මෙරට සුන්දරතර නගර අතර මහනුවරට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ශ්‍රී දළදා සමිඳුන් වැඩ වසන ශ්‍රී දළදා මැඳුරට වම් පසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. අනෙක් පසින් ඇත්තේ උඩවත්ත කැලයයි. හන්තාන කන්ද දෙසින් ඇදී එන සුළං රැළි වැව් තලය පිසගෙනවිත් ශ්‍රී දළදා මාලිගාවේ දැවටෙමින් ගොස් නතර වන්නේ උඩවත්ත කැලයේය. නගර මධ්‍යයේ වැවක් සමඟ අක්කර ගණනාවක වනාන්තරයක් පිහිටා තිබීම නිසා මහනුවර කාලගුණික තත්ත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට වඩා තරමක් සෞම්‍ය බවක් ගනී.
මෙරට රාජ වංශය නිමාවට පත් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූයේ මහනුවර රජකම් කරමින් සිටියදීය.සිංහලයේ අවසන් රාජධානියේ බිඳ වැටීම එසේ සනිටුහන් වත්දී ඉංග්‍රීසීහු මහනුවර නගර මධ්‍යයේ ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප භාවිත කරමින් උස් ගොඩනැගිලි කරවූහ. පැරණි සිංහලුන්ගේ දහඩිය මහන්සියෙන් ඉදි වුණු ගොඩනැගිලි අතරට මේවාද එක් වීම නිසා මහනුවර අමුතු සිරියක් ගත්බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඉංග්‍රීසි පාලනයෙන් මිදී හරියටම දශක හතරකට පසු -එනම්: 1988දී- මහනුවර ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කළේ එහි ඇති පෞරාණික බව ආරක්ෂා කරගැනීමේ අරමුණෙනි. මෙරට දෙවන අග නගරය ලෙස සැලකෙන මහනුවර විධිමත් ලෙස සංවර්ධනයට ලක් නොවීම සියවස් ගණනාවක් මුළුල්ලේ පැවැති ගැටලුවකි. මේ හේතුවෙන් මහනුවර වැසියන් මෙන්ම නගරයට යන එන ජනතාවද දැඩි අසීරුතාවට පත්වූ බව නොරහසකි.
සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකාරක තුෂාර ස්වරණතිලක |
රිය තදබදයෙන් විෂ දුමින් පිරුණු නගරයක්
මෙරට සියලු නගර අතුරින් වායු දූෂණය ඉහළින්ම ඇත්තේ මහනුවර බව විශ්ව විද්‍යාල පර්යේෂකයන් මෙන්ම ස්වසන රෝග විශේෂඥයන්ද පෙන්වා දෙන්නේ මෙලෙස නගරය තුළ රැඳෙන වායුව නිසා රෝගී වන පිරිස සැලකිල්ලට ගනිමිනි. සුන්දරත්වයෙන් පොහොසත් මහනුවර නගරයේ ජීවත් වීම කාටත් අසුන්දර අත්දැකීමක් ගෙන දෙන තවත් කාරණයක් වී තිබෙන්නේ නගරය තුළ නිරන්තරව පවතින අධික වාහන තදබදයයි. නගරය අවිධිමත් ලෙස ගොඩනගා තිබීම මේ සියලු කාරණාවලට හේතුව බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හඳුනාගැනීමෙන් පසු දැන් ඒ අමාත්‍යාංශය මඟින් උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ විධිමත් හා සැලසුම් සහගත නගරයක් ලෙස මහනුවර ගොඩනැගීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇ.ඩො. මිලියන 100කි.
