පොළොව යට සිටම පිළි­වෙ­ළට ගොඩ­නැ­ඟෙන මහ­නු­වර | සිළුමිණ

පොළොව යට සිටම පිළි­වෙ­ළට ගොඩ­නැ­ඟෙන මහ­නු­වර

මෙරට සුන්ද­ර­තර නගර අතර මහ­නු­ව­රට හිමි වන්නේ සුවි­ශේෂ ස්ථාන­යකි. ශ්‍රී දළදා සමි­ඳුන් වැඩ වසන ශ්‍රී දළදා මැඳු­රට වම් පසින් කිරි මුහුද හෙවත් මහ­නු­වර වැවය. අනෙක් පසින් ඇත්තේ උඩ­වත්ත කැල­යයි. හන්තාන කන්ද දෙසින් ඇදී එන සුළං රැළි වැව් තලය පිස­ගෙ­න­විත් ශ්‍රී දළදා මාලි­ගාවේ දැව­ටෙ­මින් ගොස් නතර වන්නේ උඩ­වත්ත කැල­යේය. නගර මධ්‍යයේ වැවක් සමඟ අක්කර ගණ­නා­වක වනා­න්ත­ර­යක් පිහිටා තිබීම නිසා මහ­නු­වර කාල­ගු­ණික තත්ත්වය දිව­යිනේ සෙසු ප්‍රදේ­ශ­ව­ලට වඩා තර­මක් සෞම්‍ය බවක් ගනී.

මෙරට රාජ වංශය නිමා­වට පත් කර­මින් ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජු ඉංග්‍රී­සීන්ගේ අත්අ­ඩං­ගු­වට පත්වූයේ මහ­නු­වර රජ­කම් කර­මින් සිටි­ය­දීය.සිංහ­ලයේ අව­සන් රාජ­ධා­නියේ බිඳ වැටීම එසේ සනි­ටු­හන් වත්දී ඉංග්‍රී­සීහු මහ­නු­වර නගර මධ්‍යයේ ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප භාවිත කර­මින් උස් ගොඩ­නැ­ගිලි කර­වූහ. පැරණි සිංහ­ලුන්ගේ දහ­ඩිය මහ­න්සි­යෙන් ඉදි වුණු ගොඩ­නැ­ගිලි අත­රට මේවාද එක් වීම නිසා මහ­නු­වර අමුතු සිරි­යක් ගත්බව කවු­රුත් පිළි­ගන්නා සත්‍ය­යකි. ඉංග්‍රීසි පාල­න­යෙන් මිදී හරි­ය­ටම දශක හත­ර­කට පසු -එනම්: 1988දී- මහ­නු­වර ලෝක උරු­ම­යක් ලෙස යුනෙ­ස්කෝව නම් කළේ එහි ඇති පෞරා­ණික බව ආරක්ෂා කර­ගැ­නීමේ අර­මු­ණෙනි. මෙරට දෙවන අග නග­රය ලෙස සැල­කෙන මහ­නු­වර විධි­මත් ලෙස සංව­ර්ධ­න­යට ලක් නොවීම සිය­වස් ගණ­නා­වක් මුළුල්ලේ පැවැති ගැට­ලු­වකි. මේ හේතු­වෙන් මහ­නු­වර වැසි­යන් මෙන්ම නග­ර­යට යන එන ජන­තා­වද දැඩි අසී­රු­තා­වට පත්වූ බව නොර­හ­සකි.

