ඇයි අන්තරේ කැඳවුම්කරු වෙලා, එකපාරටම ස්වාධීන වෙන්න හිතුවේ?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තුළ මෑත ඉතිහාසයේ තිබුණු අඩුපාඩු අපි සොයාගත්තා. හැම නායකයෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ ව්‍යාපාරය ගොඩ දාන්න. මගේ නායකත්වය යටතේ අන්තරේ තියෙද්දි මට අවශ්‍ය වුණෙත් ඒකයි. ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නවලින් තොරව ඉදිරියට ගෙන එන්න මට අවශ්‍ය වුණා. ඒ වගේම මේ වෙලාවේ මෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතුව තිබුණා. අන්තරේ කියන ව්‍යාපාරය එක් පක්ෂයක තනි මතයක් හොබවනවා වෙනුවට මේ සංවිධානය නිර්පාක්ෂික විය යුතුයි. සියලු දේශපාලන මත දරමින් ඉදිරි ගමනක් යන්න අපට අවශ්‍යයි. මම ඉන්නේ මේ ස්ථාවරයේ. විශ්වවිද්‍යාල සිසුවකු දැනුම ගවේෂණය කළ යුතුයි; පර්යේෂණය කළ යුතුයි. විශ්වවිද්‍යාල තුළ නිරාවරණය විය යුත්තේ පක්ෂ නොවෙයි, විවිධ දේශපාලන මතයි. දේශපාලන පර්යේෂණ මේ තුළ සිදු විය යුතුයි.
තනතුරකට ගිය පසුද ඔබට මේ පිළිබඳ විවේචන කරන්න සිතුණෙ? ඇයි කලින් විවේචන ඉදිරිපත් නොකළේ?
අපි අන්තරේ වැඩ කළා. ඊට පස්සේ තමයි අපිට විවිධ මතධාරීන්, පක්ෂ එක්ක ගැටෙන්න අවස්ථාව ලැබුණේ. ඒකෙනුත් කාලයක් ගියාට පසුවයි, මෙහි ඇති අඩුපාඩු එකින් එක අවබෝධ වුණේ. අපේ සංවිධානයට ආදරය කරලා විවේචනය කරන පිරිසකුත් ඉන්නවා වගේම අපට වැරදෙනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා.
අන්තරේ වැරදි තේරුණේ තනතුරකට ආවට පස්සෙද?
ඔව්. කාලයක් ගියායින් පසුවයි අඩුපාඩු තේරුණේ.
මැතිවරණත් ළඟ එනවා. අන්තරයට දේශපාලන පදනමක් තියෙනවා කියලා කොයි කවුරුත් දන්නවා. ඔබේ ස්වාධීන වීම දේශපාලන ගේමක්ද...?
අප නිර්පාක්ෂික වෙලා කරන්න හදන දේවල් යම් යම් පිරිස් යම් යම් පක්ෂවලට එල්ලන්න හදනවා. ඒත් අප කිව්වේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ විදියට විය යුතුයි කියන කරුණයි. අප ඉදිරිපත් කළේ සංවිධානයේ ස්වාධීනත්වය පවත්වාගෙන යන වැඩ පිළිවෙළක්. අප ඉදිරිපත් කළ කාරණාවලට බරක් තිබෙනවා. ඒ නිසයි පෞද්ගලිකව අපට මඩ ගහන්න පටන් ගත්තේ. මම අයින් වුණේ පෞද්ගලික හේතු මත නෙමේ. අපේ නිර්පාක්ෂික වැඩපිළිවෙළ නිසා අපිට ප්‍රශ්න මතු වුණා. විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක් නොවේ, අතේ ඇඟිලි ගණනේ ප්‍රමාණයක් තමයි විවිධ දේශපාලන අවශ්‍යතා මත මේ අන්තරය හසුරුවන්නේ. මේ නිසා දිගටම ගැටුම් තිබුණා.
නිර්පාක්ෂික කළ යුතුව තිබුණා නම් අන්තරේ තිබුණු දේශපාලන පක්ෂ සබඳතා මොනවාද?
අන්තරේ ඉතිහාසයේ සිටම දේශපාලනය තිබුණා. විශ්වවිද්‍යාලය තුළ හා අන්තරය තුළ දේශපාලනය තිබියි යුතුයි යන ස්ථාවරයේයි අපි ඉන්නේ. ඒත් අන්තරය නිර්පාක්ෂික විය යුතුයි. අපි එක් පක්ෂයක් පමණක් නොවෙයි සියලු පක්ෂ මත දැරිය යුතුයි. අන්තරයේ කැඳවුම්කරු වුණාට පසුව සංවිධානය නියෝජනය කරමින් ලංකාවේ සියලු දේශපාලන මත ගවේෂණය කළ යුතුයි. අප නායකත්වය දිය යුත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට.