උමං පිළිසකරයෙන් ඇරඹුණු මෙහෙයුම
මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ප්‍රථම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නගරයට පැමිණ එහි පසුබිම සහ නගරය විධිමත් ලෙස ගොඩනැගීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සියල්ල අධ්‍යයනය කළේය. එහිදී සියල්ලට පෙර පැරණි රජ දවස පටන් නගරය අභ්‍යන්තරයෙන් ගමන් ගන්නා උමඟ පිළිසකර කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වය දී එය මුලින් අවසන් කිරීමට ඔහු උපදෙස් ලබාදී තිබුණේ අඩිතාලම සවිමත් නොවුණොත් ඒ මත ගොඩනඟන සියලු ව්‍යාපෘති අසාර්ථක වන බව නිවැරදිව හඳුනාගනිමිනි. මේ අනුව රු. ලක්ෂ 10000ක වියදමින් ඇරඹි උමං ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ලබන අප්‍රේල් මස වන විට නිම කිරීමට නියමිතය.
එහි වැඩකටයුතු ක්‍රියාත්මක වෙද්දී සෙසු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර පවත්වාගෙන යෑමට අවශ්‍යය පසුබිම සැකසෙමින් ඇති අතර, ඉඩම් අත්පත් කරගැනීම්, වන්දි පිරිනැමීම් වැනි දේ මේ වන විටද 70%ක් පමණ අවසන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක තුෂාර ස්වර්ණතිලක මහතා පවසයි:
“පොළොව යට උමං පිළිවෙළක් නොකර මොන ගොඩනැඟිල්ල හැදුවත් වැඩක් නැහැ. ඒක කඩාගෙන වැටෙන්න පුළුවන්. ගොඩක් නගර සංවර්ධනයේදී සිදු වන්නේ මතුපිට ඇහැට පේන දේවල් ටික ගොඩනැඟීමයි. මිනිස්සු රවට්ටන්න මේකප් එකක් දානවා වගේ නගරය උඩින් ලස්සන කරලා වැඩක් නැහැ. ඇමැතිවරයාට ඕනෑ වුණේ පහළ ඉඳන්ම ඉහළට නගරය ගොඩනඟාගෙන එන්න.”
මහනුවර නගරයේ මල අපද්‍රව්‍ය වැඩිහරියක් එක් වන්නේ මැදඇළටය. නගරයේ පවත්නා හෝටල් හා නිවාසවල මලඅපද්රව්යය බට මඟින් මැදඇළට එකතු කරන බව කවුරුත් දන්නා රහසකි. මේවා සියල්ල අවසන එකතු වෙන්නේ මහවැලි ගඟටය. දැනට ක්‍රියාත්මක අපජල ව්‍යාපෘතියේ වැඩ අවසන් වූ පසු මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි නගරවැසියෝ විශ්වාස කරති. නිවාස හා හෝටල්වලින් බැහැර කරනු ලබන අපජලය නලමාර්ගයක් මඟින් රැගෙන ගොස් පිරිපහදු කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණය. ඊට පරිබාහිරව මැදඇළ රු. ලක්ෂ 8000ක මුදලක් වැය කර විධිමත් ලෙස සකස් කරනු ලබන්නේ මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේය.
