ගොල්ෆ් කාර් එකෙන් මල්වත්ත වටේ රවුමක් යමුද? | Page 2 | සිළුමිණ

ගොල්ෆ් කාර් එකෙන් මල්වත්ත වටේ රවුමක් යමුද?

ජීවිතය පිරෙන්නේ ඒකාකාරී අත්දැකීම්වලින් කියලා මම කිව්වොත් ඔබ එකඟ වේවි. ඒ නිසා අප බොහෝවිට උත්සාහ කරන්නෙ වෙනස් යමක් කරන්න. අප හැමෝට ම පොදු, ඒකාකාරී බවට අප යට වුණොත් ජීවිතයේ බොහෝ සුන්දර දේවල් අපි නොදැනුවත්ව ම අපෙන් ගිලිහී යාවි. ජීවිතය වෙනස් කරගන්න නම්, අපූර්ව කරගන්න නම් ඔබ බොහෝ දුර යා යුතු නැහැ. බොහෝ අපූර්ව දේවල් අප අවට ම තිබෙනවා; ඒත් ඒවා අපේ දෙනෙතට ලක් වෙන්නේ නැහැ.

පේරාදෙණිය උද්භිද උද්‍යානය බොහෝ සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක්. ඒත් එහි මනරම් බව විඳින්න ඇවිදින්න තියෙන වටප්‍රමාණය මතක් වෙද්දී අර ලස්සන මල්, ගස් බලන්න යන්න තියෙන ආසාව ටිකක් අඩු වෙනවා වගේ දැනෙනවා නේද? දැන් ඒ කම්මැළිකමට හොඳ පිළියමක් උද්‍යාන ක්‍රියාකාරීත්වය හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා හිරු රැසේ ප්‍රචණ්ඩත්වයටයි, ගිනියම් මිහිකතේ දාහයටයි හසු නොවී මුළු උද්‍යානයට ම බලන්න පුළුවන් අපූරු ක්‍රමයක් ගැනයි මම අද ඔබට කියන්නේ.

ගොල්ෆ් කාර් ගැන ඔබ අසා තිබෙනවද? බොහෝ දෙනෙක් මට කියාවි ගොල්ෆ් ක්‍රීඩාවේදී ඈතට විසිවෙන පන්දුව අහුලගෙන ඒම සඳහා භාවිත කරන වාහනය ගැන නේද මේ අහන්නේ කියා. ඔව් ඒක තමයි නිවැරදි හැඳින්වීම. ඒත් මම දැන් ඔබට කියන්නට යන්නේ මේ වෙනස් මාදිලියේ වාහනය වඩාත් උපයෝගී දෙයකට යොදාගන්නා ක්‍රමයක් ගැන. කොහොමත් ලෝකයේ බොහෝ දෙනෙක් උපයෝගීතාව ගැන මේ වනවිට වඩාත් සැලකිලිමත්.

පේරාදෙණිය උද්භිද උද්‍යානය නරඹන්න යන සංචාරකයන් වෙනුවෙන් ගොල්ෆ් කාර් භාවිත කරන බව ඔබ සමරවිට දැනටමත් දන්නවා ඇති. ඒ වගේම එහි නැඟී මල් බලන්නට ගිහිල්ලත් ඇති. ඇත්තෙන් ම ඒක නම් විඳින්න ම ඕන අපූරු අත්දැකීමක්.

පේරාදෙණිය උද්භිද උද්‍යානය සතුව තුන්දෙනෙක් රැගෙන යෑම සඳහා කුඩා ප්‍රමාණයේ ගොල්ෆ් රථ මෙන්ම හය දෙනකුට යන්න පුළුවන් ටිකක් විශාල ගොල්ෆ් කාර් කිහිපයකුත් තිබෙනවා. මෙහි මිල ගණන් ඔබට දරාගැනීමට හැකි මට්ටමකයි පවතින්නේ. ඇත්තෙන් ම මුදල නොවෙයි වැදගත්; ඒ රථයේ තිබෙන අපූර්වත්වය වගේම එමඟින් ජීවිතයට ලැබෙන නව අත්දැකීමයි.

ගොල්ෆ් කාර් නිසා ගෙදර හැමෝට ම මුළු මල් වත්ත ම බලන්න යන්නට හැකිවීමත් සාධනීය කරුණක්. මෙතෙක් උද්‍යානය වටා ගියේ හොඳට ඇවිදින්න පුළුවන් හයිය හත්තිය තියෙන උදවිය විතරයි. අනෙක් අය ඇතුළු වෙන තැනම තියෙන ඕකිඩ් මල් ඇතුළු කුඩා වපසරියක් නරඹලා ආපසු එනවා. වයසක අම්මා, තාත්තා, ආච්චී, සීයා, පුංචි දරුවෝ මල්වත්ත පුරා ඇවිදින්න ආසාවෙන් සිටියත් එය ඉටුකරගන්න බැරිව ළතවුණා. ඒත් දැන් මේ හැමෝට ම මුළු මල් වත්ත ම බලන්න පුළුවන් ගොල්ෆ් කාර් නිසා.

