තව­මත් මේ රට ගැන, සාහිත්‍ය කලාව ගැන අපට බලා­පො­රොත්තු තබාගත හැකියි | සිළුමිණ

තව­මත් මේ රට ගැන, සාහිත්‍ය කලාව ගැන අපට බලා­පො­රොත්තු තබාගත හැකියි

විශ්ව සාහි­ත්‍ය­යෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකු­රින් සට­හන් කරන සම­කා­ලීන ලේඛ­ක­යන් දෙතුන් දෙනා අත­රින් ෂ්‍යාම් සෙල්ව­දු­රෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. සිංහල ජාතික මව­කගේ හා දෙමළ ජාතික පියෙ­කුගේ දරු­වෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවු­රුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකා­වට අත­හැර ජීවිත ආර­ක්ෂාව පතා කැන­ඩා­වට සංක්‍ර­ම­ණය වන්නට සිදු­වන්නේ 83 වසරේ අවා­ස­නා­වන්ත කළු ජූලි­යෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. ටොරො­න්ටෝහි යෝර්ක් සර­ස­වි­යෙන් සිය ප්‍රථම උපා­ධිය ලබා පසුව වැන්කු­වර් හි බ්‍රිටිෂ් කොළ­ම්බියා සර­ස­වි­යෙන් නිර්මා­ණා­ත්මක ලේඛන කලාව පිළි­බද පශ්චාත් උපා­ධිය හිමි­කර ගන්නා ෂ්‍යාම් සර­සවි ආචා­ර්ය­ව­ර­යෙකු ලෙසද සිය දැනුම බෙදා දුන්නේය. මේ වන­විට කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර සිට සාහි­ත්‍ය­ක­ර­ණ­යෙහි යෙදෙන ෂ්‍යාම්ගේ අතින් ලියැ­වුණු “Funny Boy”, “Swimming on Monsoon Sea”, “Cinnamon Gardens”, “Hungry Ghost” ඇතුලු බොහෝ කෘතීන් විශ්ව සාහිත්‍ය ලෝක­යෙහි බොහෝ සංවාද හා විචා­ර­යන්ට ලක් වූවා පම­ණක් නොව ජාත්‍ය­න්තර සම්මාන රැස­කින්ද පිදුම් ලැබු­වේය. සුග­ත­පාල සිල්වා සූරීන් අතින් සිංහ­ලට පෙර­ළුණු “අමුතු ඉල­න්දා­රියා” (Funny Boy) කෘති­යද ලාංකීය සාහිත්‍ය ලෝකය තුළ පාඨක විචා­රක අව­ධා­න­යට ලක්වූ කෘති­යක් වූයේය. සිළු­මිණ ඉරිදා සංග්‍ර­හය වෙනු­වෙන් ෂ්‍යාම් හා කළ විශේෂ සංවා­ද­යකි මේ.

ඔබට ලංකාව අත­හැර කැන­ඩා­වට සංක්‍ර­ම­ණය වන්නට සිදු­වන්නේ අවු­රුදු දහ­න­ව­යක් තරම් ළාබාල අව­දි­ය­කදී. ඒත් තමන්ගේ අතී­ත­යෙන් කෙනෙ­කුට ලෙහෙ­සි­යෙන් ගැල­වෙන්න පුලු­වන් කමක් නැහැ. අපේ අතී­තය කියන්නේ හැම­දා­මත් අප පසු­ප­සින් එන දෙයක්. ඔබේ අතී­තය ඔබ­ටත්, ඔබේ ලේඛන කලා­ව­ටත් බල­පෑවේ කොහො­මද?

 

