සීනිගම දෙවොලේ ඇසළ මහා පෙරහර අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා | සිළුමිණ

සීනිගම දෙවොලේ ඇසළ මහා පෙරහර අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා

ඔබට රටට සෙත සලසන බුද්ධාභිවන්දන දේවාශීර්වාදයට සැමට ආරාධනා..!

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 52 වැනි වාර්ෂික ඇසළ පූජෝත්සවය මෙවරත් 2019 අගෝස්තු මස 29 වැනි දින සිට 2019 සැප්තැම්බර් මස 05 දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2019 අගෝස්තු මස 29 වැනි දින පෙරවරු 10.00 ට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම උත්සවය සමඟ සම්බන්ධ වන අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහ ප්‍රදේශයේ ගිහි පැවිදි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන උදා සමුළුවෙන් පෙරහර මංගල්‍යය ආරම්භ වන අතර ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතා එදින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද, පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවක් ද, පවත්වනු ලැබේ. 2019 අගෝස්තු මස 30 වැනි දින පෙරවරු 10.00ට දේවාල පෙරහරේ වැඩම කරවනු ලබන දෙවොල්, නාථ, විෂ්ණු, කතරගම, ගණ, පත්තිනි යන දේව ප්‍රතිමා සහ සීනිගම ශ්‍රී දෙවොල් මහා ‍දේවාල භුමියේ ස්ථාපිත කර තිබෙන මණිමේඛලා දේව ප්‍රතිමාව සඳහා නානුමුර අභිෂේක මංගල්‍යයක් ද පැවැත්වීම සිදු කරනු ලබයි.

ඇසළ පූජෝත්සවයේ සුවිශේෂි අංගය වන උඩරට, පහතරට සහ සබරගමුව සාම්ප්‍රදායන්ට අනුකූල නර්තන අංගයන්ගෙන් මෙන්ම නව නිර්මාණ නර්තන අංගවලින් අලංකාරවත් වූ පෙරහර 2019 අගෝස්තු මස 31 වැනි දින සිට 2019 සැප්තැම්බර් මස 03 වැනි දින දක්වා දිවා රාත්‍රී පෙරහර හතරකින් යුක්ත වේ. සීනිගම දේවාලයේ වර්තමාන භාරකාර තැන්පත් සරත් දිසෙන්තුවාහන්දි මහතාගේ සංකල්පයක් සහ නිර්මාණ දායකත්වයෙන් පෙරහරට එක් වූ සුවිශේෂි අංග කිහිපයක් හේතුවෙන් ද මෙම පෙරහර තවත් ආකර්ෂණීය වනු ඇත.

එනම් සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය සඳහා ඉවහල් වූ සතර පෙර නිමිති නිරූපණය කිරීම, ඓතිහාසික රාජ්‍ය පාලන ක්‍රමය සිහිගන්වමින් රාජ සභාව නියෝජනය කරන රජතුමා සහ බිසව, අමාත්‍ය මණ්ඩලය සහ අනෙකුත් චරිත නිරූපණය කරන රජ වාසල ප්‍රතිනිර්මාණය කිරීම, ශ්‍රී දළදා ගමනය මතකයට නංවමින් හේමමාලා කුමරිය සහ දත්ත කුමරු ලක්බිමට ශ්‍රී දළදා වහන්සේ වැඩම කර වීම ප්‍රතිනිර්මාණය කිරීම ආදියයි.

මෙසේ සීනිගම දේවාල භූමිය කේන්ද්‍ර කොට වීථි සංචාරය කරන පෙරහර අවසන් වූ පසු සැප්තැම්බර් 04 වැනි දින රැය පහන් වන තුරු රටට, දැයට සෙත් පතා පවත්වන දෙවොල් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. දෙවොල් මඩු ශාන්ති යාගයේ සුවිශේෂි අංගයක් වූ ගිනි පෑගීම 2019 සැප්තැම්බර් මස 05 වැනි දින අලුයම 5.00 ට පමණ සිදු කෙරේ. මෙයින් දෙවොල් දෙවියන් සීනිගමට ගොඩබට අවස්ථාවේදී එවකට මෙම ප්‍රදේශයට අධිගෘහිතව සිටි පත්තිනි දේවිය විසින් මැවූ ගිනි මැල තරණය කරමින් දෙවොල් දෙවියන් සීනිගමට ගොඩ බැසීම සංකේතවත් කෙරේ. එදින උදෑසන 7.00ට පමණ බැතිමතුන් උදෙසා පවත්වන මහා කිරි දානයෙන් අනතුරුව මෙම මහා ඇසළ පූජෝත්සවයේ සමාප්තිය සලකුණු වේ. මෙම මහා සංස්කෘතික මංගල්‍යය ඇසින් දැක... දෙවොල් දෙවි ආශීර්වාදය ලබා ගැනුමට පින්සර ඔබ සැමට සමාරාධනා....!!

Comments