ගුඩ්ෂෙඩ් බස්නැවතුම්පළ හා දුම්රියපළ සම්බන්ධ කෙරෙන යෝජිත ප්‍රවාහන පර්යන්තය. |
සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ ස්වරණතිලක මහතා:
“මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය රුපියල් ලක්ෂ 800ක් වියදම් කරලා අපි ලස්සනට හැදුවා. දැන් ලක්ෂ 5000ක් වැය කරලා මහනුවර නාගරික රථගාලට ඉහළින් නාගරික උද්‍යානයක් ගොඩනඟනවා. මේ උද්‍යාන දෙක එකිනෙක සම්බන්ධ කිරීමෙන් ජනතාවට පහසුවෙන් දළදා මාලිගාව දෙසටත්, එහි සිට නගර මධ්‍යයටත් එන්න-යන්න පුළුවන්. නාගරික උද්‍යානයේ අපේ පාරම්පරික කලාකරුවන්ගේ නිර්මාණ අලෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට කොටස ජනතාවට නිදහසේ ගත කරන්න සුදුසු ස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. දැනටමත් එහි වැඩකටයුතු බොහෝදුරට අවසානයි. මහනුවර වැව රවුම හැමදාම තිබුණේ අවිධිමත් විදිහටයි. අවට ස්ථානවලින් බැහැර කරන මලඅපද්‍රව්‍ය සියල්ල එකතු වුණේ වැවට. මේකට පිළියමක් විදිහට වැවට ජලය ගලා එන ප්‍රධාන ස්ථාන පහක වැලි රඳවන ස්ථාපිත කළා. වැව වටේ පිඩලි අල්ලා බංකු සියල්ල ග්රැනයිඩ්වලින් සකස් කිරීම කළෙත් මේ ව්‍යාපෘතිය යටතේයි. දළදා වහන්සේ වැඳපුදාගන්න දවසකට දසදහස් ගානක් බැතිමතුන් එනවා. මේ එන අයට වැසිකිළි-කැසිකිළි පහසුකම් නැහැ; ඇඳුමක් මාරු කරගන්න තැනක් නැහැ. මාලිගාව ආසන්නයේ අවන්හලට යාබදව පිහිටි මහජන පොළ භූමියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කර මේ පහසුකම් සම්පූර්ණ කරන්න කටයුතු කර තිබෙනවා. එහි ඉහළම මහල බස් රථ දෙකක් එක්වර ගාල් කළ හැකි සේ සකසා තිබෙන අතර, බැතිමතුන් බැස්සූ පසු ඒ වාහන ඉවත් කරගත යුතුයි. මහනුවර රතු බෝක්කුව ආසන්නයේ බස් රථ 50ක් ගාල් කළ හැකි රථ ගාලක් සකස් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.”
විලියම් ගොපල්ලව මාවතේ සිට අහස් පාලමක්
නව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානතම අංගය වන්නේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගීමට නියමිත මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන පර්යන්තයයි. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රු. බිලියන 10කි. මහනුවර දැනට පවත්නා ප්‍රධාන බස් නැවතුම් පොළ තුන නගරයේ ප්‍රධාන ස්ථාන තුනක විසිරී පැවතීම තිබීම නගරයේ අධික වාහන තදබදයට ප්‍රධාන හේතුවකි.
අනෙක් පසින් මගී ජනතාවද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත් වෙති. ගුඩ්ෂෙඩ්, ඔරලෝසු කණුව හා ටොරින්ටන් බස් රථ ගාල් තුන මහනුවර දුම්රිය ස්ථානයට යාබද අක්කර තුනක භූමි ප්‍රමාණයක පිිහිටි එකම පියසක් වෙත ගෙන එමින් විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් නගරයේ ස්ථාපිත කිරීමට මේ ඔස්සේ අපේක්ෂා කෙරේ.
“මහල් තුනකින් යුක්තව මේ බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ගොඩනඟනවා. එහි බිම් මහල සම්පූර්ණයෙන්ම කෙටි ගමන්වාර යන බස් රථවලට වෙන් කරනවා. ඒ බස් නවත්තලා තියන්න බැහැ. සර්කල්-එකක් විදිහට බස් ටික දුවන්න ඕනෑ. දෙවැනි තට්ටුව සම්පූර්ණයෙන්ම දුර ගමන් සේවාවලට වෙන් කරනවා. බස් රථ ගමන් වාර 7000ක් දවසකට මහනුවරින් ආරම්භ වනවා. දුර ගමන් බස් මාර්ග 28ක ධාවනය කෙරෙනවා. තුන්වන තට්ටුව නවීන පහසුකම් සහිත වෙළෙඳ සංකීර්ණයක්. තුන්වන මහලේ සිට මහනුවර රෝහල පිහිටි විලියම් ගොපල්ලව දක්වා අහස් පාලමක් (Sky Walk) ඉදි කරනවා. ඒ පාලම මතින් දුම්රිය ස්ථානයටත් පහසුවෙන් ගමන් කළ හැකියි.
