ලෝක කුසලානයක් නෑ වැලිගොඩදාලා ගොඩගියේ කවුද? | සිළුමිණ

ලෝක කුසලානයක් නෑ වැලිගොඩදාලා ගොඩගියේ කවුද?

 - ත්‍රෝබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ස්වර්ණා ප්‍රනාන්දු

 

 

මැලේසියාවේ පැවැත්වෙන ත්‍රෝබෝල් ලෝක කුසලානයකට සහභාගි විමට මුල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් වැලිගොඩ දැමු දරුවන් පිරිසක් ගැන ඉමහත් ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය මගින් පසුගියදා රැව් පිළිරැව් දුන්නේය. දෙමාපියන් සමග එක්ව වැල්ලවාය ප්‍රදේශයේ සිසු පිරිසක් මෙම කාර්යයේ යෙදෙන රූ සටහන් සහිතව ප්‍රචාරය වු ප්‍රවෘත්තියට ක්‍රීඩා අමාත්‍යාංශයේද අවධානය යොමුව තිබුණී. පසුව ක්‍රීඩා ඇමැති තුමාගේද මැදිහත් වීම සමග ඒ දරුවන් උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන ද රැගෙන පසුගිය දා මැලේසියාව බලා කණ්ඩායම් කිහිපයක් ත්‍රෝබෝල් ලෝක කුසලානය වෙනුවෙන් පිටත්ව ගොස් ඇත.

මැලේසියාවේ පැවැත්වෙන ත්‍රෝබෝල් ලෝක කුසලාන තරගාවලිය ගැන වැඩි යමක් දැන ගැනිම උදෙසාත් තරගාවලියට සහභාගිවන කණ්ඩායම ගැන හා පසුගියදා ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය ගැන දැන ගැනීම උදෙසාත් වත්මන් ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ස්වර්ණා ප්‍රනාන්දු මහත්මිය හමු විමු.

 

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මොන රටේද කවදා සිට කවදා දක්වාද?

 

ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.ලෝක ත්‍රෝබෝල් කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ නෑ. මෙය පාසල් ත්‍රෝබෝල් සංගමය විසින් විදේශිය සංචාරයක් උදෙසා ගොඩනැගු තරගාවලියක් පමණයි. අප සම්මේලනයේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැනුවත් භාවයකින් තොරව ලෝක කුසලානයකට කණ්ඩායමක් සහභාගී කරවීමේ හැකියාවක් නෑ. මෙය ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම සමස්ත ත්‍රෝබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම නොමග යැවීමක් ඒ වගේම ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක්.

 

පසුගියදා මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණා ලෝක කුසලාන ත්‍රෝබෝල් තරගාවලියට යන සාමාජිකයන් ගමන් වියදම් උදෙසා මාඹයේ වැලි ගොඩදානවා කියා.

 

තරගාවලියක් නොමැතිව ගමන් වියදම් කුමකටද? පාසල් සංගමය විසින් විදෙස් සංචාරයක් උදෙසා මෙම තරගාවලිය ගොඩනගාගෙන තිබුණට ඒ පිළිබදව ත්‍රෝබෝල් සම්මේලනය ලෙස අපි දැනුවත් නෑ. යම් කිසි ක්‍රීඩාවක් වෙනුවෙන් අන්තර්ජාතික තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහාභාගීවනවා නම් අනිවාර්යයෙන් එම ක්‍රිඩාව අයත් සම්මේලනය නැතිනම් මව් සංගමය දැනුවත් විය යුතුයි කියා ක්‍රීඩා අමාත්‍යාංශ රේගුලාසි තිබෙනවා. නමුත් මේ යන සංචාරය අතිශය පෞද්ගලික එකක්. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියකට රට නියෝජනය කරමින් සහභාගී වෙන්නේ එක් කණ්ඩායමක් පමණයි. කණ්ඩායම් කිහිපයක් ලෝක කුසලාන තරගාවලියට රටක් නියෝජනය කරමින් සහභාගී කරවාගන්නේ නෑ. නමුත් මේ යන සංචාරයට පාසල් කිහිපයකින් කණ්ඩායම් කිහිපයක් සහභාගි වන බව පසුව අපි දැනුවත් වුණා.

 

අනෙක් කාරණය තමයි මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනිමට වැලි ගොඩදානවා කියන කාරණය. සම්මේලනය පවත්වාගෙන යන්නෙත් ඉතාමත් අමාරුවෙන් සභාපති, ලේකම්, ජාතික පුහුණුකරු වගේ කිහිපදෙනෙකුගේ පෞද්ගලික මුදල් යොදවලා තමයි තරගාවලියක් ආසන්නයේ පුහුණු වීම් කටයුතු කරන්නෙත්. ඇත්තෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන්ද අපට කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබෙන්නේ නෑ. මම පෞද්ගලිකවම හිටපු ක්‍රීඩා ඇමැතිතුමා සමග සාකච්ඡා කරලා අරමුදලක් ලබාදෙන මෙන් ඉල්ලිම් ගණනාවක් කළා. පසුව ඇමැති තුමා ත්‍රෝබෝල් ක්‍රීඩා අරමුදලට රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කරලා ලබාදිමට කටයුතු කළ බව පැවැසුවත් අද වන තුරු අපට ඒ මුදලවත් ලැබී නෑ.

