මට හිතෙන්නෙම මගේ මිල මදියි කියලා | සිළුමිණ

මට හිතෙන්නෙම මගේ මිල මදියි කියලා

ලාංකේය ජනතාව කලෙකදී ඔහු හඳුනා ගන්නේ නිරූපණ ශිල්පියකු ලෙසයි. පසු කලෙකදී ‘සුපර් සික්ස්‘,‘ප්‍රවේගය‘, ‘ආදරණීය කතාවක්‘, ‘බන්ධන‘ හා ‘තාල‘ ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක රංගනයෙන්ද නර්තනයෙන්ද ලාංකේය සිනමා ලෝලීන් තම වසඟයට නතු කර ගනිමින් නූතන ලාංකේය සිනමාවේ ‘සිහින කුමරා‘ වෙන්නට සමත් වෙනවා. එතැන් සිට ජූරියේ විශේෂ සම්මාන, ජනප්‍රියම නළු සම්මාන හා හොඳම නැඟී එන නළුවාට හිමි සම්මානයෙන්ද ඇගැයීමට පත් වන ඔහු ගේ රංගන කුසලතාව වෙනස්ම අයුරින් දැක ගත හැකි නවතම නිර්මාණය ‘විජයබා කොල්ලය‘ සිනමාපටයයි. සැබැ ඉතිහාසයකට මැදිව ගෙතුණු ප්‍රබන්ධයක ‘නයනානන්ද‘ ලෙස තම චරිතය මනාව හසුරුවමින් මේ දිනවල ලාංකේය සිනමා ලෝලීන් ගේ ආදරය දිනා ගත් ඔහු හේමාල් රණසිංහයි.

නයනානන්ද ලෙස ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. චිත්‍රපටයක සාර්ථකත්වයට විචාර අවශ්‍යයයි යන්න මම අතිශය විශ්වාස කරන කාරණයක්. චිත්‍රපට හෝ වෙනත් මාධ්‍යයක් ජනතාවට මුදා හැරි පසු එය සමාජ ගත වෙන්නේ මේ විචාර මතයි. එහිදි හොඳ විචාර හෝ නරක විචාර කියලා දෙයක් නෑ. අපේ හොඳ සහ අඩු පාඩු පවා ඒ ඔස්සේ හඳුනා ගන්න පුළුවන්. මම විචාර සුභවාදීව දකින්නෙක්. විජයබා කොල්ලය අපේ ඉතිහාසයේ ඇත්ත සංධිස්ථානයක්. ඒ සංධිස්ථානයට ඩබ්. ඒ. සිල්වා නවකතා රසයක් එක් කරමින් ප්‍රබන්ධාත්මක තුන් කොන් ප්‍රේමයක් අමුණනවා. එය ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතාගේ සංකල්පය මත චිත්‍රපට නිර්මාණයට තිස්ස අබේසේකරයන් අතින් තිර රචනය නිර්මාණය වෙනවා. චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය එළියට එන්නේ කඩයිම් කිහිපයක් පසු කරමින්. නව කතාව සහ ඉතිහාසයේ සිදුවීම් සියල්ල නිසාම ප්‍රේක්ෂකයෝ මෙහි එන චරිත තමන්ට අවශ්‍ය සහ කැමැති පරිදි මවා ගනිමින් එකිනෙක සංසන්දනය කරනවා. එවිට කෙනකුට දැනෙන රසය තව කෙනකුට වැඩියෙන් දැනෙන්න පුළුවන්. තවත් කෙනකුට ඒ රසය අඩුවෙන්නත් පුළුවන්. මේ කියන රසය එකිනෙකාට සාපේක්ෂ නිසා මේ චිත්‍රපටය ගැන විචාර ගොඩක් එහාට මෙහාට හුවමාරු වෙමින් ලොකු කතා බහක් ඇති ව තිබෙනවා. මා මෙය දකින්නේ චිත්‍රපට කර්මාන්තයේ සුභවාදී ලකුණක් හැටියටයි.

ෆැන්ටසි සිනමාවෙන් වැඩිපුර දුටු හේමාල් පළමු වතාවට ඓතිහාසික චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ?

