සෙව්වන්දිගේ සයනයට රෑට එන ගිනි ගෙන දැවෙන ඇස් ඇති තරුණිය කවුරුද? | සිළුමිණ

සෙව්වන්දිගේ සයනයට රෑට එන ගිනි ගෙන දැවෙන ඇස් ඇති තරුණිය කවුරුද?

බැලූ බැල්මට පිරිමි ළමයෙකු ගේ ජේත්තුකාර බවට, කඩවසමට, කතාබහට, පම්පෝරියට, සිනාවට රැවටී ගැහැනු ළමයි පාසල් වියේම පෙම්වතුන් තෝරා ගනියි. එසේ තෝරා ගැනීමෙන් නොමේරූ ළමා මනසට කාම කෝප දෙක බලපෑම් කරන විට අධ්‍යාපනයේ ධාරණ ශක්තිය දියාරු වී ඉගෙනීම දුර්වල වී යයි. පෙම්වතෙකු තෝරාගන්නේ ආසියානු රටවල දැරියෝ අනාගත ස්වාමි පුරුෂයා ලෙස සුදුසු යැයි සිතා ගෙනය. ඒ මිස බටහිර රටවල අය මෙන් ඇඳුම් මාරු කරනවා වාගේ අවස්ථාවාදී ළාමක වින්දනයක් සඳහා නොවේ. දුරදිග නොබලා එවැනි ‍‍තෝරාගැනීම් වලට අනුව විවාහ වූ ජීවිත බොහොමයක් අසාර්ථකය. අද උසාවියකට ගියහොත් සියයට හැත්තෑවක් පාහේ දකින්නට ඇත්තේ නඩත්තු නඩුය. අතින් බඩින් දරුවන් දරාගත් තරුණියෝ සැමියාගෙන් වෙන් වි ජීවත්වීම සඳහා මුදලක් ඉල්ලා නඩුමඟට බැස සිටිති.

ජීවත්වීම සඳහා පිට ඔපයේ ජේත්තුවට වඩා යහපත් ගති ගුණ හා ආර්ථික ශක්තිය ප්‍රධාන වශයෙන් ම බලපාන බව නුවණින් අවබෝධ කැරගත යුතුය. එසේ නොවන විට ලෝකයට නිකමුන් බෝ කරන ගැටවර අම්මලා අකාලයේ සියදිවි හානි කැර ගනිති. ඉතාම දුර්ලභ වූ මිනිස් ජාතියේ උපත ලබන්නේ එසේ අකාලයේ මිය යන්නට ද?

ගම්පහ පදිංචි සෙව්වන්දි දහහත් හැවිරිදි පාසල් දැරියකි. ඇගේ මව මානෙල් ය. පියා අර්ජුන ය. මවුපියෝ බැංකු නිලධාරීහුය. කලින් කුරුණෑගල පදිංචි වී සිටි ඔවුහු පවුලේ දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන පහසුකම් ගැන සලකා ගම්පහ නිවසක් මිලට ගෙන පැමිණ පදිංචි වූහ.

දැනට මාසයක පමණ කාලයක සිට සෙව්වන්දි කෑම අරුචියෙන් පෙළෙන්නට වූවාය. රාත්‍රි නොනිදා කල් මැරුවාය. උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබූ ඇයගේ අධ්‍යාපනය ද ඇනහිට ඇත. දැන් පෙම්වතා සමඟ දුරකථනයෙන් කාලය කා දමන්නේ නැත. රූපවාහිනියේ සිහින කතා බලන්නේ ද නැත. තමන්ගේ කාමරයට ම වී මුළුගැන්වී සිටියි. රාත්‍රියට අල්ලපු කාමරයේ සිටින අක්කා ඇගේ යහනට පැමිණ නිදාගන්නා බව ඇය කියයි. ඇත්ත වශයෙන් ම එවැන්නක් සිදු නොවන බව අක්කාත්, මවත්, පියාත් සහතික කරති.

වෛද්‍ය ප්‍රතිකාරවලින් ද මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් ද ඇයට සුවයක් නොවීය. දේවාල සාස්තර පසුපස ගිය විට ඇයට ප්‍රේත බන්ධනයක් කැර ඇතැයි කියැවිණි. ඒ ගැන නුවණින් කල්පනා කළ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ඇය කැඳවාගෙන ගියහ.

ආධ්‍යාත්මීය උපදේශකවරයා රෝග පරීක්ෂාවේ යෙදෙන විට සෙව්වන්දි ගැහෙන්නටත් පැද්දෙන්නටත් වූවාය. ඇයට භූත දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ඔවුන්ට දින 21ක් ‍ගමේ පන්‍සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා ආරම්භ කොට දෙවැනි දිනයේ රාත්‍රි අම්මා ඇගේ කාමරයට ගොස් සෝදිසි කැර බලන විට සෙව්වන්දි ඇ‍ඳේ වාඩි වී අත්දෙක දෙපසට ඇඳට තද කර බිම බලාගෙන සිටියාය. ඇය අසල තවත් කෙල්ලක් සිටියාය. ඒ කෙල්ලගේ මුහුණ තද රතු පැහැයෙන් දෑස් ගිනිගෙන දැවෙන රත් පැහැයෙන් අම්මා දෙස රවා බලාගෙන සිටියාය. එයින් බිය පත් මව කෑ ගසා ගෙන කාමරයෙන් පිටව අර්ජුන කැඳවාගෙන ආවාය.