ජේවීපිය සමඟත් ගැහිල්ලක් තියෙනවා කියලා ආරංචියි..?
මේ පක්ෂය විතරක් නෙමේ, ගොඩාක් අය කියනවා අපි ගෝඨාභය රජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස, නලින්ද ජයතිස්ස ගාවට ගිහින් කියලා. මෑතක සිට අපි ජේවීපීයට ගියා කියලා පෙරටුගාමීන් මඩ ගහන්න පටන් ගෙන තියෙනවා. ඇයි ඒ අය එහෙම කරන්නේ? අප මේ වෙලාවේ ඉදිරිපත් කළ වැඩපිළිවෙළත් එක්ක විශ්වවිද්‍යාල සිසුන් හිටගන්නවා. බහුතරය කැමති නැහැ අන්තරයේ ඉන්න පොඩි කල්ලියක් නිසා මෙය පෙරටුගාමීන්ට ලබා දෙන්න. අන්තරයේ ඇතුළේ ශ්‍රීලංකා, යූඇන්පී, මහින්දවාදීන් වගේම ජේවීපී අයත් ඉන්නවා.
ළහිරු වීරසේකර කියන්නේ අන්තරේ මාකට් වුණු චරිතයක්. ඒත් ඔබට එතරම් මාකට් වෙන්න බැරි වුණා. මේ ස්වාධීන වීම මාකට් චරිතයක් විමේ සූදානමක්ද?
ඒ සහෝදරයා සයිටම් අරගලයට නායකත්වය දුන්නා. මම උත්සාහ කළේ එළියේ මාධ්‍ය ඉස්සරහා කරන අරගලයට වඩා ඇතුළේ තියෙන අරගලය විසඳන්න. අන්තරය ඇතුළේ තියෙන්නේ දැවැන්ත අරගලයක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පාරට බැසීමේදී සාමාන්‍ය අයට ඇති වන හැඟීම කම්පනයක්ද? නැතිනම් කෝපයක්ද? එය කම්පනය දනවන සිදුවීමක් විය යුතුයි. ඒත් අද කම්පනය වෙනුවට මිනිසුන් අපට බනින්න පටන් ගෙන තිබෙනවා නම්, අප අපේ අඩුවක් ඇති බව තේරුම් ගත යුතුයි. විශ්වවිද්‍යාල සිසුවා කටයුතු කළ යුත්තේ 2030-2040 ගැන හිතලා. නවකවධය කියන්නේ ඇත්තටම ප්‍රශ්නයක්. නවකවධයට අප විරුද්ධයි. අපව විවේචනය කරන්න පටන් ගත්තෙත් නවකවධයට තදින්ම විරුද්ධ වුණු නිසා. මම අන්තරයට නායකත්වය දෙද්දි නවකවධයට තදින්ම විරුද්ධයි.
ළමයින් පාරට බැස්සීම සම්බන්ධයෙන් සියලු චෝදනා එල්ල වන්නේ ඔබලාටයි?
අප පාරට බැස්සහම මිනිස්සු අපිට බනිනවා. එනිසා අප ප්‍රශ්නයක් එතැන තියෙනවා කියලා තේරුම් ගත යුතුයි. අප පෙනී ඉන්නේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්. මේ නිසා අප බුදධිමත්ව විශ්වවිද්‍යාල තුළට සංවාද ගෙන ආ යුතුයි. ඒ නිසා අන්තර්ජාතික සංවාදයක් අවශ්‍ය වෙනවා. හැමදාම පාරට බහින එක නෙමේ උත්තරය. අන්තරයට මේ ගැන වගකීමක් තිබිය යුතුයි. අප පාරට බැස්සහම ජනතාව ආණ්ඩුවට බනිනවා නම් එයයි අපේ ජයග්‍රහණය විය යුතුතේ. ඒත් අද අප පාරට බැස්සට පස්සේ මිනිස්සු ආණ්ඩුවට බනිනවා වෙනුවට බනින්නේ අපට. ඒ නිසා අපට හිතන්න දෙයක් තියෙනවා.
එහෙනම් අන්තරය දේශපාලන අතකොලුවෙක් බව ඔබ පිළිගන්නවාද?
