රෝගීන් ආසිරි ගන්වන ශ්‍රී ලංකාවේ ලොකුම මංගල්‍යය: | සිළුමිණ

රෝගීන් ආසිරි ගන්වන ශ්‍රී ලංකාවේ ලොකුම මංගල්‍යය:

පවුල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, දරු සම්පත් අහිමි වීම, විවාහ අපේක්ෂා බිඳවැටීම් ආදි ජීවිතයේ පැමිණෙන විවිධාකාර ප්‍රශ්න කරදර හමුවේ දේව මාතාවන්ගේ පිහිට අපේක්ෂාවෙන් බැසිලිකා පුදබිමට පැමිණෙන සැදැහැවතුන් අතර විශේෂයෙන් ලෙඩ-දුක් වෙනුවෙන් පිහිට පතන්නෝ බොහෝය. පැරණි දෙව්මැඳුරු භූමියේ ළිඳෙහි ජලය පානය කිරීමෙන් සහ ගත තැවරීමෙන් අසනීප වූවන් සුවය ලබන බව විශ්වාස කරනවා සේම ලෙඩරෝගවලින් ආරක්ෂා කරගැනීමේ පැතුම ඇතිව කුඩා දරුවන් මෙහි දියෙන් නැහැවීමද සිරිතකි. එමෙන්ම නිවෙස්වල ආරක්ෂාව පතා එම ළිඳෙන් වතුර බෝතලයක් රැගෙන යෑමටත් බොහෝ බැතිමත්හු අමතක නොකරති. රට පුරා පැතිරගිය මැලේරියා වසංගතයේදී බොහෝ දෙනකු මේ ළිං දිය ගත තවරාගැනීමෙන් සුව ලද බවද ප්‍රවාදයේ සඳහනි.

යුද්ධයත් ප්‍රේමයත් සිහිගන්වන උත්තරීතර සංකේතයකට නිදසුනක් ලෙස රාගම තේවත්තේ පිහිටි 'ලංකාවේ අප ස්වාමිදුගේ බැසිලිකාව' හෙවත් තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානය නම් කළ හැකිය. ඊට හේතුව නම් කිතුනුවන් අතර මතු නොව, අන්‍ය ආගමිකයන් අතර පවා නොමඳ ගෞරවයට පාත්‍ර වී තිබෙන මේ පරසිදු පුදබිම ඉදිවීමේ පසුබිම දෙවැනි ලෝක සංග්‍රාමයත් සමඟ ඈඳී තිබීමය.

වර්ෂ 1940 යනු මුළු ලෝකයම ලෝක යුද්ධයක ගිනිදැල්වලින් වෙළී ගිය කාලයක් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් ලෙස මෙන්ම යුදෝපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවටද එහි බලපෑම් එල්ල වී තිබිණි. එකල කොළඹ අගරදගුරු වූ අති උතුම් මේරි මැසොන් හිමිපාණන් තේවත්ත ප්‍රදේශයේ පිහිටි ලූර්දු මෑණියන්ට කැප කළ කුඩා දෙව්මැඳුරක් වෙත ගොස් එහි පුදසුන ඉදිරියේ දණින් වැටී දේව මෑණියන්ට බාරයක් වන්නේ යුද්ධයෙන් රට ආරක්ෂා කර දෙන ලෙස අයදිමිනි. ලංකාව දෙවන ලෝක යුද්ධයෙන් බේරාදුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදි කොට දේව මෑණියන් 'ලංකාවේ අප ස්වාමි දූ' නමින් අබිසෙස් ගැන්වීමට උන්වහන්සේ එහිදී පොරොන්දු වූහ.

