සැඟව ගිය මගෙ පබවතී... | සිළුමිණ

සැඟව ගිය මගෙ පබවතී...

සැඟව ගිය මගෙ පබවතී...

ඈත සුළගේ පා වෙලා

හිතට එබෙනා සඳවතී

සීත කඳුළක නෙත වෙලා

සැඟව ගිය මගෙ පබවතී...

සිහින දොවොලේ දෙවඟනකි ඇය

සිතින් කළ පිළිරුව සොයා

හසර ගෙවලා දනවු සරලා

ගෙනාවෙමි සුදු සඳවතී...

හංස තුඩු වැද සුපිපි ලවනත

සුමුදු පහසෙනි ගොළු වෙලා

සොඳුරු කොකනද වෙණ සරෙහි වැද

කුසගෙ වැලපුම වයනෙමී...

ගායනය - හර්ෂණ දිසානායක

පද රචනය - අබ්දුල් කේ. සාදිකීන්

සංගීතය - අමිත් ලියනගේ

 

විවාහය යනු ජීවිතයේ තීරණාත්මක තීරණයකි. ඉස්සර නම් තරුණියකට තරුණයකුට විවාහයක් කෙරුණේ බොහෝ විට මංගල යෝජනා ඔස්සේ ය. ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගුණේ නම් ඒ දුරාවාරයෙනි. ප්‍රේම සම්බන්ධතා ගැන වුව දෙපාර්ශ්වයේ නිවෙස්වල වැඩිහිටියෝ හොඳ හැටි සොයා බැලුහ. අද නම් ඇත්තේ එහි අනෙක් පැත්තය. ඇතැම් විට වැඩිහිටියන් දරුවන්ගේ විවාහ ගැන දන්නේ ඔවුන් සියල්ල සුදානම් කර ගත් විටය! ඒ කාලයේ වෙනසය.

ප්‍රේම සම්බන්ධතා තිබුණත් නැතත් කවුරුන් විවාහය කල් දමන්නට හේතු සොයන්නෝ මෙන්ම විවාහයේදී බොහෝ දේ සොයන තරුණ තරුණියෝද අප අතර නැතිවාම නොවේ. ඒ සෙවිල්ල නිසාම වියපත් වූවෝද වෙති. මෙය ලියන මොහොතේ ඇය ගැන සිහිපත් වේ. ඇය පවුලේ වැඩිමලීය. ඇගේ නැඟණිය අැයට පෙර විවාහ වූවාය. වියපත් මවටත් පියාටත් තම වැඩිමහල් දියණියගේ විවාහය කල් යෑම හිත් වේදනාවක් විය. අම්මාත් තාත්තාත් ඇයට බොහෝ මංගල යෝජනා ගෙනාහ. එහෙත් ඇය ඒ සියලු යෝජනා මගහැරියේ මනාලයාගේ කුමක් හෝ අඩුපාඩුවක් කියාය. ඒ අඩුපාඩු ගැන සිතා බලන විට අද කාලේ හැටියට ඒවා ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි සිතේ.

“අපෝ එයා රැවුල වවනවා.”

“හිනා වෙනකොට දත් අතර හිඩැස් පේනවා, හිනාවෙනකොට එයා හරි මෝඩ පාටයි”

“බුලත් කනවා. පේන්නැද්ද දත්වල කහට!”

“සරම අඳින කෙනෙක් මට එපා”

“වයස වැඩියි...උස වැඩියි”

“රස්සාව මදි. වඩු බාස්කෙනෙක් බඳින්න මට බැහැ.”

මේ ඇය කියු අඩුපාඩුවලින් ටිකකි. මනාලයකු නිවෙසට පැමිණ ගොස් දින දෙක තුනක් යනතුරු ඇය සිටියේ පවුලේ හැමෝම සමඟ නෝක්කාඩුවෙනි. අන්තිමට වැඩිහිටියෝ ඇයට මඟුල් තුලා සෙවීම අතහැර දැම්මේ “උඹට නම් මිනිහෙක් මවන්න තමයි වෙන්නේ...” කියාය. ඇය තවමත් නතිකඩය.

