මැති - ඇමති පිඟා­නට පොර­කති බෙදා ගැනු­මට! | සිළුමිණ

මැති - ඇමති පිඟා­නට පොර­කති බෙදා ගැනු­මට!

මෛත්‍රී­පාල සිරි­සේන ජන­ප­ති­ඳුන්ගේ සෘජු මැදි­හ­ත්වීම් හා විරෝ­ධතා නිසා ආණ්ඩුවේ ඇතැම් ජනතා විරෝධී සැළ­සුම් පම­ණක් නොව දූෂිත හා නාස්ති­කාර යෝජනා ද හකුලා ගැනී­මට සිදු වූ වාර ගණන කොප­ම­ණ­දැයි නිශ්චි­තව කිව නොහැ­කිය. එහෙත් මෛත්‍රී ජන­ප­ති­ඳුන් නොව­න්නට මේ වන විට අපේ සමාජ, ආර්ථික, දේශ­පා­ලන ඇතුළු බොහෝ කේෂ්ත්‍ර වලට සිදු­වී­මට තිබුණු අන­තුර බෙහෙ­වින් අධික විය හැකි බව නම් නිශ්චි­තව කිව හැකිය. සංව­ර්ධන කමිටු සභා­පති ධුර දරන පාර­ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට රුපි­යල් ලක්ෂ දෙකක දීම­නා­වක් ගෙවී­මට අනු­මැ­තිය ඉල්ලා ඉදි­රි­පත් වූ කැබි­නට් සන්දේ­ශ­යට ජන­ප­ති­ඳුන් ගේ දැඩි විරෝ­ධය එල්ල වීම නිසා අනු­මත නොවීම දිය හැකි එක් නිද­සු­නකි. එසේම පළාත් සභා­වල හිටපු මැති ඇම­ති­ව­රුන් 415 දෙනෙ­කුට තීරු බදු රහිත වාහන බල­පත් ලබා දීමට ඉදි­රි­පත් වූ යෝජ­නා­ව­කට ද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අනු­මැ­තිය නොලැ­බීම නිසා ඒ දේශ­පා­ලන ප්‍රදා­නය ද සිදු කළ නොහැකි විය. ඒ යෝජ­නා­වට මුදල් ඇමති මංගල සම­ර­වීර මහතා එකඟ නොවූ බව ද විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන භාවි­තය මෙන්ම දේශ­පා­ල­න­ඥ­යන්ගේ බොහෝ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ ව නැඟෙන විවේ­චන, දෝෂා­රෝ­පණ කෙබ­ඳු­දැයි කිසි­ව­කුට අලු­තින් තේරුම් බේරුම් කර දිය යුතු නැත. මෙ රටේ ස්ථාපිත වී තිබෙන දූෂිත දේශ­පා­ලන ක්‍රමය වෙනස් කර ගැනීම සඳහා කොන්දේසි විර­හි­තව කැප වූ නාය­ක­යකු ලෙස මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­යෙන් ම සිටියි. ජේ.ආර්.ජය­ව­ර්ධ­නගේ කූට දේශ­පා­ලන න්‍යාය පත්‍රය සමඟ දේශ­පා­ල­නය වර­ප්‍ර­සාද සහිත බල­ගතු රැකි­යා­වක් මෙන්ම ඕනෑම නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­ක­මක් සඳහා ලැබෙන බල­ප­ත්‍ර­යක් බවට පත්ව තිබෙන ආකා­රය මේ වන විට ඕනෑ­ව­ටත් වඩා ඔප්පු වී තිබේ. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු ශ්‍රී ලාංකික දේශ­පා­ල­නය සාධ­නීය වෙන­ස­කට භාජන වනු ඇතැයි කල්පනා කළ අයම ඒ අර­මුණ බිඳ වැටීම ගැන එකි­නෙ­කාට ඇඟිලි දිගු කර ගනි­මින් සිටිති. එහෙත් ඇත්ත වශ­යෙන් ම ඒ ‍ඵෙතිහා­සික වරද සිදු කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධන ක්‍රියා­ව­ලියේ භාර­කා­ර­ත්වය පැව­රුණු අය බව ද දැන් ප්‍රකට රහ­සකි. 19 වැනි සංශෝ­ධ­න­යෙන් සිදු වු යහ­පත අර්ථ­වත් නොවූයේ 20 වැනි සංශෝ­ධ­නය ඇතුළු තවත් දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා අත්හැර දැමී­මට සිදු­වීම නිසා බව සම­හරු කියති.

