එදා නිර්මාණවල තිබූ ගම්භීරත්වය අද නැහැ | සිළුමිණ

එදා නිර්මාණවල තිබූ ගම්භීරත්වය අද නැහැ

ඕනෑම කෙනෙකුට සල්ලි තියනවා නම් නාට්‍යයක් කරන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන්නේ

දැන් හැදෙන නිර්මාණ ගණනින් වැඩි වුණත් ගුණාත්මකභාවය බිංදුවට බැහැලා

වේදිකාවෙන් හා පුංචි තිරයෙන් රසික හදවත් තුළ නමක් රැඳවූ ඈ හෂිනිකා කරලියද්ද නම් වෙනවා. ඇගේ සැමියා කුමාර දිසානායක. හමුදා නිලධාරියෙක්. දූලා දෙන්නත් එක්ක රංගන ජීවිතයේ කටයුතු ඇය සමතුලිත කරගන්නෙ බොහොම පරිස්සමින්. මේ දිනවල ඇය ටෙලිනාට්‍යය කිහිපයකින් ම අපගේ ආලින්දයට ගොඩවෙයි.

“මේ දවස්වල මම පොහෝ දින නාට්‍ය දෙකක රඟපානවා. ‘ගැහැනු පිරිමි, මල් පලතුරු’ හා ‘මාර හොරු’ වේදිකා නාට්‍යවල රඟපානවා‍. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියත් සමඟ හැම ක්ෂේත්‍රයකම ලොකු කඩා වැටීමක් සිදුවුණානේ. චැනල්වල නාට්‍ය දුවනවා වුණත්, වේදිකාවෙ සමහර නාට්‍යය නැවතිලා.”

ඔබ කාලයක් ක්ෂේත්‍රයේ දකින්න ලැබුණෙ නැහැ?

නැතුවමත් නෙමෙයි. වැඩ කරනවා. චැනල් වැඩි නිසා තමයි එහෙම වෙන්නේ. ජාතික රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ ‘කෝටිපතියෝ’ මෙන් ම තවත් නාට්‍ය කිහිපයක ඉන්නවා. චැනල් ගණනාවක් ම තියනවනේ. ප්‍රේක්ෂකයන්ගේ රුචි අරුචිකම් අනුව ඒ ඒ චැනල් තෝරා ගන්නවා‍. ඒ නිසා අනිත් චැනල් බැලෙන්නෙ නැහැ.

අද හැදෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට ගැන සතුටු විය හැකිද?

නිර්මාණ වැඩි වුණත් එහි ගුණාත්මක භාවය අඩුවෙලා. සමහර දක්ෂයින්ට යොදවන්න මුදල් නැහැ. සමහර නළු නිළි‍යන් සුළු මුදලකට වුණත් රඟපාන්න කැමැතියි, ජනප්‍රියත්වය ලැබෙන නිසා. එතකොට කොහොමද කලාවක් රැ‍ඳෙන්නෙ.

ඕනෑම කෙනෙකුට සල්ලි තියනවා නම් නාට්‍යයක් කරන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන්නේ. චිත්‍රපට නම් අතළොස්සයි හොඳ නිර්මාණ දකින්න ඇත්තේ. 70 දශකයේ සිනමා කෘතිවල තිබූ ගම්භීරත්වය අද කාලේ චිත්‍රපටවල නැහැ. අතීත නිර්මාණ සමහරක ගීතය අහද්දි අපට ඒ චිත්‍රපටය ටෙලි නාට්‍ය මතක් වෙනවා. අද එහෙම අනන්‍යතාවයක් නැහැ. සමහර ටෙලි නාට්‍ය ඇත්තටම නාට්‍ය ද කියලා හිතෙනවා. කඩුල්ල, ගිරය වගේ කෘති අදටත් අපගේ මතකයේ රැ‍ඳෙනවා.

අද බිහිවන නිර්මාණ එකම රාමුවකට කොටුවෙලා. එක්කෙනෙක් ළමා චිත්‍රපටයක් කළොත් අනිත් අයත් ඒ වගේ ම කරන්න තමයි උත්සාහ කරන්නේ.

