වේත්‍ර­ධාරී නිල ඇඳුම නැතිව සෙංකෝ­ලය රැගෙන ගිය පළමු වැනියා මමයි | සිළුමිණ

වේත්‍ර­ධාරී නිල ඇඳුම නැතිව සෙංකෝ­ලය රැගෙන ගිය පළමු වැනියා මමයි

මිල්ටන් ප්‍රනාන්දු පර්යේ­ෂ­ක­යෙකි. ලේඛ­ක­යෙකි. නිර්මා­ණ­ක­රු­වෙකි. පුරා වසර 22ක් පාර්ලි­මේන්තු කාරක සභා නිල­ධා­රියකු ලෙස අත්දැ­කීම් ඇත්තෙකි. රූප­වා­හි­නියේ ආර­ම්භක ප්‍රවෘත්ති නිෂ්පා­ද­කයකු ලෙස කට­යුතු කළ මාධ්‍ය­වේ­දි­යෙකි. මේ වන විට ඔහු පුරා වසර විස්සක පර්යේ­ෂණ ප්‍රති­ඵ­ල­යක් ලෙස “ආහාර පුරාණේ” නමැති ග්‍රන්ථය එළි දක්වා තිබේ. ප්‍රාග් ඓති­හා­සික යුගයේ සිට මධ්‍ය කාලීන අව­ධිය තෙක් ලෝකයේ ආහාර රටා විකා­ශ­නය වූ ආකා­රය එහි සාකච්ඡා කර තිබේ. මේ පළ­වන්නේ මිල්ටන් ප්‍රනාන්දු සමඟ කළ සංවාද සට­හ­නකි.

මිල්ටන් ප්‍රනාන්දු

ඔබ රචනා කළ “ආහාරපාන පුරාණේ” ග්‍රන්ථය පිළි­බ­ඳ කතා කර­නවා නම්?.

මිනි­සාගේ ආර­ම්භයේ පටන්, එනම් ගල් යුගයේ මස් පුලු­ස්සා­ගෙන ආහා­ර­යට ගැනීමේ සිට කිරි, මෝරු ආහා­ර­යට ගැනීම, වගා කිරී­මෙන් ආහාර සපයා ගැනීම පිළි­බ­ඳ­වත් ඊජිත්තු, මෙස­පො­තෙ­මියා, හරප්පා, හොවැංහෝ ශිෂ්ටා­චා­ර­වල ආහාර රටා යනා­දිය පිළි­බ­ඳ­වත් ක්‍රි.ව. 1300 දක්වා ලෝකයේ තිබූ ආහාර පිළි­බ­ඳ­වත් මම මේ පොතේ විස්තර කර තිබෙ­නවා. මම මෙයට තෝරා ගත්තේ අප්‍රි­කාවේ සිට නැගෙ­න­හිර දක්වා ඒ කියන්නේ යුරෝ­පය, මධ්‍යම ආසි­යාව, ඉන්දි­යාව දක්වා ප්‍රදේ­ශය. ලෝක­යේම රට­වල ආහාර ගැන ලියන්න ගත්තා නම් පොත විශාල වෙනවා. ඒ වගේම තොර­තුරු හොයා ගැනී­මත් අමා­රුයි. මම ක්‍රි.ව. 1300 ට සීමා කළෙත් ඒ නිසයි.

ඔබ මේ සඳහා තොර­තුරු සොයා ගත්තේ කොහො­මද?

