරිත තමයි ඇය තෝරගන්නේ. සෙනාලි තමන්ට ගැලපෙන චරිත තෝරගත්තත් ඇයට ඕනෑම චරිතයක් පහසුවෙන් කරන්න පුළුවන් දක්ෂතාව තිබෙනවා.

ඔවුන් අතරින් යළි ඔබව ඔබේ තරුණ අවධියට ගෙන යා හැකි කෙනෙක් ඉන්නවාද?

මගේ තරුණ කාලේ හෝ තවත් මාලනි ෆොන්සේකා කෙනෙක් ඔවුන්ගෙන් දකිනවාට වඩා ඔවුන්ගේම අනන්‍යතාවකින් ඒ හැකියාවලින් වෙනස්ම දක්ෂ රංගන ශිල්පින් ලෙස ඉදිරියට එනවා දකින්නයි මම කැමැතියි. ‘ආකාස කුසුම’ චිත්‍රපටයේ සමහර රූප රාමුවල මම සඳුනිගෙන් මගේ තරුණ කාලේ දකිනවා. මම හරි ආසයි එහෙම දකින්න. නමුත් ඊට වැඩිය දෙයක් ඔවුන්ට කරන්න පුළුවන්.

 ඔබට අනුව සෙනාලි වඩාත් සුදුසු සිනමාවටද පුංචි තිරයටද?

අපි පුංචි තිරය ගැන අඩු තක්සේරුවෙන් කතා කරන්න හොඳ නැහැ.නමුත් මම කැමැති ඇයව සිනමා නිර්මාණවල දකින්න.සෙනාලි ට හොඳ ෆිල්ම් පර්සනැලිටි එකක් තියෙනවා.ඉදිරියේදි ඇය බොහෝ විට සිනමා නිර්මාණම තෝර ගනියි.

ඒක හොඳයි.නමුත් හොඳ ටෙලි නිර්මාණයක හොඳ චරිත නිරූපණයක් කරන එක ගැන මගේ අකමැත්තක් නැහැ. ඇය සිනමා නිර්මාණවලට දායක වීමේදී තම දක්ෂතා හැකියා උපරිමය නිරූපණය කිරීමට හැකි හොඳ චරිත තෝරා ගන්නවා නම් හොඳයි.

මාලනියගෙන් සෙනාලිගේ ඉදිරි ගමනට ලැබෙන උපදෙස?

අපි මේ ක්ෂේත්‍රයේ රැඳි සිටිය යුතුයි. මේ ක්ෂේත්‍රය හරිම අමුතුයි. මම ඇයට දී තිබෙන උපදෙස "අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න "යි.

ඇය ඒ උපදෙස නිතරම් මා එක්ක මතක් කරනවා.සෙනාලි බොහොම බුද්ධිමත්, උගත් තරුණියක්.ඇයට හොඳ දැනුමක් තිබෙනවා වටපිටාව හා සමාජය ගැන. ඇය ඒ ගමන හඳුනා ගෙන බොහොම සමබරව යනවා. ඒ සමබරව යන ගමන මම හරියට අගේ කරනවා.

Comments