අපට බලපෑම් එනවා. ඒ බලපෑම්වලට විරුදධව මේ සංවිධානය ශක්තිමත් කළ යුතුයි. බලපෑම්වලට යට වෙන කෙනෙක් ආවොත් ඔහුට ඔළුව නමන්න සිදු වනවා. ඒවාට අභියෝග කරන කෙනෙක් ආවොත් ඔහුට ගෙදර යන්න සිදු වනවා.
ඔබට අවංකව පැවැසිය හැකිද, අන්තරය වර්තමානයේ මෙහෙයවන්නේ සිසුන් වෙනුවෙන්ද, නැති නම් දේශපාලන ඇජෙන්ඩාවක් වෙනුවෙන්ද කියලා?
අප කටයුතු කළේ සමාජය වෙනුවෙන්. මහපාරේ අපට අරගලයක් තියෙනවා. ඒත් පාරට බැසීමම පමණක් නොවෙයි කළ යුත්තේ. දේශපාලන ඇජෙන්ඩාවකට ගියාට පස්සේ මේ අරමුණ වෙනස් වෙනවා. අප උත්සාහ කළේ මේ කාරණයෙන් අන්තරය බේරාගන්න.
ම්ලේච්ඡ නැති නම් ගෝත්‍රික නවකවධයක් සමාජය තුළ ඇති බව ඔබ පිළිගන්නවාද?
අමානුෂික, ම්ලේච්ඡ කියලා හයිලයිට් කරන්න අවශ්‍යතාවක් නැහැ. සමහර තැන්වල වෙනස් වෙනවා. අපේ සිසුන් ඒ මට්ටමට වැටෙයි කියලා මම හිතන්නේ නැහැ. නවකවධය කියන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ පසුගාමි සංස්කෘතියේ තිබෙන එක්තරා ප්රකාශනයක්. ප්‍රශ්නය තියෙන්නේ පසුගාමී සංස්කෘතියේ. එය නිරූපණය වන්නේ නවකවධයෙන්. ඒ නිසා පිළිතුරු සෙවිය යුත්තේ පසුගාමි සංස්කෘතිය නැති කරන්නයි. නවකවධය නැති කරන්න පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඔබ කියන මේ පසුගාමි සංස්කෘතිය ඇති වුණේ කොහොමද?
1942 සිට මේ පසුගාමි සංස්කෘතිය ටික ටික ආවා. නිදහස් අධ්‍යාපනය පනත සම්මත වීමෙන් පසු විශ්වවිද්‍යාල සංස්කෘතිය ටිකෙන් ටික වෙනස් වෙනවා. ග්‍රාමීය සංස්කෘතිය විශ්වවිද්‍යාල තුළට එනවා. මේ නිසා ඉදිරිගාමි සංස්කෘතියක අවශ්‍යතාව මතු වනවා. විශ්වවිද්‍යාලයක සිටිය යුතතේ විශ්විය දරුවෙක්.
අමානුෂික ම්ලේච්ඡ නවකවධ නැහැ කියලා ඔබ පැවසුවාට විශ්වවිද්‍යාල වධකාගාර අදත් පවතිනවා. මේ නිසාම වසරකට විශාල පිරිසක් විශ්වවිද්‍යාලය හැර යනවා. එහෙනම් මේ ම්ලේච්ඡ නවකවධ නැහැ කියලා කියන්නේ කොහොමද?
ඔයාලා විශ්වවිද්‍යල තුළ වධකාගාර දැකලා තිබෙනවද? මම නම් දැකලා නැහැ.
ප්‍රසිද්ධියේ වධකාගාර ගැන සත්‍යය අනාවරණය වෙද්දී ඇයි ඔබ එය නොපිළිගන්නේ?
පේරාදෙණියේ වධකාගාර සිදුවීම වාර්තා වුණේ පිටස්තර නිවෙසක. මට වධකාගාර, ම්ලේච්ඡත්වය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නවකවධය නැති කරන්න වැඩපිළිවෙළක් තිබෙනවා. අපටත් හැමදාම නවකවධය හෙළා දැක-දැක ඉන්න පුළුවන්. වැටමාර පොලු ගැන කතා කර-කර මාධ්‍යටත් ඉන්න පුළුවන්. ඒත් නවකවධය නැති කරන්න පිළිතුරක් දිය යුතුයි.
ඇයි නවකවධය නැති කරන්න ඔය කියන පිළිතුරු තවමත් නොදෙන්නේ?
අපට අවශ්‍ය වුණේ මේ නවකවධයට විරුද්ධව දිගටම පෙනී සිටීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමටත්. අපි හෙළා දැක දැක පමණක් හිටියේ නැහැ.