ඔව්. මම වාසනාවන්තයෙක්. එයට හේතු ගණනාවක් තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ ඉතිහාසය ගැන දැනුම්වත් සහ සිංහල සාහිත්‍යට අලුත් දේවල් එක් කළ කෙනෙක්. ඔහුගේ අධ්‍යක්ෂණයට නතුවීම මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඊළඟ කාරණය, තිස්ස අබේසේකර කියන ඒ දැවැන්ත චරිතය විසින් සිනමාරූපීව මේ ඉතිහාස කතන්දරය ගොඩ නඟන්න ලියැවුණු ඒ තිර පිටපතට මගේ ලොකු ඇල්මක් තිබුණා. එහි කොටස්කරුවකුවීමෙන් මට ලැබුණු අවස්ථාව මහත් භාග්‍යයක්. හොඳ මිතුරන් පිරිසක් මේ නිර්මාණයෙන් මට ලැබුණා. මාගේ සුමිතුරු අශාන් ගේ කැපවීම සහ ඒ ලැබුණු සහාය, බෙදා හදා ගැනීම වටිනවා. සමස්ත කණ්ඩායම සමඟ වැඩ කරන්නට ලැබීමම මට ලැබුණු හොඳ අවස්ථාවක්.

මේ චරිතයට ඔබේ තිබුණු සූදානම, කැපවීම හා හැදෑරීම ගැන කතා කළොත් ?

ප්‍රේක්ෂකයෝ විසින් මේ චරිත තමන්ගේ කර ගැනීම නිසා මේ චරිත ප්‍රති නිර්මාණයේදී සාධාරණයක් ඉෂ්ට කරන්නේ කෙසේද යන්න අප සියල්ලෝම මුහුණ දුන් අභියෝගයක්. මගේ ඔළුවේ මැවුණු නයනානන්දට අනිවාර්යයෙන්ම සූදානමක් තිබීය යුතුමයි. චරිතයට මූලික සාධාරණයක් ඉෂ්ට කිරීමේදී ඒ චරිතයේ ස්වභාවය, හදා ගන්න ලොකු කැපවීමක් කළා. මේ ඉතිහාසය වෙනස් කරන්න හෝ බාල්දු කරන්න බැහැ. සිංහල චිත්‍රපට බලන්න ඉන්නේ පොඩි ප්‍රේක්ෂකාගාරයක‍්. ප්‍රායෝගිකව මුහුණ පාන ප්‍රශ්න සමඟ අපට මේ සියල්ල කරන්න වෙන්නේ සීමාවක සිට යි. ඒ සීමාව ඇතුළේ මේ සියල්ල කරන්නේ නිෂ්පාදකයා බේරා ගැනීමේ සටන ඉස්සරහට දාලා. නැවත ආයෝජනයක් කරන්න නම් නිෂ්පාදකයා බේරා ගත යුතුයි. ඒ සටනේ අප සියලු දෙනාම සිටින නිසා අපේ කැප කිරීම් අපට උපරිම තැනකට ගෙනියන්න වෙනවා. එය මම කරන්නේ ඉතා සතුටෙන්.

මේ නිර්මාණය තුළ ඔබේ රංගනය ගැන තෘප්තිමත්ද?

මේ කතාන්තරය කියවද්දි මට දැනුණේ මේ නයනානන්ද මම නේද කියලා. එතැනින්ම ඒ චරිතය මගේ කරගෙන ඉවරයි. චරිතයට හා නිර්මාණයට උපරිම සාධාරණය කිරීමට මම උත්සාහ කළා. ප්‍රේක්ෂකයා තමයි තීරණය කළ යුත්තේ සාධාරණයක් කර තිබෙනවාද නැද්ද යන්න. මම එසේ කළා යැයි විශ්වාස කරනවා. එය ඉදිරියටත් තියා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂක මතය මත.

හේමාල් වැඩිය පේන්න නැත්තේ රංගනයේදී වාරණ පනවාගෙන සිටින නිසාද?

