දුටු - දුටුවන් බිය කර කළුම කළු වන මුලතිව් වෙරළ | සිළුමිණ

දුටු - දුටුවන් බිය කර කළුම කළු වන මුලතිව් වෙරළ

අවු­රුදු දෙක­කට කලින් මුහුදු මට්ටම උඩට ඇවිත් දවස් ගානක් තිස්සේ ගෙවල් දොර­වල් යට ­වෙලා...

වතු­රත් කළු පාටයි...

මුහුදු වතු­රත් එක්ක කළු­පාට දිය­ර­යක් ඇවිත් වැල්ලෙ තැන්පත් වෙනවා...

 

මුලතිව් මුහුදේ ජලය කවදත් පිරිසිදුය නිල්වන්ය. එහි රළ බිඳෙන්නේ මහා හඬිනි. මුලතිව් මුහුදේ රළ නාඹර තල් කඳක් සේ විශාලය. ඒත් කාලාන්තරයක් තිස්සේම මේ මුලතිව් මහ මුහුදේ විවිධ වූ විපර්යාසයන් සිදුවෙයි. මේ විපර්යාස පිළිබඳ කොතරම් පර්යේෂණ පැවැත්වුවද මේ දක්වා නිශ්චය වශයෙන් ලැබුණු නිගමනයක් පොදු ජනයාට දැනගන්නට ප්‍රකාශ වී නැත.

මේ දිනවල යළිත් මුලතිව් මුහුද බරපතළ වෙනසකට පත්ව තිබේ. ඒ මුහුදු රළ සමග මුහුදු වෙරළට ගලාගෙන එන කළු පැහැති තාර වැනි දියරයක් නිසාය.

මුහුදු රළ ගොඩට ගලා එන්නට එන්නට මේ දියරයද මුලතිව් මුහුදු වෙරළට ගලා එයි. මුහුදු වෙරළේ රැඳෙන එම දියරය මද වේලාවකින් කළු පැහැති කුඩු විශේෂයක් බවට පත්වෙයි.

මුහුදු වෙරළේ ඇවිද යන්නන්ගේ දෙපාවල මේ කළු පැහැති කුඩු තැන්පත් වෙමින් ඇත. එම කළු පැහැති කුඩු වලින් හමා එන්නේද දැඩි දුර්ගන්ධයකි. මේ නිසා බියට පත් මුලතිව් ධීවරයෝ මුහුදු යාම තබා මුහුදු වෙරළේ ඇවිදීමටද දැඩි බියක් දක්වති.

මුලතිව් මුහුදේ සිදු වූ මේ වෙනස්කම මේ වන විට මුලතිව් පළාතේ සෑම අයෙකුම දන්නා කාරණයකි. මුලතිව් දිසාපති කාර්යාලය මගින් පාලනය වන පරිසර කමිටුවේ නිලධාරීන් කියා සිටියේ මේ හදිසි වෙනස්කම පිළිබඳව සියලුම දෙනා දැනුවත් කොට ඇති බවය.

ඔවුන්ට පර්යේෂණ පැවැත්වීමට හැකියාවක් නොමැති නිසා ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම පමණක් ඔවුන්ට අයත් කාර්ය බව ඔවුහු කියා සිටිති.

මුලතිව් මුහුදේ මසුන් ඇල්ලීම ඇතුළු සියලු කාර්යයන් අයත් වන්නේ සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට වූවත් එහි නිලධාරීන්ට මේ මුලතිව් මුහුදේ සිදුව ඇති විපර්යාස ගැන කියන්නට බැරිය. ඔවුන්ටද කළ හැකි වන්නේ මාධ්‍යකරුවන්ගේ රැකියාව මෙන් සිදුව ඇති දේ ඉහළට වාර්තා කිරීම පමණකි.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රකාශයක් ලබා ගැනීමට මුලතිව් පළාතට ඉතා ආසන්නයේ ඇති හැකි ස්ථානය යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයයි.

එහි කලින් සිටි මහාචාර්යවරයා නැතත් දැනට එහි සිටින ආචාර්යවරයෙකු වූ පේයසීලන් පැවසුවේ මේ මුලතිව් මුහුදේ හදිසි වෙනස්කම පිළිබඳව ඔවුන්ටද තොරතුරු ලැබී ඇති බවය.

