CRICKET AID අමුවෙන්ම කොල්ල කාලා | සිළුමිණ

CRICKET AID අමුවෙන්ම කොල්ල කාලා

කෝප් කමිටුවේ ප්‍රශ්න ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොළු වෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාවක් කෝප් කමිටුවෙන් චෝදනා

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ක්‍රිකට් ඒඩ් නම් පුණ්‍ය ආයතනයේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. කෝප් කමිටුව විසින් මෙකී තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති කෝප් කමිටු රැස්වීමේදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රිකට් ඒඩ් නිලධාරින් මීට පෙර කෝප් කමිටුව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ එකී නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරියට පැමිණි කිසිඳු නිලධාරියකුට හරි ආකාරව කරුණු දැක්වීමට සහ සනාථ කිරීමට නොහැකිවීම මෙයට මූලික වශයෙන් බලපෑවේය.

 

මීට පෙර කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන යන ක්‍රිකට් ඒඩ් යාවජීව සාමාජිකත්වය අහෝසි කර විගණකාධිපතිවරයාට බලය පැවැරෙන පරිදි විගණනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස මීට වසර කිහිපයකට පෙර දන්වා තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රිකට් ඒඩ් සමාගමේ නිලධාරින් එකී කටයුත්ත නොසලකා හැර තිබුණි. පාර්ලිමේන්තුව නියෝග කළ කටයුත්තක් පැහැර හැරීම බරපතළ වරදක් බවද මෙහිදී ක්‍රිකට් බලධාරින්ට අවධාරණය ‍කළේය.

 

ක්‍රිකට් ඒඩ් ආයතනයේ අක්‍රමිකතා රැසක් පිළිබඳ මෙහිදී අවධානයට යොමු වූ අතර, එහිදී ක්‍රිකට් ඒඩ් ලියාපදිංචි කිරීමට පෙර සිටම එකී සමාගමේ කළමනාකරු වැටුප් ලබාගෙන ඇති බව කෝප් කමිටුව අවධාරණය කළේය. එමෙන්ම එකී කළමනාකරුට රුපියල් ලක්ෂ 39ක වැටුප් ගෙවා ඇතත් ක්‍රිකට් ඒඩ් සමාගම ආදායම් ලෙස එකී කාලයේ ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් බවද එහිදී අනාවරණය විය. ඒ අනුව කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති විසින් ක්‍රිකට් ඒඩ් සමාගම නිසි පරිදි ස්ථාපිත කර ක්‍රියාත්මක කරන තෙක් එකී සමාගමේ කටයුතු අත්හිටුවීමට පියවර ගත්තේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මෙකී කැඳවීම වෙනුවෙන් මෙවර කෝප් කමිටුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය. කෝප් කමිටුව මීට පෙර ද කළ දැනුම්දීම් ද අවස්ථා කිහිපයකදීම කල් දමා ගත් බවත්, පාර්ලිමේන්තුව කල දැනුම් දීම් නොසලකා හැරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට එහිදී දැඩි විවේචන එල්ල විය. එයට පිළිතුරු බඳිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයන් ආසියානු ක්‍රිකට් සම්මේලනයේ අත්‍යාවශ්‍ය කටයුත්තකට සහභාගිවීම සඳහා සභාපතිවරයා එහි ගිය බව පවසා තිබේ. එහිදී පිරිනමන ප්‍රදානයක් ලබා ගැනීමට නියමිත බවද එකී නිලධාරින් කෝප් කමිටුව හමුවේ පැවැසීය.

 

මේ කරුණ පිළිබඳ අවධානය යොමු කළ කෝප් කමිටු සාමාජිකයන්, ක්‍රිකට් ඒඩ් හරහා අවභාවිත කර ඇති මුදල් ප්‍රමාණය රැක ගන්නා වැඩපිළිවෙළකට මාර්ගය සකසා ගෙන තිබුණි නම්, එය ආසියානු ක්‍රිකට් සම්මේලනයෙන් ලැබීමට නියමිත මුදලට වඩා වැඩි බවද පෙන්වාදී තිබේ. එහිදී කෝප් කමිටු සාමාජිකයන් පෙන්වා දී ඇත්තේ ක්‍රිකට් ඒඩ් මුදල හරියාකාරව ආරක්ෂා කර ගන්නේ නම් ක්‍රීඩාව වෙනුවෙන් මීට වඩා බොහෝ දේ කළ හැකි බවයි.