එහෙම වාරණයක් නැහැ. නමුත් තෝරා ගැනීමක් තිබෙනවා. එහිදි තිර පිටපතේ අන්තර්ගතය ශක්තිමත් නම් එය මගේ ප්‍රධානම තෝරා ගැනීමයි. නිර්මාණයක සාර්ථකත්වය තිබෙන්නේ මේ අන්තර්ගතය මත. හොඳ තිර පිටපත්වල හිඟයක් තියෙනවා. ඒ ලංකාවේ තිරපිටපත් රචකයන්ට හරි වටිනාකමක් ලැබෙනවාද යන ප්‍රශ්නයක් නිසා. ඔවුන්ට හරි වටිනාකමක් හා තරඟකාරීත්වයක් තිබෙනවා නම් තවත් හොඳ තිර පිටපත් බිහි වේවි.

මෙතෙක් ඔබේ රංගනය සීමා වුණේ සීමිත අධ්‍යක්ෂවරුන් පිරිසකට?

මම තවම චිත්‍රපට මහ ගොඩක් රඟපාලා නෑ. මට කිසිම හදිස්සියකුත් නැහැ. මගේ යම්කිසි දක්ෂතාවක් දැකපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ඔහුගේ නිර්මාණයකට මාව ගන්නේ. අධ්‍යක්ෂකවරයකුට හෝ තිර රචකයකුට තම නිර්මාණ කාර්යයේ මූලික අදියරේදී පිටපතේ තිබෙන චරිතයට සාධාරණයක් කළ හැකි චරිතයට ඉක්මනින්ම අනුගත විය හැකි නළුවෙක් විදිහට අර අහවල් නළුවා ලෙස මගේ නම යෝජනා වෙනවා නම් මම කැමැතියි. එතනදි නිර්මාණයට සහ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ විදියට ඔවුන්ගේ ඔළුවේ කොහේ හරි තැනක මාව මැවුණු වෙලාවක පාවිච්චි කරයි.

ඔබේ තෝරා ගැනීම් මෙතෙක් දැක තිබෙන්නේ හයිබජට් (දැවැන්ත) නිර්මාණවල පමණයි.

නිර්මාණයකදී ප්‍රධානම දේ බජට් එක නෙමෙයි. මම ඉතාමත් අඩු බජට්වලටත් වැඩ කරලා තිබෙනවා. ඒ අතර හයි බජට් චිත්‍රපට තිබුණා. දෙවියන්ගේ පිහිටෙන් ඒ කිසිම චිත්‍රපටයක් මෙතෙක් පාඩු ලබලා නැහැ. තිර පිටපතට කැමැති වෙලා අලුත්ම අධ්‍යක්ෂවරු යටතේ රඟපෑ අවස්ථා කිහිපයක්ම තියෙනවා තවම ප්‍රදර්ශනය නොවුණු. බජට් මත කිසිම දෙයක් පදනම් වෙලා නැහැ.

වාණිජ සිනමාවෙන් තරු ද කලාත්මක සිනමාවෙන් දක්ෂයින් ද බිහි වන බවට තිබෙන මතයට ඔබ එකඟද?

කලාත්මක සහ වාණිජ කියන දේ මනින්නේ කුමකින්ද යන්න මම අහන්න කැමැතියි. මේ විදිහට වර්ගීකරණය වී තිබෙන්නේ ලංකාවේ. ලෝකයේ එහෙම දෙයක් තියෙනවද? කලාවේ වාණිජ පරමාර්ථයක් තිබෙනවා. වාණිජ නිර්මාණයක කලාව තියෙනවා. ඒ ඔස්සේ රංගනයේ දක්ෂ අදක්ෂ බව අප කොහොමද මනින්නේ.. හැම නිර්මාණයකම වාණිජ අරමුණක් තිබෙනවා. ඔය වර්ගීකරණය වෙලා තිබෙන වාණිජ නිර්මාණයකටත් දක්ෂ කණ්ඩායමක් එක් විය යුතුයි. වාණිජ සහ කලාත්මක කියන වචනවලට මට එකඟ වෙන්න අමාරුයි. සිනමාවට මොන අර්තකථන දි තිබුණත් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න කුමක් හෝ දෙයක් සංවේදනය කරන්න පුළුවන් නම් එය සාර්ථක නිර්මාණයක්.