“මහනුවර දුම්රිය ස්ථානයට අයත් දුම්රිය සේවකයන්ගේ නිල නිවාස පිහිටි භූමියෙන් කොටසක් මේ ව්‍යාපෘතියට ගැනෙන නිසා ඔවුන් වෙනුවෙන් මහල් හතක ගොඩනැඟිල්ලක් ඉදි කර දීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා. ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ දැනට වෙළෙඳාම් කරන සියලු දෙනා ඒ ස්ථානවලින් වන්දි දී ඉවත් කරනවා.
කඩ හිමියන්ට, ඒවා බදු ගත් අයට, සේවකයන්ට පමණක් නොව; පදික වෙළෙඳුන්ට පවා වන්දි ගෙවනවා. මෙලෙස හඳුනාගත් 820 දෙනකු අතරින් 600කට මේ වන විටත් වන්දි දී අවසන්. වන්දිවලට විතරක් රු. ලක්ෂ 8000ක් වෙන් කළා.
දුර ගමන් සේවා බස් තියෙනවා ඊළඟ ගමන් වාරය එන තුරු පැය දෙක-තුනක් නතර කර ඉන්න වෙන. ඒ බස්වලට තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල ආසන්නයේ තට්ටු තුනක රථ ගාලක් හදනවා.
කාර්, වෑන් හා ත්‍රිරෝද රථත් එහි නතර කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලය ආසන්නයේ සිට උසස් බාලිකාව දක්වා විසිරී යනවා. මේ ව්‍යාපෘතියට සමගාමීව මහනුවර සියලු මගී ප්‍රවාහන බස් රථ ජීපීඑස් තාක්ෂණය හා සම්බන්ධ කර පාලනය කිරීමට නියමිතයි. නගරය විධිමත්ව ගොඩනැඟීමේදී මේ බස් රථ නියම ලෙස පාලනය කළ යුතුයි.
මේ ව්‍යාපෘති ප්‍රවාහන අමාත්‍යාංශයට හා මඟී ප්‍රවාහන සේවා අධිකාරියට අයිති ඒවා වුණත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් එයත් සිදු කරනවා.” ස්වර්ණතිලක මහතා පවසයි.
අදාළ වැඩපිළිවෙළට සමගාමීව මහනුවර නගරයට දෛනිකව ඇදී එන වාහන ප්‍රමාණය අඩු කිරීම පිණිස තැන්කුඹුර, පේරාදෙණිය, කටුගස්තොට යන ස්ථානවල සිට මහනුවරට විශේෂ බස් සේවාවක් යෙදීමට නියමිතය. ඒ සඳහා වන ඉඩම් අත්පත් කරගැනීම මේ වන විටත් අවසන් කර තිබේ.
“ලොරිවලට බස් බොඩි ගහලා ඒවගේ මඟීන් ප්‍රවාහනය කරන්න ගියාම මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර දාලා ඒකේ යන්නේ නැහැ! සුඛෝපභෝගි නවීන බස් රථ පොදු ප්‍රවාහනයට එකතු කළොත් මිනිස්සු ඒවායේ යන්න පුරුදු වෙයි. තමන්ගේ වාහනය මේ ස්ථානවල ගාල් කරලා,
එතන ඉඳලා පොදු ප්‍රවාහන සේවාවකින් නුවරට ජනතාවට එන්න පහසුකම් සැලසීමෙන් නගරයේ පවතින අධික වාහන තදබදයට විසඳුමක් ලැබෙයි. නගරයේ පවතින විෂ දුම ප්‍රශ්නයටත් විසඳුමක් මේ ඔස්සේ ලැබෙන බව ස්වර්ණතිලක මහතාගේ අදහසය.