මොනවාද ඉදිරිපත් කළ වැඩපිළිවෙළ?
මුලින්ම විශ්වවිද්‍යාල සිසුන්ට තමන් විශ්වවිද්‍යාල සිසුවකු බව තේරුම් කර දිය යුතුයි. විශ්වීය භාවිතාවලට, සංස්කෘතියට හුරු කළ යුතුයි. අප සරසවියේ ඇති විවිධ සංගම් හරහා මෙයට පිළිතුරක් දෙන්න උත්සාහ කළා. එයත් අසාර්ථක වුණා. අන්තර්ජාතික විශ්වවිද්‍යාලවල භාවිතාවන් අපේ ඒවාට ගේන්න උත්සාහ කළා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හැකියාවක් තිබෙනවා මේ පසුගාමි සංස්කෘතිය නැති කිරීමට. ඒ වෙනුවට ඉදිරිගාමි සංස්කෘතියක් ඇති කළ යුතුයි. අපට නවකවධයට හදිසියේ උත්තර හොයන්න ගිහින් තමයි ඇනගන්න සිදු වුණේ. විශ්වවිද්‍යාල තුළ සිංහලෙන් කතා කළ යුතුයි කියලා මතයක් තියෙනවා. ඒත් මම යෝජනා කළා මේ නවකවධය සිංහලෙන් නෙමේ, ඉංග්‍රීසියෙන් කරමු කියලා. රැග්-එක කොහොමත් අවුල්. ඒත් හොඳ නැද්ද? අපි ඉංග්‍රීසි මාධ්‍ය සංවාද ගෙනාවා. ඒත් ඒවාට ගොඩාක් විරුද්ධ වුණා.
එයින් හැඟෙන්නේ අන්තරය නවකවධයට සම්බන්ධ බව නොවේද?
අන්තරය නවකවධයට විරුද්ධයි. මේකත් එක්ක සම්බන්ධ වුණු කල්ලි කණ්ඩායම් කැමැති නැහැ නවත්වන්න. අප වෙන වැඩපිළිවෙළකට යෑම නිසා මේ කල්ලිවලට සිය අභිලාශයන් පවත්වාගෙන යන්න විදියක් නැහැ.
අද නවකවධය මෙහෙයවන්නේ පෙරටුගාමීන් කියා ඔබ පිළිගන්නවාද?
මම පිළිගන්නේ නැහැ පක්ෂයකින් මේ නවකවධය ක්‍රියාත්මක කරන බව. මම පෙරටුගාමීන් විවේචනය කරන්නේ නවකවධයට ඔවුන් පිළිතුරක් හොයන්නේ නැති නිසා. පෙරටුගාමීන් නවකවධය සිදු වෙද්දී දැක්කේ නෑ වගේ යනවා. ඒ නිසා වක්‍රාකාරයෙන් හවුල්.
නවකවධ නායකයන් බහුතරයක් නියෝජනය කරන්නේ අන්තරය හෝ පෙරටුගාමීන්?
අන්තරයේ සහෝදරවරුන් ඍජුව සම්බන්ධ වෙනවා කියලා මම හිතන්නේ නැහැ. නවකවධය නැති කරන්න නම් අන්තරයේ ඉන්න මේ සියල්ලම වැඩපිළිවෙළක් හැදිය යුතුයි කියලායි මම කියන්නේ.
වැඩපිළිවෙළක් හදන්නේ නැහැ කියන්නේ නවකවධයට ඔවුන් කැමැති නිසා නේ?
ඔව්. වෙන්න පුළුවන්.
අන්තරය නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියා පැවැසුවත් නවකවධ නිසා අද සිසුන් විශ්වවිද්‍යාලවලට එවන්නේ නැහැ. මේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ජනප්‍රිය වෙලා. නවකවධයට සහාය වෙමින් මේ කරන්නේ පෞද්ගලික අංශය දිරිමත් කිරීමද?
දෙපැත්තම වැරදියි. නවකවධයට පිළිතුරක් සෙවීමේ වගකීම අපටත් තියෙනවා. ඒත් රජයත් නවකවධය කියලා බිල්ලෙක් මවා පාමින් පෞද්ගලික අංශය දිරිමත් කරනවා.
හැමදේටම ප්‍රසිද්ධියේ කෑගහන අන්තරය නවකවධයට ප්‍රසිද්ධියේ කෑගසනවා අප දැක නැහැ?
