ජීවත් වෙන්න ගස් බඩ ගාන පොල් කරූ මාමා යූ ටියුබ් තරුවක් වුණු හැටි | සිළුමිණ

ජීවත් වෙන්න ගස් බඩ ගාන පොල් කරූ මාමා යූ ටියුබ් තරුවක් වුණු හැටි

YouTube සමාජ මාධ්‍ය මේ කාලයේ තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය video sharing platform එකකි. බොහෝ තරුණයෝ තමා YouTuber කෙනකු ලෙස හඳුන්වා දෙති. බොහෝ තරුණ තරුණියෝ ජනප්‍රිය YouTuber කෙනෙකු වීමට සිහින දකිති. ඔවුන්ගේ සිහිනය YouTube වෙතින් හිමි වන SILVER PLAY BUTTEN සම්මානය ලැබීමය. එනම් තම චැනලයට Subscribesලා ලක්ෂයක් එක් කරගැනීමය.

Subscribesලා ලක්ෂ දහයක් වූ විට Gold Play Button සම්මානය හිමි වේ. අද වන විට ශ්‍රී ලංකාවේ SILVER PLAY BUTTEN සම්මානය හිමි YouTubersලා ඇත්තේ දහයක් පහළොවක් අතර ගණනකි. පනස් පස් වියැති පොල් කරු මාමාගේ Pol Karu YouTube චැනලයට අද වන විට YouTube වෙතින් හිමි වන SILVER PLAY BUTTEN සම්මානය හිමි වී තිබීම සුවිශේෂි වන්නේ එම නිසාමය.

පොල් කරු ශ්‍රී ලංකාවේ එකම වැඩිහිටි YouTuber වේ. කුඩා කාලයේ පටන් රඟපෑමට කැමති ඔහුට වයස පනහ පැන්න විට රඟපෑමට අවස්ථාව ලැබුණු බව ඔහු කියයි. ඔහුගේ උප්පැන්නයට අනුව නම එච්.එම්. කරුණාරත්නය. ඔහුගේ පවුලේ අම්මා තාත්තාද සමඟ සාමාජිකයෝ දස දෙනෙකි. එයින් තිදෙනකු මිය ගොසිනි. ඔහුගේ රැකියාව පොල් කැඩීම නිසා ඔහු සැමට පොල් කරූ වී තිබේ. එසේම වගා කටයුතු ද ඔහු කරයි.

කරු මාමාගේ ගම අනුරාධපුරේ පෑතිස්පුරය. විවාහයෙන් වෙන් වී ඔහු තනිව ජීවත් වෙයි. පාපැදිය ඔහුගේ වාහනයයි. ගමේ හැම කෙනකුට, හැම දෙනකුටම උදව් කරන ගමට නැතුවම බැරි කෙනෙකි. රෑ දොළහට හරි ගම් වැසියෙකු පැමිණ කරු මාමේ දැන් ගොක් අත්තක් ඕනෑ කියන විට ඔහු පොල් ගසට නැඟීමට සූදානම්ය. කරු මාමාට අනුව ඔහු පැය විසිහතරම ඔන් ඩියුටිය.

කරු මාමා පාවහන් පලඳින්නේ හවසට නා කියා ගත්තාට පසුවය. අඳින්නේ තමාගේ පැය විසිහතරේ රැකියාවට ගැළපෙන ඇඳුම්ය. දුරකතනයක් පාවචිචි කරන්නේ නැත. ඔහු සියයට සියයක්ම ගැමියෙකි.

ඔහුගේ වීඩියෝ හාස්‍යට බරය. කාලීන සිදු වීම් ඇසුරින් කරන වීඩියෝද එහි වෙයි. මුල් කාලීන වීඩියෝ අතර කෑම රෙසිපිද වෙයි. බොහෝ YouTubersලා මෙන් ඔහුගේ වීඩියෝවලට අවශ්‍ය පරිසරය තමා ජීවත්වන වටපිටාවෙන් සකසාගෙන තිබේ. ඇතැම් වීඩියෝවල දැකිය හැකි වුණු කපරාදු කර නැති රතු ගඩොලින් බැඳ ඇති නිවස ඔහුගේය. වැසිකිළියට ගිහින් එන ඩිංගට අගමැතිලා මාරු වෙන වීඩියෝවේ ඇති වැසිකිළිය ඔහුගේ නිවසේ භාවිත කරන එකමය. ඒ වීඩියෝ ජංගම දුරකතනය භාවිතයෙන් කර ඇත.