අවු­රුදු දහ­න­වයේ දී රට අත්හැ­රලා එන්න සිද්ධ වුණත් මං හැදුණේ වැඩුණේ ලංකාවේ. ඒක තමයි මගේ අන­න්‍ය­තාව. අවු­රුදු තිස් පහක විතර කාල­යක් පුරා මං දැන් මෙහේ කැන­ඩාවේ ජීවත් වුණත් හිත ඇතු­ළෙන් තාමත් මං ශ්‍රී ලාංකි­කයි. ඒකට හේතුව මාව නිර්මා­ණය වෙලා තියෙන්නේ ලාංකීය අන­න්‍ය­තා­ව­යත් එක්ක හින්දයි. මේ පසු­බිම මගේ ලේඛන කට­යුතු වලට තදින්ම බල­පාපු බොහොම වැද­ගත් සාධ­ක­යක්. වය­සින් වැඩෙන්න වැඩෙන්න මං තේරුම් ගත්ත දෙයක් තමයි මගේ ජීවි­තයේ කොට­සක් එක්ක ලංකා­වට තියෙන බැඳීම හරිම සුවි­ශේ­ෂීයි කියන එක. මං දන්නවා විදේ­ශ­ගත බොහොම දෙනෙක් තමන්ගේ රට ගැන ආඩ­ම්බර වෙනවා. මගේ සහෝ­දර සහෝ­ද­රි­යන් පවා තමන් ලාංකි­ක­යන් වීම ගැන ආඩ­ම්බර වෙනවා. ඒත් ලංකා­වත් එක්ක මට ඒකට එහා ගිය හරිම සුවි­ශේෂී බැඳී­මක් තියෙ­නවා. ඒ නිසාම මං නිතර ලංකා­වට යනවා එනවා. ඒක මගේ ජීවි­ත­යට අත්‍ය­වශ්‍ය දෙයක්. හරි­යට කිසි­යම් ආකා­ර­යක පිපා­ස­යක් වගෙයි. එහෙම නොගි­යොත් ඒක ලොකු අඩු­වක් වගෙයි මට දැනෙන්නේ. එහෙම වෙන්නේ ඇයි කියලා මටත් හරි­ය­ටම තේරුම් ගන්න බැහැ. මට එහෙම යන්න ආසාව ඇති­වෙන්නේ විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යෙක් ලංකා­වට යනවා වගේ­වත්, සංචා­ර­යක් විදි­යට හෝට­ල්වල කාලය ගත කරලා එන්න­වත් නෙමෙයි. ඒ වගේ දේවල් වලින් මට සතුටු වෙන්න බැහැ. මං තෘප්ති­මත් වෙන්නේ ගාලු සාහිත්‍ය උත්ස­වය වගේ සජීවී කට­යු­තු­ව­ලට සම්බන්ධ වෙලයි. මගේ ලෝකයේ ඉංග්‍රීසි විත­රක් කතා කරන හිත­ව­තු­න්ගෙන් බැහැර වෙලා ඔය විදියේ සබ­ඳතා එක්ක සමීප වෙන එක මගේ ලේඛන කලා­වට වගේම මගේ පෞද්ග­ලික ජීවන පැවැ­ත්මට හරිම වැද­ගත් සාධ­ක­යක්.

 

ඒ හින්දා වෙන්න ඇති ඔබේ කෘතීන් හැම එක­කම වගේ ලාංකීය අන­න්‍ය­තා­වක් සනි­ටු­හන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ තරම් කාල­යක් කැන­ඩාවේ ජීවත් වුණත් ඔබේ ලේඛන කලා­වට උත්තේ­ජ­නය සප­යලා තියෙන්නේ ඔබ උපන් ඔබේ මවු­ර­ටද?

 

ඔව්, ඒක ඇත්ත. මට උත්තේ­ජ­න­යක් සප­යපු දේවල් අතර යුද්ධය වගේම ලංකාවේ තියෙන සාර­වත් සංස්කෘ­තික පද­න­මත් බල­පෑවා. මේ හින්දා නව­ක­තා­ක­රු­වෙකු විදි­යට පාඨ­ක­යන්ට පිළි­ග­න්වන්න පුලු­වන් බෙහො­ම­යක් දේවල් මා සතුව තියෙ­නවා. මං ලියන්නේ ශ්‍රී ලාංකි­ක­යෙක් විදි­යට වගේම ලංකාවේ සාර­වත් සංස්කෘ­තික පද­නමේ අත්දැ­කීම් අනු­සා­ර­යෙ­නුයි. සාර­වත් සංස්කෘ­තික පද­නම විත­රක් නෙමෙයි, වාර්ගික ගැටුම, පංති පර­ත­රය වගේ දේවල් ලේඛ­ක­යෙ­කුගේ භූමි­කා­වට බොහොම සරු­සාර පද­න­මක් සප­ය­නවා.

 

ඔව්, ඔබ කිය­නවා වගේම අපිට සාර­වත් සංස්කෘ­තික පද­න­මක් තියෙ­නවා. ඒ සාර­වත් සංස්කෘ­තික පද­නමේ අනි­වාර්ය අංග­යක් තමයි අතී­තයේ අපිට උරුම වෙලා තිබුණු අද්වි­තීය සාහිත්‍ය කලාව. අද වෙන­කොට ලංකාවේ පොත පත බොහො­ම­යක් බිහි­වු­ණත් ඒවා­යින් පාඨ­ක­යාගේ ජීවි­ත­යට ගුණා­ත්මක බල­පෑ­මක් සිද්ධ වෙන­වාද කියන එක ගැට­ලු­වට කාර­ණා­වක්. ඒත් අපේ තරම් දැවැන්ත සාහිත්‍ය සම්ප්‍ර­දා­යක් උරුම වෙලා නොති­බුණු බට­හිර ලෝකය තුළ අද වෙන­කොට බිහි­වෙන පොත පත ආකෘ­ති­යෙන් විත­රක් නෙමෙයි අන්ත­ර්ග­ත­යෙන් පවා අපිව පසු­කර බොහෝ දුරක් ගිහින්. ඔබ ඒ ප්‍රකා­ශ­යට එක­ග­යිද?

