මේ වන විට දේශපාලන කරළියේ උණුසුම්ය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනපතිවරණ සටන සඳහා දේශපාලන පක්ෂ කිහිපයක්ම මේ වන විටත් තම අපේක්ෂකයන් නම් කර ඇත. මෙවර ජනපතිවරණයට රටේ ප්‍රසිද්ධ පුද්ගලයක් කිහිප දෙනෙක්ම ලියාපදිංචි පක්ෂ මඟින් මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් ලෙස ද ඉදිරිපත් වීමට සූදානම් වන බව පැවසේ. ජනතාව ඉදිරියේ සියල්ල මෙලෙස සිදු වුවද ජනාධිපතිවරණ සටනේ තිරය පිටුපස සිදුවන අමුතු කතාවක් පසුගිය දා අනාවරණය විය. ඒ ජනාධිපතිවරණ සමයේ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මුදලට විකිණෙන අන්දම පිළිබඳවය.
මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ ද? එසේ සිදු වන්නේ කෙසේද? එයින් සමාජයට ලැබෙන ප්‍රතිඵල මොනවාද? යන්න අපි සාකච්ජාවට බඳුන් කරන්නට කටයුතු කළේ මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන විශ්ලේෂකයන් පිරිසකගේ අදහස් විමසීමෙනි.
මෙය සූදුවක්
විසිපස් වසරකට වැඩි කලක සිට දේශපාලන ක්ෂේත්‍රයේ නිදහස් හා සාධාරණ මැතිවරණ නිරීක්ෂකයකු මෙන්ම විශ්ලේෂකයකු ලෙස ද ක්‍රියාකරන පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ජනාධිපතිවරණ සමයේ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මුදලට විකිණීම සූදුවක් තෙක් වර්ධනය වී ඇති බවය.
‘‘ලංකාවේ පැවැත් වූ ජනාධිපතිවරණ දෙස බලමු. පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 19 දෙනෙක් ඉදිරිපත් වී තිබුණා. මේ අතුරින් 16ක් 17ක් ම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තමයි තරඟ කළේ. මේ අපේක්ෂකයින් හා පක්ෂ බොහෝ වෙලාවට (සියල්ලන්ම නොවේ.) තවත් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සහයෝගය පළකිරිම සඳහායි තරඟ වැදුණේ. ගියවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනොගේ නම් දෙකට සමාන නම් දෙකකින් අපේක්ෂකයන් දෙදෙනෙක් තරඟ කළා. එමඟින් ජනතාව නොමඟ යවන්නට ඔවුන්ට හැකි වුණා. සමහරු තරඟ කරලා ජන්දයට සුමානයක් විතර තියා ඉල්ලා අස්වුණා. මම අහවල් අපේක්ෂකයාට සහාය පළකරනවා එනිසා ඉල්ලා අස්වෙනවා කිව්වා. ඔවුන් අදහස් කරන්නේ ඒ ඔස්සේ ජනතා පෙළගැස්මක් මතයක් හදන්නයි.
පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි |
ඊළඟට තවත් පක්ෂ තිබෙනවා ඒ පක්ෂයේ ලේකම්, සභාපති පමණයි ඉන්නේ. වෙන කවුරුත්ම නැහැ. නමුත් සන්ධානවලට , මාධ්‍ය ඉදිරියේ අත්සන් කරනවා. අපි අහවල් කණ්ඩායමට සහයෝගය දෙනවා කියලා කියනවා. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අර වගේ සුළු පක්ෂ තම කණ්ඩායමට එකතු කර ගෙන ඒ ඔස්සේ සමාජයේ මතයක් හදනවා අපිට තව පක්ෂ දහයක් දොළහක් එකතු වුණා, අපි ලොකු කණ්ඩායමක් හැටියට වැඩ කරනවා කියළා.
එතකොට අර පොඩි පක්ෂවලටත් මේ මැතිවරණ ඇතුළේ වාසියක් හම්බ වෙනවා. එක පැත්තකින් මාධ්‍ය වාසියක්. අනෙක් පැත්තෙන් අපේක්ෂකයො බවට පත් වුණාම ලැබෙන වාසි. ලංකාවේ පවතින පක්ෂ මොන යම් හෝ දේශපාලනයක් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. එහෙම නැතිනම් පොඩි දේශපාලන පක්ෂ සමහර වෙලාවට තම පක්ෂයෙන් ඉල්ලන්න ජනප්‍රිය අපේක්ෂකයෙක් එනවා නම් මුදලම නෙමෙයි වෙනත් වරප්‍රසාදවලට යට වෙනවා. ඒ අනුව විවිධ වරප්‍රසාද ඔවුනට ලැබෙනවා. ඒ වගේම තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ වාසියකුත් ලැබෙනවා. රටෙන් එළියට ඔවුන් ගියාම ඔවුන්ම තමාව හඳුන්වා දෙන්නේ මම අහවල් මැතිවරණයේ අපේක්ෂකයා කියලා. එළියෙ ඉන්න මිනිස්සු දන්නෙ නැහැ මෙයාට සමාජයේ කොච්චර පිළිගැනීමක් තිබෙනව ද කියලා. මේ වගේ තමාට පුද්ගලික ප්රතිලාභ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඔස්සේ මොවුන් ගොඩ නඟා ගන්නවා.