මහා­චාර්ය පුංචි බණ්ඩාර සන්න­ස්ගල සංස්ක­ර­ණය කළ මහ­නු­වර රජ­ගෙ­දර සූප ශාස්ත්‍රය, 60 දශ­කයේ පළ වූ පැරණි සංස්කෘ­තික සඟරා කලා­ප­ය­කට මහා­චාර්ය විමල් කාරි­ය­ව­සම් ලියූ “අලුත් සහල් මංග­ල්‍යය” ගැන ලියූ ලිපිය, මානව විද්‍යාව, පුරා විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂය ග්‍රන්ථ­වල එක් එක් යුග­වල ආහාර ගැන සඳ­හන් තොර­තුරු හැරෙන්න 2000 වර්ෂය වන තුරු මේ විෂය සම්බ­න්ධ­යෙන් පොත් රචනා වී තිබුණේ නැති තරම්. ඒත් 2000 වස­රෙන් පසු විශ්ව­වි­ද්‍යාල මට්ට­මෙන් ආහාර විද්‍යාව, ආහාර ඉති­හා­සය ගැන ලෝකයේ පොත්පත් පළ වුණා. මම ඒ පොත්පත් ඇසුරු කළා. ඒ අත­ර­වා­ර­යේදී ක්වින්ස්ලන්ත රාජ්‍ය පුස්ත­කා­ලයේ තොර­තුරු ගවේ­ෂ­ණය කරන විට යේසුස් ක්‍රිස්තුස් වහ­න්සේගේ අන්තිම භෝජ­නය “Last Supper” විය හැකි යැයි අනු­මාන කළ ආහාර වට්ටෝ­රු­වක් හමු වුණා. එම යුගයේ පල­ස්තීන ආහා­ර­පාන පිළි­බ­ඳ පර්යේ­ෂණ සිදු කරන අත­රෙ­දියි මට එය හමු වුණේ. බයි­බල ගීතිකා, යුදෙව් ලේඛන, පුරාණ රෝම සාහිත්‍ය කෘති සහ පුරා­විද්‍යා දත්ත පද­නම් කර­ගෙන ඉතාලි ජාතික පුරා විද්‍යා­ඥ­යන් දෙදෙ­නකු වන Generoso urciuoli සහ Marta Berogno විසින් 1 වැනි සිය­ව­සට පෙර යුගයේ ජෙරු­ස­ලම කලා­පයේ ආහාර අනු­භව චාරිත්‍ර වාරිත්‍ර ගැන සොයා බලා සට­හන් කර තිබුණා. මම සොයා ගත් තොර­තුරු තහ­වුරු කර ගැනී­ම­ටත් වැඩි විස්තර සොයා ගැනී­ම­ටත් චීන­යට දෙව­තා­වක් ගියා. ඉන්දි­යා­වට පස් වතා­වක් ගිහින් ප්‍රාන්ත­වල පවා සංචා­රය කළා. මැලේ­සි­යාවේ හය මාස­යක් නැව­තිලා තොර­තුරු ගවේ­ෂ­ණය කළා. මම මූලාශ්‍රය රාශි­යක් ආශ්‍ර­යෙන් තමයි මේ පොත රචනා කළේ.

ඔබට මේ සඳහා කොප­මණ කාල­යක් ගත වුණාද?

අවු­රුදු 20ක් තිස්සේ මම පර්යේ­ෂණ කළා. අවු­රුදු 4ක් මුළුල්ලේ තොර­තුරු සකස් කළා.

ඔබට මෙවැනි ග්‍රන්ථ­යක් ලිවීම සඳහා සිති­වි­ල්ලක්, පෙල­ඹ­වී­මක් ඇති වුණේ කොහො­මද?

මගේ පාසල් මිතු­රකු වන ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නවා­තැන් ගෙන හිටියේ ඒ කාලේ ඩේලි­නි­වුස් පුව­ත්පතේ කර්තෘ­ත්වය දැරූ මර්වින් ද සිල්වා මහ­තාගේ ගෙදර. විශ්ව විද්‍යාල ප්‍රවේ­ශය අව­සාන කරලා ඉන්න කාලේ මම නිත­රම ස්වර්ණ ශ්‍රී මුණ­ගැ­හෙන්න ඒ ගෙද­රට යනවා. එවිට මර්වින් ද සිල්වා මහ­ත්ම­යාත් අපි එක්ක කතා කර කර ඉන්නවා. ඒ විදි­හට කතා කර කර ඉන්න වෙලා­වක දව­සක් එතුමා කිව්වා ලංකාවේ සූප ශාස්ත්‍රය ගැන ලියැවී තිබෙන දින­මිණ සූප ශාස්ත්‍රය පොත හැර වෙනත් පොත් ලියැවී නැහැ නේද හැමෝම එක එක දේව­ල්වල ඉති­හා­සය කතා­න්දර ලිය­නවා. ඒත් ආහාර ඉති­හා­ස කතා­න්ද­රය කවු­රුත් ලියලා නැහැනේ කියලා. ඒ කතාව මගේ හිතේ තදින්ම කා වැදිලා තිබුණා. ඒ අත­ර­වා­ර­යේදී මම චීන ප්‍රවෘත්ති සේව­යට වෛද්‍ය උපාලි පිල­පි­ටිය සමඟ සාකච්ඡා කරලා කර­විල ගැන විශේ­ෂාංග වාර්තා­වක් කළා. ඒකට ඉතා­මක් හොඳ ප්‍රති­චාර ලැබුණා. ඊට පස්සේ කාල­යක් ගිහින් මම තීර­ණය කළා ආහාර ඉති­හා­සය ගැන පොතක් ලියන්න ඕනෑ කියලා.