කෙසේ වුවද මෛත්‍රී ජන­ප­ති­ඳුන් විසින් අවස්ථා කීප­ය­කදී ම අව­ධා­ර­ණය කරන ලද පරි­දිම දැන් රට ඉදි­රියේ තිබෙන දේශ­පා­ලන අවුල ලිහා නොගෙන තවත් ඉදි­රි­යට යා නොහැකි බව දව­සින් දවස තහ­වුරු වෙන දේශ­පා­ලන යථා­ර්ථ­යයි. රාජ්‍ය දේපොළ හොර­කම් කිරීම, දූෂ­ණය, නීතියේ ආධි­පත්‍ය හෑල්ලු කිරීම, මහ­ජ­න­යාගේ ජීවිත සුර­ක්ෂිත නොකි­රීම ආදී චෝදනා රැසක් ආණ්ඩු­වට එරෙ­හිව ඉදි­රි­පත්ව තිබේ. එසේම අවු­රුදු හත­රක ඇවෑ­මෙන් රට ගිලී තිබෙන දේශ­පා­ලන අඳුර ද සුළු­පටු නැත. එහෙත් ඒ කිසි­වක් ගැන බොහෝ දෙනෙක් සංවේදී නොවන බව ද පැහැ­දිලි ය. මේ වන විටත් ආණ්ඩුවේ සම­හ­රුන්ට අවශ්‍ය තම දේශ­පා­ලන හිත­ව­තුන් පින­වීම ඇතුළු පෞද්ග­ලික අර­මුණු බව ද පෙනේ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හා නිද­හස පිළි­බඳ කෙරෙන අලං­කා­රා­ත්මක විශ්ලේ­ෂණ වලට පරි­බා­හි­රව ආණ්ඩුව ජන­තා­වට දැනෙන සංව­ර්ධ­න­යක් සිදු කර නැතැයි නැගෙන චෝද­නා­වද බර­ප­තල ය.

ආණ්ඩුවේ බොහෝ ඇම­ති­ව­රුන් රටේ ආර්ථි­කය හෝ පොදු ජන යහ­පත සඳහා දක්වන උන­න්දු­වට වඩා දේශ­පා­ලන හිත­ව­තුන් නඩත්තු කිරීම හා ඒ දේශ­පා­ල­නය ඉදි­රි­යට ගෙන යෑමට අනු­ගා­මි­ක­යන් පින­වීමේ ක්‍රියා­කා­ර­කම් වෙනු­වෙන් පෙනී සිටින බවද රහ­සක් නොවේ. පළාත් සභා­වල හිටපු මැති ඇම­ති­ව­රුන් සඳහා තීරු­බඳු රහිත වාහන බල­පත් ලබා­දීමේ යෝජ­නාව දෙවන වර­ටත් ඉදි­රි­පත් කෙරෙන්නේ ඒ පසු­බිමේ ය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දැඩි විරෝ­ධය එල්ල වූ ඒ යෝජ­නා­වට මුදල් ඇම­ති­ව­රයා ද එකඟ නොවූ නිසා දෙවන වර­ටත් ඒ යෝජ­නාව කළ ඇම­ති­ව­ර­යාට පසු බැසී­මට සිදු විය. රට බර­ප­තල ආර්ථික දුෂ්ක­ර­තා­වක හිර වී තිබෙන අව­ස්ථා­වක රුපි­යල් දෙකෝටි හැත්තෑ ලක්ෂ­යක් වැනි අධික මුද­ලක් දේශ­පා­ලන පාරි­තෝ­ෂි­ක­යක් ලෙස ලබා­දීම අනු­මත කළ හැකිද? එය ඉතා පැහැ­දි­ලි­වම දේශ­පා­ලන කප්ප­මකි. සිය නිල කාලය ගෙවා වසර දෙකක් පමණ ගත වූ මැති ඇම­ති­ව­රුන් සඳහා එබඳු මහ­ජන මුද­ලක් වැය කිරීමේ අසා­ධා­ර­ණය මේ යෝජ­නාව කළ අයට නොපෙ­නීම ඊටත් වඩා පුදු­ම­යකි. මේ මුදල් ඔහුගේ බූද­ල­යක් නොව බදු ගෙවන ජන­තා­වගේ මුදල් බව ද ඔහුට මතක් කළ යුතුය. කුමක් වුවත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ වර්ගයේ නාස්ති­කාර විය­දම් වලට හෝ දේශ­පා­ලන කප්පම් ගෙවී­මට හෝ එකඟ නොවීම ජන­තා­වගේ පරම භාග්‍ය­යකි.

