මහවැලි ක්‍රීඩා උ‍‍ලෙළේ මෙවර ජය කාටද? | සිළුමිණ

මහවැලි ක්‍රීඩා උ‍‍ලෙළේ මෙවර ජය කාටද?

මහවැලි කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වසරකට වරක් එළි දකින මහවැලි ක්‍රීඩා උ‍ලෙළ අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වෙයි. 1986 දිවංගත ගාමිණි දිසානායක මහවැලි අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වෙන්නේ 31 වැනි වරටයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය මහවැලි ව්‍යාපාරය බව නොරහසකි. ලාංකේය භූමි භාගයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් මහවැලි ව්‍යාපාරයට අයත්ය. මෙහි කලාප සංඛ්‍යාව 17 කට ආසන්න වන අතර, මෙයින් කලාප 9ක් සෘජුවම ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික වශයෙන් ලාංකේය සමාජය හා උරෙන් උර ගැටී කටයුතු කරයි.

 

මෙරට පැවැත‍්වෙන ජාතික මහා ක්‍රීඩා උ‍‍ලෙළට පසුව පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උ‍ලෙළ ලෙස මහවැලි ක්‍රීඩා උලෙළ හඳුන්වා දිය හැකිය. මේ සියලුම මහවැලි කලාප නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දහසකට අධික ප්‍රමාණයක් මෙකී ක්‍රීඩා උලෙළ හා රොක් වෙති. මෙවර මහවැලි ක්‍රීඩා උලෙළ සඳහා බී කලාපය, එච්. කලාපය, වික්ටෝරියා කලාපය, වලව කලාපය, රඹකැන්ඔය කලාපය, හුරුළුවැව කලාපය, එල් කලාපය, මැදිරිගිරි කලාපය, මොරගහකන්ද කලාපය, සී. කලාපය, නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15028 දෙනකු එක් වූහ. ඒ ක්‍රීඩා සමාජ 276 ක් සහ ක්‍රීඩා සංවිධාන 37 ක් නියෝජනය කරමින්ය. මෙවර තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් එක් වුයේ රඹකැන්ඔය කලාපය නියෝජනය කරමින්ය. එහි නියෝජනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3950 කී. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 ක් නියෝජනය කළ එකම කලාපය වන්නේ හුරුළුවැව කලාපයයි. අඩුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් නි‍යෝජනය කළේ මැදිරිගිරිය කලාපයයි. එහි ප්‍රමාණය 145කි.

 

මෙවර ක්‍රීඩා උ‍ලෙළේ මලල ක්‍රීඩා, වොලිබෝල්, නෙට්බෝල්, සහ පාපැදි අවසන් තරග ඊයේ සහ අද පැවැත්වෙන අතර එකි තරග අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමි කර ගන්නා කලාපය මෙවර ජනාධිපති කිරුළට හිමිකම් කියයි. වොලිබෝල් පිරිමි අවසන් තරගය සඳහා වලව සහ බී. කලාපය සුදුසුකම් ලබා තිබේ. නෙට්බෝල් අවසන් තරගය සඳහා එච්. සහ එල්. කලාප සුදුසුකම් ලබා තිබේ. අවසන් වූ කණ්ඩායම් තරගවලදි එච්. කලාපය වොලිබෝල් කාන්තා, කබඩි කාන්තා සහ පිරිමි, එල්ලේ කාන්තා, ක්‍රිකට් කාන්තා සහ පිරිමි ශුරතා හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 77 ක් ලබා ගෙන තිබේ. එල්ලේ පිරිමි අනුශුරතාව හිමි කරගෙන ඇත්තේ ද එච් කලාපයයි. සෙසු කලාප අතරින් ඊ කලාපය ලකුණු 37 ක් සී. කලාපය 26 ක්, බී කලාපය 24ක්, එල්. කලාපය 22ක්, හුරුළුවැව 21ක්, වලව සහ රඹකැන්ඔය 20 බැගින් සහ මැදිරිගිරිය කලාපය ලකුණු 19ක් හිමිකර ගෙන තිබේ.

 

පසුගිය වසර 18 කාලය පුරාම මහවැලි ක්‍රීඩා උලෙළේ ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ එච්. බී. සහ වලව කලාප තුනයි. අවසන් වසර හයේදී මහවැලි ක්‍රීඩා උ‍ෙලළේ ජය එච්. සහ බී. කලාප දෙක අතර දෝළනය වී තිබේ. දැනට අවසන් වූ කණ්ඩායම් තරගවලදී වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමි කර ගෙන ඇත්තේ එච්. කලාපයයි.

