ලෝකයේ බිහි­සු­ණුම ත්‍රස්තයා කොටු කළ අහ­ම්බ­යෙන් ඇසුණු දුර­ක­තන සංවා­ද­යක් | Page 3 | සිළුමිණ

ලෝකයේ බිහි­සු­ණුම ත්‍රස්තයා කොටු කළ අහ­ම්බ­යෙන් ඇසුණු දුර­ක­තන සංවා­ද­යක්

 

 

9/11 හෙවත් මනු­ෂ්‍ය­ත්වයේ මළ­ගම (1 කොටස) 
 

2001 වසරේ සැප්තැ­ම්බර් මස 11 දින ඇම­රි­කාවේ බොස්ටන්හි අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­ප­ළින් උදෑ­සන 7.45ට ගුව­න්ගත වූ ඇම­රි­කන් එයාර් ලයින් ගුවන් සමා­ගමේ බෝයිං 767-223 ER මඟී ගුවන් යානය ටිකින් ටික ඉහළ අහ­සට එස­වෙ­මින් තිබිණි. මඟීන් 151 දෙනෙ­කුට ආසන පහ­සු­කම් තුබූ එම යානයේ එදින ගමන් කළේ 81 දෙනෙකු පමණි. එම මඟීන් අතර එව­කට ලොව භයා­න­කම ත්‍රස්ත සංවි­ධා­න­යක් වූ අල්ක­යිඩා සංවි­ධා­නයේ ආත්ම­ඝා­තක ත්‍රස්ත­වා­දීහු පස් දෙනෙක් ද වූහ. ගුව­න්යා­නයේ කාර්ය­ම­ණ්ඩ­ලයේ සේවක සේවි­කාවෝ එකො­ළොස් දෙනෙක් ද යානයේ රාජ­කාරි කට­යු­තු­වල නිර­තව සිටි­යහ.

 

යානය ගුවන්ගත වී විනාඩි තිහ­කට පමණ පසු සිය අසු­නින් නැඟී සිටි එක් ත්‍රස්ත­වා­දි­යෙක් උස් හඬින් අරාබි භාෂා­වෙන් යමක් ප්‍රකාශ කළේ ය. එසැ­ණින් ඉදි­රි­යට ආ තවත් ත්‍රස්ත­වා­දීන් සිව් දෙනෙකු මඟීන් වෙත අවි අමෝරා නොසෙල්වී සිටින ලෙස අණ කළේ, ඉංග්‍රීසි භාෂා­වෙනි. මඟීන් කල­බල වූ අතර ඔවුන් පාල­නය කර­ගැ­නීම සඳහා ත්‍රස්ත­වා­දීහු වෙඩි තැබූහ. එහි දී එක් මඟි­යෙක් මරු­මු­වට පත් විය. තවත් කිහි­ප­දෙ­නෙ­කුට බර­ප­තළ තුවාල සිදු විය. ඒ අව­ස්ථාවේ දී යානයේ නියමු කුටියේ දොර කැඩූ එක් ත්‍රස්ත­යෙක් ඊට ඇතුළු විය. ඒ සියල්ල එසේ වෙද්දී යානයේ සිටි ගුවන් සේවි­කා­වන් දෙදෙ­නෙක් තම ජංගම දුර­ක­ථන ඔස්සේ තමන් මුහුණ දී ඇති අව­දා­නම ගැන ගුවන් සමා­ගමේ ප්‍රධාන කාර්යා­ල­යට දන්වා සිටි­යහ.