 

පසුගිය 29 වැනිදා මැලේසියා සංචාරයට යන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපාදන වශයෙන් මූල්‍ය ප්‍රදානයක් ලබා දී තිබෙනවා. ඒ ගැන සම්මේලනය දැනුවත්ද?

 

අපටත් දැන ගැනිමට තිබෙනවා. ඒ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 20ක මුදලක් සංචාරය උදෙසා ලබාදී තිබෙනවා කියා. ඇත්තෙන්ම ත්‍රෝබෝල් සම්මේලනය ලෙස අප දැනුවත් නෑ. අප සම්මේලනයට ත්‍රෝබෝල් සංවර්ධන අරමුදලට ප්‍රතිපාදන ලබා නොදෙන ක්‍රීඩා අමාත්‍යාංශය පාසල් ත්‍රෝබෝල් සංගමයට නිල නොලත් සංචාරයකට ප්‍රතිපාදන ලබාදීම හාස්‍යයට කරුණක්. අප සම්මේලනයෙන් මේ පිළිබඳව කිසිඳු විටක විමසාවත් නෑ. ඒ වගේම ත්‍රෝබෝල් සම්මේලනය වශයෙන් ත්‍රෝබෝල් ක්‍රීඩාවේ ප්‍රගමනයට යම් දායකත්වයක් ලබා දෙනාවා නම් අප ඒ දේ අගයනවා. නමුත් කිසිඳු නිල නොලත් මෙවැන් සංචාරයක් උදෙසා ලබාදෙන මුදල් වෙනුවෙන් අපට වගකීමක් නෑ. අනෙක කවුරු කෙළෙස මෙම ක්‍රීයාකාර කම් සිදුකරනවාදයි කියා අප දැනුවත් නෑ අපට වගකීමක්ද නෑ.

 

මොනරාගල වැල්ලවාය කුමාරදාස මහා විද්‍යාලයේ කණ්ඩායම පිට පිටම ශූරයන් ලෙස මෙම තරගාවලියට සහභාගී වීම හා ත්‍රෝබොල් සම්මේනය ඒ පිළිබඳ දැනුවත්ද යන කාරණාව සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

 

වැල්ලවාය කුමාරදාස මහා විද්‍යාලය ශූරයන් ලෙස පෙනී සිටින්නේ පාසල් මට්ටමින් විය හැකියි. ජාතික මට්ටමින් නෙමෙයි. අනික කිසිලෙසක මෙම සංචාරය පිළිබඳව පාසල් ත්‍රෝබෝල් සංගමය දැනුවත් කර නැ. අපි සම්මේලනයක් ලෙස හිටපු හා දැනට සිටින ක්‍රීඩා අමාත්‍යවරුන් දැනුවත් කර තියෙනවා. ජාතික තරගාවලියට ත්‍රෝබෝල් ක්‍රිඩාවත් ඇතුලත් කරන්න කියා. නමුත් මේ වන තුරු ඒ දේ සිදුව නෑ එම නිසා අපට ජාතික මට්ටමින් තරගාවලියක් සංවිධානය කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන නැතිනම් අනුග්‍රාහකයන් සොයාගැනීමේ අපහසුව තියෙනවා.එම නිසා ජාතික තරගාවලියට ඇතුළත් නැති ත්‍රෝබෝල් ක්‍රීඩාවේ වසර කිහිපයක් ශූරයන් යයි එක් පාසලක් පෙනීසිටීම හාස්‍යට කරුණක්. අනෙක ලංකාව පුරා පාසල් ගණනාවක් ත්‍රෝබෝල් ක්‍රිඩා කරනවා. එම නිසා මෙම සංචාරය ක්‍රීඩාවේ දියුණුවට ඉවහල් වුණාට මේ තුළ සැගව ඇති දේට අපට වග කියන්න බෑ.

 

ඔබ සම්මේලනයේ ප්‍රධාන ලේකම්තුමිය ලෙස විදුහල්පතිගෙන් මේ පිළිබඳව විමසුවාද?

 

මම මේ පිළිබඳව වැල්ලවාය කුමාරදාස මහා විද්‍යාලයේ විදුහල්පති තුමාට කතා කළා. කතා කරලා මේ පිළිබඳව කරුණු විමසුවා. එතුමා මට කිව්වා පාසල් සංගමයයි ජාතික සම්මේලනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා නමුත් මම ඇසුවා ත්‍රෝබෝල් ක්‍රීඩාවේ වගකිම තියෙන්නේ අපට ඇයි මේ වගේ දෙයක් මාධ්‍යට ලබාදුන්නේ කියලා.එතකොට විදුහල්පති තුමා මට කිව්වා ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ ප්‍රදේශීය වාර්තාකරුවාගේ වැඩක්. ඔහුගේ වුවමනාවට කළ වැඩක් කියලා. එතුමා වගකීමේන් බැහැර වුණා. නමුත් අපට ඒ වගකීමෙන් බැහැරවන්න බෑ ඒ නිසා මම තවත් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකුට කතා කොට මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා. එතුමා සිදුව ඇති දේ අවබෝධ කරගත්තායි කියා මම හිතනවා.