ඔබ මේ සුවි­ශාල කර්ත්‍ය­වය කළේ තනි­ව­මද?

තොර­තුරු සොයා ගැනී­මේදී මා මිත්‍ර රංජිත් සේනා­රත්න සහ ආචාර්ය අම­ර­වංශ අත­පත්තු මට ගොඩාක් උදව් කළා. උප්ප­ල­වර්ණ විජේ­සිංහ සහ දිනේෂ් කීර්ති­නන්ද, මගේ මල්ලි ඇතුළු පවුලේ අය තොර­තුරු සොයා යන චාරි­කා­ව­ලට මට උදව් කළා. මව්ෂ්ලා බොයිල් සහ ෆෙඩ­රිකෝ පානි මට තොර­තුරු සොයා දුන් විදේ­ශීය යහ­ළු­වන් දෙදෙ­නෙක්. ක්වින්ස්ලන්ත රාජ්‍ය පුස්ත­කා­ලයේ ස්ටීම් මර්ෆි සහ ඇමන්ඩා ලැඩ්ස් දෙදෙ­නා­වත් මට අම­තක කරන්න බැහැ. ඒ අයගේ උදව් උප­කාර නිසා තමයි මට මේ පොත ලියන්න පුළු­වන් වුණේ. මුල්කි­රි­ගල විහා­රයේ බිතු සිතු­වම ආශ්‍ර­යෙන් සංස්ක­ර­ණය කර කව­රයේ සිතු­වම සකස් කළේ මගේ බිරිඳ චිත්‍රා අලස් ප්‍රනාන්දු. අනික මේ තරම් විශාල පොතක් මුද්‍ර­ණය කිරී­මට භාර ගත් සිරි­සු­මන ගොඩගේ මහ­ත්ම­යාත් මට කළ උදව්ව මම අගය කළ යුතු­මයි. මොකද ඔහු එය භාර නොග­න්නට පිටු 1120 විශාල පොතක් පළ කරන්න හැකි වෙන්නේ නැහැ.

ඔබ මීට පෙරත් පොත් පළ කර තිබෙ­න­වාද?

ඔව්. මෙවැනි ගවේ­ෂ­ණා­ත්මක පොතක් පළ කළේ නම් ප්‍රථම වතා­වට. ඒත් පරි­ව­ර්තන කෙටි­කතා සහ නවකතා පොත් කීප­යක් පළ කර තිබෙ­නවා.

ඔබ ලේඛ­න­ක­ර‍ණයේ නිරත වුණාට වෘත්ති­යෙන් පාර්ලි­මේ­න්තුවේ කාරක සභා නිල­ධා­රි­යෙක්. ඔබේ වෘත්තීය ජීවි­තය ගැන බිඳක් කතා කර­මුද?

මම 1969 වර්ෂයේ සිට 1991 වර්ෂයේ මුල දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා නිල­ධාරි හැටි­යට සේවය කළා. එහිදී විවිධ අංශ­වල කට­යුතු කිරී­මෙන් අත්දැ­කීම් සම්භා­ර­යක් ලබා ගත්තා. විවිධ රජ­යන් යටතේ පරණ පාර්ලි­මේ­න්තු­වෙත්, අලුත් පාර්ලි­මේ­න්තු­වෙත් සේවය කිරී­මෙන් මම ලොකු සතු­ටක් ලැබුවා.

එහෙම නම් ඔබේ වෘත්තීය ජීවිතේ ඔබ මුහුණ දුන් රස­වත් අත්දැ­කීම් ඇති නේද?