 

සිංහල දෙමළ පොත් මං කිය­වන්නේ නැහැ. ඒ නිසා මට හරි­ය­ටම ඒ ගැන අද­හ­සක් නැහැ. එත් මං කිය­වන සිංහල දෙමළ පරි­ව­ර්තන නම් ඇත්ත­ටම ඉහ­ළයි. ඔබේ ප්‍රශ්න­යට පිළි­තු­රක් දෙනවා නම් නව­ක­තාව පැත්තෙන් ගත්තොත් නව­ක­තාව කියන්නේ බට­හිර සාහිත්‍ය ලෝකය තුළ නිර්මා­ණය වුණු කලා­වක්. ඒක වර්ධ­නය වුණේ බට­හිර සමාජ සංස්කෘ­ති­යත් එක්කයි. මේ නිසා අපිට සිද්ධ වුණේ බට­හි­රින් ණයට ගත්ත කලා­වක් අපේ යථා­ර්ථ­යත් එක්ක ගලපා ගන්නයි. බට­හිර ලෝකය කියන්නේ නිර­න්ත­ර­යෙන්ම වෙනස් වෙන සමාජ ධාරා­වක්. විවිධ රට­ව­ලින් සංක්‍ර­ම­ණය වෙන ලේඛ­ක­ය­න්ගෙන් බට­හිර සාහිත්‍ය ලෝක­යට විවි­ධා­කාර අන­න්‍යතා එකතු වෙනවා. උදා­හ­ර­ණ­යක් විදි­යට කළු ජාතික ලේඛ­ක­යන් වගේ අය­ගෙන්. ඒ නිසා බට­හිර සාහි­ත්‍යය නිර­න්ත­ර­යෙන් සාර­වත් වෙනවා. ඒ වගේම අවා­ස­නා­ව­කට වගේ පහු­ගිය කාලයේ අපට හිටිය උග­තුන්, දක්ෂ ලේඛ­ක­යන් බොහොම දෙනෙක් රට අත් හැරලා ගියා. ඒත් මේ බෙල­හීන තත්ත්වය යටතේ පවා අපි යහ­පත් තත්ත්ව­යක තැනක ඉන්නවා කිය­ලයි මං හිතන්නේ.

 

සාහිත්‍ය ලෝක­යට එකතු වන විවි­ධා­කාර අන­න්‍ය­තා­වන් ගැන ඔබ සඳ­හන් කළා. සම­කා­ලීන ලෝක සාහි­ත්‍යයේ සම­ලිං­ගික එහෙ­මත් නැති­නම් සම­රිසි සාහි­ත්‍යයේ වැඩිම කතා­බ­හක් ඇති කළ ලේඛ­කයා තමයි ඔබ. සම­රිසි ප්‍රජාව මුල්ක­ර­ගෙන ලෝකය පුරා විවි­ධා­කාර ක්‍රියා­කා­ර­කම් දියත් වෙනවා. කැන­ඩාව ගත්තොත් Pride Movement කියන්නේ එවැනි දැවැන්ත සමාජ ව්‍යාපා­ර­යක්. බට­හිර රට­වල තියෙන ඔය කියන සමාජ ප්‍රව­ණතා ඔය විදි­ය­ටම ලංකාව ප්‍රමුඛ ආසි­යානු රට­වල සංස්කෘ­තී­න්ටත් වලං­ගුයි කියලා ඔබ හිත­න­වාද?

 

ඒත­රම්ම ප්‍රබල විදි­යට නොවු­ණත් එහි බල­පෑ­මක් තියෙ­නවා. ඉන්දි­යාව ගත්තොත් සම­රිසි අයි­තී­න්ව­ලට නීති­මය වලං­ගු­තා­වක් ලබා දීම මෑත­කදී සිදු­වුණු දැවැන්ත ක්‍රියා­මා­ර්ග­යක්. ඒ හින්දාම කලාවේ හා සාහි­ත්‍යයේ නිම්ව­ළලු වඩාත් පුළුල් වුණා. මිනිස්සු වඩාත් විවෘ­තව, නිද­හස්ව හිත­න්නට පෙළෙ­ඹෙන වාතා­ව­ර­ණ­යක් ඇති වුණා. තමන්ගේ ජීවිත අත්දැ­කීම් නොබි­යව ප්‍රකා­ශ­යට පත් කරන්න පුළු­වන් කමක් ලැබුණා. ඒත් අවා­ස­නා­ව­කට වගේ ලංකාවේ මේ කරුණු කාරණා විවෘ­තව කතා කරන පරි­ස­ර­යක් තව­මත් නිර්මා­ණය වෙලා නැහැ.