සංව­ර්ධන ව්‍යාපෘති සම්බන්ධීකාරක
තුෂාර ස්වර­ණ­ති­ලක

රිය තද­බ­ද­යෙන් විෂ දුමින් පිරුණු නග­ර­යක්

මෙරට සියලු නගර අතු­රින් වායු දූෂ­ණය ඉහ­ළින්ම ඇත්තේ මහ­නු­වර බව විශ්ව විද්‍යාල පර්යේ­ෂ­ක­යන් මෙන්ම ස්වසන රෝග විශේ­ෂ­ඥ­යන්ද පෙන්වා දෙන්නේ මෙලෙස නග­රය තුළ රැඳෙන වායුව නිසා රෝගී වන පිරිස සැල­කි­ල්ලට ගනි­මිනි. සුන්ද­ර­ත්ව­යෙන් පොහො­සත් මහ­නු­වර නග­රයේ ජීවත් වීම කාටත් අසු­න්දර අත්දැ­කී­මක් ගෙන දෙන තවත් කාර­ණ­යක් වී තිබෙන්නේ නග­රය තුළ නිර­න්ත­රව පව­තින අධික වාහන තද­බ­ද­යයි. නග­රය අවි­ධි­මත් ලෙස ගොඩ­නගා තිබීම මේ සියලු කාර­ණා­ව­ලට හේතුව බව මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය හඳු­නා­ගැ­නී­මෙන් පසු දැන් ඒ අමා­ත්‍යාං­ශය මඟින් උපා­ය­මා­ර්ගික නගර සංව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ විධි­මත් හා සැල­සුම් සහ­ගත නග­ර­යක් ලෙස මහ­නු­වර ගොඩ­නැ­ගී­මට පිය­වර ගෙන තිබේ. මේ සඳහා වැය කිරී­මට අපේ­ක්ෂිත මුදල ඇ.ඩො. මිලි­යන 100කි.

උමං පිළි­ස­ක­ර­යෙන් ඇර­ඹුණු මෙහෙ­යුම

මේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කිරී­මට ප්‍රථම මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණ­වක මහතා නග­ර­යට පැමිණ එහි පසු­බිම සහ නග­රය විධි­මත් ලෙස ගොඩ­නැ­ගීම පිණිස ගත යුතු ක්‍රියා­මාර්ග සියල්ල අධ්‍ය­ය­නය කළේය. එහිදී සිය­ල්ලට පෙර පැරණි රජ දවස පටන් නග­රය අභ්‍ය­න්ත­ර­යෙන් ගමන් ගන්නා උමඟ පිළි­ස­කර කිරීමේ කාර්ය­යට ප්‍රමු­ඛ­ත්වය දී එය මුලින් අව­සන් කිරී­මට ඔහු උප­දෙස් ලබාදී තිබුණේ අඩි­තා­ලම සවි­මත් නොවු­ණොත් ඒ මත ගොඩ­න­ඟන සියලු ව්‍යාපෘති අසා­ර්ථක වන බව නිවැ­ර­දිව හඳු­නා­ග­නි­මිනි. මේ අනුව රු. ලක්ෂ 10000ක විය­ද­මින් ඇරඹි උමං ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙළ ලබන අප්‍රේල් මස වන විට නිම කිරී­මට නිය­මි­තය.

එහි වැඩ­ක­ට­යුතු ක්‍රියා­ත්මක වෙද්දී සෙසු සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කර පව­ත්වා­ගෙන යෑමට අව­ශ්‍යය පසු­බිම සැක­සෙ­මින් ඇති අතර, ඉඩම් අත්පත් කර­ගැ­නීම්, වන්දි පිරි­නැ­මීම් වැනි දේ මේ වන විටද 70%ක් පමණ අව­සන් බව මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බ­න්ධී­කා­රක තුෂාර ස්වර්ණ­ති­ලක මහතා පව­සයි:

“පොළොව යට උමං පිළි­වෙ­ළක් නොකර මොන ගොඩ­නැ­ඟිල්ල හැදු­වත් වැඩක් නැහැ. ඒක කඩා­ගෙන වැටෙන්න පුළු­වන්. ගොඩක් නගර සංව­ර්ධ­න­යේදී සිදු වන්නේ මතු­පිට ඇහැට පේන දේවල් ටික ගොඩ­නැ­ඟී­මයි. මිනිස්සු රව­ට්ටන්න මේකප් එකක් දානවා වගේ නග­රය උඩින් ලස්සන කරලා වැඩක් නැහැ. ඇමැ­ති­ව­ර­යාට ඕනෑ වුණේ පහළ ඉඳන්ම ඉහ­ළට නග­රය ගොඩ­න­ඟා­ගෙන එන්න.”