ආයුධ පෙන්වා ගුවන් නිය­මු­වන් බිය­වද්දා යානයේ පාල­නය සිය­තට ගත් ත්‍රස්ත­වාදි ගුවන් නියමු මොහො­මඩ් අක්තාර් ගුවන් යානය නිව්යෝක් නග­රය වෙත පියා­සර කර­වීය. පොළොවේ සිට අඩි 5000 ක් පමණ ඉහ­ළින් පියා­සර කළ යානය දුටු බොහෝ දෙනකු තුළ කුකු­සක් ඇති විය. ඒ එවැනි විශාල ගුවන් යාන­යක් මෙත­රම් පහ­ළින් කිසි විටක ගමන් නොක­රන නිසා ය. පැයට සැත­පුම් 465ක වේග­යෙන් පද­වා­ගෙන ආ යානය ත්‍රස්ත­වාදී ගුවන් නිය­මුවා එදින උදෑ­සන 8.46ට නිව්යෝක් නග­රයේ පිහිටි ලෝක ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ උතුරු කුලුන වෙත යොමු කළේ ය.

හෙණ හඬක් සමඟ මහා අග්නි­ජා­ලා­වක් උත්පා­ද­නය කර­මින් ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ 93 - 99 මහල් අතර ගැටුණු යානය පුපුරා ගියේ ය. යානයේ ගබඩා කොට තුබූ ලීටර් 35000ක් පමණ වූ ඉන්ධන පහළ මාල­ව­ලට කාන්දු වීම නිසා ගින්නේ ව්‍යාප්තිය ඉක්මන් විය. ගිනි නිවන හමු­දාව හා පොලී­සිය විනාඩි කිහි­ප­යක දී එම ස්ථාන­යට පැමි­ණිය ද සිදුව ඇත්තේ කුමක් දැයි කළ යුත්තේ කුමක් දැයි වට­හා­ගැ­නී­මට ඔවුන්ට ද දුෂ්කර විය.

ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ උතුරු කුලුනේ ඉහළ මාල එකො­ළ­හක 1350ක පමණ පිරි­සක් කොටු වී සිටි අතර විදු­ලි­සෝ­පාන අක­ර්මණ්‍ය වීම නිසා ඔවුන් ගල­වා­ගැ­නී­මට ක්‍රම­යක් නොවී ය. ගින්නත් සමඟ ඇති වූ ගන දුමා­රය ආඝ්‍රා­ණය කළ පිරිස ද ටික වේලා­වක දී අවා­ස­නා­වන්ත ලෙස මෙලො­වින් සමු­ගත්හ.

උදෑ­සන 9.06 පමණ ලෝක ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ දකුණු කුලුන වෙතට වේග­යෙන් හඹා එන තවත් මඟී ගුව­න්යා­න­යක් දැක­ගත හැකි විය. සිදු වන්නේ කුම­ක්දැයි වට­හා­ගැ­නී­මට පෙර පැයට සැත­පුම් 500ක වේග­යෙන් පැමිණි යුන­යි­ටඩ් එයාර් ලයින් සමා­ග­මට අයත් බෝයිං 757 - 222 මඟී ගුව­න්යා­නය ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ දකුණු කුලුනේ දකුණු පස ගැටිණි. ගොඩ­නැ­ගිල්ල තුළට කිඳා­ගිය යානය එහි උතුරු මුහු­ණ­තින් එළි­යට පැමි­ණෙද් දී යානයේ පූර්ව කොටස පහළ වූ ගොඩ­නැ­ගිලි මතට කඩා වැටිණි.

සංත්‍රා­ස­යට පත්වූවෝ හිස් ලූ ලූ අත දිව ගියහ. එහිදී ඇති වූ තද­බ­දය නිසා බොහෝ දෙනෙක් ආබා­ධිත තත්ත්ව­යට ද පත් වූහ. විනාඩි 56 කට ආසන්න කාල­යක් ගිනි­ගෙන දැවුණු ලෝක ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ දකුණු ගොඩ­නැ­ගිල්ල උදෑ­සන 10ට පමණ වන විට කඩා වැටුණේ අවට පිහිටි තව බොහෝ ගොඩ­නැ­ගිලි ද විනාශ කර­මිනි. පැය 11/2ක අධි­කට කාල­යක් ගිනි­ගත් උතුරු ගොඩ­නැ­ගිල්ල උදෑ­සන 10.28 ට මිහි­මත පතිත වූයේ පෙර ගොඩ­නැ­ගිල්ල මෙන්ම අවට පිහිටි වෙනත් ගොඩ­නැ­ගිලි රාශි­යක් ද කඩා බිඳ දම­මිනි.