 

‍ශ්‍රියානි කුලවංශ සලකුණ

ලාංකේය මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂි දස්කම් දැක් වූ ශ්‍රියානි කුලවංශ මහවැලි ක්‍රීඩා උලෙළ හරහා අන්තර්ජාතික ක්‍රීඩා පිටිය වර්ණවත් කළ ක්‍රීඩිකාවක ලෙස අදත් මහත් ඉහළින්ම කතාබහට ලක්වන්නීය. 1986 දී එවකට මහවැලි අමාත්‍යවරයා වූ ගාමිණි දිසානායක මහතාගේ උදාර සංකල්පයක් හරහා කල එළි බසින මහවැලි ක්‍රීඩා උලෙළ මේ වන විට ලාංකේය ක්‍රීඩා දින සටහනේද ප්‍රධානම අංගයක් බවට පත්ව තිබේ. එසේ ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උ‍ෙලළේ දෙවැනි සහ තෙවැනි තරගාවලි ආරම්භයේ ම අඛණ්ඩව 1987 සහ 88 දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ දිනූ ශ්‍රියානි කුලවංශ ඉන් දශකයක කාලයක් ඉක්ම ගිය කළ 1998 මැලේසියාවේ පැවැති 16 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී මීටර් 100 කඩුලු තරණ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උ‍ෙලළෙකදී පදක්කමක් දිනා ගත් ප්‍රථම ලාං‍කේය මලල ක්‍රීඩිකාව ලෙස මේ තරග ඉතිහාසයේ සුවිශේෂි මතක සටහන් ද ඉතිරි කරමින්ය.

 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උ‍ෙලළෙකදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් හිමි වූයේ වසර හතලිහස් අටකට පමණ පසුව වීම ශ්‍රියානි ගේ මෙකි රිදී පදක්කමේ ඇති සුවිශේෂිතාවයි. ඒ 1950 දී නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති සිවුවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මීටර් 400 කඩුලු තරණ ඉසව්වෙන් ඩන්කන් වයිට් රන් පදක්කම දිනා ගැනිමෙන් පසු එකී පදක්කම් හිඟයට තිත තබන්නට සමත් වූයේ ශ්‍රියානි සහ සුගත් තිලකරන්නය. සුගත් එකී තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තේය.

 

ශ්‍රියානි කුලවංශ ප්‍රථම වරට අන්තර්ජාතික තරගයකදී පදක්කමක් දිනා ගත්තේ 1991 මෙරට පැවැති දකුණු ආසියානු තරගාවලියේදී ය. එහිදි උස පැනීමේ ඉසව්වෙන් සහ මීටර් 100 කඩුලු තරණ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත් ශ්‍රියානි පිට පිට පස් වතාවක් එනම් 1991 -93-95-99 සහ 2004 වසරවල රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය. මේ රන් පදක්කම් අතර 1993 – 95 සහ 99 දී රන් දිනා ගත්තේ එකී ඉසව්වට සිය හොඳම තරග හිමි කාලයක්ද සටහන් කරමින්ය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උ‍ෙලළේ මූලිකවටය ශ්‍රියානි නිම කළේ හොඳම පෞද්ගලික කාලය ද සටහන් කරමින්ය.

 

1992 ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි පැවැති ඔලිම්පික් උ‍ෙලළේ මීටර් 100 කඩුලු තරණ ඉසව්ව තත්පර 13.55කින් නිම කරමින් මූලික වටයේ 28 වැනි ස්ථානය හිමි කර ගත් ශ්‍රියානි 1996 දී ඇට්ලන්ටා ඔලිම්පික් උ‍ෙලළේ අර්ධ අවසන් පූර්ව තරගයේදී 15 වැනි ස්ථානය දිනා ගත්තේ තත්පර 12.91 ක කාලයක් සටහන් කර ගනිමින්ය.

 

ශ්‍රියානි 1999 දී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති අටවැනි සාග් තරගාවලියේ මීටර් 100 කඩුලු තරණ ඉසව්ව සඳහා පිහිටුවන ලද තත්පර 13.12 ක වාර්තාව වසර 20 ක කාලයක් නොබිඳ පැවැතීමද විශේෂත්වයකි. 1995 ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති ආසියානු ශුරතාවලියේ ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් දෙකෙන් එකක් දිනා ගැනීමට සමත් වූයේ මීටර් 100 කඩුලු තරණ ඉසව්ව තත්පර 13.29 ක කාලයකින් නිම කරමින්ය. මීටර් 100 කඩුලු තරණ ඉසව්වේ ජාතික වාර්තාව ද තවමත් ශ්‍රියානි සතු අතර, එය වසර 23ක් පැරැණිය. ශ්‍රියානි 1996 ජුලි 29 දා ඇට්ලන්ටා‍හිදී මේ වාර්තාව පිහිටුවීමට සමත් වූවාය.


හොඳ තෝතැන්නක්

සුගත් තිලකරත්න

ජාතික මහා ක්‍රීඩා උලෙළට දෙවැනි වන එකම ක්‍රීඩා උලෙළ විදියට මහවැලි ක්‍රීඩා උලෙළ හඳුන්වා දෙන්න පුළුවන්. මහවැලි කලාපයේ ජීවත්වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට එකතු වෙනවා. මේ තරගාවලිය තුළින් අන්තර්ජාතික පිටියට ගිය විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අතරින් ශ්‍රියානි සහ සුමේධ ඔලිම්පික් උලෙළ පවා නියෝජනය කරලා තිබෙනවා.

 

මේ තරගාවලිය හොඳ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කරන්න තෝතැන්නක්. අපේ රටේ අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ක්‍රීඩා තරගාවලිය හොඳ ගමනක් යන්න පුළුවන්. මහවැලි කලාපවල ජීවත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය හරහා ඉදිරියට ඇවිත් අපේ රටට කීර්තියක් අත් කර දෙන්න පුළුවන් පළමු තැන විදියට මේ තරගාවලිය මම දකිනවා.

Comments