 

ලංකාව කියන කුඩා දූපත ඇතුළේ සිංහල දෙමළ කියන ජන ප්‍රජා­වන් සිය­වස් ගණ­නක් එකට ජීවත් වුණත් එකි­නෙ­කාගේ සාහි­ත්‍යය ගැන අපිට තියෙන්නේ බොහොම අඩු දැනු­මක්. ඇයි අපි මේ තරම් දුරස් වුණේ?

 

සර­ලම හේතුව අපේ භාෂාව. අපිට එකි­නෙ­කාගේ භාෂාව වටහා ගන්නට බැහැ. මේ නිසා අපිට එකි­නෙකා වටහා ගන්න­වත්, එකි­නෙකා ඉවසා දරා ගන්න­වත් බැහැ. පරි­ව­ර්ත­නය සාහි­ත­යය වැද­ගත් වන්නේ ඒ නිසයි.

 

ඔය විදියේ පරි­ව­ර්තන, ඒ වගේම වාර්ගික අන­න්‍ය­තාව පද­නම් කර­ගත්ත විවි­ධා­කාර කවි, සිංදු, සාහිත්‍ය කෘතීන් ලියැ­වෙ­නවා. ඒත් “එකම ශ්‍රී ලාංකීය ජාති­යක්” කියන අන­න්‍ය­තාව ඉස්මතු කර­මින් අපේ ලාංකීය සමා­ජය යළි ගොඩ නග­න්නට සිංහල හා දෙමළ සාහි­ත්‍ය­ධ­ර­යන් අතින් ප්‍රමා­ණ­වත් සේවා­වක් සිද්ධ වෙන­වාද?

 

මෙහෙ­මයි, ඔතැ­නදී කලා­ක­රු­වන් දේශ­පා­ල­නි­කව හිතන්නේ ඔය විදි­යට නෙමෙයි. ඔවුන්ට උව­මනා කරන්නේ තමන්ගේ කිසි­යම් අත්දැ­කීම් සමු­දා­යක් හෙළි­ද­රවු කර­න්නට විත­රයි. නව­ක­තා­වක් ලියද්දී තමන්ගේ නව­ක­තාව මගින් ලාංකීය ජාතිය එක­මුතු කිරී­මක් සිදු­විය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන්ට උව­මනා තමන්ට කිය­න්නට අවශ්‍ය දේ ලෝකයා හමුවේ තැබීම පම­ණයි. ෆනී­බෝයි ලියද්දී ඒ කාලය තුළ සිංහල දෙමළ ජන සමා­ජයේ සිදුවූ කැළ­ඹීම් විස්තර කෙරුණා. ඒ විස්තර කිරීම නව­ක­තා­වෙන් හෙළි­ද­රවු කර­න්නට මට උව­මනා වුණා. එයින් ඔබ්බට ගිය අපේ­ක්ෂා­වක් මට තිබුණේ නැහැ.

 

සිද්ධා­න්ත­යක් විදි­යට අපිට කියන්න පුලු­වන් තව දුර­ටත් අපේ රට තුළ යුද්ධ­යක් නැහැ කියලා. ඒත් තිත්ත ඇත්ත නම් සිංහල දෙමළ ජන ප්‍රජා­වන් අතර උණු­සුම් සහ­ගත සැබෑ එක­මු­තු­වක්, බැඳී­මක් තව­මත් ගොඩ නැගිලා නැහැ කියන එක. එක්තරා යුග­යක මේ ගැටුමේ ගොදු­රක් බවට පත්වෙච්ච ඔබ කොහො­මද මේ සමා­ජය යථා­ර්ථය දකින්නේ?

 

ඔව්, ඇත්ත. මං හිතන්නේ මේකට හේතුව සිංහල - දෙමළ දෙපා­ර්ශ්ව­ය­ටම නිවැ­රදි දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් නැති­වී­මයි. අපිට යහ­පත් දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් තියෙ­නවා කියලා මං හිතන්නේ නැහැ. මේ ගැන අපි දෙන්නට පුලු­වන් පැය ගණ­නා­වක් වුණත් කතා කරන්න.

යහ­පත් සමා­ජ­යක් ගොඩ නග­න්නට සිංහල දෙමළ ජාතීන් දෙක­ටම ලැබුණු අව­ස්ථා­වන් හැම එකක්ම ජාතීන් දෙක විසින්ම අවා­ස­නා­වන්ත විදි­යට පැහැර හැරියා, විනාශ කරලා දැම්මා. ඒකට නාය­ක­ත්වය ලැබිය යුතුව තිබුණේ ඉහ­ළම තැන්ව­ලින්. සිවිල් සමා­ජ­යට පුලු­වන් යම් යම් ක්‍රියා­මාර්ග ගන්න. ඒත් සැබෑ වශ­යෙන්ම නිද­හ­සක් නැතිව අපිට නිද­හස්ව හිත­න්නට බැහැ. මේක හරිම අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්. සැබෑ සාම­යක් වෙනු­වෙන් තිබුණු සියලු අව­ස්ථා­වන් අපේ දෑත් අත­රින් පෙනි පෙනීම මේ විදි­යට ගිලිහී යාම වේද­නා­කාරී දෙයක් විදි­යට මට දැනෙ­නවා.