මෙහිදී කෙනකුට බැසිලිකාවක් සාමන්‍ය දෙව්මැඳුරකින් වෙනස් වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් විය හැකිය. ග්‍රීක බසින් 'බැසිලිකා' යන්නෙහි අරුත 'රාජකීය' යන්නයි. කෙසේ වෙතත් ඈත අතීතයේ රෝමයේ පොදු කටයුතු සඳහා භාවිත කළ විශාල ගොඩනැඟිලි බැසිලිකා ලෙස හඳුන්වා ඇති අතර, පසුකාලීනව විශාල කතෝලික දේවස්ථාන සඳහා මෙනම යෙදීමට පටන්ගෙන තිබේ. ලොව පුරා එවැනි බැසිලිකා 1587ක් පිහිටා තිබෙන අතර, ඉන් 49ක් ඇත්තේ ආසියාවේය. 2011 වසරේදී කතෝලික සභාවේ ප්‍රධාන බැසිලිකාව වන රෝමයේ මේරි මේජර් බැසිලිකාවට හිමිව ඇති තත්ත්වයට තේවත්ත ජාතික බැසිලිකාවද සම කිරීම ලක්මව ලැබූ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

අගරදගුරු හිමිපාණන්ගේ යැදුම පරිදිම ලක්මවට කිසිදු කරදරයක් නොපමුණුවමින් ලෝක සංග්‍රාමය නිමා විය. උන්වහන්සේද තමා වූ බාරය ඔප්පු කිරීමට කටයුතු කළ සේක්, රෝමයට ගොස් එවකට සිටි 12 වැනි පියුස් පාප් වහන්සේගෙන් ඒ සඳහා වන විශේෂ අවසරයද ලැබගත්හ. එහෙත් බැසිලිකාව ඉදි කරන්නට පෙර අගරදගුරු හිමිපාණෝ ස්වර්ගස්ථ වූ හෙයින් උන්වහන්සේගෙන් පසු මේ භාරධුර කාර්යයට උරදෙන්නාහු මෙරට ප්‍රථම කාදිනල්තුමන් වීමේ භාග්‍යය ලත් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණෝය. උන් වහන්සේ බැසිලිකාව ගොඩනැඟීමට සුදුසු ඉඩමක් සොයද්දී දේව මාතාවන්ට බාරය වූ කුඩා දේවස්ථානය ඉදිරිපිට වූ 'ඔරේන්ජ් හිල්' නම් අක්කර ගණනාවක් පුරා පැතිරුණු හරිතවන් රබර් යාය ඒ සඳහා සුදුසුම ස්ථානය බව දුටහ. එහෙයින් දුෂ්කරතා මැද වුවද එය මිල දී ගෙන කඩිනමින් ඉදිකිරීම් අරඹන්නට උන් වහන්සේ කටයුතු කළහ.

බැසිලිකාව ඉදිවෙමින් පවතින අතරේ ලංකාවේ අප ස්වාමිදුවගේ පිළිරුවද නිර්මාණය වූ අතර, පෘතුගාලයේ පාතිමාවේ 'අප ස්වාමිදූ ප්‍රතිමාව' නිමැවූ ශිල්පියාම එය සිදුකිරීමද විශේෂත්වයකි. මේ පිළිරුවෙහි දේව මාතා දෙපා මුල නා මල් කිනිත්තක් රඳවා ඇත්තේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව පෙන්නුම් කිරීමටයි (කෙසේ වෙතත් ඒ වන විට නා ගස අප රටේ ජාතික වෘක්ෂය ලෙස නම් කර නොතිබූ බවද පැවසේ). එමෙන්ම දේවමාතා වහන්සේගේ සහ ජේසු බිලිඳුගේ සිරස් මත පලඳා ඇති රන් ඔටුනුද දේශීය කලා ලක්ෂණ සහිතව නිමවා තිබේ. දේව මෑණියන්ගේ දෑතේ ජේසු බිලිඳුන් සුරත දිගු කොට ජපමාලය පෙන්වන අතර (මේ සවැනි පාවුලු පාප් වහන්සේ 1970 දෙසැම්බරයේ දිවයිනට වැඩම කළ අවස්ථාවේ තෑගි කරන ලද ජපමාලයයි), අනෙක් අත දිගු කොට තම මෑණියන් පෙන්වන බවක් ප්‍රතිමාවෙන් නිරූපණය වේ.1951 නිදහස් දිනයේදී මුල්ගල තැබූ මේ දර්ශනීය බැසිලිකාව ස්වර්ගස්ථ මැසොන් අගරදගුරු හිමිගේ බාර පොරොන්දුව අනුව ලංකාවේ අප ස්වාමිදූ වෙනුවෙන් අබිසෙස් ගන්වා ඇත්තේ 1974 පෙබරවාරි මස 06 වැනිදාය.

