ගජබා සුපර්ක්‍රොස් 2019 ''අශාන් - ජාක් යුගය ඇරැඹේ'' | සිළුමිණ

ගජබා සුපර්ක්‍රොස් 2019 ''අශාන් - ජාක් යුගය ඇරැඹේ''

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය සමග එක්ව 18 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ වේගවත්ම රියදුරා ලෙස අශාන් සිල්වා ශුරතා දිනා ගත් අතර වේගවත්ම යතුරුපැදි ධාවකයා ලෙස ජාක් ගුණවර්ධන ශූරතා දිනාගත්තේය. ගජබා රෙජීමේන්තු මුලස්ථානය වන අනුරාධපුර සාලිය පුර ගජබා රෙජීමේන්තුවේ, ගජබා ධාවන පථයේදී 18 වැනි වරටත් සංවිධානය කරන ලද ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය සියැට් - ස්ලඩා තරගමාලාවේ දෙවන ග්‍රැවල් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලෙස සංවිධානය විය.මෙවර තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 12ක් ඇතුලත්ව තිබූ අතර යතුරුපැදි තරග ඉසව් 12කින්ද සමන් විත විය.

 

අශාන් සිල්වා පිට පිට තුන්වන වරටත් එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගෙන වේගවත්ම රියදුරා ලෙස ගජබා මෝටර් රථ කිරුළ හිමිකරගත් අතර ඔහු මේ වන විට පස් වතාවක් වේගවත්ම රියදුරාට හිමි ගජබා කිරුළ හිමිකරගෙන ඇත. වේගවත්ම ධාවකයා ලෙස “එම්. එක්ස්.“ 125 සී.සී. (2ටී.) / 250 සී.සී. (4ටී.) පළමු තරගයෙන් දෙවැන්නා ලෙස හා දෙවන තරගයෙන් ප්‍රථමයා ලෙස තරගය නිමා කරමින් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි ශූරතාවය දිනා ගැනිමට ජාක් ගුණවර්ධන සමත්වුයේය. ඔහු තෙවැනි වරට ගජබා යතුරුපැදි කිරුළට හිමිකම් කිවේය.

 

ගජබා රෙජිමේන්තුවේ පළමු යුද්ධ හමුදා පතිවරයා ලෙස පත්වීම් ලද කීර්තිමත් හමුදා නිලධාරියෙකු වන ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සම්ප්‍රාප්තියත් සමග මහත් හරසරින් 18 වන ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය ආරම්භ වු අතර පළමු තරගය ලෙස ‘එම්‘ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඹ්.ඩී. 125සී.සී. යතුරුපැදි තරගය පැවත් විය. එම තරග ඉසව්වෙන් කේ.ඒ.ඩී. රවීෂ ජයගැනිමට සමත් වු අතර අවසානය සනිටුහන් කළේ ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

 

ගජබා තරගාවලියේ නිර්මාතෘ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා විසින් මෙයට වසර දෙකකට පෙර මෙරට යතුරුපැදි ක්‍රීඩාව වර්ණවත් කිරීමට දායක වු ධාවන ශූර ආනන්ද වේඩිසිංහ මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් ක්‍රිඩා මණ්ඩපයක් නම්කල අතර එමග යමින් මෙවර පැරෂුට් ශූර චම්පික කුමාරසිංහ සෙබළා වෙනුවෙන් ගජබා රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් රුපියල් ලක්ෂයක මුදලක් ඔහුගේ මලනුවන් වෙත ප්‍රදානය කරන ලදී. තරගාවලියක එහා ගිය යුතුකම් සමුදායක් මල්පල ගැන්වීම අගය කළ යුතුය. එය පැසැසිය යුතු කරුණකි.

 

රණ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සුභසාධදනය අරභයා පවත්වන තරගාවලියකදි රණ විරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද ඇගැයිම කළ යුතුමය. නමුත් මෙවර තරගාවලියේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය බැහැරකොට යතුරුපැදි ක්‍රීඩකයන් විසින් දිනා ගන්නා ලද මුදල් ත්‍යාග ලබා නොදීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් සමස්ථ තරගාවලිය අන්තර් ජාතික තරගාවලියක් ලෙස සංවිධානය කර තිබිණී. නව තාවයන් සමුහයක් තරගාවලියට එක් කර තිබූණි. පැරෂුට් සෙබලුන් පිරසකගේ දක්ෂතාවයන්ද තරගාවලිය අතරතුර ප්‍රේක්ෂකයන් හට දැක බලා ගැනීමට අවස්ථාවද සලසා තිබුණි.