 

ඔබේ ඔය පිළි­තු­රෙන් මට මේ විදියේ දෙයක් හිතට මතු­වුණා. 83 අවා­ස­නා­වන්ත කළු ජූලි­යෙන් පස්සේ රට තුළ මතු­වුණු අර්බු­දය ඔබේ වර්ගී­ක­ර­ණ­යට ලක්වෙන්නේ කොහො­මද? ඒක ත්‍රස්ත­වා­ද­යක්ද? බෙදු­ම්වා­ද­යක්ද? වාර්ගික අර්බු­ද­යක්ද? සිවිල් යුද්ධ­යක්ද? එහෙ­මත් නැති­නම් ආර්ථික විෂ­ම­තාව නිසා සිදු­වුණු නොවැ­ළැ­ක්විය හැකි සිදු­වීම් ජාලා­වක්ද?

 

මං හිතන්නේ සමන් ඔබ කිව්ව ඔය හැම දේකම එක­තු­වක් තමයි සිද්ධ වුණේ.

දේශ­පා­ල­ක­යන් හා සාමාන්‍ය ජන­තා­වගේ සිතුම් පැතුම් අතර දුර­ස්බ­වක් තිබුණා. ඒ වගේම දෙමළ ජන­තාව කෙරෙහි දේශ­පා­ල­නි­කව කිසි­යම් ආකා­රය හෙළා දැකී­මක් දීර්ඝ කාල­යක ඉදන් තිබුණා. ආග­මික හා වාර්ගික සුළු ජන කොටස් සම්බ­න්ධ­යෙන් දේශ­පා­ල­ක­යන්ගේ කොන් කිරී­මක් තිබුණා.

ආර්ථික විෂ­ම­තා­වත් ඒකට බල­පෑවා. කොටි සංවි­ධා­නය බිහි­වෙන්නේ මේ වගේ පසු­බ­මික් තුළයි. මං පෞද්ග­ලි­කව විශ්වාස කර­නවා ත්‍රස්ත­වාදී ව්‍යාපා­ර­යක් බිහි­වෙන්න මේ තත්ත්වය සෘජු­වම බල­පෑවා කියලා.

ඒත් මං කොහෙත්ම අනු­මත කරන්නේ නැහැ සිවිල් ජන­තාව ඝාත­නය කිරීම, ළමා සොල්දා­දු­වන් පව­ත්වා­ගෙන යාම. ඒත් මේ දේවල් වලට රජය ප්‍රති­චාර දක්වපු විලා­සය හරි­යට ගිර­යක් වගෙයි. මේ නිසා අන්ති­මේදී ලංකාවේ ජන­තාව ගිර­යට අහු­වුණු පුවක් ගෙඩි­යක් බවට පත්වුණා.

 

ඔබ ජීවත් වෙන කැන­ඩාවේ ඩය­ස්පෝ­රාව යුද සමයේ දී දැවැන්ත භූමි­කා­ව­කට පණ දුන්නා. අපි තාමත් දකි­නවා කැනේ­ඩි­යානු දෙමළ ඩය­ස්පෝ­රා­වෙන් කොට­සක් කැන­ඩාවේ ප්‍රධාන නග­ර­වල කොටි සංවි­ධා­න­යට පක්ෂ­ග්‍රාහී උද්ඝෝ­ෂණ හා රැළි පව­ත්ව­නවා. එල්ටී­ටීඊ හිත­වාදී මේ ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් සාමාන්‍ය දෙමළ ජන­තා­වගේ සැබෑ ජීවන අභි­ලා­ෂ­යන් හා ඔවුන්ගේ සැබෑ බලා­පො­රොත්තු නිරූ­ප­ණය වෙනවා කියලා ඔබ හිත­න­වාද?

 

නැහැ මම එහෙම හිතන්නේ නැහැ. මං එහෙම විශ්වාස කර­න්නෙත් නැහැ. ආර්ථික පීඩ­න­යෙන් ඉන්න මිනිස්සු රටේ ඉන්නවා රටින් පිට­වෙන්න විදි­යක් නැතිව.

ඒ අය වෙනු­වෙන් ආර්ථික පිළි­ස­ර­ණක් ලබා­දීම ඇරු­ණම ඔබට ඇත්ත­ටම යමක් කරන්න ඕනේ නම් ඇයි මෙහේ ඉදන් උද්ඝෝ­ෂණ කරන්නේ? ඔබට එහෙම අව­ශ්‍ය­තා­වත් තියෙ­නවා නම් රටට යන්න. රටට ගිහි­ල්ලයි ඒවාට විරු­ද්ධව නැගී සිටින්න ඕනේ.