මේ වර්ගයේ ම නාස්ති­කාර හා මහ­ජන මුදල් ගැන තඹ සල්ලි­යක තැකී­මක් නොක­රන ඇම­ති­වරු කීප පොළක් ම මේ ආණ්ඩුවේ සිටිති. මේ සම­හ­රුන්ට තමන්ගේ අමා­ත්‍යාංශ පවත්වා ගෙන යන ගොඩ­නැ­ගිලි ප්‍රමා­ණ­වත් නැත. කොළඹ නග­රයේ හොඳ ස්ථාන­වල තිබෙන ගොඩ­නැ­ගිලි වල පහ­සු­කම් මදි වී අධික මුදල් ගෙවා ඒවා වෙනත් තැන්ව­ලට ගෙන යෑමට ඔවුහු පොර කති. තවත් ඇම­ති­ව­ර­යකු සිය ගෝල­බා­ල­යන් පින­වීම සඳහා රුපි­යල් කෝටි 16 ක් වැනි මුද­ලක් ගෙවා තිබෙන බව ද හෙළි විය. මේ ඇම­ති­ව­ර­යාට සම්බන්ධ නිල­ධා­රීන් 85 ක් සිටි බව කියති. උප­දේ­ශ­ක­ව­රුන් 65ක් සිටි තවත් ඇම­ති­ව­ර­යකු ගැන වාර්තා­වක් ද තිබේ. මේවා ගිනස් වාර්තා නොව ජනතා මුදල් කාබා­සි­නියා කළ වාර්තායි.

ඇම­ති­ව­රුන් හා මන්ත්‍රී­ව­රුන් මෙසේ මහ­ජන මුදල් තම අභි­ම­තය පරිදි නාස්ති කිරීම කුමන දේශ­පා­ලන හෝ සදා­චා­රා­ත්මක ප්‍රති­ප­ත්ති­යක් ද යන්න අපි නොද­නිමු. මේ වර්ගයේ අශී­ලා­චාර, අත්ත­නෝ­ම­තික මූග්ධ ප්‍රති­චාර ගණ­නා­වක් ම පසු­ගිය දින­වල කෝප් කමි­ටුව අබි­ය­ස­දීත් හෙළි විය. කෝප් කමිටු සභා­පති සුනිල් හඳු­න්නෙත්ති මන්ත්‍රි­ව­ර­යාගේ සෘජු ප්‍රශ්න කිරීම ඉදි­රියේ එබඳු සට කපට තක්කඩි ක්‍රියා කළ ටයි­කෝ­ට්කාර මහ­ත්ව­රුන්ගේ අමන විලා­සය රටට ම හෙළි විය. රාජ්‍ය බැංකු, රාජ්‍ය ආය­තන තම තමන් රිසි පරිදි හැසිර විය හැකිය යන මුළා­වෙන් ඔද වැඩී සිටින දේශ­පා­ලන පැළැ­න්තිය මේ සිය­ල්ල­ටම වග­කිව යුතු නොවේද? කෝප් කමිටු සභා­ප­ති­ව­රයා වරක් ප්‍රකාශ කල පරි­දිම ආණ්ඩුවේ හිත­ව­තුන් වන මේ රාජ්‍ය, සංස්ථා සභා­ප­ති­ව­රුන් හා අධ්‍ය­ක්ෂ­ව­රුන් විසින් දෙන ලද්දේත් තණ­කොළ කැපී­මට කිතු­ලට ගිය මිනිහා දුන් වර්ගයේ පිළි­තුරු විය. එක් අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් කියා සිටියේ තමන්ට කමි­ටු­වෙන් ලද කැඳ­වීමේ ලිපිය ලැබු­ණත් එය විවෘත කිරී­මට තරම් විවේ­ක­යක් නැති වූ බව ය.