මම නම් ප්‍රසිද්ධ වේදිකාවල නවකවධය ගැන කතා කළා. අප හෙළාදකින්න ගියේ නැහැ. ඊට විරුද්ධව පෙනී සිටියා.
නවකවධය නැති කිරීම ශිෂ්‍ය ව්‍යාපාරවලට තර්ජනයක්ද?
අන්තරය නවකවධයෙන් ගොඩ ගිහිල්ලද තියෙන්නේ? යූඇන්පී, ශ්‍රීලංකා, ජේවීපි ඕනෑම මතයක් තියෙන කෙනෙක් අන්තරයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනෑ.
නවකවධයට දේශපාලනඥයන්, ආචාර්යවරුන්, පාලක සභා නිලධාරීනුත් හවුල් නේද? ඒ අයගේ සම්බන්ධතා අනුවද මේවා පවත්වාගෙන යන්නේ?
මාධ්‍යයත් හවුල්. නවකවධය තියනවා කියලා මාධ්‍ය මඟින් කිව්වාට කවුරුත් උත්තරයක් හොයන්නේ නැහැ. ගොඩාක් අය මේවාට සම්බන්ධ වෙනවා. සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වය පවත්වාගෙන යනවා. විශ්වවිද්‍යාල තුළත් මේ සංකල්පය පවත්වාගෙන යන්න උත්සාහ ගන්නවා.
වාර්තා වන අන්දමට බහුජන සංවිධානවලින් අන්තරයට මුදල් නොලැබෙන බව ආරංචියි. අන්තරයට කොහෙන්ද මුදල් ලැබෙන්නේ?
අපට සාමාජික ගාස්තු නැහැ. මොකක් හරි වැඩක් යොදාගෙන තමයි මුදල් හොයන්නේ. පෝස්ටරයක් ගැහුවොත් ඒකට යන වියදම හොයන්නේ සමාජයෙන්. බහුජන සංවිධානවලින් මුදල් ලැබෙන්නේ නැහැ.
ශිෂ්‍යයන් බස්වලට නග්ගවා කැටවලට මුදල් එකතු කරන්නේ අන්තරයේ අවශ්‍යතාවලටද?
ගොඩාක් ඒවා අන්තරයෙන් කරන දේවල් නෙමේ. විශ්වවිද්‍යාල මට්ටමින්, ශිෂ්‍ය සංගම්වලට අවශ්‍ය කටයුතුවලටත් මුදල් සොයනවා.
මේ කැටවලට ලක්ෂ ගණනින් මුදල් එකතු වන බව ළමයින්ම පවසනවා. අන්තරයට මෙයින් කොටසක් යැවෙන බව පවසනවා. ඔබ එය පිළිගන්නවාද?
අන්තරය විශාල වැඩ කොටසක් කරනවා. එයට මාසයකට විශාල මුදල් ප්‍රමාණයක් ඕනෑ. ඒ වගේම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම්වලින් කරන වැඩවලටත් විශාල මුදල් ප්‍රමාණයක් ඕනෑ.
සමහර සිසුන් චෝදනා කරනවා, තමන් පාරට බස්සවලා නිදහස් අධ්‍යාපනය මුවාවෙන් එකතු කරන මේ මුදල් ශිෂ්‍ය නායකයන්ගේ දුරකතන බිල් ගෙවීමට, වාහන ලීසිං ගෙවීමට වගේම මත්පැන් සාදවලටත් යොදවන බව?
අප නම් සත පහක්වත් එහෙම අරගෙන නැහැ. අන්තරය භාර ගනිද්දි අප හිටියේ විශාල ණය ප්‍රමාණයක. අප යාළුවන්ගේ බඩු පවා උකස් කරගෙනයි ණය පියෙව්වේ. අප යන්න එන්නවත් අන්තරයෙන් කීයක්වත් ගත්තේ නැහැ. කැඳවුම්කරු විදියට කැට අරගෙන අප පාරට බැස්ස වාර අන්න්තයි. ඒත් අන්තරය කියන සංවිධානයට මුදල් භාවිතය පිළිබඳ විනිවිද බවක් නැහැ. එය සැකසිය යුතුයි. සමහර වෙලාවට පෙරටුගාමින්ගේ වේදිකා තනන්න අන්තරයේ මුදල් භාවිතා කළ අවස්ථා තියෙනවා. ඔබ ඔය කියූ ආකාරයට සමහරු වාහන ලීසිං ගෙවනවා නම්, ෆෝන් බිල් ගෙවනවා නම් එය නැවැත්වීමේ හොඳම ක්‍රමය විනිවිද බවක් ඇති කිරීමයි.