ජාතිප්‍රේමි පණ්ඩිතයන්ට නොතේරෙන සත්ත්ව නාමකරණයේ යථාර්ථය! | සිළුමිණ

ජාතිප්‍රේමි පණ්ඩිතයන්ට නොතේරෙන සත්ත්ව නාමකරණයේ යථාර්ථය!

මේ දිනවල හූනන් ගැන බොහෝ දෙනා කතා ඇසෙන්න පටන් ගෙන තිබේ. එනයින් මෙතෙක් කලක් කිසිදු වැදගැම්මකට නැති සතකු ලෙස සමාජයේ සැලකුණු හූනාද දැන් අභිමානනීය සතෙක් වී ඇත්තේය. ඒ මෙරටට ආවේණික හූනු විශේෂ 6කට නම් දීමේදී, අපේ ජාතික වීරයන්ගේ නම් තැබීම අදාළ ජාතික වීරයන්ට කළ මහත් නින්දාවක් ලෙස මත පළ වීම ඇරඹීමත් සමඟය. විද්‍යාත්මක නාමකරණය ගැන කිසිත් නොදත් බුකී විද්‍යාඥයන්ට මෙය මහත් වේදනාවක් ගෙන දෙන්නට සමත් වී ඇති හැඩකි. මේ චෝදනාව එල්ල 

වන්නට වූයේ පරිසරවේදි හා උරග හා උභය ජීවි විද්‍යාඥ සමීර සුරංජිත් කරුණානායක නම් තරුණයාටය. ඔහු උරග හා උභය ජීවීන් සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නේ දැනට වසර 20ක පමණ කලක සිටය.

නව සත්ත්ව හෝ ශාක විශේෂයක් සොයාගැනීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේ මහත් පරිශ්‍රමයක් දරා සොයාගන්නා විශේෂ, පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ද්විපද නාමකරණය කෙරෙන අතර, ඒ සඳහා කීර්තිමත් පුද්ගලයන්ට ගෞරව පිණිස ඔවුන්ගේ නම් යොදාගැනීම බහුලව සිදු වන්නකි.

මේ සිදුවීමට අද‍ාළව: සමහර විට නව සිංහ විශේෂ කිහිපයක් සඳහා මේ නම් දැමුවා නම් මෙවැනි අවුලක් පැන නොනඟිනු ඇත. එහෙත් සත්ත්ව විද්‍යාඥයාට අලියාය, කොටියායත්, කටුස්සාය, හැකරැල්ලාය, හූනාය කියා වෙනසක් නැත; වඩා නම්බුකාර සතුන් කියා කොටසක් ඔහුට අදාළ නැත. පර්යේෂණකයන්ට ප්‍රාණයක් තිබෙන ඕනෑම ජීවියකු එක සේ වටින බැවිනි.

පරිසරවේදි සමීර පවසන ආකාරයට යම් සතකු හඳුනාගැනීමෙන් ඒ සතාත්, පරිසරයත් සුරැකිය හැකි වන්නේය. එසේම එක් නගරයක් හෝ ගමක් වටා පිහිටි පරිසර තත්ත්වයන් විවිධ වන අතර, ඒ පරිසර තත්ත්ව අනුව එකම වර්ගයේ සත්තුද විවිධ ජෛව විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරති. ඔහු මේ ආන්දෝලනයට ලක්ව ඇති හූනු විශේෂ සොයාගෙන ඇත්තේ කුඩුම්බිගල, මොනරාගල, බඹරකොටුව, කඩුගන්නාව, කොකාවෙල හා වලපනේ යන ප්‍රදේශවලිනි.

“මේ හූනු විශේෂ 6 අප සොයාගත්තේ ලෝකයේ සිටින හූනු විශේෂ 3,000ක් සමඟ විද්‍යාත්මක පර්යේෂණ කරලා. මේක කෙනෙක් හිතන තරමේ ලෙහෙසි දෙයක් නෙමෙයි. විවිධ මිනුම් 70ක් සමඟ විද්‍යාත්මක උපකරණ භාවිත කරලා සොයාගත යුතු වෙනවා.

මේ සඳහා අපට වසර දෙකක කාලයක් ගියා. පිටරට විද්‍යාඥයන් සමඟ ඊමේල් ඔස්සේ තොරතුරු හුවමාරු කරගත්තා. තවත් විශේෂ 100ක් පමණ ඉන්නවා, විද්‍යාත්මකව ප්‍රකාශයට පත් කරන්න. මේ වගේ අලුතින් සතකු හඳුනාගත් විට විද්‍යාත්මකව නාමකරණය කළ යුතු වනවා. කොකාගල ප්‍රදේශයේ ගෝඨයිම්බර වීරයාගේ නෑදෑයන් ඉන්නවා. නන්දිමිත්‍ර යෝධයා කුඩුම්බිගල අවට ගල් ගුහා හදලා, සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කළා. දුටුගැමුණු රජුගේ ජාතික සටනේදී ඔහු කළ කාර්යභාරය කවුරුත් දන්නවා.