ජනප්‍රියම සම්මානය කිහිපවරක් හිමි වුණත් දක්ෂතම නළුවා වෙන්න තවමත් හේමාල්ට බැරි වුණා?

මීට වසර ගණනාවකට කලින් ජයලත් මනෝරත්න මහත්මයාගේ ටෙලි නාට්‍යයකට මම රංගනයෙන් දායක වුණා. ඒ මනෝරත්න මහත්මයාගේ ආරාධනාව අහක දමන්න බැරි නිසාම පමණක් කළ පුංචි තිරයේ මගේ එකම රඟපෑම. නමුත් ඒ රංගනය හා නිර්මාණය ගැන මම හරිම තෘප්තිමත්. හොඳම සහාය නළුවා හැටියට රාජ්‍ය සම්මානය මේ නිර්මාණය නිසා මට ලැබුණා. ඔය කියන ‘හොඳම‘ කෑල්ලට මෙතෙක් ලැබී තිබෙන්නේ ඒ සම්මානය විතරයි. මගේ හිත හදාගන්න ‘හොඳම‘ කොටසට මම එය දාගෙන ඉන්නවා. මම රඟපාන්නේ ප්‍රේක්ෂකයන්ට උපරිම වින්දනයක් ලබා දෙන්න මිසක් හොඳම නළුවා වෙන්න නෙමෙයි. ඒ ගමනෙදී මම හොඳම නළුවා වේවි ද නැද්ද යන්න අනාගතයට බාර කරමු. මට ඒ ගමනට කිසිම හදිස්සියක් නැහැ.

පුංචි තිරයට ඔබේ කැමැත්තක් නැද්ද?

මට තිබෙන්නේ පුංචි තිරයට අකමැත්තක් නෙමෙයි. මේ සිනමාවට මගේ තියෙන වැඩි කැමැත්ත. පුංචි කාලේ සිට මම ප්‍රිය කරන ප්‍රධානම මාධ්‍යය සිනමාව. එය තවමත් නතර වෙලා තිබෙන්නේ සිනමාවේ. පෙර කියූ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණෙත් එය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ආරාධනාවක් නිසාමයි. මම වගේ පොඩි මනුස්සයෙක් ඒ වගේ දැවැන්ත චරිතයකින් ලැබෙන ආරාධනය කොහොමද භාර නොගෙන ඉන්නේ. එය ඉතා හොඳ නිර්මාණයක් නිසාම ඇගැයීමකුත් ලැබුණා.

ඔබ පොඩි මිනිහෙක් කිව්වට සිනමාවේ මිල අධික නළුවෙක් ලෙසයි ප්‍රසිද්ධ?

මගේ මිල අධිකද නැද්ද මම දන්නේ නැහැ. මට හිතෙන්නෙම මගේ මිල මදියි කියලා. මේ සිනමාවේ අපි පවතින්න ඕනේ. චිත්‍රපටයකට සම්බන්ධ වුණාම ඒ කාල සීමාව පුරාවට ම ඒ නිර්මාණය එක්ක ජීවත් වෙනවා මිසක් මම වෙන වැඩ බාර ගන්නෙ නැහැ. මම එහෙම multit asking පුද්ගලයෙක් නොවන නිසා එකපාරකට කරන්න පුළුවන් එක වැඩයි. ඉතින් එකම වැඩක් කරගෙන යද්දි, සමහර විට ඒ වැඩේ වසර ගණන් ඇදෙද්දි අපටත් පවතින්න අමාරුයි. මටත් තියෙනවා දේවල් ගොඩනඟා ගන්න.. වියදම් කරන්න.. ඒ සියල්ල බැලන්ස් කරගන්න යම් අගයක් අවශ්‍යයි. ඒ සියලු කාරණා ඇතුළේ මගේ කැපවීමට, කාලයට මම මට යම් මිලක් නියම කර ගන්නවා. ඒ මිල මහ ගාණක් කියල හිතන කට්ටිය මාව ගන්නේ නැතුව ඇති. කවුරුත් මං ගැන කියන කතා මට නවත්වන්න බැහැ. ඔය දේවල් උපේක්ෂාවෙන් අහගෙන ඉන්නවා මිසක්.

ඡායාරූප - රැෆෙලා ප්‍රනාන්දු

Comments