ඒ සියල්ල එලෙස සිදු වෙද්දී උදෑ­සන 8.20ට කැලි­ෆෝ­නි­යාවේ ලොස් ඇන්ජ­ලීස් නුවර වෙත ගමන් කර­මින් තුබූ ඇම­රි­කන් එයාර් ලයින් සමා­ගමේ තවත් ගුවන් යාන­යක් ද අල්-කයිඩා ත්‍රස්ත­වා­දීන් විසින් පැහැර ගනු ලැබී ය. එම යානය උදෑ­සන 9.37ට වොෂි­න්ටන් නග­රයේ පිහිටි පෙන්ට­ග­නයේ (රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය පිහිටි ගොඩ­නැ­ගිල්ල) බට­හිර ගොඩ­නැ­ගිලී සංකී­ර්ණයේ ගැටී­මට සැලැ­ස්වී­මට ත්‍රස්ත­වා­දීහු ක්‍රියා කළහ. එම ගැටීම නිසා පෙන්ට­ග­නයේ බට­හිර ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය සම්පූ­ර්ණ­යෙන් ම විනාශ විය. යානාවේ ගම­න්ගත් මඟීන් 57 දෙනා ද ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ සේවය කළ නිල­ධා­රීහු 125 දෙනෙක් ද එහි දී මරු­මු­වට පත් වූහ. තුවාල ලැබූ­වන්ගේ ප්‍රමා­ණය ද විශාල විය.

එදි­නම අල් කයිඩා ත්‍රස්ත­වා­දීන් නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවාක් ගුව­න්තො­ටු­ප­ළින් ගුව­න්ගත වූ තවත් මඟී ගුව­න්යා­න­යක් පැහැ­ර­ගත්ත ද යානාවේ ගම­න්ගත් මඟීන් හා කාර්ය­ම­ණ්ඩ­ලය ඔවුන් සමඟ ගැටීම නිසා ත්‍රස්ත­වා­දීන්ට තමන්ගේ අපේ­ක්ෂිත ඉල­ක්කය සපු­රා­ගැ­නී­මට නොහැකි විය. නිසි ලෙස පාල­නය කර­ගැ­නී­මට නොහැකි වූ යානය අව­සා­නයේ දී පෙන්සි­ල්වේ­නි­යාවේ කෙත්යා­ය­කට කඩා වැටු­ණේය. යානයේ ගම­න්ගත් මඟීහු සියලු දෙනාත් කාර්ය­ම­ණ්ඩ­ලය හා ත්‍රස්ත­වා­දීහු සිව්දෙ­නාත් එහිදී ජීවි­ත­ක්ෂ­යට පත් වූහ.

එම ප්‍රහාර මාලා­වෙන් 3000කට අධික ඇම­රි­කානු ජන­තා­වක් මිය­ගිය අතර ඊට වඩා වැඩි පිරි­සක් දරුණු තුවා­ල­ව­ලට ලක් වූහ. සිදු වූ සම්පත් විනා­ශය ඩොලර් බිලි­යන දහස් ගණ­නක් වූ අතර ඇම­රි­කානු ආර්ථි­කය කෙටි කල­කට බෙහෙ­වින් අක­ර්මණ්‍ය වූයේ ය. රක්ෂණ සමා­ග­ම්ව­ලට වන්දි­ගෙවා ගැනී­මට නොහැකි වූ අතර ගුවන් ගම­න්වල යෙදී­මට ඇම­රි­කානු ජනයා බිය වීම නිසා ගුවන් සමා­ගම් ද විශාල මූල්‍ය අර්බු­ද­ය­කට මුහුණ පෑවේ ය.