ඒ නිසා එතුමා කළ සේවය අගයන්න අපි කොකාගලින් සොයාගත් හූනාට ඒ නම භාවිත කළා. අනෙකුත් හූනන්ට ඌව වෙල්ලස්සේ කැරැල්ලේ වීරයන්ගේ නම් භාවිත කළේ ඔවුන්ගේ සේවය සිහි වෙන්නයි..” සමීර පවසයි.

සමීර පවසන පරිදි IUCN හෙවත් සත්ත්ව නාමකරණයට අනුව ගරු කටයුතු ලෙස නම් තැබීමටද නීති-රීති ඇත. මෙහිදී අදාළ පුද්ගලයන්ගේ හෝ ඥාතීන්ගේ හෝ අවසරය ගත යුතු නැති අතර, එවැනි නම් තැබීමකින් පසු ඒ පුද්ගලයාගේ නාමය නයිට් නාමයකට සමාන වන්නේය.

එසේම ඔහු හෝ ඇය ඉහළින් පිළිගැනෙන්නේය.

“නොදන්නා අයට මේ දේවල් විහිළුවක් විය හැකියි. ඒත් මේ සියල්ල කරන්නේ අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් අලුතින් හඳුනාගත් සතුන්ට යොදා තිබෙනවා. 1946දී ඇමරිකාව යෝධ ගොළුබෙල්ලකුගේ පොසිලයකට, සමනලයන්ට වගේම මාළුවකුට බුදුහාමුදුරුවන් නමින් නම් තබා තිබෙනවා. ඒ වගේම වීර පුරන්අප්පුගේ නමින් පඳුරු මැඬියකු නම් කර තිබෙනවා.

රාවණා මැඬිල්ලා නමින් මැඬියකු නම් කර තිබෙනවා. උරග හා උභය ජීවි විද්‍යාඥ යුවළකගේ නමින් හූනකු හා ශ්‍රී ලංකා සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ලීන් ද සිල්වා නමින් හූනකු නම් කර තිබෙනවා. ඒ වගේම ඉංජිනේරු විශ්වවිද්‍යල මහාචාර්ය අමිත් මුනීන්ද්‍රදාස මහතාගේ නමින් තවත් හූනකු නම් කර තිබෙනවා.

එ් වගේම 1950දී ලංකාවේ ප්‍රථම සිංහල කෞතුකාගාර අධ්‍යක්ෂ ‘එකිස් කැලිනාටස් සිංහලයා’ නමින් වැලි පොළඟකු නම් කර ඇත්තේ ‘සිංහලයා’ නමින්. ඒ වගේම චාල්ස් කුමරුගේ මැඬියා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පණු ගෙම්බා, චාලි චැප්ලින්ගේ කුරුමිණියා, 2 වැනි ජුවාන් පාවුලු පාප් වහන්සේගේ කුරුමිණියා, ඇඩොල්ෆ් හිට්ලර්ගේ කුරුමිණියා, ජෝජ් බුෂ්ගේ කුරුමිණියා, බැරක් ඔබාමාගේ කුරුමිණියා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සළබයා, මහත්මා ගාන්ධිගේ මීමැස්සා, දලයි ලාමාගේ සළබයා ආදි වශයෙන් උදාහරණ ගොඩාක් තිබෙනවා...” පරිසරවේදි සමීර පවසයි.

මෙනයින් සත්ත්ව විද්‍යාත්මක නාමකරණය පිළිබඳ ඇති තතු නොදැන කතා කරන බොහෝ දෙනා දැන-උගත යුතු තවත් කරුණු ඇති බව පැහැදිලිය.

මේ වන විට ලංකාවේ හූනු විශේෂ 54ක් හඳුනා ගෙන ඇති අතර, ඒ සියල්ල හඳුන්වා දීමට මෙවැනි නාම යොදා තිබේ.

ඔවුන් මෙසේ සතුන් නාමකරණය කරන්නේ ආවාට-ගියාට නොවන බවද සිහි තබාගත යුතුයි. එසේ නම් කරන්නේ සත්ත්ව ප්‍රජාවගේද පරිසරයේද මිනිසාගේද ආරක්ෂාව පතාය. මේ නිසා මෙහි ඇත්තේ කවර අපහාසයක්දැයි ඔබම තීරණය කළ යුතුව ඇත.

 
 

Comments