සිද්ධස්ථානයේ අභිමානවත් පෙනුමට සහ අපූර්වත්වයට එහි ඇතුළත මෙන්ම සිද්ධස්ථාන භූමිය පුරා තිබෙන අනෙකුත් අංගද හේතු වී තිබේ. බැසිලිකාවේ ඇති සුවිශේෂ අංග අතර දෙව්මැඳුර ඇතුළත ඇති ප්‍රධාන සුදු තිරිවානා අල්තාරය අපූර්ව නිර්මාණයකි. මෙය කිරිබත්ගොඩ ගල්හේන හන්දිය අසල ගල් වළකින් ලද තනි සුදු ගල් කුට්ටියක් වන අතර එහි බර ටොන් 18කි. ප්‍රධාන අල්තාරය පිටුපස කොටස තට්ටු දෙකකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර, පහත මහල අද දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සඳහාම වෙන් කර තිබේ. එමෙන්ම පැරණි කතෝලික සම්ප්‍රදාය අනුව ස්වර්ගස්ථ වූ අති උතුම් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන්ගේ හේහය භූමිදාන කර ඇත්තේ එහිය. යාබද කඳු ගැටයේ ඉදි කර ඇති ලූර්දු ගුහාව කාගේත් නෙත් සිත් සනසාලයි.

හරිත පැහැයෙන් දිදුලන අතිරමණීය පරිසරයක පිහිටා ඇති මේ ජාතික සිද්ධස්ථානය නා, කොහොඹ, බුරුත, මහෝගනී, මැගොනි, කුඹුක්, පිහිඹියා ආදි විවිධ ගස්වලින් පිරිවරා සිටීම නිසා අතිශය සෞම්‍ය සිහිලැල් පරිසරයකට උරුමකම් කියයි. බැසිලිකාව ඉදිරිපිට පිහිටි වන්දනාකරුවන්ට සෙවණ දෙන තුරු වදුල සිටුවා ඇත්තේ අත්ල විදහා සිටින විට ඇඟිලි දිස් වන අයුරිනි. එනිසා බැසිලිකාව ඉදිරිපිට පීඨිකාවේ පැවැත්වෙන මෙහෙයන් බාධාවකින් තොරව දැක-බලාගැනීමට සැහැදැවතුන්ට අවස්ථාව සැලසේ. ඒ සියල්ල දක්ෂ උද්භිද විද්‍යාඥයකුගේ ලකුණු පෙන්වූ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ගේ සැලසුම්ය. එසමයේ අලුයම් කාලයේදී බැසිලිකාව දකුණු පසින් සමනොළ ගිරි හිස දැකගත හැකි වුවද දැන් ගස්වල අතුපර විහිද පැතිර තිබීම නිසා ඒ දර්ශනය දැකගැනීම අසීරුය.

තේවත්ත ජාතික බැසිලිකාවේ අවුරුදු පතා පවත්වන මංගල්‍ය අතුරින් රෝගීන් ආසිරි ගැන්වීමේ මංගල්‍යයට වසර 78ක ඉතිහාසයක් තිබේ. මුලින්ම මේ රෝගීන්ගේ දේව මෙහෙය පවත්වා ඇත්තේ දෙවන ලෝක යුද සමයේ අති උතුම් මේරි මසොන් හිමිපාණන් දේව මෑණියන්ට බාරය වූ පැරණි දෙව්මැඳුරේ ලූර්දු ගුහාව අබියසයි. එතැන් සිට මේ දක්වා සැම වසරකදීම අගෝස්තු මස අවසන් ඉරු දින පවත්වනු ලබන සුව මංගල්‍යයට දිවයිනේ දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පැමිණෙති.