ඒ සිය­ල්ල­ටම වඩා ඇම­රි­කාවේ යුද ශක්තිය පිළි­බඳ ලෝකයේ අනෙ­කුත් රට­වල තුබූ පිළි­ගැ­නීම බිඳ­වැ­ටීම ඇම­රි­කා­වට දරා­ගත නොහැකි විය. දින කිහි­ප­යක් තුළ එව­කට ඇම­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා වූ ජොර්ජ් බුෂ් ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ගෝලීය විරෝ­ධතා ව්‍යාපා­ර­යක් දියත් කළේ, ඝාත­න­යට ලක් වූ ඇම­රි­කානු ජන­යාට සාධා­ර­ණ­යක් ඉටු­ක­රන බවට පොරොන්දු වෙමිනි. එම ක්‍රියා­වට වග­කිය යුත්තේ ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ නාය­ක­ත්වය යටතේ ක්‍රියා­ත්මක වන අල්-කයිඩා සංවි­ධා­නය බව ඇම­රි­කාව ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළේ ය.

 

 

බින් ලාඩන්

 

ඔසාමා බින් මොහො­මඩ් බින් අවඩ් බින් ලාඩන් සවුදියේ රියාද් නුවර දී උපත ලැබුවේ 1957.05.10 දින ය. ඉතාම ධන­වත් ව්‍යාපා­රි­ක­යකු වූ ඔසා­මාගේ පියා යේම­නයේ උපත ලැබූ­වෙකි. මව සිරි­යානු කාන්තා­වක් වූවා ය. සවුදි රජ පවුල සමඟ පවා සමීප සබ­ඳතා පැවැත්වූ බින් ලාඩන්ගේ පවුල වාර්ෂි­කව තම ව්‍යාපා­ව­ර­ලින් අතිවිශාල ධන­ස්ක­න්ධ­යක් ඉපැ­යීය. “කිං අබ්දු­ල්ලා­සිස්” පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන සමයේ දී ඔසාමා මුස්ලිම් අන්ත­වාදී ආග­මික චින්ත­න­යට නැඹුරු විය. 1979 ඔසාමා මුජ­හි­ඩීන් විමුක්ති සංවි­ධා­න­යට බැඳී ඇෆ්ග­නි­ස්තා­න­යෙන් සෝවි­යට් හමුදා පලවා හැරී­මට සටන් කළේ ය. එම සටන් සඳහා ඇම­රි­කානු ආධාර මුජ­හි­ඩීන් සංවි­ධා­න­යට හිමි විය.

මුජ­හි­ඩීන් සංවි­ධා­නය තුළ දී ඔසා­මාගේ අද­හස් ඉහ­ළින් පිළි­ගත්තේය. තම සතුරු රට­වල සාමාන්‍ය වැසි­යන් ඝාත­නය කිරීම සාධා­ර­ණී­ක­ර­ණය කළ ඔසාමා ඇම­රි­කාව වැනි ඉස්ලාම් විරෝධී රට­වල ආර්ථි­කය විනාශ කිරීම එම රට­ව­ලට විරු­ද්ධව සිදු කළ හැකි හොඳම සටන බව පැව­සීය. 1988 දී අල්-කයිඩා සංවි­ධා­නය පිහි­ටුවා ගැනීම නිසා ඔසාමා බින් ලාඩන් සවුදි­යෙන් පිටු­ව­හල් කළේ ය. එය ඇම­රි­කානු අව­ශ්‍යතා මත සිදු වූවක් බව විශ්වාස කළ ඔසාමා ඇම­රි­කා­වට විරු­ද්ධව සට­නට පිවි­සියේ ය.