''මේ මුලතිව් මුහුදේ සිට වෙරළට ගසාගෙන එන කළු පැහැති දියරයක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණා. මේ පිළිබඳව පර්යේෂණයක් කිරීමට මුලතිව් යෑමට පෙර අප විසින් කළ සොයා බැලීමකදී අපට වාර්තා වුණේ මේ තත්ත්වය දැක ගන්නට ලැබෙන්නේ මුලතිව් මුහුදේ කෝකිලායි නායාරූ සහ කොක්කුතුඩුවායි කියන සීමිත කොටසක පමණක් බවයි.

“මුලතිව් වැසියෝ නිරන්තරයෙන්ම බය වෙනවා. මුලතිව් මුහුදේ සුළු වෙනස් වීමක් සිදු වූවත් ඔවුන් කියා සිටින්නේ සුනාමියක් එන බවයි. ඔවුන් කෑකෝ ගසමින් අනෙක් අයත් බිය කරමින් ගම්මාන අතහැර යනවා.

මේකට දොස් කියනනටත් බැහැ. හේතුව ඔවුන් අවස්ථාවක සුනාමියෙන් හොඳටම බැටකා සිටින පිරිසක්. මේ නිසා ඔවුන් මේ මුහුදේ සිදුවන හැම සිදුවීමක්ම දකින්නේ සුනාමියක පෙරනිමිත්තක් කියලයි.''

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණාමැදිරියාටත් බියය. වරක් සුනාමි ඛේදවාචකයට හසු වී මේ මිනිසුන්ගේ පවුල් පිටින්ම විනාශ වී ගියේය. තුන්දහසකට වඩා මිනිස් ජීවිත සමග ඔවුන්ගේ නිවාස ඇතුළු සියලුම දේපළ සුනාමියෙන් අහිමි වී ගියේය. මේ නිසා මුහුදේ හඬ මඳක් වෙනස් වූවත් මුලතිව් වැසියෝ බියට පත් වෙති.

මුලතිව් වැසියන්ට විද්‍යාව පිළිබඳව හෝ භූගෝල විද්‍යාව පිළිබඳව හෝ සාගර විද්‍යාව පිළිබදව කිසිම දැනුමක් නැතත් මූ ජීවිත කාලයම ඔවුන් ගනුදෙනු කරන්නේ මහ මුහුදත් සමගය. මේ ධීවර රැකියාව සමග ගැහෙමින් කරගෙන යන හෙය්යම්මාරුවෙන් ලද අත්දැකීම් සම්භාරය වසර ගණනාවක පටන්ම පවතින නිසා ඇතැම් අවස්ථාවලදී නිලධාරීන් නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් කියන කරන දේට වඩා අත්දැකීම් බහුල මුලතිව් ධීවරයින්ගේ අනාවැකි සාර්ථක වී තිබේ.

මුලතිව් දකුණ ධීවර සංගමයේ හිටපු සභාපති චන්ද්‍රසේකරන් එම සභාපති ධූරයෙන් ඉවත් වූයේද ඔහුගේ වයස අවුරුදු හැට අටක් වීම නිසා මිස ඔහු ඒ තනතුරට නුසුදුසු පුද්ගලයෙකු නිසා නොවේ.

ඔහු කියා සිටින්නේ මුලතිව් නිලධාරීන් ඔවුන්ට අයත් රැකියාව හා වැඩ කොටස හැර අනෙක් සියලුම දේ කරන බවය. මුලතිව් මුහුදේ වෙනස්කම ගැන ඇසූ චන්ද්‍රසේකරන් ඊට පෙර කතා කළේ මුලතිව් නිලධාරීන් පිළිබඳවය.

“මේ මුලතිව්වල දේශපාලනඥයෝ කියලා ජාතියක් ඉන්නවා. ඒ කරන්නේ ධීවරයන්ට සේවය කිරීම නෙමෙයි, ඉඩම් අල්ලාගැනීම බෝට්ටු මුහුදට දාලා සල්ලි හම්බ කිරීම වගේ දේවල්. මුලතිව් මිනිස්සු කියන දේ ඒ අය අහන්නේ නැහැ. රජයේ නිලධාරීනුත් එහෙමයි. මුලතිව් ධීවරයෝ මොන දේ කිව්වත් ඒ අය අහන්නේ නැහැ.