ලියාපදිංචි කර තිබෙන පක්ෂවලින් සැලකියයුතු ප්‍රමාණයක් මේ ආකාරයට කටයුතු කරන්නේ තමන්ට අවශ්‍ය ප්රතිලාභ ලබා ගන්න.‘‘ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මේ වනවිට ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑවක් පමණ ඇත. ඒ අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් මැතිවරණ සමයේ සක්‍රීය වෙයි. මේ අතුරින් පක්ෂ විසි පහක් තිහක් පමණ සාමාන්‍ය මැතිවරණ උදෙසා තරඟ කරන අතර පළාත් පාලන ඡන්දවල දී එය සැලකිය යුතු පමණින් වැඩි වේ.
ජනපතිවරණයකදී දී පක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි.
තිරය පිටුපස සිදුවන වංචාවක්
විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්. එම් මොහොමඩ් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් අප සමඟ පැවැසුවේ මේ කාරණය බොහෝ විට ජනපතිවරණ සටනේ තිරය පිටුපස සිට කරන, ඔප්පු කර නැති අකටයුත්තක් බවය.
‘‘ජනපතිවරණයක දී මුදලට පක්ෂ හා අපේක්ෂකයන් විකිණීම ගැන කතා කළත් දී මුලින්ම පවසන්නට ඕන මෙය තිරය පිටුපස සිට කරන්නක් බව. සෑබෑ ලෙසින්ම මෙය සිදු වන බව පෙනුනත් එය සාධක සහිතව ඔප්පු කරන්නට කවුරුත් සමත් වෙලා නැහැ. නමුත් ඒ දේ සිදු වෙනවා. ජනපතිවරණයේදී තමයි මේ තත්ත්වය වැඩි පුරම දකින්ට ලැබෙන්නේ. යම් අපේක්ෂකයෙක් පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කරනවා නම් ඔහු හෝ ඇය රුපියල් පනස්දාහක ඇප තැන්පත් කළ යුතු වෙනවා. ස්වාධීන අපේක්ෂකයෙක් නම් ඇප හැත්තෑපන් දහසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නම් ඔහු මන්ත්‍රී ධූරයක් දැරූ බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් සහතිකයක් රැගෙන පැමිණිය යුතුයි.
ස්වාධීනව තරඟ කරන්න බලාපොරොත්තු වන කවදාවත් මන්ත්‍රීවරයෙක් නොවුණු කෙනෙක් පක්ෂයක් යටතේ තරඟ කරන විට තමයි මේ වගේ ගනුදෙනු දේශපාලන කරළියේ වැඩිපුර සිදු වන්නේ. නමුත් දේශපාලන පක්ෂයක් අපේක්ෂකයකුට හෝ කණ්ඩායමකට විකුණනවා කියන එක එකපාරටම කරන්න බැහැ. එය ලොකු වරදක්. මොවුන් බොහෝ විට කරන්නේ යම් කෙනෙක් ගෙන් මුදල් අරන් ඔහු හෝ ඇය සිය පක්ෂයේ සාමාජිකයෙක් බව පක්ෂ ලේකම්ගේ අත්සන සහිතව සහතික කරනවා. සමහරු අදාළ කෙනාට ලේකම්ධූරය භාර දෙනවා. නමුත් මා මැතිවරණ කොමිසමේ සේවය කළ කාලයේ මේ වගේ සිදුවීම් ගැන කවුරුත් චෝදනා කළේවත් පැමිණිලි කළේවත් නැහැ. මොකද මේ දේවල් තිරය පිටුපස සිදු වෙන නිසා.
රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ද සමහර පක්ෂ මුදලට විකිණුනත් එම පක්ෂ මුදලට විකිණෙන හැටි ඔප්පු කළ නොහැකි බවයි.