ඔව්. මා දන්නා තර­මින් වේත්‍ර­ධාරි නිල ඇඳුම නැතිව සෙංකෝ­ලය ඔසවා ගෙන යෑමෙන් වාර්තා­වක් තැබුවේ මමයි. පාර්ලි­මේ­න්තුවේ සෙංකෝ­ලය රැගෙන යා යුත්තේ වේත්‍ර­ධාරි නිල ඇඳු­මෙන්. ඒත් ප්‍රථම වතා­වට නිල ඇඳුම නැතිව සෙංකෝ­ලය රැගෙන යෑමට මට සිද්ධ වුණා. එය මා මුහුණ දුන් අභි­යෝ­ගා­ත්මක සිද්ධි­යක්.

එය සිද්ධ වුණේ කොහො­මද?

ඒ කාලේ පාර්ලි­මේ­න්තුවේ වේත්‍ර­ධා­රින් දෙදෙ­නෙක් සේවය කළා. එක් කෙනෙක් රොනී අබේ­සිංහ. අනික් කෙනා නියෝජ්‍ය වේත්‍ර­ධාරි බර්ටි වන­සිංහ. මම කියන සිද්ධි­යට අදාළ දවසේ රොනී අබේ­සිංහ එංග­ල­න්තයේ. බර්ටි වන­සිං­හට හොඳ­ටම අස­නීප වෙලා. එදා පාන්ද­රම මට පාර්ලි­මේ­න්තුවේ සහ­කාර ලේකම් චන්ද්‍ර­සේන පන්නිල දුර­ක­ථ­න­යෙන් කතා කරලා කිව්වා බර­ප­තළ, ලොකු වැඩක් කරන්න තියෙ­නවා කියලා. බර්ටි වන­සිං­හට අස­නීප වෙලා හොඳ­ටම අමා­රුයි. වම­නෙත් යනවා, එයාට සෙංකෝ­ලය ගෙනි­ය­නවා තියා කෙළින් ඉන්න විදි­හක් නැහැ කියලා ඔහු මට දැනුම් දුන්නා. මම උදේම පාර්ලි­මේ­න්තු­වට ගිහින් සෙංකෝ­ලය ඔසවා ගෙන යන හැටි පුහුණු වුණා. ඒත් මට නිල ඇඳුම් නැහැනේ. මම කළු කලි­ස­මයි සුදු කමී­ස­යයි ඇඳලා කළු කබාය උඩින් දාලා සෙංකෝ­ලය ඔස­වා­ගෙන පාර්ලි­මේ­න්තු­වට ගියා. පාර්ලි­මේන්තු ඉති­හා­ස­යේ­වත් නැතිව ඇති වේත්‍ර­ධාරි නිල ඇඳුම නැතිව සෙංකෝ­ලය ගෙන ගිය අව­ස්ථා­වක්.

පාර්ලි­මේ­න්තුවේ බෝම්බය පුපුරා ගිය දවසේ ඔබ එහි සේවයේ යෙදී සිටි­යාද?

ඔව්. මම මට රාජ­කා­රිය නිය­මිත තැන වාඩි වෙලා “දවස” පත්තරේ මාධ්‍ය­වේ­දි­යකු සමඟ කතා කර කර හිටියා. ඒ වෙලාවේ එක පාර­ටම ලොකු ශබ්ද­යක් ඇසුණා. මමත් සභා ගර්භ­යට දුව ගෙන ගියා. තුවා­ල­ක­රු­වන් බිම වැටිලා හිටියා. ආර­ක්ෂක නිල­ධා­රීන් ඇතුළු හැමෝම කල­බලේ එහෙ මෙහේ දුව­නවා. මමත් තුවාල වෙලා අමා­රු­වෙන් හිටපු වින්සන්ට් පෙරේරා මන්ත්‍රි­තු­මාව පාර්ලි­මේ­න්තුවේ තිබුණු පුටු­වක තියලා තල්ලු කර ගෙන එළි­යට අරං ආවා. මම එළි­යට ගෙනෙන විට­දීම ඔහුගේ ප්‍රධාන සංවි­ධා­යක කාර්යා­ලයේ කෙනෙක් ඔහුව භාර ගත්තා. එදා මම වින්සන්ට් පෙරේරා මන්ත්‍රි­තු­මාව තල්ලු කර­ගෙන එන ඡායා­රූ­ප­යක් “ඒෂියා වීක්” සඟ­රාවේ පළ වී තිබුණා.