මීට අවුරුදු අටකට විතර ඉස්සර වෙලා මුලතිව් මුහුදේ රළ අඩි හතරක් විතර උසට ආවා. ධීවර සමීතියි ධීවරයොයි ගිහින් කිව්වා මොකක් හරි විනාශයක් වෙයි, මොනවා හරි කරන්න කියලා. නිලධාරීන් ආවා සපත්තු දෙකවත් ගැලෙව්වේ නෑ. මුහුදට අඩියක්වත් තිබ්බේ නෑ. මේකේ කිසිම විශේෂයක් නෑ. මුහුද ඔහොම තමයි කිව්වා. දවස් හතරයි ගියේ .නොකඩවාම මුහුද සැර වුණා. කලපුවට දරා ගන්න බැරි තරම් වතුර පිරුණා. ඒ අවට ඉඩම් සේරම යට වෙලා මිනිස්සුන්ට ගෙවල්වල ඉන්න බැරි වුණා.

මුහුද කළුපාට වීම

ඊට පස්සේ තවත් දවසක මුලතිව් මුහුද සම්පූර්ණයෙන්ම කළුපාට වුණා. වතුරත් කළුපාට වුණා. මුහුදට ඉහළ අහසත් කළුපාට වුණා. බලාගෙන ඉන්න බැරි තරමට මුහුද අපිට යකෙක් වගේ තමයි පෙනුණේ. ඒ එක්කම ලොකූ යෝධ කුරුල්ලෙක් මුහුදු වතුරේ ගෑවී නොගෑවී ඉගිල්ලෙන්න පටන් ගත්තා. ඒ කුරුල්ලා කොහෙවත් වහන්නේ නැතුව මුළු මුහුද පුරාම පැය ගාණක් ඉගිළුණා.

මුලතිව් මිනිස්සු ඔක්කොම දෙවියන්ට බාරයක් පවා වුණා. ඒ බාරෙ වුණෙත් මේ මුහුදු වෙරළෙමයි. මුලතිව් නිලධාරීන්ට කිව්වම ඒ අය කිව්වේ කුරුල්ලෝ ඉගිල්ලෙන්නේ නැතුව ඇවිද ගෙන යන්නේ නෑනේ. බයක් නැතුව ඉන්න කියලයි.

ඒත් ඒ අය මුහුද ගැන කිව්වේ නෑ මොනවත්. දවස් දෙකයි ගියේ, දවස් හයක් මුලතිව්වලට එක දිහටම වහින්න ගත්තා. මේ පළාතට ගංවතුර කියන එක අමුතු දෙයක්. ගංවතුරත් ගලලා මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමි වුණා.

ගංවතුර බැහැලා ගියා විතරයි මුලතිව් මුහුදේ වතුර මට්ටම අඩි හයක් විතර උසට වැඩි වුණා. මේ වෙලාවෙදිත් මුලතිව් නිලධාරීන් නිහඬව ඉන්නයි උත්සහ කළේ. අපේ ධීවර සමීති පොලීසිය ඔක්කොම එකතු වෙලා මේ සිද්ධියට බලපෑම් කළ නිසා යාපනය විශ්ව විද්‍යාලයේ පිරිසකුයි කොළඹ කණ්ඩායමකුයි ඇවිත් පරීක්ෂණ පටන් ගත්තා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද කියලා නම් අපිට දැන ගන්න ලැබුණේ නෑ. ඒත් අර මුහුදු වතුර ගම්මානවලට ගලාගෙන ඇවිත් දවස් හතක් අටක් යනකොට මේ පළාත්වල මිනිස්සුන්ට හොඳ වෙන්නේ නැති උණ රෝගයක් හැදුණා. ඒකෙන් එකොළොස් දෙනෙක් මැරුණට පස්සේ තමයි කොළඹින් ලොකු දොස්තර මහත්වරු කණ්ඩායමක් ඇවිත් පරීක්ෂණ කරලා මළු මුලතිව් මිනිස්සුන්ටම බෙහෙත් විදලා ඒ රෝගය නැති කළේ.

ආයෙත් මුලතිව් මුහුදට හෙනහුරා ඇවිත් ද?

දැන් ඔන්න මුලතිව් මුහුදට ආයෙත් හෙනහුරු කාලයක් ඇවිත්. පහු ගිය දවස්වල කාලගුණය හොඳ නෑ මුහුදු යන්න එපා කිව්වා. මිනිස්සුන්ට මාසයක් වගේ ධීවර රස්සාව නැහැ. ආයෙත් මේ රස්සාව පටන් ගන්න හදනකොටම තමයි කළු පාට දියරයක් මුලතිව් වෙරළට ගොඩ ගහන්න පටන් ගත්තේ.