නලින්ද කරු මාමාගේ වීඩියෝ කටයුතු මෙන්ම සංස්කරණ කටයුතු කරයි. චැනලය පවත්වාගෙන යන්නේ පුංචි කණ්ඩායමකි. ඔවුන් සතු අදහස් ඔවුන්ගේ වීඩියෝ නිර්මාණවලට යොදාගනී. චැනලය ඔස්සේ ලැබෙන වෙළෙඳ දැන්වීම්වල ආදායමින් දානමය කටයුතුවලද මේ පිරිස යෙදෙයි.

පොල් කරු චැනලය ආරම්භ කරන්නේ 2017 නොවැම්බර් 23 වැනි දාය. සමාජ මාධ්‍ය සංඛ්‍යානය හා විශ්ලේෂණ කිරීම් පිළිබඳ පිළිගැනෙන වෙබ් අඩවියක් වන SOCIALBLADE වෙබ් අඩවියට අනුව එම ලිපිය ලියන අවස්ථාව වන විට එහි Viewersලා 17,048,449කි. Subscribersලා 122,211කි. ඇතුළත් කර ඇත වීඩියෝ ගණන 132කි. එම චැනලයේ ඇස්තමේන්තුගත වාර්ෂික ආදායමද SOCIALBLADE වෙබ් අඩවියේ සඳහන් වේ.

අන්තර්ගතයන් (content) එකතු කිරීම, වීඩියෝ නැරඹීම, පෞද්ගලික වීඩියෝ චැනල් පවත්වාගෙන යා හැකි වීම, YouTube වීඩියෝ සඳහා likes, comments කිරීම සහ share කිරීම, භාවිතා කරන්නන් හට subscribes කිරීමේ හැකියාව, තමන් කැමතිම වීඩියෝ බ්ලොගර්ස්ලා follow කිරීමට, අනෙකුත් YouTuberලා Subscribe කිරීමද, වීඩියෝ සංවිධානය කිරීම සඳහා Playlist නිර්මාණය කිරීමේ හැකියාව සහ Group videos සකස් කිරීම ආදී හැකියා බොහෝමයකි.

YouTube යනු නිදහසේ භාවිතා කිරීම සඳහා අවස්ථාව ලැබෙන ඉඩකඩකි. මියුසික් වීඩියෝ නැරඹීමට, අධ්‍යාපන, නිර්මාණකරණය, ආදී නොයෙකුත් දේ සඳහා උපදේශන ගැනීමට YouTube භාවිත කරයි. ඒ හැකියා නිසාම තරුණ පරපුර YouTube වෙත වැඩි වශයෙන් ආකර්ෂණය වෙයි. YouTube video සඳහා subscribesලා දහසක් වූ විට එම වීඩියෝ එක් කළ අයට google සමාගමේ වෙළෙඳ දැන්වීම් සඳහා ඉල්ලුම් කළ හැකිය.

මේ සියල්ල නව තාක්ෂණ සමඟ පෑහෙන දෑය. අලුත් වන තාක්ෂණය සමඟ වැඩිපුර ගැවසෙන්නේ තරුණ පිරිසය. ඔවුන්ට නව සන්නිවේදන ක්‍රම වැඩිපුර ගෝචර වන්නේ ඒ නිසාය. බොහෝ විට තරුණයන්ගේ රුචිකත්වයට ගැළපී ඇත්තේද තරුණයන්ගේ නිර්මාණ කෙරෙහිය. නව මාධ්‍ය platformවල වැඩ පෙන්වන තරුණයන් හා කරට කර ඉන්නට කරු මාමාට හැකි වීම අරුමයක් වන්නේ ඒ නිසාය. විවේචන බොහෝ මැද්දේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ආ ගමනක් ඇති බව කරු මාමා වරෙක කීවේය. තාක්ෂණය වයස් භේදයකින් තොරව සියලු දෙනාට පොදු වේදිකාවක් හදන බව කරු මාමාගේ කතාවෙන් ඉස්මතු වෙන කාරණයයි. සිහි නුවණින් තාක්ෂණය භාවිත කරන්නේ නම් ඒ වේදිකාවෙන් යා හැකි ගමන සුළුපටු නොවන බවද ඒ සමඟම ගම්‍යමාන වේ.

Comments