 

ක්‍රිකට් ඒඩ් සමාගමට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අකටයුතු රැසක් සිදුවී ඇති බවද මෙහිදී තවදුරටත් අනාවරණය විය. රූපවාහිනී විකාශන අයිතිය විකිණීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විවිධ රටවල ගිණුම් ආරම්භ කර පවත්වාගෙන යාම, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් විදේශ ගිණුමකට බැර කර තිබීම, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී මෙන්ම මහනුවර ක්‍රිකට් විශ්ව විද්‍යාලය ඉදිකිරී‍ෙම්දී සිදුව ඇතැයි පැවැසෙන මුල්‍ය අක්‍රමිකතා රැසක් මෙහිදී අවධානයට ලක්විය. එමෙන්ම මෙකී ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝප් කමිටුව ඉදිරියට පැමිණ කිසිඳු නිලධාරියකුට පිළිතුරු දීමට නොහැකිවූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් යැයි කමිටු සාමාජිකයන්ගෙන් ‍චෝදනා එල්ල විය.

 

මහනුවර ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම වෙනුවෙන් වසර තිහකට ඉඩමක් බදු ගැනීම සඳහා මල්වතු නාහිමියන්ට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 25ක් ක්‍රිකට් ඒඩ් හරහා ලබාදීමට ගත් උත්සාහයක් උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ බවද මෙහිදී අනාවරණය විය.

 

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණන දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ විගණන වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රජයේ විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මෙකී කමිටුව හමුවේ පැවැසීය. රජයේ වි‍ගණකාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ක්‍රිකට් ඒඩ් සමාගමේ විගණන කටයුතු අක්‍රමිකතා රැසක් අනාවරණය වී ඇති බවයි.

 

සූරියවැව ක්‍රීඩාංගණයට රජයේ තක්සේරුකරුවන් විසින් සිදු කළ තක්සේරු වාර්තාවක් වහාම ලබාගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නොදැන ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන දෙකක මුදලක් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙවා ඇති බවද මෙහිදී අනාවරණය විය.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පළාත් ක්‍රිකට් සංගම් සඳහා ලබා දෙන සුවිශාල මුදල් සම්බාරය අනිවාර්යෙන් ම විගණකාධිපතිවරයා විසින් විගණනය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර, මින් ඉදිරියට එකී සංගම්වලට ලබා දෙන මුදල් විගණකාධිපතිවරයාගේ විගණනයට ලක්වෙයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සතු විදේශ ගිණුම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු විමසූ අතර, ඊට පිළිතුරු දුන් ප්‍රධාන විධායක නිලධාරිවරයා එවැනි ගිණුම් කිසිවක් නොමැති බව පැවැසීය. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පවසා සිටියේ විදේශ ගිණුම් ඇරැඹීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය හිමි වූ බවත්, ඒ අනුව එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ එවැනි ගිණුම් ඇති බවත්ය. මෙහිදී එංගලන්තයේ වේල්ස් ක්‍රිකට් ආයතනය යටතේ ද ගිණුමක් ඇති බව හෙළිදරව් වූ අතර, එකී ගිණුම දැඩි කතාබහට ලක්විය.

 

මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කර පාර්ලිමේන්තුවට වගකියන නිලධාරියකු ස්ථිර පදනම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කරන ලෙසටත් ඒ සඳහා නීතිමය පදනම සැකසීමටත් මෙහිදී යෝජනා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුවී ඇති මෙකී කරුණු විමසීම සඳහා එකී නිලධාරීන්ට යළිත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැන්වූ අතර, එදිනට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන නිලතල දරන අය මෙන්ම තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීෂාන් සූරියආරච්චි මෙන්ම සර්ට් ආයතන නිලධාරින් ද අනිවාර්යෙන් ම කැඳවන බව දැන්වීය.

Comments