 

පාසල් සංගමයයි ජාතික සම්මේලනයයි අතර සම්බන්ධයක් නෑද්ද?

 

සම්බන්ධතාවක් තියෙනවා. ඒත් පාසල් මට්ටමින් තරග සංවිධානයේදි අධ්‍යාපන අමාත්‍යාංශය තමයි මැදිහත් වෙන්නේ. සම්මේලනය මැදිහත් වෙන්නේ නෑ. නමුත් රට නියේජනය කරමින් කරන සංචාරයකදී මෙන්ම ආසියාතික, ලෝක ශූරතාවයකදී සම්මේලනයේ මැදිහත් වීමෙන් තමයි කටයුතු සිදුවන්නේ. මීට කලිනුත් මෙවැනි තරගාවලියන් පෞද්ගලික මටිටමින් සංවිධානය කරගෙන ඇරියුම්පත් ගෙන්නගෙන පාසල් කණ්ඩායම් විදේශගත වී තියෙනවා. ඒ පිළිබඳ පසුව අප දැනුවත් නමුත් මෙවර පෞද්ගලික සංචාරයකට එහා ගිය ලෝක කුසලාන තරගාවලියක් ලෙස මෙම පෞද්ගලික සංචාරය නම්කරගැනිම තමයි ප්‍රශ්නය. මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණේ ලෝක කුසලානයට යන කණ්ඩායමේ ළමයි තමයි වැලි ගොඩදානේනේ කියා. මෙම සංචාරය හුදෙක්ම පෞද්ගලික සංචාරයක්. ක්‍රිඩා අමාත්‍යංශයේ වෛද්‍ය උපේන්ද්‍ර මහතා මට කතා කරලා මේ පිළිබව කරුණු විමසුවා. මම පවතින තත්වය පැහැදිලි කළා. එතුමා කරුණු අවබෝධ කරගත් බවක් මට පෙනුණා. පසුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශාන් කියා කෙනෙක් නම් ලයිස්තුවක් සමග ඇමැතිතුමා මුණගැසිලා තියෙන්නේ.

 

ඇමැතිතුමා එම අමාත්‍යාංශයෙන් මුදල් ලබාදුන්නේ කෙසේද?

 

අපට තියෙන ප්‍රශ්නයත් එයම තමා. මම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙස සම්මේලනය පවත්වාගෙන යැමටත් ජාතික කණ්ඩායමේ පුහුණු උදෙසාත් මුදල් ප්‍රතිපාදන ඇමැති තුමාගෙන් ඉල්ලු විට මට මුදල් ලැබෙන්නේ නෑ නමුත් පෞද්ගලික සංචාරයට යන එමෙන්ම කිසිඳු වගකිමක් නැති සංචාරයකට මුදල් ලබාදෙනවා. මගේ පුද්ගලික මතය නම් වත්මන් ක්‍රීඩා ඇමැතිකුමාගේ දිස්ත්‍රික්කය නිසා එතුමා ඒ ළමයි උදෙසා මුල්‍යාධාර කරන්න ඇති. නමුත් ලමුන්ට මුවා වී වාසි ලබන අනෙකුත් පිරිස ගැන ඇමැති තුමා දැනුවත් දැයි මම දන්නේ නැ. ඒ පිළිබඳවත් සොයා බැලිය යුතුයි. නැතිනම් සමිමේලනය ලෙස අපට ඒ පිළිබඳව වගකීම පැවැරිය යුතුයි. දුන්නයි කියන මුදලින් අපට ලක්ෂ පහක් වත් ලබා දුන්නනම් අපට තිබුණා පුහුණුකරුවන්ගේ සංචිතය පුහුණු කිරිමට. ඒ වගේම ජාතික කණ්ඩායමේ පුහුණු වීම් වලට යම් කිසි ප්‍රතිපාදනයක් වෙන් කරන්නට අපට තමයි ක්‍රිඩා අමාත්‍යාංශයෙන් මේ වන තෙක් සතයක්වත් නොලැබිච්ච සම්මේලනය. ඒ නිසා අපේ පුද්ගලික මුදලින් තමයි සම්මේලය පවතිවාගෙන යන්නේ.

 

මගේ එකම ඉල්ලිම සම්මේලනය ලෙස අපටද මුදල් ප්‍රතිපාදන ලබාදෙන්න කටයුතු කරන්නේ නම් මැනවියි. ඒ වගේම අප සම්මේලනයේ මඟ පෙන්වීම මත කටයුතු කරනවා.

Comments