ඒ වන විට සෙව්වන්දි තද නින්දට වැටී සිටියාය. ඒ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැන්වූ විට බය නැතුව දිගටම බෝධි පූජා පවත්වාගෙන යන්නැයි උපදෙස් ලැබිණි. එහෙත් ඊළඟ දිනවල යමෙක් අක්කාගේ කාමරයට පැමිණ ඇ‍ඳේ වාඩිවන බව පෙනී ඇත. නිවසේ යමෙක් එහා මෙහා ඇවිදින බව ද ඔවුන්ට දැනෙන්නට විය. සමහර වේලාවට යමෙක් නිවැසියන්ගේ ළඟින් යන අතර ඔවුන්ගේ කනට පිඹින්නට විය. ඒ අවස්ථාවල නිවස පුරා මිනී කුණු ගඳක් හමා යන්නට ද විය.

බෝධි පූජා අවසන් කොට නැවත ප්‍රතිකාර සඳහා ඔවුහු පැමිණියහ. එදින සෙව්වන්දිගේ ශරීරයට භූතාත්මයක් දිෂ්ට ගැන්වී කෑ ගසමින් අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන අඬන්නේ” යි ඇසීය.

“මම ගයනි” යි භූතාත්මය කීවාය.

“කවුද ගයනි කියන්නේ?”

“මේ සෙව්වන්දි ඉන්න ගෙදර කලින් හිටිය කෙනෙක්”

“ඔබ කොයි කාලෙද මැරුණේ?”

“මීට අවුරුදු දෙකකට කලින්”

“මොනවා වෙලාද මැරුණේ?”

“මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉස්කෝලෙ යද්දී යාළු වුණේ. ඌ මාව රැවටුවා. හෝටල් කාමරයකට එක්ක ගිහින් මාව අමාරු‍ෙව් දැම්මා. අම්මා මේක දැනගෙන මට බැන්නා. දුක දරා ගන්න බැරුව මම වහ බීල මැරුණා.”

“මෝඩකම නේද?”

“ඔව්: මෝඩකම. මැරිලා මම වස බීපු කාමරේම උපන්නා. අපේ ගෙදර අයට ගෙදර ඉන්න බැරුව ගෙයයි ඉඩමයි දේපළ වෙළඳ සමාගමකට විකුණලා පිටරටකට යන්න ගියා. මම කාමරේ හිරවෙලා වගේ හිටියා. ඒ අතරේ මේ අය අපේ ගේ සල්ලිවලට අරගෙන පදිංචියට ආවා. තනියම පාළුවේ හිටපු මට මගේ ම වයසෙ යාළුවෙක් ලැබුණා. මගේ කාමරේ ඉන්න සෙව්වන්දි දැන් මගේ යාළුවා. මට පාළු නැහැ. මම එයත් එක්ක සතුටෙන් ඉන්නවා. මහත්තයා මාව පන්නන්න නේද හදන්නේ? මට ඒකට දුකයි. අනේ මගේ සතුට නැති කරන්න එපා” යැයි ප්‍රේතිය හඬ හඬා කීවාය.

“එහෙනම් සෙව්වන්දි ඔයාගේ යාළුවා නේද?”

“ඔව්: ඔව්: සෙව්වන්දි මගේ යාළුවා. මම මෙයාට ආදරෙයි”

“ගයනි: දුරදිග නොබලා කොල්ලෙකුට රැවටිලා මැරුණා. මේ වටිනා මිනිස් ජීවිතයෙන් නියම ප්‍රයෝජන නොගෙන අකාලෙ මැරිලා අපායට ගියා. ප්‍රේතියක් වුණා. ඉතින් මේ යාළුවාගේ වටිනා ජීවිතයත් කාලකන්නි කැර ලෙඩ කර මරා දමන එක වැරදියි‍ නේද? ඔබ තවත් මහා පාපයක් කර ගන්නවා. අවුරුදු ලක්ෂ ගණනක් අපා දුක් විඳින්නයි සිද්ද වෙන්නේ?”

“යාළුවාට දුකක් කරදරයක් කරන්න මගේ අදහසක් නෑ. මම මොනවද කරන්න ඕනෑ.”

“ඔයාගේ යාළුවා දැන් රෝගියෙක්. මම එයාව සුවපත් කරන්න ඕනෑ” මම මේ අයට ශක්ති ගැන්වූ සුවඳ කුඩක් දෙනවා. මුළු ගෙටම දුම් අල්ලන්න. එතකොට ඔයාට සෙව්වන්දි ළඟ ඉන්න බැරි වේවි. ඔයා සෙව්වන්දි අතහැර ඉවත් වෙලා යන්න.”

“මම යන්න කැමතියි. ඒත් මම කොහේද යන්නේ?”

“ඔයා මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙ නතර වෙන්න!” යැයි ගවේෂකවරයා කීවේය.

නිවසේ සාංඝික දානයක් පිරිනමා ඒ ඉඩමට හා නිවසට අනන්ත සසර පටන් අයිතිවාසිකම් කී සියලු දෙනාටත් අකාලයේ ඒ නිවසේ මිය ගිය ගයනිටත්, අනන්ත සසර පටන් මේ දක්වා තමන්ට ඥාති මිත්‍ර වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් කොට නැවත එන්නැයි අර්ජුනටත්, මානෙල්ටත් උපදෙස් දුන්නේය.

ඒ උපදෙස් අනුව සතියක් ඇතුළත දන් පැන් පිරිනමා පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. ඒ වන විට සෙව්වන්දි ප්‍රකෘති තත්ත්වයට පැමිණ සිටියාය.

‍ගවේෂකවරයා පලතුරු වට්ටියක් ගෙන්වා ඒ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි ප්‍රේතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

වෙන්දේසි ඉඩම්වල නිවාස මිලදී ගන්නා විට, අනුන්ගේ ඉඩම් ගෙවල් මිලදී ගන්නා විට නුවණින් සිතා බැලිය යුතුය.

Comments