මේ සිදු­වීම් දෙස බලන විට අපට සිහි­වන්නේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් විසින් ලියන ලද “හිට්ලර්ගේ අමන ඇමති මණ්ඩ­ලය” යන කාව්‍ය­මය ප්‍රහ­ස­න­යයි. බ්‍රෙෂ්ට්ගේ අව­ධා­ර­ණය වූයේ අමන ඇම­ති­වරු හා ඔවුන්ගේ හෙංච­ය­යන් විසින් කරනු ලබන ‘අගනා සේවාව’ නිසා රටේ සියලු යහ­පත් දේවල් සිදු­වන බව ය. බ්‍රෙෂ්ට් උත්ප්‍රා­ස­යෙන් කීවේ “නොසි­ටියෝ නම් මේ ගරු ඇම­ති­වරු ගොයම් කරල් පොළ­වෙන් උඩට ගැනු­මත් බොරු” යනු­වෙනි. ඒ ඇම­ති­ව­රුන්ගේ හා ඔවුන්ගේ ගෝල බාල­යන්ගේ ක්‍රියා­කා­ර­කම් අද­ටත් මොන­ත­රම් අදාළ ද? දේශ­පා­ලන සදා­චා­ර­යක් නැති මිනි­සුන්ට ඉති­හා­සය මුළු­ල්ලේම ලැබුණේ සර­දම් සිනා පමණි.

කුමක් වුවද රට සමාජ, ආර්ථික, සංස්කෘ­තික හා දේශ­පා­ලන වශ­යෙන් ඉදි­රි­යට ගැනී­මට මේ වර්ගයේ ඇම­ති­ව­රුන්ට නොහැකි බව නම් නිසැ­කය. ඇත්ත වශ­යෙන් ම ඔවුන් බොහෝ දෙනකු මේ මොහොතේ නිර­තව සිටි­න්නේත් රටට අවශ්‍ය සාධ­නීය සැල­සුම් හෝ යෝජනා ගැන නොව තම වර්ග සනු­හ­රය ගොඩ දමා ගැනීමේ අර­ග­ල­යක ය. රට හිර වී තිබෙන මූල්‍ය අර්බු­දය හෝ දව­සින් දවස උත්සන්න වන ණය­ගැ­ති­භා­වය වර්ධ­නය වීම ගැන හෝ ඔවුන්ට වගේ වගක් නැත. ඒ අර්බු­දය උග්‍ර වන නාස්ති­කාර පිළි­වෙත් අත්හැර දමා ඇති බවක් ද නොපෙනේ. ඔක්. 26 වනදා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා රනිල් වෙනු­වට මහින්ද අග­මැති ලෙස පත් කරන්නේ ද මේ විනා­ශය නතර කිරීම සඳහා සිය හෘදය සාක්ෂි­යෙන් ම පැන නැඟුණු පෙල­ඹ­වීම නිසා නොවේ ද? ඒ ක්‍රියාවේ හරි­වැ­රැද්ද ගැන දැනට තිබෙන විවේ­චන විම­ර්ශන කුමක් වුවත් මතු යම් දිනක ඒ පිළි­බ­ඳව වෙනත් ආකා­ර­යක විශ්ලේ­ෂ­ණ­යක් ඉති­හා­සය විසින් ම සිදු කිරී­මට ද අව­කාශ තිබේ.