අල් කයිඩා සංවි­ධා­නය ඇම­රි­කාවේ තානා­පති කාර්යාල සහ අනෙ­කුත් වැද­ගත් රාජ්‍ය ආය­තන අවස්ථා ගණ­නා­වක දී ම බෝම්බ අටවා විනාශ කළේ ය. එහෙත් ලෝක ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට හා පෙන්ට­ග­න­යට ප්‍රහාර එල්ල කොට විනාශ කිරී­මෙන් අන­තු­රුව එය තම සංවි­ධා­නයේ ක්‍රියා­වක් බව ක්ෂණි­කව පිළි­ගැ­නී­මට ඔසාමා පසු­බට විය. ඇම­රි­කාව මහා පරි­මාණ අල්-කයිඩා විරෝධී සට­න­කට සැර­සෙන බව වට­හා­ගත් ඔසාමා තමා එතෙක් රැඳී සිටි ඇෆ්ග­නි­ස්තාන­යෙන් ද ඉවත් වී පාකි­ස්තාන ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ පාකි­ස්තානු දුරස්ථ ගම්වල අප්‍ර­ක­ටව වාසය කිරීම ආරම්භ කළේ ය.

අව­සා­නයේ දී ඔහු වාසය කළ ඇබො­ටා­බාද් ගොඩ­නැ­ගි­ල්ලට ස්ථිර පදිං­චිය සඳහා පැමිණ ඇත්තේ 2004 වසරේ දී පමණ ය. සැප්.11 ප්‍රහාරයෙන් අවු­රුදු පහ­කට පසුව 2006 වසරේ දී ඔසාමා බින් ලාඩන් 2001.09.11 දින ඇම­රි­කා­වට ආත්ම­ඝා­තක ප්‍රහාර මාලාව එල්ළ කළේ තම සංවි­ධා­නය බව ප්‍රසි­ද්ධියේ පිළි­ගත්තේ ය.

එම ප්‍රකා­ශ­යෙන් අන­තු­රුව ඇම­රි­කානු ඔත්තු­සේවා ඔසාමා සොයා­ගැ­නීම පිණිස එතෙක් සිදු කර­මින් සිටි සියලු ව්‍යාපෘතී වේග­වත් කළේ ය. ඔසාමා රැඳී සිටින තැන නිශ්චි­තව පව­ස­න්න­කුට ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 25ක් ප්‍රදා­නය කරන බව ද දැන්වීය. ඇම­රි­කාව ආරම්භ කළ ගෝලීය ත්‍රස්ත­වා­ද­යට එරෙහි සට­නට ලෝකයේ බොහෝ රට­වල් ඍජුව හෝ වක්‍රව හෝ තම සහාය පළ කළේ ය. ඒ නිසා කෙටි කාල­යක දී ඇෆ්ග­නි­ස්තා­නය පාල­නය කළ තලෙ­යි­බාන් ත්‍රස්ත සංවි­ධා­නය පන්නා දමා එරට තුළ යළිත් සිවිල් පාල­න­යක් ඇති කිරී­මට ඇම­රි­කාව ක්‍රියා කළේ ය.

එහෙත් ඔසාමා බින් ලාඩන් සොයා­ගැ­නීම පහසු නොවී ය. තලෙ­යි­බාන් සංවි­ධා­නය ඇෆ්ග­නි­ස්තා­නයේ දී පරා­ජය වීම ඔසා­මාගේ අල්-කයිඩා සංවි­ධා­න­යට වැදුණු මරු­ප­හ­රක් විය. තලෙ­යි­බාන් සංවි­ධා­නය හා අල්-කයිඩා සංවි­ධා­නය අතර දැඩි සබ­ඳ­තා­වක් පැවැ­තීම එයට හේතු විය.

 

 

පාපො­ච්චා­ර­ණය

 