 

අපි ආපහු සැර­යක් හැරෙමු අපේ සාහිත්‍ය සංවා­ද­යට. ෂ්‍යාම්, ඔබේ අලුත්ම නව­ක­තාව Hungry Ghosts බෞද්ධ සාහි­ත්‍යය හා බෞද්ධ සංකල්ප ඇසු­රෙන් ගොඩ නැගෙන නව­ක­තා­වක්. මේ පසු­බිම ඔබේ නිර්මාණ වලින් අපි මීට කලින් අත්වින්දේ නැහැ. දෙමළ හින්දු සංස්කෘ­තික පසු­බි­මක් මත උපත ලබා කතෝ­ලි­ක­යෙකු ලෙසින් හැදී වැඩෙන ඔබට බුදු­ස­මය මේ විදියේ බල­පෑ­මක් කළේ කොහො­මද?

 

මං හිතන්නේ මට ඇත්ත­ටම ඕන වුණා මගේ ජීවි­ත­යට කිසි­යම් ආකා­ර­යක තේරු­මක් එහෙ­මත් නැති­නම් අර්ථ­යක් හොයා ගෙන යන්න. එහෙම වුණේ ඇයි කියලා මං දන්නේ නැහැ. ඇත්ත­ටම කිය­නවා නම් දෙමළ ජාති­ක­යන් තුළ ආග­මක් විදි­යට බුදු­ද­හම ගැනත්, බෞද්ධ හිමි­ව­රුන් ගැනත් තියෙන්නේ තර­මක උදා­සීන ආක­ල්ප­යක්. එහෙම ආක­ල්ප­යක් තමන් තුළ තියෙ­න­වාය කියලා තමන් දන්නෙත් නැහැ, ඒත් ඇත්ත­ටම එහෙම දෙයක් තමන් තුළ තියෙ­නවා. මේ අතරේ මට කිය­වන්න ලැබුණා කැරන් ආම්ස්ට්‍රෝන් (Karen Armstrong) ලියපු Buddha කියන පොත. ලංකාවේ ඉන්න කාලයේ මං දැන­ගෙන හිටිය බුදු­ද­හ­මට වඩා වෙනස් දැක්මක් මං ඒ පොතින් දැක්කා. ඒ නිසා තව­දු­ර­ටත් බුදු­ද­හම ගැන කිය­වන්න පෙළ­ඹු­ණාම මට තේරුණා බුදු­ද­හම කියන්නේ මං හිතා­ගෙන හිටිය දේව­ල්ව­ලට වඩා වෙනස් දෙයක් කියලා. ඒ හැම දෙයක්ම මගේ ජීවි­ත­යට කිසි­යම් අර්ථ­යක් වැට­හී­මක් ගෙන දුන්නා. මං වඩාත්ම ඇළුම් කරන්නේ බුදු­ද­හමේ තියෙන තාර්කික බවට. ඒ තාර්කික බව මට සමීප වුණා. දෙවි­යන් විශ්වාස කිරීම හෝ නොකි­රීම ඔබේ කාර්ය­යක්. ඒත් බුදු­ද­හම කියන්නේ එයින් ඔබ්බට යන දෙයක්. මට බුදු­ද­හම කියන්නේ ජීවි­තයේ සතුට ළගා­ක­ර­වන දර්ශ­න­යක්. මේ ලෝකය තුළ සතුට ළගා කර­ගන්නේ කොහො­මද කියන කාර­ණා­වට බුදුන් උත්තර දෙන්නේ ඔබ සතුව තියෙන ආසා­වන් අත්හැර දමන්න කිය­ලයි. ඒක බොහොම වැද­ගත් දෙයක්. විශේ­ෂ­යෙන්ම භෞතික දේවල් ගැන තියෙන ආසා­වන් අත්හැ­රලා දැමීම. මං බොහො­ම­යක් පන්සල් ආරාම වලට ගියා. ථෙර­වාද වලට වඩා මහා­යාන ඒවාට. භාවනා කළා. ඒවා­යේදී පාලි­ව­ලින් ලියැ­වුණු පාඨ කිය­වන්න ලැබුණා. වඩාත් යහ­පත් ජීවි­ත­යක් පව­ත්වා­ගෙන යන්නේ කොහො­මද කියලා වටහා ගන්න මට ඒ දේවල් උදව් වුණා. මං දන්නවා බුදු­ද­හම කියන්නේ ලංකාවේ නම් ආග­මක්. ආග­මක් විදි­යට පව­ත්වා­ගෙන යන්න විවි­ධා­කාර ලංකාවේ දේවල් සිද්ධ වෙනවා. එත් මං කැමැති ඒකට නෙමෙයි. බුදු­ද­හමේ තියෙන දර්ශ­න­යට. ඒ නිසා මං උත්සාහ කරන්නේ ධර්මය අනු­ග­ම­ණය කර­න්නයි. බුදු­ද­හමේ මූලික දහම් කරුණු සමීප කර­ගන්න. ඒක මගේ ජීවි­ත­යට සහ­න­යක්. හැම­දාම උදේට මං භාවනා කර­නවා. බුදු­ද­හමේ දර්ශ­නය ඒ විදි­යට මගේ ජීවි­ත­යට ආස්වා­ද­යක් සප­ය­නවා වගේම තමයි අනෙක් පැත්තෙන් ගත්තොත් බෞද්ධ කතා­න්දර මාව ආක­ර්ශ­න­යට ලක්ක­ර­නවා. බුදු­ද­හමේ දාර්ශ­නික මත­වාද බෞද්ධ කතා­න්දර තුළින් ඉස්මතු කරන ස්වරූ­ප­යට මං ඇළුම් කර­නවා.