 

ගජබා තරගාවලියට දිගු ඉතිහාසයක් ඇත. තරගාවලි 18ක් නිමා කොට ඇත. මෙරට ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස මෝටර් රථ ක්‍රීඩාව රැගෙන ඒමට එය ඉවහල් වී ඇත. 1999 වසරේදී වේගවත්ම මෝටර් රථ රියදුරා ලෙස ප්‍රදීප් ජයවර්ධන හා වේගවත්ම යතුරුපැදි ධාවකයා ලෙස ආනන්ද වෙඩිසිංහ විසින් අරඹන ලද ගමන් මගේ මෝටර් රථ ක්‍රීඩකයන් 6 දෙනෙකු ගජබා කුසලානයෙන් පිදුම් ලබා ඇති අතර යතුරුපැදි ක්‍රීඩකයන් 10දෙනෙකු ගජබා කිරුළෙන් පිදුම් ලබා ඇත. මේ දෙපිරිසෙන් මෝටර් රථ රියදුරා ලෙස අරවින්ද ප්‍රේමදාස හා යතුරුපැදි ක්‍රීඩකයා ලෙස ගයාන් සඳරුවන් ගජබා සුපර්ක්‍රොස් ධාවන පථය වර්ණවත් කිරිමේදි ප්‍රමුඛත්වයක් හිමිකරගෙන ඇත. එනම් ප්‍රවිණ මෝටර් රථ රියදුරු අරවින්ද ප්‍රේමදාස 9 වතාවක් ගජබා කිරුළ දෑත දරා ඇති අතර ගයාන් සඳරුවන් 6 වතාවක් ගජබා කිරුළ දෑත දරා ඇත.

යතුරුපැදි ක්‍රීඩකයන් ලෙස නලින් පෙරේරා, අකිරා සුනාදා (ජපානය), සී.එස්. සන්තූෂ් (ඉන්දියාව), ශෙහාන් සී. අධිකාරී, ඉෂාන් දසනායක හා වත්මන් ශූර ජාක් ගුණවර්ධන ද වෙති. එමෙන්ම මෝටර් රථ ශූරයන් ලෙස පසිඳු පිරීස්, ජනක ඩයස් හා උෂාන් පෙරේරා ද වෙයි. කෙසේ වෙතත් වර්තමාන ගජබා යුගය ඇරැඹෙන්නේ අශාන් සිල්වාගෙනි. ඔහු මේ වන විට තරගාවලි 5ක් ජයගෙන ඇති අතර පිට පිට තුන්වන වරටත් මෙවර තරගාවලිය ජයගැනිමට සමත්ව ඇත. 2015 වසරේදී පළමු ජය වාර්තා කරන ජාක් ගුණවර්ධන 2017 වසරේදී දෙවන ජය වාර්තා කරයි.ශාරිරික ආබාධ හේතුවෙන් දිගු නිහැඩිතාවයකින් පසු නැවත ධාවන පථයට පිවිසෙන ජාක් මේ වසරේදී හිමිකර ගත්තේ තුන්වන ජයයි. අශාන් - ජාක් යුගලය තුන්වන වරට පීඨීකාවට පිවිස අරඹන ගජබා සුපර්ක්‍රොස් අලුත් පිටුවේ කෙපමන පරිචේද ගණනක් ලිය වෙයිද කියා කාට කෙළෙස කිව හැකිද? අරවින්ද - ගයාන් මෙන් දිගු පරිචේදයක ඇරැඹුම මෙය විය හැකිද?

 

එසේ ඇරැඹෙන ගජබා තරගාවලියේ වර්ණවත් තරග ඉසව්ව හා වේගවත්ම තරග ඉසව්ව වු එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගැනීමට අශාන් සිල්වා සමත් විය. ඒ කිසිවෙකුට කිසිලෙස අභියෝග කළ නොහැකි ලෙසය. පෙරදින කාල ගණනයේදී අඩුම කාළය වාර්තා කර සිටි අශාන් සිල්වා තරග ආරම්භයේදී ප්‍රථමයා ලෙස පෙළ ගැසුණු අතර අශාන් පසුපසින් කුෂාන්, කුෂාන් පසුපසින් උෂාන් විය. තරග ආරම්භක සංඥාවත් සමග වේගයෙන් ඉදිරියට ඇදි ගිය ආශාන් කිසිවෙකුටවත් අභියෝග කළ නොහැකි ලෙස වට අටකින් සමන් විත තරග ඉසව්ව නිම වන තුරුම පෙරමුණේ පසුවිය. අශාන් පසුපස හඹාගිය කුෂාන් වට 5ක් යනතුරු දෙවන ස්ථානයේ රැදුනත් ඔහුට එම ස්ථානයේ රැදි සිටිමට උෂාන් ඉඩ සලසා දුන්නේ නැත. පස්වන වටය නිමාව සටහන් කරන්නට මීටර් 300ක් පමණ තිබියදී කුෂාන්ගේ අතපසුවිමෙන් පෙරමුණ ගත් උෂාන් තරගය නිමා වන තුරුම දෙවන ස්ථානයේ රැදී සිටිමට සමත් විය. උෂාන් දෙවැන්නා ලෙස තරගය නිමා කළ අතර කුෂාන්ට හිමි වුයේ තෙවන ස්ථානයයි. ප්‍රවීණ ධාවක මිස්සක සිව්වැන්නා ලෙස තරගය නිමා කළ අතර ටිරෝන් හෙන්දවිතාරන පස්වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත් විය. ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ අඛන්ඩව අට වතාවක් හා සමස්ථ ජයග්‍රහණ 9ක් ලබමින් වේගවත්ම රියදුරා ලෙස අභිෂේක් ලද අරවින්ද ප්‍රේමදාස පළමු තරගය වෙනුවෙන් ධාවන පථයට පිවිසුණත් ඔහුට හොඳ තරගයක් දීමේ හැකියාවක් නොතිබුණී. ඔහුගේ මෝටර් රථය ඔහුට එම අවස්ථාව අහිමි කළේය.