ඇම­රි­කානු රහස් ඔත්තු සේවා එක් මිනි­සෙක් සොයා මානව ශිෂ්ටා­චා­රයේ සිදු කළ විශා­ලම ක්‍රියා­න්වි­තය ආරම්භ කොට වසර හතක් ගෙවී ගිය ද ඔසාමා සොයා­ගැ­නීම පහසු නොවී ය. ඇම­රි­කාව දිගින් දිග­ටම අති විශාල ධන­යක් ඒ පරී­ක්ෂණ සඳහා වැය කළේ තම රටේ කීර්ති නාමය රැක­ගැ­නීම සඳහා ය. 2007 අවු­රුද්දේ දී ඇෆ්ග­නි­ස්ථා­නයේ දී අත්අ­ඩං­ගු­වට පත් වූ අල්-කයිඩා සංවි­ධා­නයේ ඉහළ පෙළේ ක්‍රියා­කා­රීන් කිහි­ප­දෙ­න­ක්ම සිය පාපො­ච්චා­ර­ණ­වල දී ඔසාමා බින්ලා­ඩන් සමඟ කිට්ටු සබ­ඳතා පව­ත්වන කුන්යා අබු අහ­මඩ් අල් කුවෙ­යිටි (Kunya Abu Ahamad Al Kuwaiti) නම් සාමා­ජි­ක­යකු ගැන තොර­තුරු හෙළි කළහ.

ඒ ඔස්සේ පරී­ක්ෂණ මෙහෙයවූ ඇම­රි­කානු බුද්ධි අංශ එම පුද්ග­ලයා අල්-කයිඩා සංවි­ධා­නයේ ප්‍රබ­ල­යකු බව සොයා­ගත්ත ද ඔහු සිටින තැනක් ගැන කිසිදු හෝඩු­වා­වක් නොවී ය.

පාකි­ස්තාන බුද්ධි අංශ සැපැයූ තොර­තු­රු­ව­ලට අනුව එම පුද්ග­ල­යාගේ නියම නම ඊබ්‍ර­හිම් ෂෙයිඩ් අහ­මඩ් විය. පසුව සොයා­ගත් පරිදි ඔහු සතුව පැවැති පාකි­ස්තානු හැඳු­නු­ම්පත ද ව්‍යාජ නිර්මා­ණ­යක් බව හෙළි විය. මේ අතර ඇම­රි­කානු ඔත්තු සේවා­ව­ලට 2010 වසරේ දී අහ­ම්බෙන් එම පුද්ග­ලයා තම මිතු­රකු සමඟ කළ දුර­ක­තන සංවා­ද­ය­කට සව­න්දී­මට හැකි විය. ඉන් පසුව එම වැද­ගත් අල්ක­යිඩා සාමා­ජි­කයා පිළි­බඳ බොහෝ තොර­තුරු සප­යා­ගැ­නීම ඇම­රි­කානු බුද්ධි අංශ­ව­ලට දුෂ්කර නොවී ය.

එම පුද්ග­ල­යාගේ ගමන් බිමන් ගැන දීර්ඝ වශ­යෙන් සිදු කළ අධ්‍ය­ය­න­වල දී ඔහු පාකි­ස්තා­නයේ ඇබො­ටා­බාද් නගර මධ්‍ය­යට කි. මී. 2.5 ක් ඊසාන දෙසින් වූ තෙම­හල් නිව­ස­කට නිර­තු­රුව යන එන බව අනා­ව­ර­ණය වූයේ ය. එම නි‍ෙව­සට යා යුතු වූ මාර්ගය වැටී තිබුණේ බෙහෙ­වින් අප­විත්‍ර වූ බිම් පෙදෙ­සක් මධ්‍ය­යෙනි. අවට වූ අනෙක් නිවෙස සමඟ සැස­ඳීමේ දී මෙහි මතුව පෙනෙන විශේ­ෂතා රාශි­යක් ද වූයේ ය. තෙම­හල් නිවස සාදා තිබූ භූමිය, අවට අනෙක් නිවාස සාදා තුබූ භූමි සමඟ සැස­ඳීමේ දී අට­ගු­ණ­යක් විශාල විය. ගෙවත්ත වටා වූ කොන්ක්‍රීට් තාප්පය අඩි 12 - 18ක් පමණ උස් විය.