19 වැනි සංශෝ­ධ­න­යත් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට විධා­ය­ක­යට තිබුණු බලය වෙනස් කර තිබී­මත් නිසා ආණ්ඩුව යළි ස්ථාපිත වුවද එතැන් පටන් විධා­ය­කය හා ව්‍යව­ස්ථා­දා­ය­කය ලෙස වූ භේදය උත්සන්න වූ ආකා­රය කවු­රුත් දනිති. ජනා­ධි­පති හා අග­මැති අතර සටන් විරා­ම­යක් නොවූවා පම­ණක් නොව දෙදෙ­නා­ගේම දේශ­පා­ලන බල කඳ­වුරු තුළින් නිබ­ඳව ම ඇසුණේ සුළු අවි ප්‍රහාර වල අමි­හිරි හඬ­වල් පමණි. ශ්‍රී ල.නි.ප. 68 වැනි සංව­ත්ස­රය මේ දේශ­පා­ලන විරෝ­ධය උත්ක­ර්ෂ­යට පත් කළ මොහො­තක් වැන්න. ආණ්ඩුවේ සිව් අවු­රුදු දේශ­පා­ලන ශේෂ පත්‍රය මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිර්දය විවේ­ච­න­යට ලක් විය. මෛත්‍රී ජනා­ධි­ව­ති­ව­රයා එදා සමු­ළුව අම­ත­මින් රටට ම දුන් පණි­වු­ඩය වූයේ ශ්‍රී ල.නි.ප.යේ දර්ශ­නය මත පද­නම් වු ආණ්ඩු­වක් 2020 දී සාදා ගත යුතු බවය. දූෂ­ණ­යෙන් වංචා­වෙන් තොර රාජ්‍ය පාල­න­යක ඉති­හා­සයේ ගෞර­ව­නීය හිමි­ක­රුවා ශ්‍රී ල.නි.ප.ය බව ය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට සිල්ලර විවේ­චන ඉදි­රි­පත් කරන බොහෝ දෙනෙක් ඔහු අව­ධා­ර­ණය කරන දේශ­පා­ලන සංස්කෘ­ති­යට අන්ධ වූවෝ ය. සැබැ­වින් ම නිද­හ­සින් පසු ගෙවී ගිය දසක හත­කට නොඅඩු කාලය මුළුල්ලේ ම රටක් ලෙස අපට දේශී­ය­ත්වය මත පද­නම් වූ ආර්ථි­ක­යක් හා සංව­ර්ධ­න­යක් ගොඩ නඟා ගත නොහැකි විය. ප්‍රභා­ක­රන්ගේ තිස් අවු­රුදු ත්‍රස්ත­වා­ද­යෙන් රට නිද­හස් කර ගැනී­මට අපට හැකි වුවත් රටේ අවශ්‍ය සමාජ, දේශ­පා­ලන හා සංස්කෘ­තික වෙන­ස්කම් සිදු කළ නොහැකි විය. පාතාල ක්‍රියා­කා­ර­කම්, මත්කුඩු ජාවා­රම් මහා පරි­මා­න­යෙන් රට වෙළා ගනිද්දී අපේ ආධ්‍යා­ත්මික වටි­නා­කම් සිය­ල්ලම පාහේ විනාශ වෙමින් තිබුණි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මත්ජා­වා­රම් මැඬ­ලීම සිය දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යෙහි ප්‍රමුඛ අංග­යක් බවට පත් කර ගත්තේ ජන­තා­වගේ ආශි­ර්වා­දය ඇති ව ය. මත්ජා­වා­ර­මුන්ට මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරී­මට ජන­පති ගත් පිය­ව­රට ආණ්ඩුව ඇතු­ළෙන් ම බාධා මතු විය. එහෙත් පසු­ගිය