වාර්ෂික මරණවලින් සියයට 75කට හේතුව‌ දියවැඩියාව | සිළුමිණ

වාර්ෂික මරණවලින් සියයට 75කට හේතුව‌ දියවැඩියාව

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 75 ත් 80 ත් අතර සංඛ්‍යාවකට හේතුව‌ දියවැඩියාව, රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග වේ.

එම රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අහිතරකර ආහාර රටාවය.

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප්‍රධාන හේතු ලෙස අධික සීනි, ලුණු, සහ මේදය අඩංගු අහාරපාන භාවිතය බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 5-6% ප්‍රමාණයක්, වැඩිහිටි කාන්තාවන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් හා වැඩිහිටි පිරිමි පස් දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරු ගැටලුවෙන් පීඩා විදින බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 26.5% ක් දිනකට එක් පැණි සිසිල් බීම බෝතලයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරන බව 2017 වසරේ කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එම තත්ත්වය තුළ එවැනි බීම පානය අධෙර්යමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව රජයට දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කර තිබිණි.

අධික සීනි සහිත පැණි බීම වර්ගවල ඇසුරුමෙහි ඒවායේ අඩංගු සීනි මට්‌ටම පෙන්නුම් කිරීමට වර්ණ සංකේත ක්‍රමයක්‌ (ට්‍රැෆික් ලයිට්‌ සිස්‌ටම්) යොදා ගැනීමේ වැඩපිළිවෙළ මීට වසර 3කට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කළේ එහි එක් පියවරක් ලෙසිනි.

අධික සීනි ඇති බීම වර්ග රතු වර්ණයෙන් ද මධ්‍යම සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කහ වර්ණයෙන්ද අඩු සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කොළ වර්ණයෙන් යුතු ලේබලයක් ඇලවීම එමගින් අනිවාර්ය කෙරිණි.

ප්‍රධාන පෙළේ ජනප්‍රිය බීම වර්ග රැසක් අධික සීනි ඇති රතු ලේබලය යටතට වැටී තිබුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ අලෙවිය යම් ප්‍රමාණයක් පහත වැටුණු බව එම සමාගම් පිළිගෙන තිබිණි.

Comments