යටි­නු­ව­රින් බිහි වූ ශ්‍රේෂ්ඨ ජන­නා­ය­කයා: හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව | සිළුමිණ

යටි­නු­ව­රින් බිහි වූ ශ්‍රේෂ්ඨ ජන­නා­ය­කයා: හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව

නුවර පළා­තෙන් බිහි වූ ප්‍රථම බට­හිර වෛද්‍ය­ව­ර­යකු වූ ටිකිරි බණ්ඩා කොබ්බෑ­ක­ඩුව, සංඝ­මිත්තා දූල්ලෑව කුමා­රි­හාමි දම්ප­තීන්ට දාව 1916 අගෝස්තු 27 දින දෙල්දෙ­ණි­යේදී 'හෙක්ටර් සෙන­රත් රාජ­ක­රුණා බණ්ඩාර කොබ්බෑ­ක­ඩුව' මෙලොව එළිය දුටු­වේය. ත්‍රිත්ව විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලබා, කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් හා නීති විද්‍යා­ල­යෙන් ඉහළ අධ්‍යා­ප­නය සපුරා, නීතිඥ වෘත්ති­යෙහි යෙදෙන කාලයේ දිළිඳු ගොවීන්ගේ ඉඩම් නඩු­ව­ලට නොමිලේ පෙනී සිටී­මෙන් හේ තුරුණු වියේ­දීම තම මානව දයාව ප්‍රද­ර්ශ­නය කළේය.

1952දී මහ­නු­වර නගර සභාවේ අම්පි­ටිය අසු­නට ස්වාධීන අපේ­ක්ෂ­ක‍යකු ලෙස ඉදි­රි­පත් වූ හෙක්ටර් එහිදී තියුණු තර­ග­ය­කින් ජය­ග්‍ර­හ­ණය කර දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට අත්පොත් තැබු­වේය. 1956 මහ­මැ­ති­ව­ර­ණ­යේදී මහ­නු­වර අසු­නට තරග කරන ලෙස බණ්ඩා­ර­නා­යක මහතා කළ ඉල්ලීම භාර නොගෙන, එව­කට හේවා­හැට ආදා­යම් පාලක ලෙස කට­යුතු කළ පිය­සේන තෙන්න­කෝන් මහතා එයට වඩාත් සුදු­සු­බව පැවසූ හෙක්ටර් ඒ අව­ස්ථාව ඔහුට දී ඔහු‍ගේ ජය වෙනු­වෙන් ක්‍රියා කළේය. පසුව 1960 සහ 1965 මහ­මැ­ති­ව­ර­ණ­ව­ලට ඉදි­රි­පත්ව සුළු ඡන්ද සංඛ්‍යා­ව­ලින් පරා­ජ­යට පත් කොබ්බෑ­ක­ඩුව මහතා 1961දී රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කළ අතර 1963දී රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ සභා­පති ධුර­යට පත් වූයේය.

1970දී යටි­නු­වර ආස­නය ජය­ග්‍ර­හ­ණය කළ හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහතා සමගි පෙර­මුණු රජයේ කෘෂි­කර්ම හා ඉඩම් ඇමැති ධුර­යට පත් වූයේය. මෙහිදී ඔහු තම ඉඩම් පවා ජනතා සන්තක වන පරිදි දැඩි උත්සා­හ­යෙන් යුතුව ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ පනත සම්මත කර­ග­ත්තේය. මෙම­ඟින් අක්කර දස­ල­ක්ෂ­ය­ටත් අධික ඉඩම් ප්‍රමා­ණ­යක් රජ­යට පව­රා­ගැ­නුණු අතර, එයින් අක්කර ලක්ෂ 7ක් පමණ බිම් අඟ­ලක් නැති අහිං­සක ජන­තා­වට බෙදා දී දිළිඳු බව තුරන් කරන අත­රේම, දේශීය කෘෂි නිපැ­යුම ඉහ­ළට ඔසවා තබනු ලැබීය. පව­රා­ගැ­නුණු සෙසු ඉඩම් උඩ­රට වතු සංව­ර්ධන මණ්ඩ­ලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය, ජනා­වාස කොමි­ෂන් සභාව වැනි ආය­ත­න­ව­ලට පවරා, දේශීය කෘෂි­භෝග නිෂ්පා­ද­නය ඉහළ නැංවී­මෙන් විදේ­ශ­ව­ලට ඇදී­ගිය මහා ධන­ස්ක­න්දය මෙර­ටට ඉතිරි කර­ගනු ලැබිණි. මේ ක්‍රියා­දා­ම­යෙන් උතුරේ මෙන්ම දකු­ණේද ගොවි­යාට ලැබුණේ ඉම­හත් සහ­න­යකි.