 

එම ඉසව්වේ දෙවන තරගය ආරම්භ කළේ පළමු තරගයේ ජයග්‍රහකයන් අනුව යමිනී. පළමුව අශාන් පෙරමුණ ගත් අතර උෂාන්, කුෂාන්, මිස්සක, ටිරෝන්, සජාඩ් හා කපිල ලෙස පෙළගැසුණු අතර සෙසු තරග කරුවන් ඔවුන් පසුපස විය. එම තරග ඉසව්වෙන්ද අශාන් ජයගත් අතර කුෂාන් උෂාන්ට අභියෝග කරමින් දෙවැන්නා විය. තරගාවලියේ දෙවන වේගවත්ම තරග ඉසව්ව ලෙස ආරම්භ වු එස්.එල්./එච්. 1618සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් රන්දික නිරෝෂ් ජයගත් අතර සේරසිංහ පිය පුතු වන දෙවියන් හා උපුල්වන් දෙවන හා තෙවන ස්ථානය හිමිකරගැනිමට සමත් විය.

 

එස්.එල්./ එස්. 1500 සී.සී. විශේෂිත මෝටර් රථ තරග ඉසව්ව නිමා වුයේ අර්බුද කාරී වාතාවරණයක් මතුකරමින්ය ෂෙහාරා ජයවර්ධනට ජය හිමිවුවත් තරගය අතරතුර සිදුව තිබු අනතුරක් නිසා තරග තීරක විසින් ලබාදුන් තීන්දුවට අවනත නොවු ජයග්‍රහකයන් කුසලාන ලබාගැනිමට පීඨීකාවට නොපැමිණියේය. තරග තීරකගේ මතය අනුව එම් ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන ෆාම් නිව්මාන් හා නදීර ජිනසේනට හිමිව තිබුණී' එස්.එල්./ඒ. මිනි 07 මෝටර් රථ තරග ඉසව්වෙන් නාමල් සිල්වා ජය වාර්තා කළ අතර එස්.එල්./එච්. 1275සී.සී. මිනි මෝටර් රථ තරග ඉසව්වෙන් සඳරු විරසිංහ ජයවාර්තා කිරීමට සමත් විය. මේ වසර ආරම්භයේ සිටම මෝටර් රථ හා යතුරුපැදි යන දෙ අංශයෙන්ම ඉතාමත් ඉහළ දක්ෂ තාවයන් ප්‍රදර්ශණය කරමින් සිටින කේෂර ගොඩයේ එස්.එල්./ඊ. කාණ්ඩයේ 1000සී.සී. නිසාන් මාච් තරග ඉසව්වෙන් ප්‍රථමයා ලෙස තරගය නිමා කළ අතර එස්.එල්./ඊ. නවීකරනය නොකරන ලද 1300 සී.සී.ෆෝඩ් ලෙසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන්ද ජය වාර්තා කිරීමට සමත් විය. කේෂර ගොඩගේ නම් ඒ ලාබාල ධාවකයා මනා දැක්මක් හා පුහුණුවක් අනුව යොමුකළ යුතු ක්‍රීඩකයෙකි.

 

ප්‍රවීණ ධාවක උපුල්වන් සේරසිංහ එස්.එල්./ එන්. නවීකරණය නොකරන ලද 1300 සී.සී. ෆෝඩ් ලෙසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්./ එන්. 1500 සී.සී. ෆෝඩ් ලෙසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් තරිඳු ධර්මරත්න ජයගැනිමට සමත් විය. මල්ලික කුරුවිටආරච්චි එස්.එල්./එච්. සුභාරු ලෙගසි 2200සී.සී. තරග ඉසව්වෙන් ජයගත්තේය.

 

අශාන්, කේෂර, උපුල්වන් හා ෂෙහාරා ගජබා මෝටර් රථ තරග ඉසව්වලින් කැපීපෙනෙන දක්ෂතාවයන් හිමි කර ගත් අතර ඉවෝන් තරග තුනකදී ප්‍රථමයා වෙමින් ද එක් තරගයකින් දෙවැන්නා වෙමින්ද ඉමල් මංචනායක තරග ඉසව් දෙකකින්ද ජයගනිමින් යතුරුපැදි අංශයෙන් කැපීපෙනෙන දක්ෂතාවයන් දැක් විමට සමත් විය.

Comments