 

ඔබේ Hungry Ghost කෘතිය ඔය කිව්ව ජාතක කතා­න්දර එක්ක කර්මය, පුන­රු­ප්ප­ත්තිය වගේ සංකල්ප ප්‍රධාන කතා තේමා­වත් එක්ක බද්ධ කර­ගෙන තියෙ­නවා. මේ ගැන තව දුර­ටත් පැහැ­දිලි කිරී­මක් කළොත්...?

 

Hungry Ghost නව­ක­තා­වෙන් මං උත්සාහ කළා බෞද්ධ ජාතක කතා­න්දර එක්තරා විදි­ය­කින් ගෙන­හැර පාන්න. ඒ විදියේ කතා­න්දර මගේ ලේඛන කලා­වට බද්ධ කර­ගෙන අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යාමේ ක්‍රියා­ව­ලියේ කොට­සක් තමයි ඒ. මං පුද්ග­ලි­ක­වම කර්මය විශ්වාස කර­නවා. ඔබ කරන කියන හැම දේකම ප්‍රති­ඵ­ලය ඔබට බලා­පො­රොත්තු වෙන්න සිද්ධ වෙනවා. යහ­පත් ක්‍රියා­වක් කළත් අය­හ­පත් ක්‍රියා­වක් කළත් එයට ප්‍රති­වි­පා­ක­යක් තියෙ­නවා, දැන් හරි පස්සේ හරි ඒක සිද්ධ වෙනවා. පුන­රු­ප්ප­ත්තිය මට විශ්වාස කරන්න පුළු­වන්ද නැතිද කියන කාර­ණාව ගැන මට නිශ්චි­තව කියන්න බැහැ. ඒත් මං කර්මය විශ්වාස කර­නවා.

 

මං හරි­ය­ටම දන්නේ නැහැ ඔබේ නිර්මා­ණ­ව­ලින් ඔබේම පුද්ග­ලික ජීවි­තය කොයි තරම් දුරට හෙළි­ද­රවු වෙන­වාද කියලා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙ­න­වාද ඔබේම ජීවි­තයේ සිදු­වීම් ඉස්මතු වෙන විදියේ නිර්මා­ණ­යක් කරන්න? 83 අදුරු කාල පරි­ච්ඡේ­දයේ දී ඔබේ පවුල වගේම ඔබේ නෑ හිත මිතු­රන් මුහුණ දුන් සැබෑ සිද්ධීන් ඇසු­රින් නිර්මා­ණ­යක් කරන්න?

 

මගේ නිර්මා­ණ­ව­ලින් ඉස්මතු වෙන්නේ මගේම ජීවන අත්දැ­කීම්. ඒත් ඒ ස්වයං චරි­තා­ප­දා­න­යක් විදි­යට නෙමෙයි.

කතා වස්තුව සහ ඒ ඒ චරිත වලට වඩා ඒවායේ සිදු­වීම්, කාලය, ස්ථානය, භාව­මය හැඟීම් වගේ දේවල් මගේම ජීවිත අත්දැ­කීම්. උදා­හ­ර­ණ­යක් විදි­යට ෆනී බෝයි කියන නව­ක­තාව ගත්තොත් ඒකේ ප්‍රධාන චරි­තය දෙමළ තරු­ණ­යෙක්. ඔහුගේ මවත්, පියාත් දෙමළ. ඒත් මගේ අම්මා සිංහල, තාත්තා දෙමළ.

එතැ­නම වෙන­සක් තියෙ­නවා. මගේ අම්මා වෛද්‍ය­ව­රි­යක්. ඒ නිසාම නිවසේ කිසි­යම් තත්ත්ව­යක්, බල­යක් ඇය සතුව තිබුණා. ඒත් නව­ක­තාවේ අම්මාට එහෙම බල­යක් නැහැ.