රට­ටත්, ජාති­ය­ටත් මෙබඳු සේවා­වක් කළත් කොබ්බෑ­ක­ඩුව මහ­තාට 1977 මහ­මැ­ති­ව­ර­ණ­යේදී තම අසු­නද අහිමි විය. කෙසේ වෙතත් 1982 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රීල­නි­ප­යෙන් ඉදි­රි­පත් කෙරු­ණේද කොබ්බෑ­ක­ඩුව මහ­තාය. එහිදී යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් 50%කට අධික ඡන්ද සංඛ්‍යා­වක් දිනා­ග­ත්තත් දකුණේ ජන­තාව වෙතින් යළිත් ඔහුට අත්වූයේ පරා­ජ­යකි. ඒ තිබි­යේවා: ඡන්ද පොළට යන විට ඔහුගේ ඡන්ද­යද අන් කව­රකු විසින් හෝ ප්‍රකාශ කර තිබිණි!

රටට කොප­මණ සේවා­වක් කළ දේශ­ප්‍රේ­මි­යකු වුවද හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මැති­තු­මාට තම ජීවි­තයේ අව­සන් භාගය ගත කිරී­මට සිදු වූයේ සිතේ සැනැ­සි­ල්ලෙන් නම් නොවේ. 82 ජන­ප­ති­ව­ර­ණ­යෙන් පසු විවිධ චෝදනා යටතේ අවස්ථා කිහි­ප­ය­ක­දීම ප්‍රශ්න කිරී­ම්ව­ලට මුහුණ දීමට සිදු වූ හෙයින් චිත්ත පීඩා­වෙන් යුතුව කල් ගෙවූ හෙතෙම 1983 සැප්තැ­ම්බර් 18 දින සද­හ­ටම දෙනෙත් පියා­ග­ත්තේය. ‍ඔහු විසින් මෙරට කෘෂි­ක­ර්මා­න්ත­යට කරන ලද අනු­පම මෙහෙ­වර සම­රනු වස් 1995දී ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය 'හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය' ලෙස නම් කරනු ලැබිණි.

එතු­මන්ගේ වියෝ­වෙන් 36 වසක් සපි­රීම නිමි­ත්තෙන් යටි­නු­වර කොබ්බෑ­ක­ඩුව ගුණ සමරු කමි­ටුවේ අනු­ශා­සක මොර­ගොල්ලේ ජින­ර­තන හිමිගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන්, නීතිඥ ඩී. කරු­ණා­රත්න, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ.පී. සිරි­සේන මහ­ත්ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන්, මහා­චාර්ය රෝහණ ලක්ෂ්මන් පිය­දාස මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඌරා­පොළ ශ්‍රී අභ­ය­රාජ පිරි­වෙන් විහා­ර­ස්ථා­න­යේදී 14 (සෙන­සු­රාදා) සවස 2.00ට ගුණ­ස­මරු උත්ස­ව­යක් හා සවස 6.00ට යටි­නු­වර මැද­ප­ළාත වි.සේ.ස. සමිති සංගම් ශාලා­වේදී පිරිත් දේශ­නා­වක් පවත්වා, 15 (ඉරිදා) දහ­වල් සංඝ­ගත දක්ෂි­ණා­වක් සිදු කිරී­මට කට­යුතු යොදා තිබේ.

පී.කේ. විම­ල­රත්න

Comments