පවුල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, දරු සම්පත් අහිමි වීම, විවාහ අපේක්ෂා බිඳවැටීම් ආදි ජීවිතයේ පැමිණෙන විවිධාකාර ප්‍රශ්න කරදර හමුවේ දේව මාතාවන්ගේ පිහිට අපේක්ෂාවෙන් බැසිලිකා පුදබිමට පැමිණෙන සැදැහැවතුන් අතර විශේෂයෙන් ලෙඩ-දුක් වෙනුවෙන් පිහිට පතන්නෝ බොහෝය. පැරණි දෙව්මැඳුරු භූමියේ ළිඳෙහි ජලය පානය කිරීමෙන් සහ ගත තැවරීමෙන් අසනීප වූවන් සුවය ලබන බව විශ්වාස කරනවා සේම ලෙඩරෝගවලින් ආරක්ෂා කරගැනීමේ පැතුම ඇතිව කුඩා දරුවන් මෙහි දියෙන් නැහැවීමද සිරිතකි. එමෙන්ම නිවෙස්වල ආරක්ෂාව පතා එම ළිඳෙන් වතුර බෝතලයක් රැගෙන යෑමටත් බොහෝ බැතිමත්හු අමතක නොකරති. රට පුරා පැතිරගිය මැලේරියා වසංගතයේදී බොහෝ දෙනකු මේ ළිං දිය ගත තවරාගැනීමෙන් සුව ලද බවද ප්‍රවාදයේ සඳහනි.

රෝගීන්ගේ මංගල්‍යයට පමණක් නොව, ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා දේව මැදිහත්වීම පතා මෙහි එන බැතිමතුන්ගේද අඩුවක් නැත. වෙසෙසින් ශුද්ධ වූ බයිබලයේ එන 'සීලොවම් පොකුණ' හා සමානව මෙහි පිහිටි ආශීර්වාදිත ජල තටාකයෙන් එතෙර වීමෙන් සුවය ලැබෙන බවට විශ්වාස කරන බැතිමතුන්ගෙන් සැම සෙනසුරාදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයකම පුදබිම පිරී-ඉතිරී යයි. අලුතින් ස්ථාපිත කළ අලංකාර 'ඉටිපන්දම් පල්ලිය' නිසා පුදබිමේ අසිරිය තවත් වැඩි වී තිබේ. ප්‍රංසයේ ලූර්දු නුවරට ගොස් වන්දනාමාන කිරීමට නොහැකි බොහෝ බැතිමතුන්ට තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානය අපූර්වතම ආශීර්වාදයක් බව මෙහිට පිවිසෙන ඕනෑම අයකුට සිතෙනු ඇත.

අද (25) පැවැත්වෙන 78 වැනි වාර්ෂික සුව මංගල්‍යය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදා කොඩිගස එසවීමෙනි. ආරක්ෂක හේතු මත වෙනදා මෙන් බැසිලිකා භූමියේ කඳවුරු බැඳීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව හිමිවී නැතද, පැරණි පල්ලිය වත්තේ කඳවුරු බැඳීමට අවස්ථාව හිමිව තිබේ.

එහෙත් ඒ කිසිවක් සිය ඇදහිල්ලට බාධාවක් කර නොගත් බැතිමතුන් මෙන්ම විවිධ රෝගවලින් පෙළෙමින් එක්තැන් වී සිටින දහස් ගණන් රෝගීන් පවා අත්වාරුවලින්, රෝද පුටුවලින් හෝ සෙස්සන්ගේ කර මතින් පැමිණ මේ වෙසෙස් සුව මෙහෙයට එක් වන්නේ දැඩි බැතියකින් සහ විශ්වාසයකිනි.

මෙවර රෝගීන් ආසිරි ගැන්වීමේ ප්‍රධාන සුව මෙහෙය පැවැත්වෙන්නේ අද (25) පස්වරු 1.00ට ඉතාලි අපෝස්තලික සමුළුවේ සභාපතිත්වය හොබවන අති උතුම් කාදිනල් බැසෙට්ටි හිමිපාණන්ගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. මේ විශේෂ දේව මෙහෙයට අමතරව බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එදින පෙරවරු 5 සිට පස්වරු 5 දක්වා දිව්‍ය පූජා 8ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තෙබසින්ම පැවැත්වෙන බව සිද්ධස්ථාන පාලක ගරු වික්ටර් ජයමාන්න පියතුමා සඳහන් කරයි.

Comments