ඒ මත කටු­කම්බි වැටක් ද ඉදි කොට තුබූ අතර එහි උස අඩි 3ක් පමණ විය. තාප්ප­යට සම්බන්ධ වූ ගෙට්ටු දෙක කිසිම අව­ස්ථා­වක විවෘ­තව තිබෙනු දුටු අස­ල්වැ­සි­යෙක් නොවී ය. එම නිසා මෙහි වාසය කරන්නේ කවු­රු­න්දැයි ඔවුහු නොදැන සිටි­යහ. තුන්වන මහල වටා වූ බැල්ක­නි­යද මීටර් දෙක­කට වඩා උස් වූ ආව­රණ බිත්ති­ය­කින් වට වී තිබීම නිසා එහි වෙසෙ­න්නන් අස­ල්වා­සීන්ට දැක­ගැ­නී­මට කිසිදු අව­ස්ථා­වක් නොවී ය.

දුර­ක­තන පහ­සු­කම් හෝ ඉන්ට­ර්නෙට් පහ­සු­කම් හෝ එම නි‍ෙව­සට ලබා­ගෙන නොති­බිණි. 1999 වසරේ දී බින් ලාඩන්ගේ ජංගම දුර­ක­ත­නය ඔස්සේ ඔහු සිටි ස්ථානය තහ­වුරු කොට ගෙන ඇම­රි­කානු හමුදා ඇෆ්ග­නි­ස්තා­නයේ ඔහු රැඳී සිටි ස්ථාන­යට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළේ ය. එදින ඔහුගේ ජීවි­තය බේරුණ ද සිදු වූ හානිය විශාල වූයේ ය. එනිසා එදින සිට බින් ලාඩන් කිසිම අව­ස්ථා­වක දුර­කතන පාවිච්චි නොකළේ ය.

ඇම­රි­කානු බුද්ධි අංශ චන්ද්‍රිකා ඡායා­රූප ආශ්‍ර­යෙන් ද එම නි‍ෙවස පිළි­බඳ දීර්ඝ විශ්ලේ­ෂ­ණ­යක් සිදු කළ අතර එහි දී සෑම දින­කම උදෑ­සන ගෙවත්තේ වූ එළ­වළු පාත්ති වටා ඇවි­දින සිහින් උස් සිරු­රැති පිරි­මි­යකු දැක­ගත හැකි වුව ද ඔහුගේ මුහුණ පැහැ­දි­ලිව හඳු­නා­ගැ­නීම දුෂ්කර වීය. පසුව ඩ්‍රෝන යානා යොදා­ගෙන කළ පරී­ක්ෂ­ණ­ව­ලින් එම නි‍ෙවසේ රැඳී සිටින්නේ බින් ලාඩන් බව බුද්ධි අංශ විසින් තහ­වුරු කොට ගන්නා ලද්දේ ය.

ඒ වන විට රෝගී තත්ත්ව­යෙන් පසු වූ බින්ලා­ඩන්ට මාසි­කව සවු අරා­බියේ රහස් සංවි­ධා­න­ය­කින් විශාල මුදල් ප්‍රමා­ණ­යක් ද ලැබිණි. අල්කු­වේටි නමින් හැඳින්වූ බින් ලාඩන්ගේ සමී­ප­ත­මයා සහ ඔහුගේ සොහො­යුරා ද එම නි‍ෙවසේ ම රැඳී සිටින බව පසුව බුද්ධි අංශ සොයා­ග­ත්තේය. අස­ල්වැ­සි­යන් සමඟ සුළු­වෙන් හෝ සම්බ­න්ධතා පවත්වා තුබුණේ එම දෙදෙනා පමණි. තමන් සතු සියලු තොර­තුරු දීර්ඝ ලෙස විශ්ලේ­ෂ­ණය කිරී­මෙන් පසුව 2010 වසරේ අග­භා­ගයේ දී බින් ලාඩන් පිළි­බඳ අව­සන් බුද්ධි වාර්තාව ඇම­රි­කානු ජනා­ධි­පති බැරක් ඔබා­මාට එරට ආර­ක්ෂක අංශ විසින් පිළි­ග­න්වනු ලැබී ය.