‘‘මෙහි මූලිකම ප්‍රශ්නය මේවා ඔප්පු කර පෙන්විය හැකි කාරණා නොවීම. මට මතකයි මීට වසර කිහිපයකට පෙර එක්තරා අපේක්ෂකයෙක් මුදල් කොච්චර ගියත් කමක් නෑ දේශපාලන පක්ෂයක් මිලදී ගන්නට, පක්ෂයක් සොයා දෙන ලෙසට මටම කිව්වා. මුදල් තිබෙන අය තමාගේ සමාජ බලය ගොඩනඟා ගන්න දේශපාලන පක්ෂ පිහිටුවනවා. සමහර පක්ෂ රටේ බලයට කොයි නායකයා ආවත් ලක්ෂ ගණන් වියදම් කරලා සුබ පතලා දැන්වීම් දමනවා. ඇමෙරිකාවේ ජනාධිපති පත් වුණත් සුබ පතලා දැන්වීම දානවා. මේ අයට මුදල් තිබෙනවා. දේශපාලන ප්‍රතිරූපයක් සකසා ගන්නයි අවශ්‍ය. තවත් සමහරු ඉන්නවා ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ. දේශපාලන ප්‍රතිරූපයක් හදා ගන්නයි අවශ්‍ය. දේශපාලන පක්ෂ විකුණන්නන බැහැ නීතිමය රාමුව ඇතුළේ. නිශ්චිත සාක්ෂි නොමැතිව මෙයට චෝදනාවක් නඟන්නත් බැහැ.‘‘ ඔහු පවසයි.
පක්ෂ ලියාපදිංචිය සීමා කිරීම හා නීති රීති පැනවීම
නීත්‍යනුකූලව මූලික සුදුසුකම් සපුරා ඇති මේ රටේ ඕනෑම පුරවැසියෙකුට පක්ෂයක් ලියාපදිංචියට අවස්ථාව හිමිවෙයි. එලෙසම අදාළ මැතිවරණයට අවශ්‍ය මුලික සුදුසුකම් තිබෙනවා නම් ඕනෑම පුරවැසියකුට මැතිවරණයට තරඟ කිරීමට ද අවස්ථාව හිමි වෙයි. රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, මේ ලියාපදිංචි පක්ෂ අතුරෙන් සැබෑ ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන දේශපාලන පක්ෂ වරින්වර ඉවත් කරන්නට නිසි ක්‍රියාවලියක් අවශ්‍ය බවය. අද සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේ ආනුභාවය සහිතව තමන්ගේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කරගෙන ඉන්නවා. හැම මන්ත්‍රීවරයෙකුටම අඩුම තරමේ පදනමක් හෝ තිබෙනවා. මම දකින විදිහට මේ දේශපාලන පක්ෂ මුදලට විකිණෙනවට වඩා සිදුවන්නෙ ප්‍රබල දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට ඉඩදීමයි. ඒ අනුව පක්ෂයේ සභාපති, ලේකම් ඔවුන්ට හිමි වරප්‍රසාද තමයි ගොඩනගා ගන්නේ.
මේ තත්ත්වය දුරු කරන්න නම්, පක්ෂ මැතිවරණවලට තරඟ කරන්නේ නැති නම් දීර්ඝකාලීනව ඒ අයට සැලකිය යුතු ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාවක් නොමැති නම් එවැනි පක්ෂ මේ දේශපාලන ධාරාවෙන් ඉවත් කරන්න අනිවාර්යයෙන් යම් වැඩ පිළිවෙළක් දියත් කරන්නට මැතිවරණ කොමිසමට නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා.
මැතිවරණ කොමිසමෙන් පක්ෂ මුදලට විකිණිම වගේම අපේක්ෂකයන් මුදලට පක්ෂ වෙත ඇඳාගැනීමට එරෙහිව නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පක්ෂයක ප්‍රතිපත්ති , නිලධාරී මණ්ඩලය ගැන විවිධ නීති පැනවීමෙන් මේවා තවදුරටත් ශක්තිමත් කිරීමෙන් මෙවැනි වංචා දූෂණ අවම කර ගත හැකියි. නමුත් මේ අතරම යම් වාමාංශික පක්ෂ තිබෙනවා ඔවුන්ට ලොකු ජන්ද පදනමක් නැති වුණත් ඔවුන් අවංක උත්සාහයක යෙදෙනවා තමන් විශ්වාස කරන්දේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින්න. එවැනි පක්ෂ රැක ගත යුතුයි.‘‘ යනුවෙනි.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගෙන් ද අපි මේ පිළිබඳ විමසා බලන්නට කටයුතු කළේ ඔහුට ද විවිධ පක්ෂ මඟින් මුදලට තම පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගන්නා ලෙසට ඉල්ලීම් කර තිබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙර වාර්තා වී තිබූ නිසයි. මුදල් ලබා දී පක්ෂවල අපේක්ෂකත්වය ලබාදීමට ඔහුට ඇරියුම් තිබුණා දැයි අප විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ තමා ගෙන් ඒ ගැන නොවිමසන ලෙසය. ඔහු අප සමඟ ප්‍රකාශ කර සිටියේ තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තමා ඉල්ලන්නේ කුමන පක්ෂයකින් දැයි ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවය. ඔහුට පක්ෂ ගණනාවකින් ඇරියුම් ලැබුණ ද මහජනතාවගේ පක්ෂයකින් ඔහු ඡන්දය ට ඉදිරිපත් වන බවය.
.