ඔබ ශ්‍රී ලංකා රූප­වා­හිනි සංස්ථාවේ ආර­ම්භක සාමා­ජි­ක­යෙක් යැයි පැව­සුවා. පාර්ලි­මේ­න්තුවේ සේවය කළ ඔබ රූප­වා­හි­නි­යට සම්බන්ධ වුණේ කොහො­මද?

ලංකාවේ රූප­වා­හි­නිය පටන් ගන්න සැල­සුම් කර තිබි­යදී රූප­වා­හිනි පුහුණු පාඨ­මා­ලා­ව­කට විවිධ ආය­ත­න­ව­ලින් පිරිස තෝරා­ගෙන තිබුණා. මාවත් තේරුණේ ඒ විදි­හට.

1982 පෙබ­ර­වාරි 15 ජාතික රූප­වා­හි­නිය ආරම්භ කළාට අපිට පුහු­ණු­වීම් පටන් ගත්තේ 1978 දී විතර. කැනේ­ඩි­යානු ආධාර යටතේ මෙම පුහු­ණුව ලබා දුන්නේ. මමත් එම පාඨ­මා­ලාව ප්‍රාථ­මික හා උසස් ඩිප්ලෝ­මාව හැදෑ­රුවා. මට මතක විදි­හට ඒ පාඨ­මා­ලාව අවු­රුදු 2- 3ක් විතර තිබුණා. මම සම්බන්ධ වුණේ කාලීන පුවත් අංශයේ ප්‍රවෘත්ති වැඩ­ස­ට­හන් නිෂ්පා­දක වශ­යෙන්. රූප­වා­හිනී පරී­ක්ෂණ විකා­ශයේ සිට ම මම වැඩ කළා.

රූප­වා­හිනී පරී­ක්ෂණ විකා­ශයේ අත්දැ­කීම් කොහො­මද?

ඒ කාලේ පැවැ­ත්වුණු පාපන්දු තර­ගා­ව­ලි­යක් තමයි පරී­ක්ෂණ විකා­ශය යටතේ විසු­රුවා හැරියේ. බාහිර පරී­ක්ෂණ විකා­ශයේ පළ­මු­වැනි විස්තර ප්‍රචා­රක ලෙස කට­යුතු කළේ මමයි. මා එක්ක ජෝ ආරි­ය­සේ­නත් වැඩ කළා. දව­සක් අපි පාපන්දු තර­ග­යක විස්තර ප්‍රචා­රය සඳහා ක්‍රීඩා පිට්ට­නි­යට ගියාම අපිට මේස­යක් සහ පුටු ටිකක් විත­රක් තියලා තිබුණා. මයි­ක්‍ර­ෆෝ­න­යක් තියලා නැහැ. ඊට පස්සේ අපි රූප­වා­හි­නි­යට පණි­වි­ඩ­යක් යවලා කොහො­ම­හරි මයි­ක්‍ර­ෆෝ­නය ගෙන්වා ගත්තා. ඒ කාලේ දැන් ‍වගේ ජංගම දුර­ක­තන පහ­සු­කම් නැහැනේ. අපි තර­ගය පටන් ගැනී­මට පෙර කල්වේලා ඇතිව එතැ­නට ගිය නිසා හොඳට ගියා!

රූප­වා­හි­නියේ ප්‍රථම ප්‍රවෘත්ති විකා­ශය ඔබට මත­කද ? ඔබ ඊට සම්බන්ධ වුණා ද?

ප්‍රථම ප්‍රවෘත්ති විකා­ශ­යට මම සම්බන්ධ වුණේ නැහැ. 1982 පෙබ­ර­වාරි 15 වැනි දා ප්‍රවෘත්ති විකා­ශ­යට සම්බන්ධ වුණේ කේ.ඩී.කේ. ධර්ම­ව­ර්ධන සහ එල්මෝ ප්‍රනාන්දු. ඒත් සති­ය­කින් කේ.ඩී.කේ. ධර්ම­ව­ර්ධන ඉවත් වුණා. ඊට පසු සති­යක් පුරා මම එක දිගට ප්‍රවෘත්ති නිෂ්පා­දක හැටි­යට වැඩ කළා. ඒ කාලේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තන­තුර දැරුවේ රංජිත් සේනා­රත්න.