ඇය ගෘහ­නි­යක් විත­රයි. කලා­වට මගේ තිබුණු කැමැත්ත දැක්ක නිසා මගේ දෙම­ව්පි­යන් මාව පුංචි කාලයේ ඉදන්ම කලා කට­යු­තු­ව­ලට යොමු කළා. ඒත් නව­ක­තාවේ චරි­ත­යට එහෙම අව­ස්ථා­වක් නැහැ.

 

ඔබව කම්ප­න­යට පත්ක­රපු, එහෙ­මත් නැති­නම් ඔබේ ජීවි­තය වෙන­ස­කට ලක් කරපු නව­ක­තා­වක් ඔබට නම් කරන්න පුලු­වන්ද?

 

ඔව්, මගේ ජීවි­තය වෙනස් කළාම කියලා කියන්න බැරි වුණත් අනිටා දේසායි (Anita Desai) ගේ “Clear Light of Day” එහෙම පොතක්. දිල්ලියේ පවු­ලක් පද­නම් කර­ගත්ත කතා­වක් ඒක. ඒ පවුල මගේ පවු­ලට සමී­පයි.

එයාලා තර­මක් බට­හිර පන්නයේ වුණත්, තමන්ගේ සංස්කෘ­තික රාමු­වට බද්ධ­වෙලා ජීවත් වෙච්ච අය. රටේ වාර්ගික අර්බු­දය ගැනත් ඇය කතා කර­නවා. මේ පොත කිය­වද්දී මටත් හිතුණා ඒ ගැන යමක් මටත් ලියන්න තියෙ­නවා කියලා.

 

සාහිත්‍ය ලෝක­යෙන් බැහැ­රව ගත්තම ඔබේ ජීවි­ත­යට උත්තේ­ජ­න­යක් සප­යපු එහෙ­මත් නැති­නම් ඔබට බල­පෑ­මක් කරපු කිසි­යම් චින්ත­ක­යෙක්, දාර්ශ­නි­ක­යෙක් හෝ ඔබ අනු­ග­ම­නය කරන කිසි­යම් ආද­ර්ශ­වත් චරි­ත­යක් (role model) තියෙ­න­වාද?

 

හ්ම්ම්...නැහැ

 

කළු ජූලි­යට පස්සේ උදා­වෙච්ච 36 වැනි වස­රයි මේ දැන් අපි ගත කරන්නේ. ඒත් මෑත­කදී ලංකාවේ ඇතිවූ සිදු­වී­ම්ව­ලින් පෙනී යන්නේ වාර්ගික පීඩ­නය කවර මොහො­තක, කවර අව­ස්ථා­වක, කොතැ­න­කදී වුණත් අපේ දූපත තුළ පුපුරා යන්නට ඉඩ තියෙන බවයි. මොකක්ද ඔබට හිතෙන්නේ... ශ්‍රී ලාංකි­ක­යන් විදි­යට යහ­පත් අනා­ග­ත­යක් ගැන බලා­පො­රො­ත්තු­වක් තබා ගන්න අපිට පුළු­වන්ද?

 

අපි හැමෝම ශ්‍රී ලාංකි­කයෝ. ඒ හින්දා අපිට ශ්‍රී ලාංකි­ක­යන් විදි­යට යහ­පත් බලා­පො­රො­ත්තු­වක් තියා ගන්නට ඕනේ වෙනවා. නැති­නම් කොහො­මද රටක් විදි­යට අපි ඉදි­රි­යට යන්නේ? කොයි කවර දෙයක් සිද්ධ වුණත් යහ­පත් අනා­ග­ත­යක් ගැන බලා­පො­රොත්තු නැති කර­ගත යුතු නැහැ.

 

තර­මක කාල­යක් නිහ­ඩව ඉදලා හිටි­හැ­ටි­යේම Hungry Ghost සම­ගින් පැමිණි ඔබ සාහිත්‍ය ලෝකය තුළ විප්ල­වීය කැළ­ඹී­මක් ඇති කළා. නිහ­ඩව ගෙවී යන මේ කාල­සී­මාව ඇතු­ළේ­දීත් එවැ­නිම දෙයක් ගැන බලා­පො­රොත්තු තියා­ගෙන ඉන්න අපිට පුලු­වන්ද?

 

ඔව්... මගේ අලුත් පොත ඉවර කරන්න සෑහෙන කාල­යක් ගෙවිලා ගියා. පොතක් ලියද්දී ඒ ගැන කතා කරන්න මං කැමැති නැහැ. මං දැන් මගේ අලුත් පොත නිමා කර­මි­නුයි ඉන්නේ.

 

 

ඡායාරූප කෙවින් කෙලී

Comments