විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් 20 වැනිදා එකම වේදිකාවකට | සිළුමිණ

විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් 20 වැනිදා එකම වේදිකාවකට

ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් ගොඩ වදින එකම වේදිකාව වන ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සම්මාන උලෙළ 20 වැනිදා කොළඹදි පැවැත්වෙයි. හතළිස් එක්වැනි වරට මෙවර පැවැත්වෙන සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොවට බිහි කළ අතිවිශිෂ්ට පිතිකරුවකු වන 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා එක්වනු ඇත.

 

ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයිමේ උලෙළේ වසරේ විශිෂ්ට ම ක්‍රීඩකයාට අමතරව ජනප්‍රිය ම ක්‍රීඩකයා ඇතුළු ලාංකේය පාසල් ක්‍රිකට් පිටියේ සමස්ත ලංකා, පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩයන්හි මෙන් ම බාලිකා අංශයේ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් ම ක්‍රීඩිකාවෝද ද ඇගැයීමට ලක් කෙරේ. ඊට අමතරව සමස්ත ලංකා හොඳම පාසල් කණ්ඩායම, විනය ගරුකම කණ්ඩායම, නැගී එන පාසල් කණ්ඩායම මෙන් ම පළාත් මට්ටමින් දස්කම් දැක්වූ කණ්ඩායම්, පුහුණුකරුවන් ද මෙහිදී ඇගැයීමට ලක් කිරීමට නියමිතය.

 

සමස්ත ලංකා විශිෂ්ටයන් අතර හොඳ ම පිතිකරුවා, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිශාර, කළුතර තිස්ස මැදි මහා විද්‍යාලයේ සංජය සිල්වා, වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය පෙරේරා, ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන නිර්දේශිත නාමාවලියේ පෙරමුණ ගෙන තිබේ.

 

පළමු කාණ්ඩයේ විශිෂ්ටයන් අතර හොඳම පිතිකරුවා, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා සහ හොඳම ක්‍රීඩකයා ශූරයා සහ අනුශූරයා වශයෙන් නිර්දේශිත නාමාවලියේ පෙරමුණ ගැනීමට මොරටුව මහා විද්‍යාලයේ නිෂාන් මධුෂික ප්‍රනාන්දු, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කලණ පෙරේරා, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කවිෂ්ක සේනාධීර, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අමිත ධනංජය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ෂැනොන් ප්‍රනාන්දු, නාලන්ද විද්‍යාලයේ ලක්ෂිත රසාංජන, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් සමත්ව සිටිති.

සමස්ත ලංකා හොඳ ම පාසල් කණ්ඩායම ශූරයන් සහ අනුශූරයන් සඳහා නිර්දේශිත නාමාවලියේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාල සමත්ව තිබේ. හොඳම විනය ගරුක කණ්ඩායම වශයෙන් නිර්දේශිත නාමාවලියේ ප්‍රමුඛත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටය. සමස්ත ලංකා නැගී එන කණ්ඩායම වශයෙන් මෙවර ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

 

බාලිකා අංශයේ හොඳ ම පිතිකාරිනිය, පන්දු යවන්නිය, තුන් ඉරියව් ක්‍රීඩිකා සහ හොඳම ක්‍රීඩිකාව සම්මාන සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙන් ම රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටිති. වසරේ හොඳම බාලිකා කණ්ඩායම වෙනුවෙන් සටන රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අතර නිර්මාණය වන විට හොඳ ම නැගී එන කණ්ඩායම වශයෙන් වාද්දුව මැදි මහා විද්‍යාලය පෙරමුණ ගෙන තිබේ. ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයට කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සටන් කරද්දි, ජනප්‍රියම ක්‍රීඩිකාවට හිමි සම්මානයට සටන නිර්මාණය වී ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලය සහ මිනුවන්ගොඩ මාරපොල විද්‍යාලය අතරය.

 

Comments