දින­වල උතුරේ පැව­ත්වුණු එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා ප්‍රද­ර්ශ­න­යට එක් වූ උතුරේ ජන­තාව සෘජු ව ම ප්‍රකාශ කළේ මරණ දඬු­වම ක්‍රියා­ත්මක කළ යුතු බව ය. ඒ සම්බ­න්ධ­යෙන් කළ ජන­මත විචා­ර­ණ­ය­කදී උතුරේ ජන­තා­ව­ගෙන් සිය­යට අනු­අ­ටක් ම මරණ දඬු­වම අනු­මත කර තිබුණි. කුඩු ජාවා­ර­මුන්ගේ හිස බේරා දීමට පාර්ලි­මේ­න්තු­වට පනත් ඉදි­රි­පත් කළ අයට පම­ණක් නොව ඇන්ජීඕ නඩ­ව­ලට ද කන හිරි­වැ­ටෙන ප්‍රහා­ර­යක් උතු­රෙන් ලැබී තිබීම ද විස්මය දන­වයි.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මේ ආණ්ඩුවේ හිතු­ව­ක්කාර වැඩ අනු­මත නොකි­රීම ද අද සම­හ­රුන්ගේ විවේ­ච­න­යට ලක්ව තිබේ. ජන­ධි­ප­ති­ව­රයා විසින් ජාතික රූප­වා­හි­නිය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යටත පවරා ගැනීම අද ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් වී තිබේ. මේ සිද්ධිය මාධ්‍ය නිද­හස සමඟ ඈදා ජනා­ධි­ප­ති­ව­ර­යාට දෝෂා­රෝ­ප­ණය කරන අය ද සිටිති. එහෙත් ජනා­ධි­ප­ති­ව­රයා එතැ­නට තල්ලු කළේ කවුද? රූප­වා­හි­නියේ වත්මන් සභා­ප­තිනි ඉනෝකා සත්‍යාං­ගනී මහ­ත්මිය ඒ ධුර­යට නුසු­දුසු යැයි කිව හැකිද? ජගත් අව­ධා­න­යට යොමු වු චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­රි­යක් මෙන්ම එ් කේෂ්ත්‍රය පිළි­බඳ දැනු­මෙන් සිපිරි ඇය වෙනු­වට ජෙන­රේ­ටර් අලෙවි කේෂ්ත්‍ර­යෙහි අයෙක් රූප­වා­හි­නි­යට පත් කිරීමේ විහි­ලුව ගැන ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­රයා ද ප්‍රකාශ කර ඇත. ඒ පත්වීම බල ගැන්විය නොහැකි වූ විට රූප­වා­හි­නි­යට තවත් සභා­ප­ති­ව­ර­යෙක් පත්කි­රීම නිසා සිදු වූ අවුල ලිහීම සඳහා ආය­ත­නය පවරා ගැනී­මට සිදු වූ බවද ඔහු හෙළි කර ඇත. සංස්ථා හා එබඳු ආය­තන වලට පත්කි­රීම් කළ යුතු ක්‍රම­වේ­ද­යක් ද ඇත. ඇම­ති­ව­ර­ය­කුට අත්ත­නෝ­ම­තික ලෙස එය කිරී­මට ඉඩක් නැත. ඒ සඳහා ඉදි­රි­පත් වන නාම­යෝ­ජ­නාව ඒ තන­තුරු සඳහා පත්වීම් සිදු­ක­රන ජනා­ධි­පති ලේකම් ප්‍රමුඛ මණ්ඩ­ල­ය­කින් අනු­මත විය යුතු බවද කියති. එහෙත් ඒ ක්‍රම­වේ­ද­යට පිටින් වත්මන් සභා­ප­ති­නිය සිටි­යදී අලුත් සභා­ප­ති­ව­ර­යකු පත්කි­රීම