ඒක නෙමෙයි විය යුත්තේ. ‘සත්පුර වැසියෝ’ වගේ නාට්‍ය අදටත් මිනිස්සුන්ට මතක තියනවා. ඇතැම් අය තවමත් මාව අමතන්නෙ ‘පද්මිණී’ කියලා. හොඳ නිර්මාණ කළොත් ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නවා. මිනිස්සු චැනල් මාරු කර කර, හොඳ නිර්මාණ සොයා යනවා. ඒ වගේ ම ඉස්සර මිනිස්සුන්ට ජීවිතේ විඳින්න කාලයක් තිබුණා. දැන් නම් සතියකට දින 10ක් තිබුණත් මදි. ඒ තරමටම මිනිස්සු කාර්යබහුල වෙලා...”

සති අන්තයත් හරිම කාර්ය බහුලයි. අමතර වැඩ සේරම යොදා ගන්නේ සති අන්තෙට. පාසල් ළමයිට වුණත් කිසිම විවේකයක් නෑ. සතියේ දිනවලට අමතරව සති අන්තෙත් පන්ති.

රසවින්දනයක් ලබන්න ඉඩක් නැහැ. ඒත් සමහර දෙමවුපියෝ මොන තරම් ආර්ථික අපහසුකම් තිබුණත් හොඳ චිත්‍රපටයක්, හොඳ නාට්‍යයක්, ආදර්ශවත් සිනමා කෘතියක් තිබුණොත් ළමුන්ට පෙන්වනවා. ළමා මනසට අපි දෙයක් දෙද්දී නිවැරැදිම දෙයක් දිය යුතුයි. රස වින්දනය නිවැරැදි නොවුණහොත් ලබන්නේ වැරදි අවබෝධයක්නේ.

ඔබගේ සැමියා හමුදා නිලධාරියෙක්නේ. කොහොමද ගෙදර වැඩ කටයුතුත් එක්ක රංගනය හරියට කරගන්නේ?

මගේ සැමියා කුමාර දිසානායක‍. හමුදා නිලධාරියෙක්. ලොකු දුව තෙනුරි අමා දිසානායක 6 වැනි වසරේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ. පොඩි දුව තිනෙති ලක්ෂා දිසානායක 3 වසරේ ඉගෙන ගන්නවා. ගෙදර දොර කටයුතු දරුවන්ගේ ‍වැඩ සියල්ලක් ම මා අතින් තමයි කෙරෙන්නේ.

මගේ රංගන කටයුතුවලට සැමියාගෙන් සහාය ලැබෙනවා. එයා බඳින කොටත් මම කලාවෙනේ හිටියේ. හොඳ රසවින්දන ශක්තියක් තියනවා. එයා රාජකාරිය දේවකාරිය වගේ කරන කෙනෙක්. ගෙදර නිවාඩුවට ආවහම මට වෙන්නේ බබාලා තුන්දෙනෙක් බලාගන්න තමයි.

මම රඟපාන්න යන්නේ දරුවන්ගේ වැඩ සියල්ලම කරලා තමයි. මගේ පවුලේ වැඩ කටයුතුවලට මගේ අක්කා අනුලා කරලියද්ද උදව් වෙනවා. එයාගෙන් මේ තරම් සහායක් නොලැබුණා නම් මට මේ හැම දෙයක් ම සමබරව ගෙනියන්න නොහැකි වෙනවා. ඇත්තටම කුමාර දරුවන්ගේ යුතුකම් හැමදෙයක් ම ඉටු කරනවා. අක්කා මට ලොකු ශක්තියක්.

ඉදිරියේදී හොඳ නිර්මාණ ලැබුණොත් දායක වෙනවා. ඒත් හැමදේටම වඩා මුල් තැන දෙන්නේ දරුවන්ගේ වැඩවලට. මොකද දරුවන් හොඳ පුරවැසියන් කළොත් තමයි සමාජයට වගේ ම පවුලටත් වඩා යහපතක් සිදුවන්නේ...”

සේයාරූ - අමිත් එස්. සේනාරත්න.

 

 

Comments