ඇමසන් රැකගන්න ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගෙන් ඩොලර් මිලියන 05 ක් | සිළුමිණ

ඇමසන් රැකගන්න ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගෙන් ඩොලර් මිලියන 05 ක්

ගින්නෙන් විනාශවී ගිය ඇමසන් වනාන්තරය යළි නගා සිටුවීම වෙනුවෙන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඩිකැප්‍රියෝ විසින් පිහිටුවන ලද "Earth Alliance" නමැති පරිසර සංවිධානය හරහා එම මුදල් ඇමසන් වනය සුරකින සිවිල් සංවිධාන වලට සහ එහි දිවි ගෙවන ආදිවාසී ජන ප්‍රජාවන් වෙත ලබාදීමට නියමිතය.

වන ජීවීන් ආරක්ෂා කිරීම, දේශගුණික යුක්තිය සහ ආදිවාසීන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ තවත් ධනපතියන් දෙදෙනෙක් එක්ව ඉකුත් ජූලි මාසයේදී "Earth Alliance" පරිසර සංවිධානය පිහිටවූහ.

"ඇමසන් හි සිදුවෙමින් පවතින දෑ සම්බන්ධව දැඩි සැලකිල්ලකින් පසුවන අතර දේශගුණය, ජෛව විවිධත්වය, සහ ආදිවාසීන්ගේ යහ පැවැත්ම අතර පවතින සියුම් සමබරතාව එතුළින් පැහැදිළි වේ," යනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඉකුත් සෙනසුරාදා තම (Instagram) ගිණුමේ සටහන් කර තිබිණි.

එමගින් මහජනතාව උනන්දු කිරීම මෙන්ම ඔවුන්ට පරිත්‍යාග කිරීම සඳහා මාර්ග උදාකර දීම ද ලියනාඩෝ ගේ අවශ්‍යතාව වී තිබේ.

බ්‍රසීලයේ අභ්‍යවකාශ පරීක්ෂණ ජාතික ආයතනයට අනුව මේ වසර තුළ ඇමසන් වැසි වනාන්තරය 72,000 කට වැඩි වාරයක් ගිනි ගැනීම් වලට ලක්ව තිබේ.

ඉකුත් වසරේ මේ මාසය වනවිට වාර්තා වූයේ ගිණි ගැනීම් 40 000 ක ප්‍රමාණයකි.

 

Comments