අවු­ලක් සැදී­මක් නොවේද? මේ සිද්ධිය තමන් අනු­මත නොක­රන බව ජන­මාධ්‍ය ඇම­ති­ව­රයා කියයි. එය මාධ්‍ය නිද­හස පිළි­බඳ ප්‍රශ්න­යක් මෙන්ම ඒ අමා­ත්‍යාං­ශ­යට අයත් ආය­ත­න­යක් අවි­ධි­මත් ලෙස ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට පැව­රී­මක් ලෙස ද ඔහු පෙන්වා දී ඇත. මේ ආණ්ඩුව ඇම­ති­ව­රුන්ට විෂ­ය­යන් හා ආය­තන වෙන් කර තිබෙන විද්‍යා­ත්මක ක්‍රමය ගැන නම් කතා කළ යුතු නැත. කල­කට පෙර විදේශ අමා­ත්‍යාං­ශ­යට ලොත­රැයි මණ්ඩ­ලය එක් කළේත් මේ ආණ්ඩුව බව අපට මත­කය. ඒ කුමක් වුවත් ආණ්ඩුවේ ඇම­ති­ව­ර­යකු යටතේ තිබෙන ආය­ත­න­යක් රාජ්‍ය නාය­කයා වන ජනා­ධි­ප­ති­ව­රයා නීත්‍යා­නු­කූ­ලව පවරා ගැනීම වර­දක් වන්නේ කෙසේ ද යන්නත් අපට පැහැ­දිලි නැත. කවර අමා­ත්‍යාං­ශ­ය­කට අයිති වුවත් රූප­වා­හි­නිය, අයි­ටි­එන් හා ගුව­න්වි­දු­ලිය ද ස්වාධීන ආය­තන නොව ආණ්ඩුවේ ඒවා බව කවු­රුත් දනිති. මාධ්‍ය නිද­හස ගැන මොන දේ ප්‍රකාශ කළත් රාජ්‍ය මාධ්‍ය ආය­තන නිද­හස් ව ක්‍රියා කළ බවක් ඒ ඉති­හා­සය තුළින් නම් සනාථ වී නැත. යහ­පත් මහ­ත්ම­යකු මෙන්ම මාධ්‍ය පිළි­බඳ ලේ උරු­ම­යක්ද තිබෙන රුවන් විජ­ය­ව­ර්ධන මහතා සමඟ අපට දබ­ර­යක් නැත. එහෙත් ඒ මහතා මේ සම්බ­න්ධ­යෙන් පිහිටා සිටින ආස්ථා­නය නිවැ­රදි නැති බව අපගේ අද­හස ය. රුවන් විජ­ය­ව­ර්ධන මහතා අධි­ප­ති­වාදි මන­ස­කින් පිම්බුණු චරි­ත­යක් ද නොවේ. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සමී­පව ක්‍රියා කිරීම ඔහුගේ පිළි­වෙත බව අපට පෙනුණි.

මෛත්‍රී - රනිල් විර­ස­කය විසින් ඇති කරන ලද අර්බුද කෙබඳු වුවද ආණ්ඩුව ගාට­මින් හෝ ඉදි­රි­යට යන බව සම­හරු කියති. එය සැබෑ ය. එහෙත් අග­මැති ජන­පති කඳ­වුරු වෙන වෙනම යන දේශ­පා­ලන ගමන කාටත් පැහැ­දි­ලිය. රට කඩා වැටී නැතැයි ආණ්ඩුවේ අය මෙන්ම ඔවුන්ගේ සමී­ප­ත­මයෝ ද කියති. එහෙත් එය කෙත­රම් දුරට සත්‍ය­යක්ද? හිටපු විග­ණ­කා­ධි­පති ගාමිණි විජේ­සිංහ මහතා පසු­ගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ලංකාව සීමාව ඉක්මවා ණය ගෙන සිටින රටක් බව ය. ඒ ණය යොදා ගත්තේ කුම­ට­දැයි පැහැ­දිලි කිරී­මට ආණ්ඩුව අස­මත් වී ඇතැයි ද ඔහු චෝදනා කරයි. මේ වන විට රටේ ණය බර ට්‍රිලි­යන 