ඔබ ප්‍රවෘත්ති සහ කාලීන වැඩ­ස­ට­හන් නිෂ්පා­දක ලෙස සේවය කරන කාලයේ මුහුණ දුන් විශේෂ සිදු­වීම් එහෙම ඇති නේද?

අපි ප්‍රවෘත්ති නිෂ්පා­ද­නය කළේ සේවා මුර ක්‍රම­ය­කට. ප්‍රවෘ­ත්ති­ව­ලට අම­ත­රව මම සෙන­සු­රාදා සහ ඉරිදා සිංහල ප්‍රවෘත්ති සංද­ර්ශ­නය කළා. විශේෂ සිදු­වීම් ගැන නම් මත­ක­යට එන්නේ නැහැ. ඒ කාලේ ප්‍රවෘත්ති වැඩ­ස­ට­හන් ඉවර වුණාම විවිධ අය­ගෙන් දුර­ක­තන ඇම­තුම් ගලා­ගෙන එනවා. හොඳ - නරක, අඩු­පාඩු හැම­දේම එදා ප්‍රේක්ෂ­ක­යන් කතා කරලා කිය­නවා.

ප්‍රවෘත්ති නිෂ්පා­ද­නයේ යෙදී සිටින කාල­යේදී ඔබ විවිධ බල­පෑ­ම්ව­ලට මුහුණ දීලා තිබෙ­න­වාද?

මම නම් ඒ විදිහේ බල­පෑ­ම්ව­ලට මුහුණ දීලා නැහැ. මම කල්ප­නා­කා­රීව, සම­බර විදි­හට ප්‍රවෘත්ති නිෂ්පා­ද­නය කළා. උදා­හ­ර­ණ­යක් හැටි­යට සේපාල ඒක­නා­යක ගුවන් යානා­වක් පැහැර ගත් වෙලාවේ අපිට එම සිද්ධිය ආරං­චි­යක් විදි­හට ලැබුණා. ඒත් එය නිල වශ­යෙන් තහ­වුරු කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම එදා රෑ 8.00 ප්‍රවෘත්ති වැඩ­ස­ට­හ­නට එම ප්‍රවෘ­ත්තිය ඇතු­ළත් කළේ නැහැ. ඒකයි මම කිව්වේ, අපි කල්ප­නා­කා­රීව වග­කීම ඉෂ්ට කර­නවා නම් ප්‍රශ්න­යක් නැහැ.

ඔබ රූප­වා­හිනී ප්‍රවෘත්ති නිෂ්පා­දක රැකි­යා­වෙන් ඉවත් වුණේ ඇයි?

මාව පාර්ලි­මේ­න්තුවේ කාරක සභා නිල­ධාරි රැකි­යා­වෙන් රූප­වා­හි­නි­යට අනු­යුක්ත කරලා තිබුණේ. මම අවු­රුදු 2ක් 3ක් විතර රූප­වා­හි­නියෙ වැඩ කර­ගෙන යන­කොට මට පාර්ලි­මේ­න්තුවේ රැකි­යා­වේ උස­ස්වී­මක් ලැබුණා. ඒ උසස්වීම භාර නොගෙන රූප­වා­හි­නියේ රැකි­යා­වට කොටු වී සිටින්න මට හිත් දුන්නේ නැහැ. ඒ නිසා මම නැව­තත් පාර්ලි­මේ­න්තුවේ රැකි­යා­වට ගියා.

ඔබ චීන පුවත් සේව­ය­කට සම්බන්ධ වූ පුව­ත­කුත් කීවා නේද?

ඔව්. 1991 අවු­රුද්දේ පාර්ලි­මේ­න්තුවේ රැකි­යා­වෙන් විශ්‍රාම ගියාට පසු චීන ප්‍රවෘත්ති ඒජ­න්සි­යක ටික කාල­යක් වැඩ කළා. ඒත් 95 දී මගේ එකම දුව ඕස්ට්‍රෙ­ලි­යාවේ සිටින නිසා බිරි­යත් මමත් ඕස්ට්‍රෙ­ලි­යාවේ පදිං­චි­යට ගියා. අපි වරින් වර ලංකා­වට ඇවිත් යනවා.

දැන් ඔබේ වයස කීයද?

දැන් මට අවු­රුදු 83 ක් වෙනවා.

Comments