බොහෝ විට වැඩිහිටියන් තම දුවගේ පුතාගේ හිතට ගැළපෙන කෙනෙකු සොයා ගන්නට බැරි වුණ විට කියන්නේ “මවන්න තමයි වෙන්නේ” කියාය. මවනවා යැයි කියූ විට සිහිවන්නේ ජාතක කතා සංග්‍රහයේ කුස ජාතකයේ එන කුස කුමාරයා පිළිබදවයි. බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම බවයක විරූපීව ඉපිද, තරුණ වියේදී සිය දෙමාපියන් විවාහ වෙන්නැයි කරන බලපෑමෙන් බේරීමට රත්තරනින් කාන්තාවකගේ රුවක් මවා කියන්නේ ඒහා සැසඳෙන කුමාරිකාවක් වෙත් නම් විවාහ වන බවය. අවසානයේ නගරයෙන් නගරය ගෙන යන මේ රුවට සමාන වූ රුවක් හමු වෙන්නේය. ඒ නම් රූමත් පබාවතී කුමරියයි. නමුදු කුස කුමරු විරූපි යැයි, කියා දැන ගත් දා පබවතිය සිය මවු දෙමාපියන් ගේ රටට යන්නීය. කුස කුමරු මෙයින් බොහෝ තැවෙන්නේය. කතාව බොහෝ දිගුය. කුස කුමරු පබවතියගේ සිත් දිනා ගැනීම වෙනුවෙන් නොකරන දෙයක් නැත. විවාහය ගැන සිහිපත් කරන විටත් කුසපබාවති ජාතක කතාවත් සිහියට නැගුණේ නිතැතිණි. මේ කතාව තේමා කර ගනිමින් අපේ රටේ නිර්මාණකරුවෝ බොහෝ නිර්මාණ කර ඇත. බොහෝ ගීතවලට ද ජාතක කතාවේ එන චරිත පාදක කොට ගෙන ඇත. සිංහල භාෂාවට සාහිත්‍යයට ඇල්ම දක්වන අබ්දුල් කේ. සාදිකීන් විසින් ලියන ලද මේ ගීතයටද සංකේත ලෙස භාවිතා කර ඇත්තේ කුස හා පබාවතියයි. කුස කුමරුන්ගේ කොකනද වීණාවයි. පබවතිය කුස හැර ගිය විට කුස රජ ඒ සියලු දුක් දරා ගත්තේ වීණාව තුරුලු කර ගනිමිනි. අබ්දුල් සාදිකීන් අපට කියන්නේද එවැනි කතාවක්මද?

“මම පුංචි කාලේ ඉඳලාම බොහෝම හොඳින් ඇසුරු කළ මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔහු විවාහ විය යුතු වයසට ආවාම ඔහුගේ ගෙදරින් ඔහුට තරුණියක සෙව්වා. අපේ යාළුවෝ කණ්ඩායමත් හෙව්වා. ඔහු කියන කියන විදිහට මම ඔහු කැමති විදිහේ කෙනෙක් හෙව්වා. කොණ්ඩේ දිග තරුණියක් ඕන කිව්වාම ඒ විදිහේ කෙනෙක් හොයලා දුන්නා. එතකොට ඔහු වෙන කතාවක් කියනවා. ඉංග්‍රිසි ගුරුවරියක් ඕන කිව්වාම එවැනි කෙනෙක් සොයා දුන්නා. එත් හරි ගියේ නැ ඔහුගේ සිතට. පවුල් බලය තියෙන, ධනය තියෙන, උසස් අධ්‍යාපනය ලැබූ, යාන වාහන තියෙන, පවුල් බරින් තොර මේ ආදි වශයෙන් ඔහුට තරුණියෝ හොයලා දුන්නා. නමුත් ඔහු හිත ගිය කෙනෙක් ඒ අතර හිටියේ නැහැ. ටික කලකට පස්සේ ඔහු අපෙන් ඈත් වෙලා කොළඹ ගියා. ඒ ගිහින් ටික කාලෙකින් ඔහු ඔහුගේ මිත්‍රයකු කතා කරපු තරුණියක් හා විවාහ වුණා. හැම දේම තියෙන තැනකින් තමයි ඔහු විවාහ වුනේ.

නමුත් මාස දෙක තුනකට පස්සේ ඔහු අපේ මිත්‍රයෙක් සමඟ කියලා තිබුණා “ඇය යන්න ගියා ඒකිත් එක්ක ජීවත් වෙන්න බැහැ” කියලා. ඔහු යළිත් තනිවුණා. අද සමාජයේ මෙහෙම දෙයක් වුණාම දෙපාර්ශ­්වය අතර නොයෙක් ගැටුම් ඇති වෙනවා. මරා ගන්නවා. නමුත් මේ සිද්ධිය දැන ගත්තාම මට ඕන වුණේ නිර්මාණකරුවෙකු හැටියට මෙය බොහෝම සංවේදිව හිතන්න .

ඒ ගැන නිර්මාණයක් කරන්න. ඔහු ඉන්නේ විරහවෙන්. ඒ විරහව ආවේගශිලි නොකරන්නයි මට වුවමනා කළේ. කුස කුමරු, පබාවති කුමරිය ඇසුරෙන් මම ලිව්වේ ඔහුගේ දුකයි. මේ ගීතය ලිව්වේ සංගීතවේදී අමිත් ලියනගේ මල්ලිගේ ඉල්ලිමකට.

ඔහු මට තනු නිර්මාණ කිහිපයක් එව්වා. එක් හැන්දෑවක. තරුත් පායලා තිබුණ රෑ කළුවරේ එක් තනු නිර්මාණයක් ඇහුවට පස්සේ මගේ හිතේ මේ පද පෙළ නිරායාශයෙන්ම ලියැවුණා. මට මතකයි අමිත් කිව්වා ඔහු මේ තනුව නිර්මාණය කළේ හැන්දෑ වරුවක කියලා. හර්ෂණත් බොහෝම අපූරුවට හැඟිම්බරව මේ ගීතය ගායනා කරනවා.”
 

“හංස තුඩු වැද සුපිපි ලවනත

සුමුදු පහසෙනි ගොළු වෙලා

සොඳුරු කොකනද වෙණ සරෙහි වැද

කුසගෙ වැලපුම වයනෙමී..”

 

පියම්බිකාව හැර ගිය සොවින් තැවෙන නූතන පෙම්වතකුගේ විරහව ඔහු ලියන්නේ එලෙසිනි..

 

Comments