13 දක්වා වර්ධ­නය වී තිබෙන බවද ඔහු අව­ධා­ර­ණය කර ඇත. හිටපු විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යාගේ චෝද­නාව වන්නේ අද දේශ­පා­ල­න­යට එන කාගේත් අර­මුණ මුදල් ඉප­යීම බවය. මෛත්‍රී ජන­ප­ති­ඳුන් හැම ජන­හ­මු­ව­කම කරන්නේ දූෂ­ණ­යෙන්, වංචා­වෙන් තොර රටක් ගොඩ නඟමු යන ආයා­ච­න­යයි. මේ අවි­ධි­මත් ව්‍යාපෘති වලින් රට විනාශ නොකර දේශීය ආර්ථි­ක­යක් රටට අවශ්‍ය බව ජන­ප­ති­ඳුන්ගේ අව­ධා­ර­ණ­යයි. එහෙත් මේ එකක් වත් අහ­න්නට බල­කාමී දේශ­පා­ලන වැඩ­බිම් වල සිටින අයට ඉස්පා­සු­වක් නැත. නීති, අණ­ප­නත් හද­මින් යුක්තිය හා සත්‍ය­යට වංගු ගහන අමන නිල­ධා­රීහු ද එමට සිටිති. රුපි­යල් ලක්ෂ 168 ක බී.එම්. ඩබ්ලිව්. මෝටර් රථ­යක් ලක්ෂ දෙක­ක­ටත් අඩු­වෙන් අර­ගෙන ගෙදර යන වාස­නා­වන්ත බැංකු නිල­ධා­රීන් සිටින්නේ මොන රටේද? ක්‍රිකට් ආය­ත­නය ද දූෂණ ගුහා­වක් බව කියති. කෝප් කමි­ටුව අබි­යස හෙළි­වන නිල­ධා­රීන්ගේ හොර මැර වුවද අප රූප­වා­හි­නි­යෙන් නර­ඹන සංද­ර්ශ­න­ය­කට නොදෙ­වෙනි ය. එහි සභා­පති සුනිල් හඳු­න්නෙත්ති මහ­තාම පව­සන්නේ අපට විම­ර්ශ­නය විනා දඬු­වම් කළ නොහැකි බව ය. ඉන්දි­යාවේ හා පකි­ස්ථා­නයේ නම් වංච­නික නිල­ධා­රීන්ට ගැල­වී­මක් නැත.

මේ දේශ­පා­ලන විනා­ශය සමඟ රටේ සංස්කෘ­තික ආධ්‍යා­ත්මය ද කඩා වැටී තිබේ. හොරො­ව්ප­තාන ශ්‍රී ස්වර­ණ­ති­ල­කා­රාම මහ පිරි­වෙ­නෙහි සාම­ණේර හිමි­යන් දෙන­ම­කට අමා­නු­ෂික ලෙස පහර දුන් වස­ලයා රටට හඟ­වන්නේ ද මේ සංස්කෘ­තික කඩා වැටීම ය. ඒ පාප­තර සිද්ධිය රූප­ගත කළ පුද්ග­ලයා ඊටත් වඩා මූග්ධ­යෙකි. තමන් අබි­යස සිදු­වන අධම ක්‍රියා­වක් වැලැ­ක්වී­මට තරම් මොළ­යක් ඔහුට නොමැති වීම ද තවත් අවා­ස­නා­වක් නොවේද? කුමක් වුවත් සිංහල බෞද්ධ රටක එබඳු දේ සිදු­වීම දැඩි සංවේ­ග­යකි. (මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ­යැයි මොර­දෙන ඇම­ති­ව­රුද වෙති) බුදුන් වහන්සේ වදාළ පරි­දිම භික්ෂුව, රාජ­කු­මරු, සර්පයා හා ගින්න යන හතර කුඩා යැයි නොකතා නොස­ළකා සිටීම විප­තකි. එහෙත් කුණු වී තිබෙන රට­කට බුදු­බණ හෝ සාර­ධර්ම වලින් පලක් තිබේද?

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

 

Comments