වසරක් පාසා පැවැතෙන ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අසිරිය | සිළුමිණ

වසරක් පාසා පැවැතෙන ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අසිරිය

හැටතුන් වසරක කාලයක් මුළුල්ලේ වාර්ෂිකව පවත්වාගෙන එන ලද ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 08 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙවර ද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.සැප්තැම්බර් අට වැනි දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින් ඇරැඹෙන පෙරහැර මංගල්‍යය 09 වැනි දා උදෑසන සංඝගත දක්ෂිණාවකින්ද 09,10,11 තෙදින පේළි පෙරහර මංගල්‍යයෙන්ද 12, 13 දෙදින රන් දෝලි මහා පෙරහැර මංගල්‍යයෙන්ද 14 දින දෙවොල් මහා දේව තොවිලයෙන්ද 15 දින අලුයම ගිනි පෑගීම, දහවල දේව දානය මෙන්ම 9 වැනි දා සිට 14 දක්වා තොරණ ප්‍රදර්ශනයෙන් ද සමන්විත වනු ඇත.

දකුණු පළාතේ ප්‍රධාන ලෙන් විහාරයක් හා රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ දේවාලයක් ලෙස නිබද බැතිමතුන්ගේ පුද පූජා ලබමින් ගෞරවයට හා භක්ත්‍යාදරයට පත්ව ඇති පූජනීය ස්ථානයක් ලෙස ඓතිහාසික මොරවක් කෝරලයේ ගැටබරු රජමහා විහාරස්ථානය හඳුන්වාදීය හැක. ගැටබරු රජමහා විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව 3වන හා ක්‍රි.පු. 1වැනි ශත වර්ෂය දක්වා වූ ඉතිහාසයකට නෑකම් කියයි. මෙරට ඇතැම් රජ දරුවනට රැකවරණය සැපැයූ ඓතිහාසික ස්ථානයක් ලෙසට ද මේ පුදබිම ජනප්‍රවාදයේ සැලකේ.

ගොන්ගල කඳුවැටියේ මොරවක්කන්ද බටහිර දිගට වන්නට ඓතිහාසික ගැටබරු විහාරස්ථානය පිහිටා ඇත්තේ දර්ශනීය භූමි ප්‍රදේශයකය. ගැටබරු කඳු මුදුනෙහි සීමිත අවකාශයක් තුළ විහාරාමයක තිබිය යුතු සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම විහාරස්ථානය ගොඩනඟා ඇත. විහාර පරිශ්‍රය මාලක සතරකින් යුත්තය. පර්වත මස්තකයෙහි ස්තූපය නිර්මාණය කොට ඇත. දෙවන මාලකයෙහි ලෙන සහිත පිළිම ගෙයක්, තුන්වන මාලකයෙහි බෝධියත් රෝපණය කර ඇත්තේ ඓතිහාසික වාස්තු විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේදයන් හි නිපුණත්වය මැනවින් ප්‍රදර්ශනය කරමිනි. මෙහි සිව්වන මාලකය සංඝාවාසය ප්‍රධාන කරගත් ගොඩනැඟිලි සඳහා යොදා ගෙන තිබේ.

එලෙසම ලෙන තුළ ඇති ඓතිහාසික චිත්‍ර ද මෙම යුගය නියෝජනය කරන බව පැවසේ. කෙසේ නමුත් ගැටබරු රජ මහා විහාරයේ නූතන අවධිය ආරම්භ වන්නේ 1834න් පසු බව පිළිගැනීමය. ඒ කොටපොල එලියස්හාමි මහතා විසින් ලෙන තුළ වූ බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමත් සමඟය. එතැන් පටන් සංඝාවාසයක් බවට පත් වූ මෙම විහාරස්ථානයේ පළමු සංඝයා වහන්සේ වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නායක ස්වාමීන් වහන්සේය.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් ලෙස වීරසිංහ කන්දේ සුමංගල නායක ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වන සංඝ පරම්පරා 7ක් 1834 සිට අද දක්වා ඓතිහාසික ගැටබරු රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත.

රොටුඹ සිරි රතනපාල නායක ස්වාමීන්වහන්සේගේ විහාරාධිපතිත්වයට පත්වීමත් සමඟ ගැටබරු විහාරස්ථානයේ නූතන අවධිය ආරම්භ වේ. එම යුගය විහාරස්ථානයේ සංවර්ධනයේ පැහැදිලි සන්ධිස්ථානයක් වේ. 1950 දශකයේ විහාරස්ථානය සුවිශේෂි දියුණුවක් කරා ගමන් කිරීම ආරම්භ වන අතර විහාරයේ සංවර්ධන කටයුතු බැතිමතුන්ගේ ආධාර ලබා ගනිමින් ක්‍රියාත්මක වීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගන්නා ලදි. 1953 දී ඇසළ උත්සවය ආරම්භවීම වර්තමාන පෙරහැර මංගල්‍යයේ මූලාරම්භය සනිටහන් වේ. එතැන් සිට වාර්ෂිකව ඇසළ මාසයේ දී පෙරහර මංගල්‍යය සම්ප්‍රදායානුකූලව පවත්වා ගෙන එනු ලබයි.

වර්තමාන නායක ස්වාමීන්වහන්සේ වන බෙරලපනාතර චන්දවිමල ස්වාමීන් වහන්සේ ගැටබරු රජමහා විහාරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා වන පරිදි සියලු විහාරාංගයන් ප්‍රතිසංස්කරණය කරමින් විහාරස්ථානය රජයේ අනුග්‍රහය හා පෙරහර සඳහා නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම ආදී විශාල කාර්යභාරයකට පුරෝගාමී විය. වර්තමානයේ විහාරස්ථානය ලබා ඇති දියුණුව එහි වැඩ වාසය කළ නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වය ඇප කැපවීම යටතේ විහාරස්ථ දායක සභාව සහ මොරවක් කෝරලයේ ප්‍රභූවරුන්ගේ හා ගම්වාසී බැතිමතුන්ගේ අති මහත් උත්සාහයක ගෞරවනීය ප්‍රතිඵලයකි.

ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය දකුණු පළාතේ ප්‍රධාන උත්සවයක් ලෙස අති මහත් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් දින 7ක් තිස්සේ පවත්වනු ලබයි. තුනුරුවන් මුල් කර ගෙන සධාතුක ධාතු කරඬුව පෙරහරේ වැඩමවීමත්, දෙවියන් මුල් කරගෙන දේවාභරණ පෙරහරේ වැඩමවීමත් පෙරහර මංගල්‍යයේ ගෞරවාන්විත අරමුණ වේ. දේව තොවිලය, ගිනි පෑගීම, මුරුතැන් පූජාව, දේව දානය ආදී චාරිත්‍රවලින් අනතුරුව පෙරහර මංගල්‍යය අවසන් වේ. බුදුන් වහන්සේට හා දෙවියන් වහන්සේට කරනු ලබන අසීමිත ගෞරවය හා භක්තිය පෙරදැරි කර ගෙන මෙම සියලු කාර්යයන් සම්ප්‍රදායානුකූලව පවත්වා ගෙන එනු ලබයි. බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් හැමවිටම ත්‍රිවිධ රත්නයට මුල් තැන දෙමින්, ගැටබරු පෙරහර එයට ආවේණික වූ අනන්‍යතාවකින් යුත්තව රටට සාමය, සමෘද්ධිය, සෞභාග්‍ය ලබා ගැනීමට දේවාශිර්වාදය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන ජාතික උත්සවයකි.

Comments