ඒ විතරක් නෙවෙයි; මේ ගොල්ෆ් කාර් පදවන් යන රියැදුරු මහතුන් සංචාරකයන් හා බෙහෙවින් හිතවත් ව උද්භිද උද්‍යානයේ තිබෙන විශේෂත්වය ගැන පහදා දෙනවා. ඔබට ගස් කොළන්, මල් ගැන විස්තර සොයාගන්න අපහසු වුණත් ගොල්ෆ් කාරයේ ගමන් කරද්දී නම් ඒ රියදුරු මහතුන් බොහොම කරුණාවෙන් ගස්වල ඉතිහාසය, විශේෂත්වය, ආවේණික ද නැති ද යන බොහෝ තොරතුරු සංචාරකයන්ට ලබා දෙනවා. ඔවුන්ට ඒ සඳහා ම පුහුණුවක් ලබාදී තිබෙනවා.

ඔබට ප්‍රශ්නයක් නැ‍ඟේවි නිසැකයෙන් ම මිහිකතට මේ තරම් ආදරය කරන, ගස්වැල්වලට ආදරය කරන පරිසරයක දුම් විසුරවමින්, ශබ්ද නඟමින් යන වාහනයක් මල්වත්ත පුරා ධාවනය වෙන එක හොඳ නෑ නේද කියලා. ඇත්තට ම ගස් කොළන් වලට, මල්වලට පණ තිබෙනවා; හැඟීම් දැනීම් තිබෙනවා. හරියට ම අපිට වගේ. පරිසරයට ආදරය කරන පිරිස් මේ දේවල් ගැන සවිඥානිකයි. ඒ නිසයි මේ පරිසරයට ගොල්ෆ් කාර් ම හඳුන්වා දී තිබෙන්නේ. ගොල්ෆ් කාර්වලින් දුම් පිට වෙන්නේ නෑ. ඒ වගේම ධාවනය වෙද්දී ශබ්දයක් නැ‍ඟෙන්නෙත් නෑ; ඒ විතරක් නොවෙයි එය අධික වේගයෙන් ධාවනය වෙන්නෙත් නෑ. ගොල්ෆ් කාර් අතිශය පරිසර හිතකාමී වාහනයක්. එය ධාවනය වන්නේ විදුලියෙන්, නලාව වුණත් ඝෝෂාකාරී නෑ. ඇත්තට ම දැක්කොත් මිසක් එවැනි වාහනයක් පාරේ ධාවනය වෙනවා කියලා දැනගන්න ක්‍රමයක් නෑ.

රැජිනගේ ඔටුන්න වගේ මනරම් සුන්දර මලක් පේරාදෙණිය මල්වත්තෙ අපි යන දවසේ පිපිලා තිබුණා. ඇත්තට ම ඒ මල දැක්කේ ගොල්ෆ් කාර් රියදුරු මහත්මයා අපට ඒක පෙන්වපු නිසයි. මල් විතරක් නොවෙයි නෙක රටා ඇති විවිධ ගස්වැල් මේ උද්භිද උද්‍යානයට එක්කරන සුන්දරත්වය හා විවිධත්වය කියා නිම කරනනට බැහැ. දහදොළොස් වතාවක් පේරාදෙණි මල්වත්තට ගිහින් තිබුණත් ඒ කිසිදවසක නොදැකපු ගස්වැල්, මල්, එහි අපූරු ඉතිහාසය කතා සියල්ල ම දැනගන්න ගොල්ෆ් කාර් සංචාරය නිසා හැකි වුණා.

අප ගිය ගොල්ෆ් කාරය ඉදිරිපිටට තවත් කාරයක ජීවිතයේ සැඳෑ සුවය විඳිමින් සිටි යුවළක් ගමන් කරමින් සිටියා. ඒ විසල් මල්වත්ත පුරා තරුණ සන්දියේ නම් අත්වැල් පටල ගෙන ඔවුන් ඇවිද යන්න ඇති. සුළඟ සමඟ පොරබඳින සුදුවන් හිසකේ අත් දෙකින් ම අල්ලා ගන්න ගමන් ඒ අත්තම්මා තමන්ගේ ජීවිතය බෙදාගත් සිය සැමියා දෙස බැලුවේ ඒ මතකයේ මිහිරෙන් දිළිසෙන දෙනෙතින් කියලයි මට හිතුණෙ. යෞවනයේදී වගේම ඇස් පුංචි කරලා හිනාවෙන තමන්ගේ සහකාරිය දිහා ආදරයෙන් බලන ගමන් ගොල්ෆ් කාර් එකේ ඉඳන් ඒ සීයා අපට අතවැනුවා.

 

 

Comments