මේ දියරය පස්සේ කළුපාට කුඩු බවට පත් වෙනවා. කොල්ලෝ කෙල්ලෝ ජොලියට ඇවිත් පොටෝ ගහලා යනවා. ඒ අය ඒක විනෝදෙට කළත් මුලතිව් ඉන්න නිලධාරිනුත් කරන්නේ ඒ ටිකමයි. එනවා පොටෝ ගහනවා යනවා. අපි අහන දේවලවලට උත්තරයක් වත් නැහැ.“

මේ ගොඩට එන කළුපාට දේ මොකක්ද?, මේක මිනිස්සුන්ට විසයිද?, ගෑවුණොත් ශරීරයට ගියොත් මැරෙයිද? මිනිස්සුන්ට මේ ටික කියලා දෙන්න ඕන. ඔවුන් ඉන්නේ බියෙනි.”

මේ පළවෙන්නේ මිනිසුන් තුළ ඇති බියය. පර්යේෂණ සිදුවන බව කියන්නේය. එහෙත් ඒ පර්යේෂණවල අවසාන සරල තේරුම විය යුත්තේ මුලතිව් මුහුදේ වෙනස් වීම් මේ මිනිස්සුන්ට අහතිකර ලෙස බලපානවාද නැද්ද යන්නය. මිනිස්සුන්ට පැහැදිලි කර දිය යුත්තේ වෙරළ කළු කරන්නේ මුහුදේ ස්වභාවික ද්‍රව්‍යයක්ද, නැද්ද ඒ ද්‍රව්‍ය විෂ සහිතද නැද්ද යන කාරණාවය. මුහුද එක්ක ගනුදෙනු කරන්නේ මේ මිනිසුන්ය.

වරක් ඇමරිකානු සාගර විශේෂඥයින් පිරිසක්ද මුලතිව් මුහුදේ සිදුවන මේ වෙනස්කම් පිළිබදව සොයා බැලීමට පැමිණ දින ගණනාවක් නතර වී සිට පරීක්ෂණ කළහ. නමුත් ඒ පරීක්ෂණවල වාර්තාවක් මුලතිව් පළාතේ මිනිස්සුන්ට දැනගැනීමට නොලැබුණු බව මේ පිළිබඳව කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණි.

සමුද්‍ර පරිසර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමග අප සම්බන්ධ වන්නේ මුලතිව් වෙරළේ සිදුවන්නේ කුමක්දැයි නිසැකවම දැනගැනීම සඳහාය.

“කිසි දෙයකට කලබල විය යුතු නෑ... මීට දින දෙකකට පෙරයි අපේ කණ්ඩායම් ඔය ප්‍රශ්නගත වෙරළ තීරය පරීක්ෂා කළේ. මේ වෙරළෙ තැන්පත් වෙලා තිබෙන්නෙ විෂ සහිත ද්‍රව්‍යයක් නෙමෙයි. ඉල්මනයිට් වැලි. නුදුරේ පුල්මුඩේ අවට දැවැන්තම ඉල්මනයිට් නිධිය තිබෙන බව අපි දන්නවා. මුහුදේ හැසිරීම අනුව මේ ඉල්මනයිට් වැලි මුහුදු රළ සමග ඇවිත් වෙරළේ තැන්පත් වීමයි වෙලා තිබෙන්නේ. ඒ එකක්.

ඒ වගේම මේ මුහුදු ජලය මඩ සහිතයි. නයිට්‍රේට් හා ෆොස්ෆේට් බහුලයි. ඒ නිසා මේ ජලයේ ඇල්ගී වර්ධනය වෙලා සුපෝෂණ තත්වයක් ඇතිවෙනවා. වැලිවල තැන තැන තිබෙන ඒ කළු පැහැති තත්වය ඒ ඇල්ගී තැන්පත් වීමක්. මේක ඉතාම සාමාන්‍ය තත්වයක්. ඔබ බලන්න. මිරිස්ස මුහුදත් මේ වගේ කළු වෙනවා. මේ තත්වය මුලතිව්වලට විශේෂ දෙයක් නෙමෙයි. සාගර පරිසර පද්ධතියක සාමාන්‍ය ස්වරූපය මෙයයි. අපට ජනතාවට කියන්න තියෙන්නෙ කිසි ගැටලුවක් නෑ... දෛනික ජීවිතයේ වැඩ කොටස කරගෙන යන්න කියන කාරණාවයි.“

Comments