මහ­නු­වර නග­රයේ මල අප­ද්‍රව්‍ය වැඩි­හ­රි­යක් එක් වන්නේ මැද­ඇ­ළ­ටය. නග­රයේ පවත්නා හෝටල් හා නිවා­ස­වල මල­අ­ප­ද්‍ර­ව්‍යය බට මඟින් මැද­ඇ­ළට එකතු කරන බව කවු­රුත් දන්නා රහ­සකි. මේවා සියල්ල අව­සන එකතු වෙන්නේ මහ­වැලි ගඟ­ටය. දැනට ක්‍රියා­ත්මක අප­ජල ව්‍යාපෘ­තියේ වැඩ අව­සන් වූ පසු මේ ගැට­ලු­වට ස්ථිර විස­ඳු­මක් ලැබෙනු ඇතැයි නග­ර­වැ­සියෝ විශ්වාස කරති. නිවාස හා හෝට­ල්ව­ලින් බැහැර කරනු ලබන අප­ජ­ලය නල­මා­ර්ග­යක් මඟින් රැගෙන ගොස් පිරි­ප­හදු කිරීම මේ ව්‍යාපෘ­තියේ අර­මු­ණය. ඊට පරි­බා­හි­රව මැද­ඇළ රු. ලක්ෂ 8000ක මුද­ලක් වැය කර විධි­මත් ලෙස සකස් කරනු ලබන්නේ මහ­නු­වර උපාය මාර්ගික නගර සංව­ර්ධන වැඩ­ස­ට­හන යට­තේය.

ගුඩ්ෂෙඩ් බස්නැවතුම්පළ හා දුම්රියපළ සම්බන්ධ කෙරෙන යෝජිත ප්‍රවාහන පර්යන්තය.

සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බ­ඳව තව දුර­ටත් අද­හස් දැක්වූ ස්වර­ණ­ති­ලක මහතා:

“මහ­නු­වර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යා­නය රුපි­යල් ලක්ෂ 800ක් විය­දම් කරලා අපි ලස්ස­නට හැදුවා. දැන් ලක්ෂ 5000ක් වැය කරලා මහ­නු­වර නාග­රික රථ­ගා­ලට ඉහ­ළින් නාග­රික උද්‍යා­න­යක් ගොඩ­න­ඟ­නවා. මේ උද්‍යාන දෙක එකි­නෙක සම්බන්ධ කිරී­මෙන් ජන­තා­වට පහ­සු­වෙන් දළදා මාලි­ගාව දෙස­ටත්, එහි සිට නගර මධ්‍ය­ය­ටත් එන්න-යන්න පුළු­වන්. නාග­රික උද්‍යා­නයේ අපේ පාර­ම්ප­රික කලා­ක­රු­වන්ගේ නිර්මාණ අලෙවි මධ්‍ය­ස්ථා­න­යක් ඇති කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා. පැරණි බෝග­ම්බර බන්ධ­නා­ගා­රය ඉදි­රි­පිට කොටස ජන­තා­වට නිද­හසේ ගත කරන්න සුදුසු ස්ථාන­යක් ලෙස සංව­ර්ධ­නය කර­නවා. දැන­ට­මත් එහි වැඩ­ක­ට­යුතු බොහෝ­දු­රට අව­සා­නයි. මහ­නු­වර වැව රවුම හැම­දාම තිබුණේ අවි­ධි­මත් විදි­හ­ටයි. අවට ස්ථාන­ව­ලින් බැහැර කරන මල­අ­ප­ද්‍රව්‍ය සියල්ල එකතු වුණේ වැවට. මේකට පිළි­ය­මක් විදි­හට වැවට ජලය ගලා එන ප්‍රධාන ස්ථාන පහක වැලි රඳ­වන ස්ථාපිත කළා. වැව වටේ පිඩලි අල්ලා බංකු සියල්ල ග්‍රැන­යි­ඩ්ව­ලින් සකස් කිරීම කළෙත් මේ ව්‍යාපෘ­තිය යට­තේයි. දළදා වහන්සේ වැඳ­පු­දා­ගන්න දව­ස­කට දස­ද­හස් ගානක් බැති­ම­තුන් එනවා. මේ එන අයට වැසි­කිළි-කැසි­කිළි පහ­සු­කම් නැහැ; ඇඳු­මක් මාරු කර­ගන්න තැනක් නැහැ. මාලි­ගාව ආස­න්නයේ අව­න්හ­ලට යාබ­දව පිහිටි මහ­ජන පොළ භූමියේ තෙම­හල් ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කර මේ පහ­සු­කම් සම්පූර්ණ කරන්න කට­යුතු කර තිබෙ­නවා. එහි ඉහ­ළම මහල බස් රථ දෙකක් එක්වර ගාල් කළ හැකි සේ සකසා තිබෙන අතර, බැති­ම­තුන් බැස්සූ පසු ඒ වාහන ඉවත් කර­ගත යුතුයි. මහ­නු­වර රතු බෝක්කුව ආස­න්නයේ බස් රථ 50ක් ගාල් කළ හැකි රථ ගාලක් සකස් කිරී­ම­ටත් සැල­සුම් කර තිබෙ­නවා.”