 

 

ක්‍රියා­න්විත සැල­සුම

 

ඇම­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­සාන බුද්ධි වාර්තාව ලැබී­මෙන් පසු අවස්ථා ගණ­නා­වක දී ම හෙතෙම තම උප­දේ­ශක මණ්ඩ­ලය සමඟ සාකච්ඡා මාලා­වක් පැවැත්වීය. නම් සාක­ච්ඡා­වල දී ඇම­රි­කානු ජනා­ධි­පති බැරැක් ඔබා­මාගේ අව­ධා­න­යට ලක් වූ ප්‍රධාන ගැට­ලු­වක් විය. ඒ, බින් ලාඩන් අල්ලා­ගැ­නීමේ හෝ මරා­දැ­මීමේ හෝ මෙහෙ­යු­මට පාකි­ස්තානු හමුදා සහාය කොට ගත යුතු ද යන්නයි. උප­දේ­ශක හා ආර­ක්ෂක මණ්ඩල සාමා­ජි­ක­යන් බහු­ත­ර­ය­කගේ අද­හස වූයේ පාකි­ස්තානු හමුදා එම ක්‍රියා­න්වි­ත­යට යොදා නොගත යුතු බවයි.

ඉන් පසුව ඔසාමා අල්ලා­ගැ­නීම හෝ මරා­දැ­මීම හෝ සිදු කළ හැකි ආකා­රය ගැන ජනා­ධි­ප­ති­ව­රයා ආර­ක්ෂක මණ්ඩ­ල­යෙන් විමසා සිටියේ ය. එහි දී ආර­ක්ෂක මණ්ඩ­ලය විසින් ප්‍රධාන යෝජනා තුනක් ඉදි­රි­පත් කරනු ලැබී ය. බෝම්බ හෝ මිස­යිල හෝ පාවිච්චි කොට මුළු නි‍ෙව­සම විනාශ කිරීම අඩුම අව­දා­න­මක් සහිත ක්‍රියාව ලෙස ආර­ක්ෂක මණ්ඩ­ලය හඳු­නා­ගෙන තිබිණි. එහෙත් එම ප්‍රහා­රයේ දී ආස­න්නයේ ඇති නිවෙ­ස්ව­ලට ද යම් හානි­යක් සිදු විය හැකි නිසාත් බින් ලාඩන් සත්‍ය­ව­ශ­යෙන් ම මිය ගියා ද යන්න තහ­වුරු කොට ගැනී­මට ක්‍රම­යක් නැති නිසාත් එම යෝජ­නාව ආර­ම්භයේ දී ම ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඉවත දමනු ලැබී ය.

දෙවන යෝජ­නාව වූ ඩ්‍රෝන යානා යොදා­ගෙන ප්‍රහා­ර­යක් එල්ල කිරීම අඩු අව­දා­නම් සහිත වුවත් ඉල­ක්කය වැරදී ගිය­හොත් බින් ලාඩන් සොයා­ගැ­නී­මට නැව­තත් දීර්ඝ කාල­යක් ගත කිරී­මට සිදු විය හැකි බව ඔබා­මාගේ තර්කය විය. මෙහි දී ඉති­රිව තුබූ අව­සන් උප­ක්‍ර­මය වූයේ විශේෂ ක්‍රියා­න්වි­ත­යක් මඟින් ඔසාමා අල්ලා­ගැ­නීම හෝ මරා­දැ­මී­මය. දීර්ඝ කාල­යක් ගැඹු­රින් සියලු කරුණු සලකා බැලී­මෙන් පසුව විශේෂ ක්‍රියා­න්වි­ත­ය­කින් ඔබාමා අල්ලා ගැනී­මට හෝ විනාශ කිරී­මට හෝ අවශ්‍ය අනු­මැ­තිය ආර­ක්ෂක අංශ වෙත ලබා­දී­මට ඔබාමා කට­යුතු කළේ ය. ඒ 2011 වසරේ මාර්තු මාසයේ දී ය.

Comments