විලියම් ගොපල්ලව මාවතේ සිට අහස් පාලමක්

නව සංව­ර්ධන ව්‍යාපෘ­තියේ ප්‍රධා­න­තම අංගය වන්නේ මහ­නු­වර ගුඩ්ෂෙඩ් බස් නැව­තුම කේන්ද්‍ර කර­ග­නි­මින් ගොඩ­නැ­ගී­මට නිය­මිත මෙරට ප්‍රථම බහු­විධ ප්‍රවා­හන පර්ය­න්ත­යයි. ඒ සඳහා වැය කිරී­මට අපේ­ක්ෂිත මුදල රු. බිලි­යන 10කි. මහ­නු­වර දැනට පවත්නා ප්‍රධාන බස් නැව­තුම් පොළ තුන නග­රයේ ප්‍රධාන ස්ථාන තුනක විසිරී පැව­තීම තිබීම නග­රයේ අධික වාහන තද­බ­ද­යට ප්‍රධාන හේතු­වකි.

අනෙක් පසින් මගී ජන­තා­වද මේ හේතු­වෙන් දැඩි දුෂ්ක­ර­තා­ව­කට පත් වෙති. ගුඩ්ෂෙඩ්, ඔර­ලෝසු කණුව හා ටොරි­න්ටන් බස් රථ ගාල් තුන මහ­නු­වර දුම්රිය ස්ථාන­යට යාබද අක්කර තුනක භූමි ප්‍රමා­ණ­යක පිිහිටි එකම පිය­සක් වෙත ගෙන එමින් විධි­මත් පොදු ප්‍රවා­හන සේවා­වක් නග­රයේ ස්ථාපිත කිරී­මට මේ ඔස්සේ අපේක්ෂා කෙරේ.

“මහල් තුන­කින් යුක්තව මේ බහු­මා­දිලි ප්‍රවා­හන පර්ය­න්තය ගොඩ­න­ඟ­නවා. එහි බිම් මහල සම්පූ­ර්ණ­යෙන්ම කෙටි ගම­න්වාර යන බස් රථ­ව­ලට වෙන් කර­නවා. ඒ බස් නව­ත්තලා තියන්න බැහැ. සර්කල්-එකක් විදි­හට බස් ටික දුවන්න ඕනෑ. දෙවැනි තට්ටුව සම්පූ­ර්ණ­යෙන්ම දුර ගමන් සේවා­ව­ලට වෙන් කර­නවා. බස් රථ ගමන් වාර 7000ක් දව­ස­කට මහ­නු­ව­රින් ආරම්භ වනවා. දුර ගමන් බස් මාර්ග 28ක ධාව­නය කෙරෙ­නවා. තුන්වන තට්ටුව නවීන පහ­සු­කම් සහිත වෙළෙඳ සංකී­ර්ණ­යක්. තුන්වන මහලේ සිට මහ­නු­වර රෝහල පිහිටි විලි­යම් ගොප­ල්ලව දක්වා අහස් පාල­මක් (Sky Walk) ඉදි කර­නවා. ඒ පාලම මතින් දුම්රිය ස්ථාන­ය­ටත් පහ­සු­වෙන් ගමන් කළ හැකියි.

“මහ­නු­වර දුම්රිය ස්ථාන­යට අයත් දුම්රිය සේව­ක­යන්ගේ නිල නිවාස පිහිටි භූමි­යෙන් කොට­සක් මේ ව්‍යාපෘ­ති­යට ගැනෙන නිසා ඔවුන් වෙනු­වෙන් මහල් හතක ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කර දීම­ටත් කට­යුතු සැල­සුම් කර තිබෙ­නවා. ගුඩ්ෂෙඩ් බස් නැව­තුමේ දැනට වෙළෙ­ඳාම් කරන සියලු දෙනා ඒ ස්ථාන­ව­ලින් වන්දි දී ඉවත් කර­නවා.

කඩ හිමි­යන්ට, ඒවා බදු ගත් අයට, සේව­ක­යන්ට පම­ණක් නොව; පදික වෙළෙ­ඳුන්ට පවා වන්දි ගෙව­නවා. මෙලෙස හඳු­නා­ගත් 820 දෙනකු අත­රින් 600කට මේ වන විටත් වන්දි දී අව­සන්. වන්දි­ව­ලට විත­රක් රු. ලක්ෂ 8000ක් වෙන් කළා.

දුර ගමන් සේවා බස් තියෙ­නවා ඊළඟ ගමන් වාරය එන තුරු පැය දෙක-තුනක් නතර කර ඉන්න වෙන. ඒ බස්ව­ලට තෙල් සංස්ථා­වට අයත් ඉන්ධන පිර­වුම් හල ආස­න්නයේ තට්ටු තුනක රථ ගාලක් හද­නවා.

කාර්, වෑන් හා ත්‍රිරෝද රථත් එහි නතර කරන්න පුළු­වන්. මේ ව්‍යාපෘ­තිය මහ­නු­වර ප්‍රධාන තැපැල් කාර්යා­ලය ආස­න්නයේ සිට උසස් බාලි­කාව දක්වා විසිරී යනවා. මේ ව්‍යාපෘ­ති­යට සම­ගා­මීව මහ­නු­වර සියලු මගී ප්‍රවා­හන බස් රථ ජීපී­එස් තාක්ෂ­ණය හා සම්බන්ධ කර පාල­නය කිරී­මට නිය­මි­තයි. නග­රය විධි­මත්ව ගොඩ­නැ­ඟී­මේදී මේ බස් රථ නියම ලෙස පාල­නය කළ යුතුයි.

මේ ව්‍යාපෘති ප්‍රවා­හන අමා­ත්‍යාං­ශ­යට හා මඟී ප්‍රවා­හන සේවා අධි­කා­රි­යට අයිති ඒවා වුණත් මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මඟින් එයත් සිදු කර­නවා.” ස්වර්ණ­ති­ලක මහතා පව­සයි.

අදාළ වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මීව මහ­නු­වර නග­ර­යට දෛනි­කව ඇදී එන වාහන ප්‍රමා­ණය අඩු කිරීම පිණිස තැන්කු­ඹුර, පේරා­දෙ­ණිය, කටු­ග­ස්තොට යන ස්ථාන­වල සිට මහ­නු­ව­රට විශේෂ බස් සේවා­වක් යෙදී­මට නිය­මි­තය. ඒ සඳහා වන ඉඩම් අත්පත් කර­ගැ­නීම මේ වන විටත් අව­සන් කර තිබේ.

“ලොරි­ව­ලට බස් බොඩි ගහලා ඒවගේ මඟීන් ප්‍රවා­හ­නය කරන්න ගියාම මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර දාලා ඒකේ යන්නේ නැහැ! සුඛෝ­ප­භෝගි නවීන බස් රථ පොදු ප්‍රවා­හ­න­යට එකතු කළොත් මිනිස්සු ඒවායේ යන්න පුරුදු වෙයි. තමන්ගේ වාහ­නය මේ ස්ථාන­වල ගාල් කරලා,

එතන ඉඳලා පොදු ප්‍රවා­හන සේවා­ව­කින් නුව­රට ජන­තා­වට එන්න පහ­සු­කම් සැල­සී­මෙන් නග­රයේ පව­තින අධික වාහන තද­බ­ද­යට විස­ඳු­මක් ලැබෙයි. නග­රයේ පව­තින විෂ දුම ප්‍රශ්න­ය­ටත් විස­ඳු­මක් මේ ඔස්සේ ලැබෙන බව ස්වර්ණ­ති­ලක මහ­තාගේ අද­හ­සය.

Comments